Tuesday, March 31, 2015

රට අරක්කු නෙමේ අපිට කසිප්පු දීපල්ල....


මලනුවන් මිය ගොසින් ලද මුදලකින් තේ කඩයක් සදා
ටිකෙන් ටික එය වැඩි දියුණු කර ගත්තෙ මුළු දහිරිය යොදා
හදවතින් නොව බුද්ධියෙන් ඔහු වියාපාරය නිති හදා
සුදු වතින් ගිලිහී ගොසින් ඇත කලු වතට පැන විත් මෙදා

පුංචි ලාභය වටිනවා බඩු ගොඩක් විකුණන විටදි මාමේ
තාත්තට මගෙ කියූ හැටි මට තාම මතකය රෑක යාමේ
ලාබෙ වැඩි කොට දෙන්න බැරි විට අනිත් කඩවල් වැහිල යාමේ
ප්‍රවණතාවය වැඩි වෙලා අද එකම කඩයයි හත්වලාමේ

නියෝජිත තැන් බඩු බෙදා යන කියූ වදනකි මෙමට දිනයක
මගේ මිලටත් වඩා අඩුවෙනි ඔහුගෙ  බඩු මිල නොමැත සැකයක
වෙනත් කඩවල් ගමේ විකුණන සියළු දේවල් පුරා තෙමසක
මොහුගෙ කඩයේ විකිණිලා යයි පුදුම කරමින් එකම දවසක

ගමේ ඔක්කොම කුඹුරු හිමියන් ඔවුන්ගේ වී විකුණ ගන්නට
මොහුගෙ කඩයට යන්නෙ නිතරම ගත්තු ණය ටික ගෙවා ලන්නට
අහිංසක මිනිසුන්ගෙ මුදලින් මහා බිල්ඩිං කුඹුරු ගන්නට
කොච්චරක් නම් කපටි ඇද්දයි නොහැක කාටත් සිතා ගන්නට

ළතෙත් බව කාරුණික බව නම් දෙයක් නැත්තෙලු ජීවිතේ
බළල් මස් ගෙන විකුණලා හෝ මුදල් සෙවුමලු ජීවීතේ
බිරිද දරුවන් ඉන්නවාලූ කන්න නොමැතිව හාමතේ
උගන්වන්නට නැතිද කවුරුත් වටින බව මනු ජීවිතේ

මෑත දිනයක මගේ බිරිදට ඇසුණූ පුවතකි මෙමට කීවේ
සුරාසැලකට මුල පුරන්නලු සුරා බදු හා එකගතාවේ
පුරා හැම අත පොලු මුගුරු ගෙන  සුරාසැල වෙත ගම්මු ආවේ
සුරා සැල නැත පස් ගොඩක් ඇත ගම්මු ආගිය අත ගියාවේ.


Wednesday, March 25, 2015

අලුත් පාලමේ සුන්දරිය


අලුත් පාලම ලගින් බසය නතරකරන තාක් ම මාහට සිටගෙන ඒමට සිදුවිණ. පැය පහක පමණ වේලාවක් මැදියම් රැයේ සිට  කෙසේ නම් සිටගෙන එන්නේ දැයි මටම  නොවුණත් ඉදගෙන එන ඈයන්ටනම් හොදටම තේරුම් යන්නේය. ඒ මන්ද ..සිටගෙනම නින්ද ගොස් ඔවුන්ගේ ඇග මතම ඇතැමුන් වැටෙනා බැවිනි...මා බසයෙන් බැස ගතිමි. ඉර එළිය වැටෙන්නට ආසන්නයේවත් නොතිබිණි. ගමන් බෑගය දකුණු උරහිසට ගත් මා  කහ ඉර දිගේ ගොස් පාර මාරු වුණෙමි. ඒ වන විටත් පාන්දර පහට පමණ විය. ගෙදර සිටියානම් තවමත් කට්ටම කළුවරය. එහෙත්  මුළු පෙදෙසම ආලෝකමත් කරමින් අලුත් පාලමට දිවා කල පෙනුමක් දෙන්නට අපිට හැකි වෙතැයි  කියන්නාක් මෙන් දැල්වෙන වීථී ලාම්පු සාඩම්බරයෙන් අප දෙස බලා සිටින්නාක් මෙනි. ගමේ ටවුමේ අධික කාර්ය බහුල වෙලාවක වුව දැකිය නොහැකි තරමේ මිනිසුන්ගෙන්ද රථ වාහනයන්ගෙන්ද පිරි අධික තදබදයක් ඒ වන විටත් එම පාරේ දැකිය හැකි විය. කලාතුරෙකින් පැමිණෙන අපට ඇතැම් විට මෙය අරුමයක්ද වනු ඇත. කොළඹ සිට ගුවන් ‍තොටුපොල පැත්තට ගමන් කරන බසයක්  එනතුරු තියුණු ලෙස දෑස් දල්වා ඒ දෙස බලා සිටින්නට අපට සිදුවින. ඒ ඈතින් එන බසයේ නාම පුවරුව නොපෙනෙන බැවිණි. මා සිටි තැනට උඩින් තිබු ගසක අත්තක වසා සිටි කාක්කෙක්ගේ වසුරු පිඩක් චකස්..යන හඩින් බිම පතිත විය..විසිරී ගිය වසුරු මාගේ සපත්තු යුගලයට මද වශයෙන් ඉසිරී ගියෙන් මා වහා එතැනින් වෙනතකට ගෑටුවෙමි.

