Monday, September 19, 2016

මම ලිවීම අත් ඇරියෙමි 03

මේ  එතැන් සිටය
 
බොරළු පාරේ දෙපස රත්පැහැ ගැන් වී ඇත. යතුරු පැදියක් වුව වේගයෙන් ගියහොත්  රක්ත වර්ණ දුලි වලාවක් හාත්පස වෙලා ගනී. හරියට ටොනාඩෝ එකක් පතිත වූවාක් මෙන්ය. යල් කන්නයේ බඩඉරිඟු වේලන්නටය කියා ත්‍රී වීලරයේ දෙපැත්තෙහි තිබූ ටෙන්ට් කවර දෙක කපා අරගන්නට අමාලිට මහත් හදිස්සියක් තිබුණි. මාද දුර දිග නොබලා ඇයගේ කීම අනුමත කළෙමි.  එයින් පසුව ත්‍රීවීල් එකේවත් පාරේ යන්නට බැරිය. දූවිල්ලට ඇතුළට කඩා වදින්නේය. එසේ යන බොහෝ අවස්ථාවල අමාලි තම චීත්ත පොටින් මුහුණ වසාගෙන යන්නීය. දෙදෙනාම නිහඬ පිළිවෙත සුරකින්නේ ටෙන්ට් කවරය කපා දැමීම සිදුවූයේ දෙදෙනාගේම කැමැත්ත ඇතිව වීම නිසාය.

කොරටුව ඉදිරියේ ඇති පටු පාරේ වාහනය නතර කළ අප දෙදෙනා මේ පළමු වරට කොටුව තුළට ඇතුළු වුයේ තවත් එක් ජවනිකාවක් රඟ දැක්වීමටය. එය හිතනා තරම් පහසු නැත. ඒ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවන්නට තාත්තා ගත් අපමණ වෙහෙස අප දුටු නිසාය. දාඩිය මහන්සිය පමණක් නොව  තාත්තා තම රුධිරයද මේ කොරටුව වෙනුවෙන් පරිත්‍යාග කළේ වෙන කිසිවෙකු නිසා නොව  තම ලෙයින් උපන් අප වෙනුවෙන්මය. දිනක් මහ බද වරුසාවේ පය ලිස්සා වැටීමෙන් කර මත තිබු වතුර පොම්පය අත උඩට වැටී තුන්මාසයක් හොරිවිල නතර වී බෙහෙත් බැන්ඳාය. එහෙත් තාත්තාගේ දකුණතේ මහපොට ඇඟිල්ල කිසිදින සුවකර ගත නොහැකි විය. ඒ  එය මිය ගොස් ඇති බැවිණි. තරුණ කළ මිරිස් ගලක් උස්සා ඇති වූ වේදනාවෙන් තාත්තා තවමත් වේදනා විඳී.

" අමාලි  මං මේ හේන හරි ලස්සනට හදනවා..." එක දිගට විහිදී ඇති මාන පඳුරු දෙස බලාගෙන කීවෙමි.

" ඔයා හිතන තරං ලේසි වෙන්නෙ නෑ.....මේ පේනවද තියෙන කෑලෑව... මේව සුද්ද කරන්න සෑහෙන කාලයක් යාවි...අම්මලා සුද්ද කරලම නෑ වගේ..." ඇය කීවාය.

ඇය එසේ  කියනවාට මා කොහෙත්ම කැමති නැත. ඇය දන්නා කෙහෙල්මලක් නැත. හේන, කුඹුරක් කරන්නට දෙමාපියන් ගත් උස්සාහය ඇය නොදනී. එසේනම් නොදන්නා කුණුහරුප කතා නොකර සිටීම නොවටින්නේද....එවන් අවස්ථාවල අමාලි මගෙන් හොඳට ලුණූ ඇඹුල් අැතුව අහගන්නීය. ඇතැම් විටෙක මගේ කෝපය මටම පාලනය කර ගත නොහැකි වන්නේය. අහල පහළ ඇති කුමක් හෝ පුපුරා යාමෙන් මගේ කෝපයද පුපුරා යන්නේය....

