Friday, December 27, 2013

ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක

                                                             

 ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක

පිය කෙනෙකුගෙ සතුට නිම් හිම් නැතිය කියා
කාටත් කියනු නොහැකිය ඒ නොහිද කියා
ගැඹුරින් හදේ ඇති අදරැති  සෙනේ දයා
දැක අැගෙ සිනා නෙත කදුලින් බරව ගියා

නැගෙනාහිර අඹර දෙස බැලුවෙමි එක් රැයක
තරුවක් දිලිසෙමින් මා වෙත ඔච්චමක
දියණිය නිදාගෙන ඇද මත සිතුමිණක
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක

ඇද මත නිදාගෙන ඒ මේ අත පෙරැලේ
මොනවද මුමුණන්නෙ හිදගෙන මව් තුරුලේ
පියවන් නිදන හැටි නුඹෙ ඔය නෙත් සගලේ
දැකුමට තරු පන්ති ටික ටික උඩ ඉගිලේ

 කියනා කියුම් නිතරම හුරතල් ලෙසට
යන්නට එපා නුඹ සුදු යව්වන වියට
උම්මා දෙන්න වෙනදා මෙන්  මගෙ මුවට
එනවද මෙදා මෙන් හෙටටත් මගෙ පැලට

බමරුන් විදපු දින මට දුක කියපු හැටී
ගැහුනා මගේ රුධිරය එක තැනම කැටී
උඩුබැලි අතට ඇද මත නුඹ හිටපු හැටී
සයුරට ගලා ගොස් වැටුනිය කදුලු කැටී

හැම කවියෙකුම සරසති තම දූගෙ සිනා
මෙමටත් එයින් පැන යන්නට නොහැකි වුණා
හීනෙන් හිනා වෙන මා දෙස බලන මෙනා
දන්නෙම නැතුව රැය නිදිවර එළිය වුණා

Thursday, October 24, 2013


ජීවිතේ ජය ගන්න
ගොඩාක් අත්දැකීම්
ඕනෙ කියල අහල
තිබුණා
ලොකෙ ජයගත්ත මිනිස්සුන්ට
විවිධාකාර අත්දැකීම් තියෙන්න ඇති
විවිධාකාර
මමත් ගියා
ලෝකෙ ජය ගන්න නෙමේ
ජීවිතේ ජය ගන්න
හැබැයි
ඒකෙන් වුනේ
මට කෙලවිච්ච එක විතරයි
කොරා කොරා
ගොඩාරියක්
මෝඩකම් කරා
ඒව මෝඩකම් කියල කියන්නෙ වෙන කවුරුවත් නෙමේ
මගෙ ආදරණිය
අැඹෙණියම තමා
ඒ වෙන මොකවත් හින්ද නෙමේ
හිතන්නෙ නැතිව
කරපු හින්ද තමයි  කියල
උන්දැම මට දැන්
දහස්වතාවකට වැඩිය
කියල තියෙනවා
මොනව කරන්නද
කියල
දහහතේ කල්පනා කොර කොර ඉන්නවා
එහෙම කල්පනා කොර කොර
ඉන්කොට තමා තේරුනේ
ඒ  මෝඩකම් කරල තියෙන්නෙ
අත්දැකීම් ගොඩාරියක් එකතු කර ගන්න කියල................

(නිර්මානයක් කරන්න හිත ඉඩ නොදුන්නෙ වෙනදේකට නෙමේ ඒ දේටම තමා....... මෝඩකම් කරල පසුතැවී තැවී ඉන්නවට වඩා ඒ ගැන කල්පනා නොකර මොනව හරි කරන්න ඕනෙ කියල  දහස්වාරයක් හිතුණ වගේම නොයෙක් දේවල් කරා ....ඇත්තටම ප්‍රතිපල නැත්තෙම නෑ කියන්නත් නෑ.......මේකෙ මගේ මොකක් හෝ නිර්මාණයක් පළවෙනවා කියන්නෙ ඒ මගේ සතුට වගේම නිකන් ඉන්නෙ නැතිව මොකකින්  හරි ජයගත්තු වෙලාවක )  සමාවෙන්න ටික දොහක් එන්න බැරිවුණාට. ගොඩක් දේවල් තියෙනවා ලියන්න  එත් වෙලාවක් නැත්තෙ  ජීවිතයත් එක්ක පොර බදින නිසා... 