පසුපසින් තිබුණු කුඩා තේ කඩයක අයිතිකරු දොර නොඇරම කඩය අස්පස් කරනු පෙනේ. සෑහෙන වෙලාවක් සිටියද බසයක් ඒම ප්‍රමාද වූ බැවින් සිගරට්ටුවක් ඉරීමේ ආසාව තදින් දැනෙන්නට විය. හෙමින් සීරුවෙ කඩකාමරය  ලගට සේන්දු වුනෙමි. සිකරට් නෑ..හ්.. මළ පනින ලද්දෙකුගේ සුවරූපයෙන්  ලැබුණූ පිළිතුරෙන් මා වහා පාරට පැමිණියෙමි..ඒ තවත් මොනවා හරි  පනිනතොත් අන් අයගේ අවධානයට මා ලක්වීමට ඉඩ ඇතැයි යන නියත වූ බියකින්ය. සිගරට් බීම ගමනාන්තයට කල් දැමුවෙමි.

නානප්‍රකාර මිනිසුන්ගේ නානප්‍රකාර ක්‍රියාකාරකම් බලමින් නිකරුනේ කල් ගෙවාලන්නට මා හට සිදු විය. ඒ වන විට අප සිටි තැනින් ගමන් කරන බොහොමයක් වාහන ඈත ප්‍රදේශවලට ගමන් කරන ඒවා විය. ඇතැමෙක් ඈතින් ධාවනය වන බසයක් වෙත බසය ලගා ‍වෙන්නටත් පෙර  ඒ දෙසට දුවන්නට විය. එහෙත් ඒවා නොනවත්වා ධාවනය කරන්නේ ඈත ප්‍රදේශ වලට  ධාවනය වන බැවිණි. වරක් නොව කිහිප සැරයක්ම එසේ කළද යථාර්තය අවබෝධ කරගත්තාක් මෙන් පසුව සිටි ස්ථානයටම වී උන්නේ පසුව වටපිට විපරම් කරද්දී දැනුනා වූ ලැජ්ජාව නිසාදෝයි මට සිතුණි.

