Wednesday, January 29, 2014

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා


කදු හෙල් තලා පසුකරගෙන මන නන්ද
දියවැල් ගලා එයි පසුකර මහ කන්ද
සොබදම් මෑණියන් දකිමින් මන බැන්ද
පොඩි කෙන්දක් වුණා වැනිමය මහ කන්ද

කියතක් සොයාගෙන ගාටා මහ බැද්දේ
ලීයක් ඉරාගෙන ජීවන ඔරු පැද්දේ
කටවැරදුන තැනදි දිනකදී වන මැද්දේ
බොට කදයා තලා කෙරුවා මහ සද්දේ

මීයක් කඩාගෙන දරුවන් රකින්නට
දැරුවේ වෙහෙස මෙපමණදැයි කියන්නට
පෙන්වයි වලස් තඩියා ඇත පනින්නට
මූණම අපායක් මෙනි බෑ දකින්නට‍

කලකදි පිපෙන මී මල් වල සුවද දැනී
මී මැස්සියන් කඩිසරකම සිතට ගනී
සැගවී තිබූ පන්මලු අත් දෙකට පනී
පෙට්ටියෙ අඩියෙ ගෑවෙයි බාගයක් පැනී

ලූලා තෙප්පිලිය කනයා වැනි මාලු
පෙට්ටිය තුලට එබුවා අල්ලා යාලු
විකුණා සොයා ගෙන දිවි ගැට ගැසුවාලු
කෑමට රස ඇතේ වැව්මාළුන් වේලු

වී ටික වවාගෙන කැකුලෙන් බත් කන්න
එළවලු පලා ඒකට එක්කරලන්න
වැව් රජු මගේ ගම් පෙදෙසට බත දුන්න
ගන දෙවිදුනේ ඇයි බැරිවුනෙ රැකගන්න

 වේලි ඉරිතැලුණු තැන් කලකට පස්සේ
පෙගිලා මතුවුණා තණකොල ඒ අස්සේ
කුරහන් බඩඉරිගු වේලන දුම්මැස්සේ
ගින්දර වැඩි වුණා දුම් ඇත හැම තිස්සේ

එළවළු ගොවිපලේ කුණු වී ගසයි ගද
බඩ රැක ගැනුම කොහොමද කොයිලෙසද අද
දවසින් දවස වැඩිවිය වැසි දෙවියො තෙද
නොනිදන පුරය නොනිදයි පණු දුගද මැද

දවසින් දවස දිය පිරි වැව් ඉස්මත්තේ
අලි මුව රෑන් දිය බීමට විත් ඇත්තේ
මාලුන් එකිනෙකා විත් ඇත එළිපත්තේ
දැඩි බව නිසයි වානේ, වැව තව ඇත්තේ

ටික ටික දියපාර වානෙන් ගලනවිට
කට කට පැතිරුණා එය අවට දන හට
පිට පොට කවාගෙනවත් යන්න එගොඩට
ටිකිරිට බැරිවුණා දුක්විය මෙගොඩ සිට

 මෙසිරි ලකට සිරි ගෙන එන වැව් බැම්මේ
ටික ටික වැඩි වුණා ජල කද එක පිම්මේ
රෑ නිදිමරාගෙන සිටියත් හනි හැම්මේ
ගම්බිම් යටකලා ගැමි දුක නැත නිම්මේ

අඩුම කුඩුම අරගෙන ආවත් ගමට
ඉන්පල ලබන්නට ලැබුනේ අන් අයට
වපුරනු නොහැකි විය කන්නක්වත් මහට
තුන් වසරක් ගෙවී ඇත වානේ වැඩට

වානේ වැඩය කවදද නිම කරන්නේ
රජයේ අයට කවදද ඇස් ඇරෙන්නේ
මහවැසි ලැබී කවදද වැව පිරෙන්නේ
කිවුලේකඩට කවදද බත් ලැබෙන්නේ




http://wewismatha.blogspot.com/








Thursday, January 23, 2014

ඇය දෙවියන්ගේමය


 අපූූර්වත්වයන්ගෙන් පිරි ළමා මනස තේරුම් ගැනීම මහත් වු අපහසුවක් දනවන්නෙකි. ඒ සා පුංචිම පුංචි අවධියක් පසුකල අයෙකුගේ මනස තේරුම් ගැනීම ඒ තරමටම දුෂ්කර වන්නේ නම් වයස මුහුකුරා ගිය පුද්ගලයෙකුගේ හැගීම්  තේරුම් ගැනීමට පෘතග්ජන යමෙකු උත්සාහ කරයිද එය කිසිදාක ඵලයක් නොලැබෙන ගොවිතැක් කිරීමක් බදුය.