රැවුලත් කැඳත් දෙකම අවශ්‍ය වන්නේය. නොඑසේනම් මේ කර්තව්‍ය මට තනියම කළ නොහැකිය...මම කෙසේ හෝ ඇයව රවටා ගනිමි....බොරුවට රැවටීමකින් නොවේ. ඇත්තටම රවටන්නේ ඇයටම ඇති ආදරයෙනි. කොටුවට වතුර හැරවීම ඇයට පවරා මම වත්ත සිසාරා සෝදිසියක යෙදුනෙමි...ලියැදි හත අටකට පමණ පහතින් ඇල්බීසියා ඉන්නක් සිටුවා තිබුණි.

" අමාලි.....!,"
" ඇයි මොකද මේ කෑ ගාන්නෙ..."
" ඇයි නෙමෙයි ... මොකද්ද මේ ඉන්නක් හිට්ටවල තියෙන්නෙ ඇයි...."

" ඔයාලගෙ තාත්තගෙ වැඩ තමා....පත්ම නැන්දට ඔය තීරුවම දුන්න එදා ආවට පස්සෙ....මොනව හරි හදා ගන්ඩ කියල...පස්සෙ මං තාත්තගෙන් අැහුව එතකොට අපි හදන්නෙ කොහෙද කියල...ඊට පස්සෙ තමයි ඔය අන්තිම ලියද්ද  තියාගෙන එහෙනම් අනිත් ටික පත්මට දෙන්ඩ කියල කිව්වෙ...ඔය ඉන්න ගහල තියෙන්නෙ අපිට අමතක වෙලා හායි කියල....මට තාත්තට කියන්ඩ වචන ආවෙ නෑ...මගෙ ඇස්වලට කඳුළු ආවා....ඇයි දෙයියනේ අපිට වැඩ කරන්ඩ ඉඩමක් නැතිවෙනවනෙ ඔහොම දන් දෙන්ඩ ගියොත්..."

මට යස්සයා ආවේශ විය. තාත්තා උපන් ගෙයි සිටම දන්දීමට උපන්නෙක් දැයි නොදනිමි. එහෙත් වැටහෙන කාලයේ සිටම තාත්තා කළේ ඒකය. ලෝකෝත්තර සැප සම්පත් උදෙසා ද නොවේ. ලෞකික සැපය තකා ද නොවේ. ඔහුගේ අඟේ දුවන රුධිරය දුප්පතුන්, අසරණයින් දකින ක්ෂණයකින් උණුවෙනවා ඇතිය. එනමුදු  තමන්ගේ  අන්ත දුප්පත් කමත් අන්ත අසරණකමත් ඔහුට නොවැටහෙන්නේද ? එසේ නොවන්නට හේතු නොතිබිය හැකිය. ඒ ඔහුගේ හැටිය. අසීමිත අවශ්‍යතාවයන් නොමැති ඔහු සිමිත සම්පත් දුක වුවද එය සැපයක් කොටගෙන ජීවත් වන්නෙකි.

එය තාත්තාට ආවේණික විය හැක. ඒ ගිය පාරේ යන්නට මට කොහෙත්ම අවශ්‍යතාවයක් නැත්තේය. මට සියල්ල තබා සීයෙන් පංගුවක්වත් දන් දීමට නොහැක. දන් දීමට පෙර ඊට අවශ්‍ය වටපිටාව මා විසින් සකස් කර ගතයුතුය.

මම වේගයෙන් දිව්වෙමි.  පළමු ලියද්ද පසු කළෙමි. දෙවැනි ලියද්ද පසුකළෙමි තුන්වැන්න, හතරවැන්න, ආදි වශයෙන් දසවෙනි ලියද්දද පසු කළෙමි. ලී දණ්ඩ උගුල්ලා ඈතට වීසි කළෙමි.

" යකෝ...මොනවහරි හදා ගන්ඩ දුන්නම එනව මෙතන තව මායිං ලකුණු කොරන්ඩත්...තාත්තගෙ කාලෙ කොරපුවා කරන්ඩ දැන් බෑ.. ..අමාලි....!," මම හයියෙන්  කෑ ගැසීමි.

" ලියදි හතරයි....ලියදි හතරයි....ඊට වැඩිය එක ලියද්දක් දෙනව නෙවෙයි...මං බලාගන්නංකො.. ආදෙන්කො උන්දැ.."  