ක්ෂණයකින් මාර්ගයේ අනිත් පැත්තේ සිට කහ ඉර දිගේ පාර පැනීමට මාන බලා ඉන්නා කෙල්ලක මගේ නෙත ගැටින..ඒ ඒවන විට එතැන උන් එකම ගැහැණු පරානය වූ බැවින් යැයි මට සිතුණි. දිගු කලිසමකින් හා කහ පාටැති ටී සර්ට් එකක් පැළැදි ඇය පිටමත  ඇයට වාවා ගත නොහැකි යැයි සිතෙන තරමට විශාල වූ බෑගයක් විය. ඉතාමත් අමාරුවෙන් වුව ඇය අප සිටි පැත්තට පැන ගත්තීය. මාගේ දෙනෙත් ඇය දෙස බලා උන්නේය. මා පමණක් නොව මා ආසන්නයේම උන් වසර හතලිස්පහක් පමණ යැයි කිව හැකි වයස් ඇති පිරිමියෙකුගේද දෙනෙත්  ඇය කෙරෙහි ඇති බව  මට පෙනුනේ, මා දෙස ඇතැමෙක් බලා හිිදින්නේදැයි සැක හැර ගනු වස් වටපිට බලන කල්හිය. අප උන් තැනට මීටර්  දහයක් පමණ දුරින් ඇය ගමන් වේගය බාල වුණු අතර, එතැන්හි තිබු විදුලි කණූවක් ආසන්නයේ ක්ෂණයකින් බිමට නැමී වමණය දමන්නට වූවාය. බසයේ පැමිණ ගමන් මහන්සියට එසේ වන්නට ඇතැයි මට සිහිවිය. මට දුක සිතුණි. මා ඇය සිටි දෙසට ප්‍රතිවිරුද්ධ දෙසට හැරුණි. පෙර කී මිනිසාද ඇය වෙත දෙනෙත් යොමා උන්නේය. පැය කාලක් පමණ වේලාවක් ඇය විටින් විට වමනය කරන්නට වුවාය. විටෙක හිස ඔසවා තමා දෙස කවුරුන් හෝ බලාසිටින්නේදැයි සැක හැර දැන ගැනීමට මෙන් වට පිට බලන්නට වූවාය.

මා සිත දෙලොවක් අතර  තනිවිය. ඇයට කුමක් සිදුවීද යන්න විමසීමට යනවාදැයි මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන්නට විය. ඇය කෙල්ලක ත්, මා කොල්ලෙකු ත් බැවින් බලා සිටින්නවුන් මා ගැන වැරදියට සිතන්නට පුළුවනි මට සිතුණි. එසේ අසන්නට ගොස් ඇය විසින්ම මට ඇණුම් පද වලින් සංග්‍රහ කරන්නට වුව හොත් මා හට පොලොව පලා යන්නට නොසිතෙන්නේද...මගේ සිත මුමුණන්නට විය....මා එහි නොගියෙමි. පවු අසරණ කෙල්ල  ඇයත් මා මෙන් ඈත පිටිසර ගමක සිට මා මෙන්ම බසයක සිටගෙනම ආවා වන්නටද බැරි නැත. මෙහි සිටින කවුරුත් මා කවුරුන්දැයි නොහදුනන නිසා ඇය ලගට යනවා යැයි මගේ හදවත කොදුරන්නට විය. නැවතත් මා පසුපසින් සිටි මිනිසා දෙස හොරැහින් බැලීමි. එවිට ඔහු මා දෙසත් ඇය දෙසත් මාරුවෙන් මාරුවට බලනයුුරු මට පෙණින. මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. එහෙත් ඇයගෙන් සුව දුක් විමසීමටවත් ඇය වෙත ලගා වීමටවත් මගේ සිතුවිළි ඊට ඉඩ නොදුන්නේ මන්දැයි  මටම ගැටළුවක් බදුය.

මා ඇය වෙත නොගියෙමි. එහෙත් ඊට මොහොතකට පසු ඇය අප සිටි ආසන්නයට පැමිණියද පියවර දහයකට පමණ වඩා ලගටද නොපැමිණියාය. මා ඉතාමත් හොදින් ඇයගේ මුහුණ ග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරීමි.  ඒ වනාහි වනචර කමක් හෝ වෙනත් නරක ඡේතනාවකින් නොවන බැව් කියන්නට මා උත්සාහ නොගනිමි. පසු දින රැය මුළුල්ලේම මත් පැන් පානය කළ පුද්ගලයෙකුගේ මුහණකිය මට ඈ වෙතින් දකින්නය හැකි වූයේ. බොහෝ වේලාවක් බසයක නිදාගෙන පැමිණී ගැහැණියකගේ මුහුණක් එසේ නොවන බව මගේ හැගීමයි. මා ඉතා හොදින් ඇගේ මුහුණ දෙස පරීක්ෂාකාරිව බලා උන්නෙමි. ඇගේ දෙනෙත් ඉදිමි දොඹ ගෙඩි මෙන්ය. තෙල් ගතියෙන් යුතු ඇගේ දෙකම්මුල් හරියට කොත්තු ගසා අවසන් කරන ලද කොත්තු තැටියක් මෙනි. ඇය මුළු රැයම නිදි නොලබාම පහන් කල යුවතියකැයි මට සිතුණි.