Thursday, September 5, 2013

දීග ගියත් මම තරුණයි


ලෝකෙ මොන යුද්ධ නතර වුණත් කවමදාකවත් නොනවතින යුද්දෙ තමා නැන්දම්මාගෙයි ලේලිගෙයි යුද්ධය. කිසිම ගෙදරක නැන්දයි ලේලියි සටනක් නැත්නම් එයද පුදුමයකි. එසේ සටනක් නැති ගෙයක් නැත්තේද නොවේ.මෙහි කතුවරයා කවුද යන්න මා නොදනිමි.දන්න අයෙක් වෙතොත් පවසන්න.
කොක් හඩලා කැකිරි තලයි - උදේ සවස පියර උලයි
කණ්නාඩියකින් දවසට - සිය සැරයක් මූණ බලයි

ඇයි මට නිතරම බණින්නෙ - මොන වැරදිද මම කරන්නෙ
රෑ සිහිනෙන් පවා මගේ - ඇදකුද නැන්දට පෙනෙන්නෙ

සාරි තුනක් දිනට අදියි - සංකර ලෙස කොණ්ඩෙ බදියි
උඹට ඇදුම් සපයන්නට - මගෙ පුතාගෙ පඩිය මදියි

ඔබ දැන් ලෝකෙට පරණයි - අළුත් ලේලි ගැන උරණයි
මූනෙ පියර ගෑවම ඇයි - දීග ගියත් මම තරුණයි

ගෙදරක ඇති දැඩි වුණාට - කටේ වචන සැර වූණාට
දෑතේ වැඩ මොකවත් බෑ - හම පමණක් සුදු වුණාට

මගෙ ලස්සන පිට පොත්තයි - ඔබ පවසන එක ඇත්තයි
තරුණ ලේලි කවදත් ලොව  - නැන්දට පමණක් තිත්තයි

කටනම් හරි සැරයි තිගේ - දෙපිට කැපෙන කතුර වගේ
මෙයින් අමාරුවෙ වැටුනේ - අසරණ කොළු පැටව මගේ

මගෙ පාඩුවෙ මම ඉන්නව - නැන්දගෙ හිත ගිනි ගන්නව
වැරදිකාරි ඔබද මමද - යන බව මුළු ගම දන්නව

ඔපිසරලෑ ගෙපිල වත්තෙ - කන්දෙ ගෙදර කුඹූර පැත්තෙ
උඹේ කටේ රතිඤ්ඤ හඩ - කොයි මිනිහද අහල නැත්තෙ

ඔබමයි රණ්ඩුව අදින්නෙ - කොහොමද මම නිහඩ වන්නෙ
රතිඤ්ඤාව පුපුරන්නට - නැන්දයි ගින්දර තියන්නෙ

මගේ ඇගේ පැටලි පැටලි - මට පෙන්වන පුදුම නැටිලි
උඹගෙන් ලෝකෙට මැවුනා - ගෙරවිලි සහ විදිලි කෙටිලි

ගෙයි දොරපිල අතුගෑවත් - මගෙ නිවැරැදිකම කීවත්
හොදක් අහන්නට නොලැබෙයි - ඔබගෙන් මට කවදාවත්

තී  මේ ගේ සැප විදීවි - මගෙ කොළුවා දුක විදීවී
මේ අපරාදෙට කපුවට - කවදාහරි හෙණ වදීවී

තව තව දික් වෙයි කතාව - මේ නම් අන්තිම වතාව
කසාදෙවත් කටු ගාලා - වෙන්කර ගන්නකො පුතාව

Tuesday, August 13, 2013

''මාත් සිත්තරෙක් හරිය''




පුංචි කාලෙ ඉදලම චිත්‍ර අදිනවා.... මකල දානවා .....හරියට  වෙරලෙ අදින චිත්‍ර වගේ  රැල්ලට හෝදාගෙන යනවා.  අන්න ඒ වගේ ඇදපු චිත්‍ර ටිකක් තියාගෙන හිටියා.... හැබැයි චූටි කාලෙ ඇදපු ඒව නෙමේ......කොටි සංවිධානෙ අන්තිම  හුස්ම අදින කාලෙ ඒ කියන්නෙ 2009 වසරෙ ඇදපු චිත්‍ර ටිකක්. දැන්නම් චිත්‍රයක් අදින්න තියා හිතන්නවත් බැරි තරම්.... අර දවස් වලත් එහෙමම තමා ඒත් හිත නිදහස් වෙලාවට ඇදපු චිත්‍ර ටිකක් ඔයාලට පෙන්වන්නම් හැබැයි මේ චිත්‍ර කාරයෙක් ඇදපු ඒව එහෙම නෙමේ මේ මමම ඇදපු ඒව දන්නවනෙ ඉතින් ......නේද? ඔන්න පළමු එක
                                                                   