මව් කුසයේ පිළිසිද ගත් දා පටන් පුද්ගලයා විවිධ  වු භාවයන්ට යොමු කරලීමට කුස තුළ ඇති  කළලයට වුව හැකියාවක් ඇත. මිනිස් වර්ගයාම වෙනස්කරලීමේ බලයක් මෙන්ම   බිළිදාට ඇති හැකියාවද අලංකාරය. කොතරම්  භයානක පුද්ගලයෙකුට දාව වුව ගැහැණියක් කුස තුල දරුවකු පිලිසිද  ගනීද, ඒ භයංකාර ගති ලක්ෂණ ඇති පිරිමියාගේ මුළු මහත් සර්වාංගයම ලිහිල් වන ස්වරූපයක් පෙනේ.වෙනදා තම බිරියට සළකන ආකාරයෙන් නොව ඉතාමත් ආදරයෙන් ඇයට ඇප උපස්ථාන කිරීමට ඔහු වගබලා ගනී.ඇයට ආදරයෙන් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරයි. එමෙන්ම ඔහුගේ හදවත ළයාන්විත වේ. බොළද වු අදහස් වලින් ඔහුගේ හදවත පිරීඉතිරී යනු ඇත. ඔහු ඔවුන්ටම උරුම වූ ලෝකයක් ගැන සිහින මවයි.

මා කුඩා කල උත්පලවන්නා නම් වු  නව කතාවක් හෝ කතාවක් කියවා ඇත්තෙමි.ඒය කා විසින් ලියන ලද්දකදැයි මා නොදනිමි. නමුත් ඉහත මා ලියු ආකාරයට එහි ඇති චරිතයක් වූ මිනිසාද මහත් රෞද්‍ර ගති ලක්ෂණ වලින් හෙබි මනුසතකු විය. ඔහුගේ එකම ආසාව වූයේ දියණියක් ලබා ගැනීමය. සිටු දියණියක් වූ උත්පලවන්නාට  ඉහත රෞද්‍ර වු මිනිසාට දාව දරුවෙකු පිලිසිද ගනී. දියණියක් ලබා ගැනීමේ ආසාවෙන් සිටි ඔහුගේ රෞද්‍ර ගති ලක්ෂණ ටිකෙන් ටික වියැකි යන්නට විය. ඒ වූ කලීද කුඩා දරුවෙකු වෙනුවෙන් වන්නා වූ වෙනස් වීමකි.

දැඩි හදවතක් ඇත්තෙකු සැනෙකින් හැඩවීමට බිලිදාට  ඇති හැකියාව අපූරුය.හැඩවීම පමණක් නොව බිලිදාගේ  හැම ඉරියව්වක්ම  අපගේ සිත් මෝහනය කරයි.  ඇය ගීතයකි. ඇය ජීවිතයේ රස  නිෂ්පත්තියයි.කවියා කවියක් නිර්මාණයේදී  විරිත් ,එළිවැට,යවහන් දොස් , එළිසමය වැනි එකී නොකී  සියළු දෙයක්ම යොදා කවියක්  එළි දක්වන්නා සේම  ඇය මෙලොව එළිය දක්න්නේ ඒ සියළු දේ සපිරිවරාගෙනය. කවියක් රසාස්වාදය කල හැකිවා මෙන්ම විවේචනය කිරීමද කල හැකිය. එහෙත් දරු සිගිත්තා නමැති  කාව්‍ය කිසිදා විචාරය කලනොහැකි අන්දමින් නිමවී ඇත.කල හැක්කේ රසාස්වාදය කිරීම පමණකි.