පිටිසර ගම්වල සිට නගරයේ ඇති ඇගලුම් කම්හල් වල වැඩට එන ඇතැම් තරුණ යුවතියන්, තරුණයන් හා විවාහ නොවී, විවාහ වූවන් සේ එකට ජීවත් වන බව මා අසා ඇත. සාලිය අශෝක මාලා මෙන් ටික කලක් පමණක් ආදරයෙන් ඔකදවන ඔවුනොවුන් වෙන් වී යන්නේ දැන් දැන් ලාංකීය සංස්කෘතිය බටහිරකරණය වී ඇති සෙයක් පෙන්වමිනි.සැබෑ සුන්දරත්වයෙන් සෙනෙහසින් පිරි දීර්ඝ යුග ජීවිතයක් ඔවුන් අපේක්ෂා නොකරනවා ඇතිය. තාවකාලික ලිංගික ආලිංගනයේ යෙදෙමින් ඔවුන් පතන්නේ කුමන සතුටක්දැයි විටෙක මට සිතේ. ඇතැම් විට ඇණුම් බැණුම් පහර දී ගැනීම් වලින්ද ඔවුන්ගේ ජීවිත පෝෂණය වන්නා සේය.  නැවතත් හිමිදිරි පාන්දරට කිසියම් දෙයක් ‍සිදු නොවුවා සේ ඔවුන් හැසිරෙන අයුරු  මා දැක ඇත.  කරදර වලින්  බේරීමට බැරිම තැන හිමිදිරි පාන්දරම ඇය නිවසින් බැහැරට යන අවස්ථාද එමටය..මෙයට නගරයේ කියා හෝ ගමේ කියා වෙනසක් නැතිය...එසේනම් මැයත් එවන් යුවතියක් නොවන්නේද..මොළය සිතුවිලි මවමින් හා මකමින් උන්නේය...

නොහදුනන යුවතියක නොහදුනන පිරිමියෙකු දෙස ක්ෂණයකින් බලා නැවත ඔහු දෙස නොබලන බව මා දනිමි. බලන්නේ නම් ඒ කලාතුරෙකිනි. එහෙත් දැන් දැන් ඇය මා දෙසම බලා සිටින්නට වූවාය. මගේ සිත ලැජ්ජාවකින් මෙන්ම සියුම් වු චකිතයකින් වෙලී ගියේය.මා මොහොතකට  පසුපසින් සිටි  මැදිවියේ උන් මිනිසා දෙසට කිට්ටු වී අහක බලා ගත්තෙමි. ටික වේලාවක් වෙනතක බලා උන් මා නැවත හොරැහින් ඇය දෙස බැලුවෙමි. තවත් පිරිමියෙකුගේ උරහිසට ඉහළින් ඇය මා දෙස බලා ඉන්නා අයුරු මට පෙනිණ.

ඇය මන්ද මානසික යුවතියක්දෝයි මට සිතුණි.එහෙත් ඇදුමින් පැළදුමෙන් හා හැඩහුරුකමින් එසේ නොවන්නේ යැයි මගේ සිත මටම දොස් පවරන්නට විය .ඇගේ ඉදිමුණු දෙනෙත් යුගලය හා තෙල් සහිත මුහුණ නොවන්නට ඇය සුරූපිණියක් යැයි මට සිතුණි. ඒ කෙසේ වෙතත් මෙතෙක් වේලා මදෙස බලා සිටින ඇය කුමන හෝ සමාජ අසාධාරණයකට ලක් වූ යුවතියක් විය යුතුය.නොඑසේනම් සමාජයේ අසාධාරණ යැයි සම්මත රැකියාවක් කරන්නියකු විය යුතුයැයි  මගේ සිත උපකල්පනය කරන්නට විය.ගමින් නගරයට බට අහිංසක යුවතියක යන එන මං නොදැන අතරමං වූවාදෝයි මට වරෙක සිතුණී.

