Sunday, April 27, 2014

මා මෙන් වයසකයි මගෙ පෙම්බර බාරී



දිනයක උදෑසන ගමනක් යන්න සැදී
උන්නෙමි මෙමා බස් නැවතුම් පොලක රැදී
වයසක මහල්ලෙක් හැදගෙන කිලිටු  රෙදී
හෙමිහිට ගෑටුවේ බර හැරමිටට දිදී

මා මෙන් වයසකයි මගෙ පෙම්බර බාරී
සැමදා ඔත්පලයි බැහැ වැඩපල කාරී
නොගියපු දීගයක මගෙ ලොකු දූ මාරී
දැන් වයසකයි නොහදියි මංගල සාරී

පුත්වරු තුන්දෙනෙකු හැදුවේ රජුන් වගේ
දරුවන් නොවේ උන් සැම හද ගැස්ම මගේ
සිප් කිරී පොවා යැව් යහමාවතක් දිගේ
තාමත් නාවෙ ඇයි කටුමැටි පැලට මගේ

කිසිවක් නුඹෙන් පුතුනේ නැහැ පතන්නේ
වේලක් නොකා හෝ අපි කල් ගෙවන්නේ
පණ නල අදින නුඹෙ මව් පිය සොයන්නේ
නුඹ පමණමයි පුතුනේ මගේ වරෙන්නේ

පාසල් යන්න රෙදි සෝදා මැද දුන්න
බෝතල් වලින් සෙල්ලම් බඩු හැදු ගොන්න
සීතල වතුර උණූ කර බොන්නට දුන්න
හීනෙන් ඇවිත් අක්කා සිප වැද යන්න

කිසිවක් නොමැත දින තුනකින් මම කෑවේ
කියමින් දුබල වී ගිය බඩවත පෑවේ
තව දුර යන්න ඇත මට අදනම් රෑවේ
ඇතිනම් කාසියක් දෙන්නකො අත පෑවේ

දකිනා විටදි ඔහුගේ දුක්බර මුහුණ
අමතක වුණා මා හට යායුතු ගමන
සියයක් පමණි ගමනට මගෙ අත තිබුණ
කුමටද සිතන්නේ දෙවරක් මට සිතිණ