මෙලොව වසන්නන්ගෙන් වැඩි ප්‍රතිසතය කල්පනා කරන්නේ දුක සතුට තනිකම වේදනාව කේන්තිය තරහව වැනි  භාවයන් උපදින්නේ තමන් හට පමණක් බවය.එය එසේනම්  අලුත උපන් දරුවාට දිය යුතු වෙලාවේදී කිරි පුඩුව කටේ නොගසා ටික මොහොතක අත්දැකීමක් විදගන්න. එවිට දැනේවී තමන්ටම මෙන්ම හය හතර නොතේරෙන දරුවාටද  භාවයන් උපදිනා බව. ඇය තනිකර දමා මොහොතක්  රැදෙන්න. ඇයටද තනිකමේ වේදනාව දැනෙනු ඇත.

ඇය අපිව සන්තෘෂ්ටියට පත් කරයි. ඇය නිළියකි. ඇය අපිව සිනාගන්වයි. ඇය විහිළු කාරියෙකි.ඇය අපිව හඩවයි. වේදනාබර කාව්‍යයකි.ඇය අපිව සනසවයි . ඇය පැද්දෙන තොටිල්ලකි. කිසිදාක නොසිතන්න ඇය අපගේ ලේ වලින් නිර්මාණය වූවක් බව . ඇය දෙවියන් විසින්ම මවන ලද නිර්මාණයක්ම පමණකි.


















Saturday, January 18, 2014

පුංචිකාලෙ මං



 මේ 2014 ජනවාරි 18 වෙනිදා. හැමදාම මොනා හරි  ලියනව.ඒත් පස්සෙ කියවල බලපුවාම ඒව පබ්ලිෂ්  කරන්ඩ හරි මදි කියල  මකල දානව. ඒත් අදනම් මොනව හරි ලියල පබ්ලිෂ් කරනව කියල හිතා ගත්ත. නැත්තම් කට්ටිය හිතනවනෙ මු මේ බොරුවට වැව් ඉස්මත්ත කියල අටමගලක් එල්ලගෙන ඉන්නව කියල. ඕං මොනවා හරි ලියන්න ගත්ත ගමන් මොකෙක් හරි පිසාචයෙක් ඇවිත් ඒකට බාදා කරනව.ආය ඉතින් ඒ ලියන්න ගත්තු හරුපෙ කවදාකවත් ලියන්න වෙන්නෙ නෑ. ගෙදර ගියත් ඒ සෙතේමැයි.එක්කෙ දුව කඩාගෙන පනිනවා. නැත්තම් අඹුව පිස්සියක් වගෙ කෑ ගහනව. ගෙදර කොළ කෑලි ගොඩ ගහල එක එක ඒව ලියල. හැබැයි ඔක්කොම බාගෙට.

මම දැන් හදන්නෙ 1993 අවුරුද්දට යන්ඩ. කවුද කැමති නැත්තෙ තමන්ගෙ පුංචි සන්දියට යන්න. ඒත් මම නම් කැමති නෑ.ඇයි දෙයියනේ ඒ සන්දියේ ගුටිකාපුව මතක් වෙද්දී කාටද ආස හිතෙන්නෙ  ඈ.

අනුරාධපුරේ  ගලෙන්බිදුණුවැව කියන්නෙ මහ හද්ද පිටිසර ගමක්...මම එහෙම කියන්නෙ තරහකට නෙමේ ඔය හද්ද පිටිසර කියන වචන ටිකට මම ආදරෙයි. ඒ මම  ඒ හද්ද පිටිසර ගම්මානෙ ඉපැදිලා හැදුණූ වැඩුණු එකෙක් හින්දා. අතීතයේ රජවරුන් ඇමතියන් සම්බන්ධ කරගෙනයි  ඒ හද්දපිටිසර ගම්  වල නම් බහුතරයක් ම  නිර්මාණය වෙලා තියෙන්නෙ.ඒ අතින් මම හරි වාසනාවන්තයි. හැබැයි ඒවගෙ ඇත්ත නැත්ත පිළිබද කියන්න අමාරුයි. ඒවට වෙනම ගවේෂණයක් කරන්නම වෙනවා.ඔය වගේ නම් ටිකක් තමයි, කුණුගෝනෑව,අශ්වයාබැදිවැව,දුටුවැව,ගැටලාව. ඔය ටිකක් විතරයි.නමුත් ඒ  ප්‍රෙද්ශය ගැන ලියන්න නෙමෙයි මම මේ හදන්නෙ.