එච්චරම පැහැදිලි නෑ මොකද ෆෝන් එකෙන් අරගෙන දාපු හින්ද වෙන්න ඇති. හැබැයි මේ  කවුද කියල හරියටම මතක නෑ...මම හිතන විදියට ශේක්ෂ්පියර් වගේ වෙන්න ඔනේ. ඒ වගේ ඉන්නවද කියල  හිතෙනවනම්  ඉතින් හොදයි
                                                                            
මං කිවුවනේ නිදහස් වෙලාවට ඇදපු චිත්‍ර කියල ඒ හින්ද බනින්න එපා මොන මගුලක්ද මේ ඇදල තියෙන්නෙ කියල.
                                                                                
මේකත් ඉතින් ඒ වගේ එකක් තමා අපි  ඔය ඉස්කෝලෙ යනකොට එහෙම අදින්නෙ.ලස්සන කෙල්ලන්ගෙ,නිලියන්ගෙ පින්තූර චිත්‍රකතා පත්තර වලින් අරගෙන මේකටත් ඉතින් ඒ සන්සිද්ධියම තමා
                                                                               
අනේ ඉතින් රූපෙ ඉන්නෙ කවුද කියල අදුරගන්න බැරිවුණොත් මට දෙස් තියන්න එහෙම එපා ඕන්
                                                                             
මේ චිත්‍රෙ දැකල මගෙ ඇඹෙණි මට පන්න පන්න ගැහුවා. ඇයි කියල හිතාගන්න පුළුවන්නෙ ඉතින් නේද. සමහරු නම් කියනවා අවුරුදු 60 ක් විතර ඇති කියල


මේ කවුද කියල නම් ඉතින් කියන්න ඕනෙ නෑනෙ නේද,  ඇමරිකාවෙ ජන නායකයෙක් කවුරුත් හොදයි කියන.
රාජකාරියෙ ඉද්දී රාජකාරි  කොල කැබැල්ලකම ඇදපු එකක් ඔය ඉරි කෑල්ලක් එහෙම ඉතුරුවෙලා තියෙන්නෙ පෑනෙන් ඇදපු නිසා. මට නඩු දායිද දන්නෙ නෑ. එක උරහිසක මොනවත් නැති නිසා නේද? මම නම් බය නෑ කවුද කියල අදරගන්න බැරි නිසා
ආය ඉතින් බොරු කියන්නෙ මොටද. මේව මං බලාන ඇදපු ඒව. මේ ඉන්නෙ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ ඉන්න මහ බලගතු චරිතයක්  හැබැයි මේ දැන් නෙමේ. ඉස්සර නටන කාලේ. ඒකනෙ මේ ලස්සන මූණක් තියෙන්නෙ.(මට විතරක්ද දන්නෙ නෑ නේද)
ඒකාලෙ මගෙ යාළුවෙක් හිටිය. එයාගෙ පෙමිවතියගෙ  උපන්දිනයට මොකවත් අරන්දෙන්න මිනිහට සල්ලි තිබුනෙ නෑ. පස්සෙ මිනිහ කිවුව චිත්‍රයක් ඇදල දෙන්න කියල මේ ඒකෙ පිටපතක්. හැබැයි මිනිහටත් මට වෙච්චදේම වුණාද දන්නැ

මේව  මම ඇන්දෙ ඩෙල්ෆ්ට් දූපතේ රාජකාරි කරන කාලෙ  මහා ලොකු ඉස්පාසුවක් තිබුණෙත් නෑ. මොකද යුද්දෙ අවසාන මොහොත නිසා. නින්දෙන් තමා මම කාලෙ ඉතිරි කරගෙන මේව ඇන්දෙ.

දැන්නම්  කාටුන් එකක්වත් අදින්න වෙලාවක් නෑ. ඒ වගේම හිතට එච්චර නිදහසක් නෑ.