යනිං එනිං ගමන් කොරටුව බලාකියා ගන්නා බැවිනුත් හදිසියකදී වතුර ටිකක් හරවා ගැනීමටත්  ඇයගෙන්
උදව් උපකාර ඇති යැයි කියා තාත්තා ලියැදි කීපයක් ඇයට දෙන්නටය කියා අමාලිට කියා ඇත. එසේ කියා ඇයට  ඉඩමෙන් කාලක් දීමට පුළුවන්කමක් නැත. එසේ දුන්නද ඉඩමේ මායිං ලකුණු කර ඉන්නක් සිටුවන්නට තරමේ හයියක් ඇයට කොහින්ද ? අපි එන්නට පෙර මාස ගණනක්ම කොරටුවේ ඇති පොල්ගස් වලින් වැටෙන පොල් ද ඇය විසින් බුක්ති විඳ ඇති බව අහළ පහළ  උදවිය පවසන්නේ ඔවුනට ඒවා භුක්ති විඳීමට නොලැබී යාමේ ශෝකය නිසා විය හැකිය.

" මාත් දවස් ගාණක් දැකල තියෙනව පත්මාවතී පොල් ඇහිඳිනව....අනේ ඉකිං ඕව කියන්න ගියොත් කේලම් කිව්වය කියනවනේ...ඒ හිංද කරබාගෙන ඉන්නව..." හරක් බඳින්ඩ යන ගමන්  ලතා නැන්දා අමාලිත් එක්ක කියනවා ඇසුණි.

යාය වටේටම  ඉන්නා උදවිය  අපටද වඩා ඉතාමත් අමාරුවෙන් ජීවිතය ගැටගහ ගැනීමට දරන්නා  වූ උත්සාහය මාද නොදැක්කා නොව. ඔවුනට අත දීමට තරම් අපගේ ආර්ථික තත්ත්වයද ඉතා ඉහළ මට්ටමක නැත. එහෙත් කෑමෙන් බීමෙන් අඩුවක් තියෙනවා යැයි කියන්නට තරම් වූ අහේනියක් ද ඔවුන්ට නැත. ඇතැම්විටෙක රජයේ වැටුප් ලබන්නෙක් ලෙස මා ජීවත් වන ආකාරයටත් වඩා උසස්ලෙස ඔවුන් ජීවත්වනවා නොඅනුමානය.

" ආං එනවා...ඔයාගේ නැන්දම්ම....." අමාලි සියුම් සිනහවක්  කට කොනට නංවාගෙන කිවාය.

" ඔහෙ ආපුදෙන්කො....හොඳවයින් දෙකක් කියන්ඩ .." එසේ  කීවද ඇය ලං වත්ම ඇයට කුමක් කියම්දෝහෝයි මගේ සිතුවිළි එහෙ මෙහෙ නලියන්ට විය....

" නැන්දම්ම මොකද අර ඉන්නක් ගහල තිබ්බෙ ලියද්ද කෙළවරේ...." මං ටිකක් සැරෙන් වගේ ඇහැව්ව.

" ඇයි කොල්ල...විමලෙයියනෙ ඔතන්ඩ එනකං වැඩකරගනිං කියල කිව්වෙ.." ඇය තෙපලාය..

" තාත්ත කිව්වෙ ලියදි තුන හතරක් දෙන්ඩය කියල.නැන්දම්ම මොකද ලියදි දහයක්ම අල්ලගෙන ..තව කෙළවරේ ඉන්නකුත් ගහල....ඒව මේව මං දන්නෙ නෑ..ඕන්නං අර උඩ තියෙන ලියදි හතරෙ මොනව හරි හිටෝගන්න එකයි ඇත්තෙ..මොකද ඉතිං අපිත් මොනව හරි හදා ගන්ඩ එපැයි...තාත්තට තේරෙන්නෙ නෑ..තව ටික දවසක් ගියොත් ඔක්කොම ටික වටේ ඉන්න ඔක්කෝටම දීල දායි...තරහ වෙන්ඩ එපා නැන්දම්ම..."

"මම එහෙම කියපු එකේ අසාධාරණ කමක් නෑ අමා ...මොකද එයාලට ඉඩං ඕනෙ තරම් තියෙනවා...ගෙදරට ටිකක් ලඟ හිංඳ යනිං එනිං  ගමන් මොනව හරි ඉන්දවන්ඩ තමයි ඔය අපෙනුත් කෑල්ලක් ඉල්ලන්නෙ..." ආපහු පාර පැත්තට  එන ගමන්  මූණ එල්ලන් උන්නු  අමාලිට මං  එහෙම කිව්වෙ ඇගේ බෙල්ලවටා අත යවන ගමන්.