2002 A/L කරනකම්ම ගියපු එකම අමතර පන්තිය තමයි සිස්සත්ව පන්තිය ඒකත් කරේ අපේම පන්ති භාර ගුරුතුමා.අපි කොල්ලො සෙට් එක මොකද කරන්නෙ දඹ ,කෝන්,පලු,වීර, තියෙන කාලෙට ඒව කන්ඩ යනව. හැබැයි පන්ති කට් කරල තමා යන්නෙ. අපි හිතන්නෙ ඉතින් අපි ගැන කවුරුවත් හොයන්නෙ නෑ කියලනෙ. දවසක් අපි සැට් එක ගියා කිවුලේකඩ කියල වැවක් තියෙනවා ඒකට .නිකන් නෙමේ ගියෙ පාන්පිටිත් අරගෙන යාළුවෙකුගෙ ගෙදර තියල. කෙලින්ම ගියෙ වැවට. ඔක්කොම කට්ටිය දහදෙනෙක් විතර හිටිය . ඔරු පහකට විතර නැගල කට්ටිය දැන් මාළු අල්ලනව. අල්ලන්නෙ ධීවරයින්ගෙ දැල්වලින් හොරෙන්.අපෙ  ටීම් එකේ ඉන්නව ධීවරයෙකුගෙ පුතෙකුත් නිලන්ත කියල. උෟ තමයි මාළු අල්ලන එකේ නඩේ ගුරා.

කට්ටියක් මාළු අල්ලනකොට කට්ටියක් ආසාවට ඔරු පදිනව. ඒ අතර හිටිය ප්‍රේමලාල් කියල හාදයෙක් ඌට පීනන්ඩ බෑ. අවාසනාව කියන්නෙ ඌ ගියපු ඔරුවම පෙරැලුනා. මූ දැන් ගිලෙන්ඩ යනව ඌත් එක්ක ගියපු එකා යටිගිරියෙන් කෑගහනවා ...“.මේක ගිලෙන්ඩ යනවෝ .....“.කියල කොහොම හරි ඌ ගොඩට ගත්ත නමුත් උගෙ සරම ගොඩට ගන්ඩ බැරිවුණා. අර යාළුවාගෙ ගෙදර යනකම් ඌට කමිසයක් ඇන්දුවා. ඔරුව පෙරලිලා පැරට්ගේ සරම ගැලවිලා  ඒක වතුරට වැටිලා  උෟ  හෙළුවෙන් ආපු හැටි  තාම මතක් වෙනව පව් අනේ අහිංසකය. දැන් මොන දීපංකරේ ඉන්නවද දන්නැ.....

කට්ටිය මාළුත් එක්ක රොටී උයාගෙන හොදට සප්පායම් වෙලා තම තමන්ගෙ ගෙවල් වලට පිටත්වුණා. එදා රෑ හීනෙනුත් පෙනුනා ප්‍රේමලාල්ට වෙච්ච දේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම්  අදට ප්‍රේමලාල් මැරිල අවුරුදු 20 ක් විතර වෙනවා.