එසේ  නොමැත්තේ නම් ඇය නූතන නගර  සෝභිනියක් ද යන්නත් මා තුළ සියුම් සැකයක් ඉපැදිණ. දිනෙක අනුරාදපුර නගරයේදී  කාන්තාවක් මට අතවනා කතාකල අයුරු මට සිහි විය. ඇය වයස පනහත් ඉක්මවන ලද්දියකැයි මට සිතුනි. කිසිම දිනෙක ගණිකාවක් දැක නොතිබුණු මා මේ නම් ගණිකාවක්ම විය යුතුයැයි මා අවබෝධ කර ගත්තෙමි. ඔවුන් දැකීමත් පිළිකුලක් අප්පිරියාවක් දනවන්නකි...මැයත් එසේ ගණිකාවක් නම්  මා හට  ඉගියකින් හෝ ආමන්ත්‍රණය කරනු ඇත. අනුකම්පාවෙන් ඇය දෙස බැලූ මා කෙරෙහි වෙනත් වූ සංවේගයක් උපද්දවාගෙන එසේ මා වෙත ආමන්ත්‍රණය නොකිරීමෙන් ඇය ගණිකාවක් නොවන බව තහවුරු නොවන්නේද.?

ගැබිණියක් වීමේ මුලික අවස්ථාව වමනය දැමීමෙන් පසක් නොවන්නේද, කවුරුන්  හෝ පාදඩ පිරිමියෙකුගේ රුධිරයෙන් නිපන් කළලයක් ඇය කුස තුල දරා නොසිටින්නේද.. අනියත බියකින් මුසු සෝකීය දෙනෙතින් යුක්තව මා දෙස බලා සිටින ඇය දෙස මා සිතේ කිසිදු හැගීමක් පහළ වූවේද නොවූවේ ද යන්න පවා සිතිය නොහැකිය.

ගුවන් තොටුපොල වෙතට දිවෙන බසයක් අප  ඉදිරියට විත් නතර කෙරින. බසයට නැගි  මා නැවත වරක්  ඇය දෙස බලන්නට උත්සාහ කළෙමි. ඇය ඔහේ බලාන උන්නාය එහෙත් එම දෙනෙත් යුග කවුරු දෙස එල්ල වී ඇද්දැයි මා නොදැක්කෙමි. එහෙත් ඇය බලා උන්නාය.

Monday, March 23, 2015

ෆේස්බුකියෙන් හමු වූ ගුරුවරියේ


මිතුරන් සමග දොඩමලු වෙන වයිබරියේ
නුඹ එනතුරා නැත නින්දට ඉඩ හැරියේ
කවිපද මුමුණමින් මුළු දවසම සැරියේ
එනවද ඉක්මණට‍ හිතවත් ගුරුවරියේ

කාලය වටී මිල නොකලැකි විලස ලොවේ
මාලය වටී ගිරවට නැති වුණොත් තැවේ
ජාලය නොමැති තැන අප හමු වේද බවේ
තාලය අරන් රස විදපන් මගේ කවේ

රසවත් බව දැනෙයි දැන් දැන් නුඹෙ ඇසුර
හිත යයි සොමනසින් වෙත නුඹෙ මුව කතුර
පවසට බිදක් දිය හැකිනම් ඇල් වතුර
එය වෙයි සැබෑ මිතුදම හිතවත් මිතුර

පෙරදි රැයේ යුග ගැන දොඩමලු වූවා
තනියම ඉන්න මට අද එය සිහි වූවා
කවුරුත් නොමැති පැළ අද මම තනි වූවා
ගළපන විටදි සිවුපද දුක දුරු වූවා

මතකෙට ආවොතින් හිතවත මේ මිතුර
ඇරයුම් කරමි බැලුමට මගෙ කවි වතුර
වරදක් දුටුව හොත් අරගෙන නුඹෙ කතුර
නිවැරැදි කරනු මැන මම නොම වෙමි චතුර

පරබස උගන්වන හෙළ දරු පිරිසකට
‍නොකරන් අගරුවක් කිසිවිට හෙල බසට
හැකිනම් අදින්නට ඔසරිය විදුහලට
එය තව සේවයකි නුඹගෙන් සිරිලකට

Wednesday, March 18, 2015

ආදරණීය ශිෂ්‍යයෙනි, ශිෂ්‍යාවෙනි.