" අනේ නිකා ඉන්න...එනව මෙතන බොරුවට...."

"බොරු මොනවද ඉතිං...අමා...මං හිතාන ඉන්නෙ  අඩි දහයෙ දාහතරෙ වගේ කාමරයක් හදල ලයිට් ගන්න. ඊටපස්සෙ අපට පුළුවන් මෝටරයක් අරන් බය නැතුව ගොවිතැන් කරන්න. එතකොට කවුරු හරි කුලියට දාල වුණත් කරන එක අමාරු වෙන්නෑනෙ....අර අර ගේට්ටුව ගාවින් හැරෙනකොටම තියෙන  පොල් ගස් ටික මැද්දෙ තමා කොම්පෝස්ට් වල හදන්න හිතාන ඉන්නෙ.....හොඳයි නේද..?" ඇත්තටම ඒක මයෙ හිතේ කාලයක් තිස්සෙ පැළපදියං වෙලා තිබුණු ආශාවක්. මං කොහොම හරි අපේ හේන  ආදර්ශ ගොවිපලක් බවට පත් කරනව කියල හිතාගත්තා...

" හරි හරි ඉතිං ඕව ගැන ඕනවට වඩා බලාපොරොත්තු පොදි බඳින්නැතුව ඉන්නකො අනේ......"  වෙනදා වගේම අමාලිගෙ කටකලියාව ගැලවුණා. මං සද්ද නොකර උන්න එයාගෙ කතාවට,හරියට පූස් අම්මට අවනත වෙච්චි  පූස් පැටියෙක් වගේ.

===============මතු සම්බන්ධයි===============

Saturday, September 17, 2016

අද දවස කළුවරයි


අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
රැළි වෙරළ හා පෙමින්
මොනවදෝ මුමුණමින්

මුදු සුලඟ තරහින්ද
විසල් රුක් ඇත නළවමින්
පැද්දෙමින් එහෙ මෙහෙට
අතු විටෙක වට්ටමින්

අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
නොඒ කිසිවක් කුරුටු ගෑමට
හිතේ සැනසුම කොහි ගිහින්

Wednesday, September 14, 2016

මම ලිවීම අත් ඇරියෙමි.... 02


මේ එතැන් සිටය
 
මම ලිවීම අත් ඇරියෙමි. ඒ මම ලියන්න නොදන්නාකම නිසාය,සිංහල  භාෂාව හැසිරවීම පිළිබඳ අඩු දැනුමක් ඇත්තවුන් , අඩුම තරමේ  නන ලල  බේදයවත් නොදන්නා උන් ලියන්න යෑමෙන් සිංහල භාෂාව විකෘති වන බවත් එය සිංහල භාෂාවේ පරිහාණීය ලක්ෂණයක් බවත් යම් හෙළ පඬිවරයෙක් පුවත් පතක සඳහන් කොට තිබුණි. හෙළ බස සුරැකීමේ පරම චේතනාවෙන් විනා වෙන යම් කාරණාවක් නිසා ලියැවිල්ල නතර නොකළෙමි. මම කියැවීම පටන් ගතිමි. පරණ පොත් අවුස්ස අවුස්සා ව්‍යාකරණ පොත්  සෙව්වෙමි. ඒ පොත් කියැවූ මුත් සියල්ල ක්ෂණයකින් අමතක වී යන්නා සේය. ඇතැම් විටෙක මා හට පැය විසිහතර ද ප්‍රමාණවත් නොවිණි. එහෙත් මා කළ කෙං ගෙඩියක් නොතිබිණි. භික්ෂූන් වහන්සේ නමක් කෝටියක් සිල් රකින්නා සේ කෝටියක් ප්‍රස්න හිතේ තදකරන් ඉන්න මා කෙසේ නම් කියැවීමෙන් ප්‍රතිඵලයක් ලබන්නේද...

" වැවේ වතුර ඇරල....දවස් දෙකයිලු වතුර දෙන්නෙ......"

" ඉතිං...මට දැන් මොකද කරන්ඩ කියන්නෙ...."

"ලියැදි ටික තෙමව්වනං දවස් තුන හතරක් ඇරල හාන්ඩ පුළුවන්...ටැක්ටරයක් හොයා ගන්න එකත් ලේසි වෙන්නෙ නෑ...දැන් ටැක්ටර් කාරයො ණයට හාන්නෙත් නෑල්ලු..."