පසුවද උදේම  ඉස්කෝලෙ ගියාට පස්සෙ පන්ති බාර ගුරා අපි ඔක්කොම ටික අල්ලගත්ත. අපිම කපාගෙන ගෙනැත් දුන්න වේවැලෙන් අපිටම පුක පැත්තෙ වෛරපලු නගිනකම් ගැහැව්ව . කට්ටිය පුකවල් අල්ලගෙන දිව්ව. ඒ විතරක් නෙමෙයි කියනකම් බොරළුගොඩේ  දනගහගෙන ඉන්ඩ කිව්ව. කොහොමද ලූල් මාළුවෙ රගේ..
.........................................
හ්ම්... ඊ්ට අවුරුද්දකට කලින් හතර වසරෙදි  මගේම පන්තියෙ හිටපු රම්‍යාට ලිවුම් ලියල අහුවුණා......ඇල්බීසියා පොල්ලක් කඩාගෙන සිසිර සර් (මිය ගිය) ගැහැව්වෙ පුක පැත්තට... තෝ දැන් ඔහොම නම් පස්සට කොහොම වෙයිද කියල.....ඇත්තටම  තෝ කියලම කිව්ව.ඒ විතරක් නෙමේ ගහල ඉවරවෙලා කිව්වෙ,

“ පලයන් ගිහින් කියපන් තොපෙ තාත්තට “ කියල .

හහ් හිතුව මදි....... මං කියය් තාත්තට......තාත්තගෙ හොදම යාළුවා සිසිර සර්......ඒත් ඉතින්  ගෙදර ගියාට පස්සෙ තමා....වැඩේ පත්තු වුණේ. අම්මට මගදි ආරංචි වෙලා...මම රම්‍යාට ලිවුම් ලියල කියල.....කූරිටිය කෝට්ටකුත් තියාගෙන ඉදල තියෙන්නෙ අම්ම මං එනකං..

“ තෝ ආය ලිවුං ලියනවද, ලියනවද, ළියනවද“  කිය කිය ගැහැව්වා.... කකුල් දෙක ගන්ඩ දෙයක් නෑ වෛර පලු නැගල...........අඩ අඩා කිව්ව   “මම ආය ලිවුම් ලියන්නෙ නෑ අම්මෙ“ කියල   වෙනද තාත්ත ගහද්දී බේර ගන්නෙ අම්මා....

තාත්ත ගහල ගියාට පස්සෙ අම්ම ඇවිත් කකුල් දෙකේම පොල්තෙල් ගානවා.....ඒ වුනාට අම්ම ගැහුවම කවුද මගේ පොල්තෙල් ගාන්නෙ. අනේ ඒක ලිවුමක් නෙමේ තුන්ඩු කෑල්ලක්.....යාළුවෙක් කිව්වා  “මම රම්‍යාට ආදරෙයි.....මට ලිවුමක් ලියල දෙන්නකො නුවන්......“  කියල.....අනේ ඉතින් මම ත්  මෝඩයි වගේ “ මම ඔයාට ආදරෙයි“ කියල කොල කෑල්ලක ලියල දුන්නා...... දුන්න තමයි......ඕං වෙච්ච දේ.

මේ තවත් සිද්දියක්  ඒ දවස්වල තලගොල්ලෙ මාමලාගෙ ගෙදර වත්තෙ තමා අපේ තාත්ත වගා කරේ. මිරිස් එළවලු වගේ ඒව තමා හැදුවෙ. මායි අයියයි දෙන්නත් ඉස්කෝලේ ගිහින්  පොලොව පෙරළලා පොඩි ලියද්දක වගේ මොනව හරි හදනවා. එතකොට මම හිටියෙ තුන වසරෙ. අයියයි මායි දෙන්නම මිරිස් පාත්තිය පාත්තිය හදල තිබුණෙ. පාත්තිය කිව්වට ටිකක් ලොකු ලියද්දක්ම තමා. දුකේ බැරුව....ඇස්වහක්  කටවහක් නෑ ලියදු දෙක නිකන් සුප්පම හැදිල තිබ්බ. ඒකෙත් ගොඩක් මිරිස් ගස් ලොකුවට හැදිල තිබිබෙ මගෙ ලියද්දෙ.

දැන් තමයි ඕං වැඩේ පටන් ගන්නෙ.... ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිහින් තියෙන දෙයක් බඩට දාගෙන තලගොල්ලෙ මාමලාගෙ ගෙදර එන එක ඒ දවස් වල සාමාන්‍යෙයන් දිනචර්යාවෙ කොටසක්.එදානම් මම කෙලින්ම ආවෙ තලගොල්ලෙ මාමලාගෙ ගෙදර..ඇවිත් ගේ ඉස්සරහ අඹ ගහක් තියෙනව ඕකට  නැගල ඇති පදම් අඹ කෑව.ඔහොම ඉන්නකොට තලගොල්ලෙ මාමගෙ නැන්දා ආව. ඇවිත් හිනාවෙවි කිව්වෙ මොකද්ද දන්නවද?

