Thursday, September 17, 2020



 ඒකත් ප්‍රේමයක් .........


පත්තියං වී ආවෙ මුරුගසන් වරුසාව
සීතලට ගැහුණි හද සෙනෙහසක් ඉඟි පෑව
කොහේදෝ ඈතකින් මා සොයන්  පා ආව
එරමිණිය මල නුඹයි සිඹගන්න හිත් ලෑව

නීල දෙනයන, කරපු ඉඟි බිඟි සියොලඟම මගෙ ඇවිලුවා
හංස පැටවුන්, කරපු දඟකම් සිතේ එහෙ මෙහෙ දැඟලුවා
මවා නුබ ගැබ, තරු නේන රෑ මසිත හැඟුමන් පැතිරුවා
තුඩ තුඩින් ගෙන, දුරින් ඉඳගෙන ප්‍රේම කවි පද මිමිණුවා

ලඟට නා මුත්  හංස චංචල  ලීලා
තාම ඇත මගෙ හදේ කොනකට වීලා
අමා පැන් ගෙන තුඩින් සැනසීලා
මුව දොවන්නෙමි හිඳිනු සැරසීලා



පින්තූරය මෙතැනින්

Tuesday, September 15, 2020

ඇය මගේ බිරිඳය

විකසිත වෙමින් හිරු ඝනදුර වෙත රැව්වා
සඳසේ යමින් හෙමිහිට සොමි රස එව්වා
වියැළුණු ලී කැබැලි එකිනෙක ලිප සෙව්වා
ඇයගේ දෑත මත නෙක දිව රස මැව්වා

හිමි නැති ලඟක පාතක හුදෙකලාව
තරණය කළා ඇය දිවි මං තලාව
තම දරුවන්ට මැව් ගුරු තක්ෂලාව
රස අඳුනකිය පෙන්නූ දිවි කලාව

දරුවන් තුන්දෙනෙකි මා වෙනුවෙන් වැදුව
දිව මැණිකක්ය මට දෙව් බඹු ලොව හැදුව
මගෙ මාපියන් උස් ආසන මත හිඳුව
උපමා කුමට නුඹමයි අඹරෙහි සඳුව

පැද යන විටදි ඔරුවට හයියක් වෙන්න
සිදුවුණි නුඹගෙ දෑතට හබලක් ගන්න
අත්ලෙහි සිනිඳුබව ගත් රකුසන් ගොන්න
මං හින්දාය පොඩියක් තව ඉවසන්න

හුරුළු වැවට වැටෙන දිය කඩ කුමට
මගේ පියඹ ඩා බිදු ඇත පිරෙන්නට
නියං සාව දුක් විඳිනා ගොවියනට
මගේ පියඹ උපහැරණෙකි දරන්නට

මාස් මහයි පන්ති මුදල් හරි ගෙවන්ට
ගාස්තුවත් මදිවෙයි වියදං දෙන්ට
වාස් වේගයෙනි දරුවන් ගෙට ගන්ට
ගෑස් නැතුව ඇත සිව් මස ලං වෙන්ට

ඇයටයි මගේ මේ කවි පද උපහාර
පුදනෙමි මතුවටත් එක අකුරක් නෑර
දුක සැප එකට විඳි මා හද නොම පාර
ඇය වෙදදුරෙකි දිවියට ඒකාකාර