"ඇයි !...එක ටැට්ටර් කාරයෙක් විතරද ඉන්නෙ...ඕකුං ගාවට යන හිංද තමා ඕකුං ගණං උස්සන්නෙ....වෙන එකෙක් ගාවට ගියානං හරි...."

" අනේ මේහ්....මගෙන් මොකවත් අහ ගන්ඩ එපා... කොටජිනේ මාමගේ ටැට්ටරේ විතරයි තියෙන්නේ...ඊයෙ දවසම ගම පුරාම ඇවිද්ද...හතර හංදි ගන්ඩ දෙයක් නෑ...ඇවිදලාම..හම්මේ....මගෙ මේ පැත්තම පණ නෑ වගේ......." එහෙම කියපු  අමාලි  අතු ගගා හිටපු කොස්ස බිත්තියට හේත්තු කරල දම්රෝ පුටුවකට බර දුන්න...

" හාංහ්....ඒකත් එහෙමද...?...එහෙනං ඔයත් ලෑස්ති වෙනවද මාත් එක්ක කොටුවට ගිහිං එන්න...."

" ඇයි..තනියම යන්ඩ බැරිද..? අනේ අනේ තාම  මං නැතුව බෑ නේද ? " අමාලි එයාගෙ මූණ  මගෙ මූණ කිටුටුවටම ලං කරල ඇහුවා....උදේ ඉඳන් වැඩ කරලම එයාගෙ මුණ දාඩියෙන් නැහැවිලා තිබුණ....

" දාඩිය දාල තියෙන්නෙ....ගඳ ඇති...ඉන්නකො මූණ එහෙම හෝදලා එන්නම්කො..." මගේ මුණට එබුණු අමාලිට හාද්දක් දෙන්න හැදුවම එයා  එහෙම කිව්ව....

" හරි ඒවගෙන් වැඩක් නෑ....ඉක්මනට ලෑස්ති වෙන්නකො....කොටුවට යන්ඩ......හැබැයි ආදායමෙන් ඔක්කොම දෙන්න බෑ.....අලුත් මාලයක් ගන්ඩත් බෑ.....ම්.....අපි තියෙන එක ටිකක් ලොකු කර ගමු......එහෙම හොඳයි නේද....? " අමාලිගෙ  මූණ පුංචිත්තක් වෙනස් වුණා....

" හරි හරි ඔක්කොම සල්ලි ඔයාට ඔයා කැමති දෙයක් කරන්න....."

මමත් කැමති නෑ අමාලි අවුවට පිච්චි පිච්චි වැඩ කරනවට. ඒත් දෙයියො අපිට හැම දේම සර්ව සම්පූර්ණ විදියට දීල නෑ. එයා කොටුවෙ මොන වැඩක් කරන්න ගියත් කම්මැලි නෑ...ඒත් ගෙදර ආවම එයාට ගොඩාක් අමාරුයි...සමහර දවස්වලට මං  මී තෙල් ගාල එයාගෙ මුළු ඇඟම තවනවා...එයාට දන්නෙම නැතුව නින්ද යනව...මං හැමදාම හීන දකිනවා...ඒත් එයානං කියන්නෙ "  ඔයා කවදාවත් ඕනවට වඩා කිසිදෙයක් ගැන  බලාපොරොත්තු තියාගන්න  එපා..." කියල...ඒත් මම නෙමේ බලාපොරොත්තු තියා ගන්නෙ එයා...මගෙ බලාපොරොත්තු විනාශවෙලා ගිහිං මාව දුක්වේවි කියල හිතාන එයා එහෙම කිව්වට එයා හිතෙන් ගොඩක් දුක් විඳිනව....කවදාක හරි මං ඇයව සතුටින් තියෙනව....

" ඇත්තටම ඔයාට මේ ජීවිතේ සතුටක් සැපක් නැද්ද?  වෙලාවකට මං  අමාලිගෙන් එහෙම අහනවා..

" සතුටක්....! ..හුහ්...ඔයා මගෙන් සතුට ගැනද අහන්නෙ....ගමනක් යන්ඩ  බයික්කයක් නෑ........"