“ නුවන් පුතා ...., ඔයාලගෙ අයියගෙ මිරිස්  පාත්තියෙ මිරිස් ගස් ලොකුවට හැදිල තියෙනව....අයිය එන්ඩ කලින් ඒ ටික අරන් ඔයාගෙ මිිරිස් ගස් නැති තැන්වල හදාගන්නව  එතකොට අයියට වැඩිය ඔයාට සල්ලි ගොඩාක් ගන්න පුළුවන් .“ කියල......අප්පට සිරි නියම වැඩේ කියල මම තලගොල්ලෙ මාමාලගේ නැන්දටත් හොරෙන් ගිහින් අයියගෙ මිරිස් පාත්තියෙ තිබුණු ලොකුම මිරිස් ගස් ටික ගලවලා මගෙ පාත්තියෙ හිවේවා.හිටවල  ඇවිත් ආයෙත් හොරපූසා වගේ අඹ ගහට නැගල අඹගෙඩි කකා හිටිය.

ටික වෙලාවක් යනකොට අම්මයි තාත්තයි අයියයි ආවා. අයියත් මාර අසාවෙන් ඉන්නෙ ඉස්කෝලෙ අරිනකම්  එයාගෙ මිරිස් පාත්තිය බලන්න.අයියා දුවගෙන ගියා එයාගෙ මිරිස් පාත්තිය බලන්න.අයියා එක පාරටම අඩාගෙන ආවෙ නැද්ද.
“අම්මෙ ගිහින් බලන්ඩකො මගේ මිරිස් පැල දහයක් දොළහක් විතර මැලවිලා ගිහින් ....“ කියල.

“ කෝ බලන්ඩ..“ කියල තාත්ත ගියා එව බලන්න....අම්මත් තාත්තව අනුකරණය කලා....මමත් කිසිදෙයක් දන්නෙ නැති ගානට ගියා අම්ම පිටිපස්සෙන්......

තාත්ත ගිහින් බැලුව.තාත්තට සැක හිතිලද කොහෙද තාත්ත මගෙ පාත්තිය දිහාවෙ බැලුව.....අප්පට සිරි  මගෙ පාත්තියෙත් මිරිස් පැළ දහයක් දොළහක් මැලවිලා.......මට ඒත් ගානක් නෑ.

“ උඹ ගැලෙව්ව නේද මිරිස් පැළ....“ තාත්ත ගෙරෙව්ව.......මට කලිසමේ  චු ගියාද කියල හිතුන. මම බිම බලාගෙන උන්නා....තත්පරයක් ගියෙ නෑ. මගෙ කන් දෙක ගැලවිලා යන සයිස් එකට ඇදීලා ගියා....තලගොල්ලෙ මාමලාගෙ ගේ ඉස්සරහටම.....අඹගහේ අත්තක් කඩාගෙන අඹ අත්ත කැඩෙනකම්ම අම්ම  මට තඩිබෑව.....බුදු අම්මෝ මම ආය එහෙම කරන්නැතෝ.......කිය කිය කෑ ගැහැව්ව.......ඒත් මම කිව්වෙ නෑ...තලගොල්ලෙ නැන්දා කිව්ව හින්ද එහෙම කරාකියල. ඒත් මම අයියගෙ පාත්තියෙ පැළ විතරක් ගලවගෙන මගේ පාත්තියෙ හිටෙව්වනම් ඒ ගස් ටික විතරයි මැරෙන්නෙ. මම මගෙ පාත්තියෙ තිබුණු පොඩි පැළ ගලවගෙන අයියගෙ පාත්තියෙ හිටෙව්වා....ඒකෙන් වුණේ පැළ ටික ඔක්කොම මැරිච්ච එක......