ආදරණීය ශිෂ්‍යයෙනි, ශිෂ්‍යාවෙනි.


නුඹ මෙන්ම අපද මේ පූජනීය වූ පාසල් මාතාවන්ගෙන් එකොළොස්වසක් මුළුල්ලේ අකුරු  උගෙන ගත්තෙමු. මේ බෝ සෙවණ යට  හිද අප සැමදා,  උදෑසන පන්සිල් සමාදන් වූවෙමු. අකුරු උගෙන ගත්තෙමු. අද නවීකරණය වී ඇති මේ බෝදී ප්‍රාකාරය එදා නටඹූන්ව ඇති කල්හි ඒ මත දුව පැන සෙල්ලම් කළෙමු. මකුළු දැල් වලින් ගහන පුංචි බුදු කුටියේ වැඩහුන්  බුදුන්වහන්සේ එදා පුංචි අප දෙස බලා සිටින්නට ඇතිය.
          විවේක කාලයෙහි පාසල පිටුපසින් ඇති ඝන කැලෑව අපගේ ක්‍රීඩාපිටිය විය. අප  හොරා පොලිස් සෙල්ලම් කළෙමු. සොරුන්ගේ අත් පිටුපසට බැද ගස්වල බැදීම පොලීසියේ රාජකාරිය විය. ඇතැම්විට සෙල්ලම අවසානයේ ප්‍රමාද වී පන්තියට පැමිණි අප පන්ති භාර ගුරුතුමාගෙන් පහර කෑමටද ලක් වුණෙමු.පාසල පිටුපස  කැලේ මැද හරියේ ඇති සියඹලා ගසෙහි නැග සීනි සියඹලා කන්නට අප ප්‍රිය කළෙමු.
          ලොකු හෝල් එක (අප එයට  එසේ ඇමතුවෙමු...ප්‍රින්සිපල්ට..අප ඇමතුවේ ලොකු සර් ලෙසටය...ඒ   වූ කලී  උපරිමාර්ථ වූ ගෞරව වචනයක් යැයි අද අපට සිතේ) පිටුපසින් තිබූ පොල් අතු සෙවිලි කල පන්ති කාමරයේ හිද  උක්කු මැණිකා ගුරුතුමිය හා  ප්‍රේමලතා ගුරුතුමිය  අපට හෝඩි පොත ඉගැන්වූ අයුරු තාම මතකය. පසුකලෙක ඒ පොල් අතු සෙවිලි කල පන්ති කාමරය කඩා දැමූ පසු ක්‍රීඩා පිටියට ආසන්නයේ කනේරු ගස් සෙවණේ  අප අකුරු උගනිපු හැටි තාම සිහිපත් කරමු. රම්බන්ඩා ගුරුතුමා හා   කොකොනට් ටො‍ෆී හැදූ හැටි කිසිම දිනක අමතක නොවනු ඇත.
          වැසි දිනයේ පිට්ටනියේ වලවල් හාරා පැහැදිලි වතුර  උනනවා දැකීමටත් ‍එම වතුරෙන් එම වලවල් පිරෙනු දැකීමෙනුත් අපගේ සිත් සතන් ප්‍රබෝධමත් විය.
          කරන ලද නොයෙක් වැරැදි උදෙසා අප විද ඇති දඩුවම් මේ යැයි කිව නොහැකිය...එහෙත් එය එකිනෙකාට අනුව වෙනස් වනු ඇත. ඒ  මෙන්ම කරන ලද යහපත් දේ වෙනුවෙන් අපට නොයෙක් අවස්ථාවන්හි පැසසුම්ද නොඅඩුව ලැබුණී.
          මහා සාගරය බදු ඒ අතීත සැමරුම් තුළීන් දිය දෝතක් ගෙන ඒම අප වරදක් කොට නොසිතන්නෙමු. මන්ද එසේ නොකොළෝනම් අප නිවට නියාලු බියගුල්ලන් නොවන්නේද.?.අතීතය අමතක කර ඇති මෘගයින් රැළක් නොවන්නේද?..අප එදාද අපගේ පාසල් මෑණියන්ට ආදරය කළෙමු. එය නොනිවෙන පහනක් ලෙසින් අදටත් අප හද මැදුරෙහි තැන්පත් වී ඇත්තේය.