බයික්කෙන් පටන් ගෙන එකී මෙකී දාහක් දේවල් කියන්ඩ පටන් ගත්තාය... එහෙම අහපු කට  තාම කපරාදු කරල නැති බිත්තියේ අතුල්ල ගත්තානං හොඳයි කියා මටම සිතුණි...එහෙත් සියල්ලන්ගේම ජයග්‍රහණය ඇයටම ලබා දී ඔහේ පාඩුවේ හිඳීමෙන් මට වන මදි පුංචිකමෙන් මා ගැලවී යා යුතුය...

" හරි...හරි...ඔයාට ඒවනෙ ඕනෙ නේද..? දෙන්නම් දෙන්නම් ඔක්කොම දෙන්නං...හැබැයි අද  ඉඳන් මං මොනවද කරන්නේ කොහෙද යන්නෙ කිසි දෙයක් හොයන්න තමුසෙට බෑ..තේරුණාද ? " මම නියෝග කළෙමි....

" සතුටනේ ඕනෙ දෙන්නං සතුට..අර අල්ලපු ගෙදර එකා දෙන්නෙ සතුට....ඔක්කොම ගෙදර තියෙනවා...නැති දෙයක් නෑ ගෙදර...ඒකි රෙදි හෝදන්නෙත් වොෂින් මැසින් එකෙන්...සතියෙන් ගේනවා ඔක්කොම  ගේනවා....ඉන්නවකො...මං තමුසෙට දෙන්නං සතුට පිරිල ඉතිරිලා වාන් දැම්ම වගේ වෙන්ඩ......හැබැයි එකක් මතක තියා ගන්නව...මාත් අදින්  පස්සෙ රේඩියෝ ගෙදර සුමනයා වගේ  බජාර් එකට ගිහිං කොල්ලො සෙට් එකත් එක්ක  ඉඳලා  ගෙදර එන්නෙ රෑ දහයත් පහු වෙලා....එතකොට හරිනෙ....ඒකනෙ තමුසෙට ඕනෙ නේ..." අවශ්‍ය  වූ ටික කියැවුණාදැයි නොදනිමි...එහෙත් එක වචනයක් එහෙ මෙහෙ වීමෙන් එය ඇගේ නැගිටීමට උත්තේජනයක්  වන බව මම හොඳාකාරවම  දනිමි. සියල්ල කණපිට පෙරළුණි.

" ඉතිං ඕකට ඔච්චර තරහ ගන්න ඕනැය..." ඇය මගේ බෙල්ලේ එල්ලී ගත්තාය.....

" සියල්ල සිදුවන්නේ යහපතටය " යන උදාන වාක්‍ය පෙරටු කොටගෙන ජීවත්වීමට දෛවෝපගතය. එහෙත් සියල්ල සිදු වී අවසන්ය...ජීවිත පමණක් සුරක්ෂිත බව ඉඳුරා කිව හැකිය.....දෙවන ලෝක යුද්ධයෙන් පසු දළු දමා ආවේ උණ ගස පමණකි....කුඩා කැබැල්ලක් පමණක් තබා ඉතිරි සියල්ලම ලෝක බලවතා යටතේ  පාලනය කිරීමට උත්සාහ ගත්තේය. එහෙව් රාජ්‍යක් අද ලොව සුපිරිම රටවල් අතරින් එකකි. ලඟම ඥාතීන්ද පමණක් නොව  ඇඳිවත ද උදුරා ගැනීමට තරම්   මහ මුහුද  අශීෂ්ට  විය. ඈට කිසිදිනෙක සමාවක් නොලැබෙනු ඇත. ඒ, ඒ තරමටම මිනිසුන්ගේ හදවත් වේදනාවෙන් පොඟවාලූ නිසාය.....එවන් මිනිසුන්ද අද සුපිරි ලෙස ජීවතය ජීවත් කරනු ඇත.. එහෙව් ලොවක දිවි ගෙවන මා  කුමණ නම් කතාවක්ද යැයි සිතේ....සියල්ලන් විසින් මා විහිළු කාරයෙකු නැතහොත් නූතන අන්දරේ  ලෙස නම් පටබඳිණු නියතය.....

මම  අමාලිත් සමඟ  කොරටුව බලා ගමන් කළෙමි. වසර දෙකක් තිස්සේ ගරාජයක් නොදැකපු මගේ තුන්රෝද රිය  ධාවනය කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ නොවුණොත් කබලෙන් ලිපට වැටුනා සේ මේ අස්සේ ඉස්පිරිතාල වලට සල්ලි වියදං කරන්නට කරමයක් නැති නිසාමය.

================මතු සම්බන්ධයි=================