එදා කරපු වැරැද්දට අම්ම බයිසිකලේට නැගල පැදගෙන ගියා...මට පයින් දුවගෙන වරෙන් කියල....අනේ ඉතින් අම්ම බයිකලේ නැගල පැදගෙන යනව. මම බයිසිකලේට සමාන්තරව දුවගෙන යනව.....පාරෙ යන මිනිස්සු බලාගෙන හිනාවෙනා...එතකොට අම්ම කියනව.....මු අද යස වැඩක් කරල කියල..මම කරපු දේ ඒ අයට කියනව.....මට වස ලැජ්ජාවෙ බෑ... එත් අම්ම ගෙදර ගිහින්  පලු නගින කම් ගහපු කකුල් දෙකේ පොල්තෙල් ගාල ඇතිල්ලුවා...ආයෙ මගෙ පොඩිපුතේ එහෙම කරන්න එපා..ඒව නරක වැඩනේ කියල....එතකොට නම් ඉතින් මගෙ ඇස්වල කදුළු පිරෙනවා..


ඒකෙ ඉතිරි හරිය තමා නියම....අයියට මල පැනල අයියත් ලෑස්ති වුණා මගෙ පාත්තියෙන් මිරිස් පැළ ගලවලා එයාගෙ පාත්තියෙ හිටවන්න. ඊටපස්සෙ අම්ම කිව්ව.ආය මිරිස් පැල ගැලෙව්වොත් ඒවත් මැරෙනවා...ඒ හින්දා ලොකුපුතාගෙ පාත්තියෙන් ගලවපු මිරිස් පැල ගානට මගෙන් කොටසක් වෙන් කර ගන්ඩ කියල......ඒ 1993 අවුරුද්ද.......මට තාම මතකයි...මගෙ මිරිස් කඩල ගත්තු සල්ලිවලින් තාත්ත මට කලු සපත්තු කුට්ටමක් ගෙනැත් දුන්න...


මේ ඇවිල්ල කරල තියෙන ගොන්කං බූරුකං වලින් පොඩ්ඩක් විතරයි...ඉතිරිවත් පසුවට දාන්න උත්සාහ කරනවා..



Tuesday, January 14, 2014

පොඩියක් තවන්නද නුඹෙ පා දෙක රිදෙන

                                                              

තිබෙනා හැටි නුඹේ රණ තිසරුන් යුගල
මගෙ සිත පාරවයි උණුසුම් ලෙස වපුල
සීගිරි ලදුන් පරදන නුඹෙ නෙත් සගල
තැන්පත් වුණිය ඇතුලත මගෙ හද මඩල

තොල්දෙක නුඹේ දිලිසෙන රන්වන් පාට
හැකිවෙද සම කරන්නට මේ ලොව කාට
මුහුණේ තිබෙන ලස්සන සැක නැතිවාට
දිව අගනක්ය ලදුනේ සද ඇති රෑට

මං තීරුව දිගේ හෙමිහිට හෙමිහිට ඇදෙන
කවුරුත් බලයි ඇගෙ පා මිණිගෙඩි සැලෙන
පොඩියක් තවන්නද නුඹෙ පා දෙක රිදෙන
ඇසුමට වුව සිතේ කාටත් ඇය දකින

එදවස රජදවස රජ දූ ඇදපු සළු
සුර අංගනාවන් සුර ලොව ඇදපු සළු
හීනෙන්වත් දකින්නට සිතු ඒ කසී සළු
නුඹෙ ඔය වතට රළු වැඩිදෝ අදින සළු

අඩියක් පමන පහලට නුඹෙ  කන් ඇද්දේ
ඒ මේ අතට සුදුවන් තෝඩුව පැද්දේ
තව කළු තෝඩුවක් ඇත නුඹෙ කන මැද්දේ
කවුරුද නුඹට සුදු ඔය තරමට විද්දේ

දෙරියන් පමණ ඉහළින් ඇති කොට සාය
පෙන්වයි නුඹේ දිලිසෙන ඔය යටකාය
දුටුවොත් නුඹව නර රකුසෙකු ඇති ගාය
නුඹ හට පුදයි ලදුනේ දුක්බර සෑය