          අද එදා මෙන් නොව අපගේ පාසල් මාතාව නොයෙක් අයුරින් පෝෂණය වී ඇත්තීය. නමුදු එදා මෙන් සුළුවෙන් තකන සමාජයක් නොව ඔබේ එක් පියවරකින්  ඔබේ ජීවිතය මහා පෙරළියකට භාජනය වනු ඇත. ඒ නිසාම ඔබ තබන්නා වූ පියවර  ඉදිරියටම තැබිය යුතු වන්නේය. ලැජ්ජාව බිය පාදක කොටගත් සංස්කෘතියකින් අප  පැවත එන්නෙමු. අනාගතයේදීත් එසේමය. එහෙත් අප ලජ්ජාව හා බිය ඇති කර ගත යුත්තේ අයහපත් දේ කිරීමට මිස යහපත් දෙයින් ගැළවීමට නොවේ. එසේ හෙයින් අප අපගේ සංස්කෘතිය ඒ ආකාරයට වෙනස් කර ගතයුතු නොවන්නේද.?
          ඔබේ දක්ෂතා ඇගයීමට හා දිරි ගැන්වීමට අප උත්සාහ කළෙමු.එහෙත් උත්සාහ කරමු යන සෘනාත්මක සංකල්පය හමුවේ එසේ කරන්නට අප අපොහොසත් වූවෙමු. අප  නැවත උත්සාහ නොකරන්නෙමු.. නමුදු අප එය කරන්නෙමු.ඔබ වෙනුවෙන්..සහ මේ රටේ ඉදිරි පරපුර වෙනුවෙන් අප එය කරන්නෙමු. අපට අවැසි උගත් මෙන්ම බුද්ධිමත්  නිර්මාණාත්මක භාවයෙන් පිරිපුන්  යහපත් පුරවැසියෙකු මේ සමාජය වෙත පිළිගන්වන්නටය.
          ඉතින්, ඔබ වෙනුවෙන් අප ඔහු නිර්මාණය කළෙමු. අප ඔහුට හුරුළු ගම් පුබුදුව යැයි නම් තැබුවෙමු. තවමත් බහතෝරන වියේ පසුවන ඔහු ලබන්නා වූ බක් මස 16 වන දින දොරට වඩිනු ඇත. ඒ මහා බක්මහ  සැනකෙළීය දිනයි..
          එදිනට ඔහු ඔබට වටිනා තෑගි රැසක් පිරිනමන්නට අදහස් පොදි බැදගෙන සිටී. එහෙත් ඒ වෙනුවෙන් නුඹට  කරන්නට යමක් ඇත. ඒ ඔහු වෙනුවෙන් කුමක්  හෝ නිර්මාණයක් කිරීමය. එය වූ කලී කාව්‍ය පන්තියක්, කෙටි කතාවක්, නිසදැසක්  හෝ ඕනෑම නිර්මාණයක්  ඔහු බලාපොරොත්තුවෙන් සිටී...එන්න ඔබේ නිර්මාණයත් සමග  ඔහු නොහොත්  හුරුළු ගම් පුබුදුව  ඔබ වෙනුවෙන් දෙනෙත් අයා බලා සිටී.

ප.ලි,   වෙන් වී ගොසින් පහලොස් වරක් ඇත්තේ
          නුඹෙ ආදරය සෙනෙහස අමතක නැත්තේ
          කළ දගකාරකම් මම නුඹෙ හද පත්තේ
          සිහිවන විටදි හද කදුලිනි සිප ගත්තේ

දුප්පත් හදවතට නුඹ දුන් අවවාද
විසිරී යයි කියා කිසිවිට සිතුවාද
නිතරම ඔබේ හැගුමන් හා වී හාද
මම වැඩ කරමි නොමදෙමි කාටත් වාද

සිප් කිරි පොවා අප ඇති දැඩි කරන්නට
නුඹ ගත් මෙහෙය මට බැහැ මිල කරන්නට
ඇති හැකි එකම දෙයනම් මට පුදන්නට
ඉඩ දෙනු මැනවී නුඹෙ ඇකයේ රැදෙන්නට