Friday, August 9, 2013

හසරැල්ලක් රැගෙන ඔබ දැකුමට එන්නම්

 
අරලිය මල් පිපී සුලගේ වැනෙන සද
ලියමල් තිබේ ගෙමිදුල හැඩ කරන ලද
දැකුමට පමණි පින, නෙලුමට නොහැක අද
හදපිරි බැතින් කරනෙමි මා මුනිදු පුද

දහසින් පිරී ඇත පොත්ගුල මෙහි තිබෙන
නැත වාසනාවක් එය කියවන ලෙසින
පෙරලමි රූප පමණක් බැලුමට නෙතින
එයටද ඉඩක් ඇත්තේ පින් කල බැවිණ

මට මෙහි ගතවෙනා සැම මොහොතක් ගානේ
දරුවන් සමග ඔබ සිහියට එනවානේ
කන්නට ගත් පතද ගිලගන්නට බෑනේ
අවුරුදු දෙකක් තව ඉවසන්නට ඕනේ

පලයන් වරෙන් ගෙනිහින් තියපං මේක.
මැදපන් හෝදපං වැසිකිළි වැඩ නේක‍
හේනේ පැලේ වැඩ කෙරුවත් කිසිදාක
මගෙ හදවතට දැනුණේ නෑ දුක ශෝක

අහසට නැගුණ ගේ මත සදු නැගුණ පැයේ
පසලොස්වක පෝය දිනකිය උඩට ගියේ
සාවා හැර ගොසිණි සද මත නොමැති රැයේ
සිසිලක් කොහිද මෙහි හද සෝගිනිය ලයේ

දොරකඩ තිබු ගස්වල මල් පිපෙනවද
මී අඹ ගහේ මී මැස්සන් සිටිනවද
පොඩිඋන් මගේ අම්මා ගැන අසනවද
මා එනතුරා මග බලමින් සිටිනවද

දෝනිට මගේ බොනික්කෙක් ගෙන එන්නම්
පුතුනට ඇදුම් පොත්පත් අරගෙන දෙන්නම්
ගේ පොඩ්ඩක් හදා තැබුමට පුළුවන්නම්
හසරැල්ලක් රැගෙන ඔබ දැකුමට එන්නම්

.......චන්ද්‍රා හේමචන්ද්‍ර............

ප/ලි.
අම්ම ලගට වෙලා ඉදගෙන අම්ම කියන කවි පදයක් ගානෙ කොල කෑල්ලක ලියාගෙන ආයෙත් කාර්යාලයට ඇවිත් කොටල දැම්ම. මේ අම්ම පිට රටක රැකියාව කරන කාලෙ සිතුවිල්ලක් හැබැයි ලිව්වෙ දැන්  මට යන්න හදිස්සියි කියපු නිසා , වයසට ගියපු ඇස්දෙක චූටි කරගෙන ලියපු ටික කියවනකොට ඇස් දෙකට ආපු කදුළු ටික එහෙම්ම යටපත් කරගත්තෙ ලැජ්ජාවට නෙමේ. අම්මගෙ ඇස් වලිනුත් කදුළු එයි කියල බයට. ඒ අම්ම මොනව ලිවුවත් කිවුවත්, හොදයි අම්මෙ , ලස්සනයි අම්මෙ කියල කියන එකම පුතා මං  හින්ද වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මෙහෙම ලියනකොට මට මැවිල පේන්නෙ ඉස්කෝලෙ යනකොට අම්ම මාව කථික තරග වලට, නාට්‍ය වලට පුරුදු පුහුණූ කරපු විදිය . ඇත්තමයි එක විනාඩියක් අම්ම ගැන මතක් කරන්නකො. කදුලක් ඇස් දෙකට එන්නැතුව තියෙන්නෙ නැ සත්තමයි.

අම්ම නේක දේවල් අහනව මේ කවි ලියල දැම්මම මොකද වෙන්නෙ කියල . මම අම්මට කියනව, අම්මෙ මේක දානව මම කොම්පියුටරේට එතකොට ගොඩාක් අය මේව කියවනව. කියවල හොදයි ලස්සනයි කියල යටින් ලියල යනව කියල.... අර සීගිරිය බලන්න ආපු අය එක එක දේවල් ලියල ගියෙ අන්න ඒ වගේ .  ඒ ලියල ගියපුවා අද කුරුටු ගී වෙලා මිනිස්සු කී දෙනෙක් කියවනවද නේද. එතකොට ලැබෙන ආත්ම තෘප්තිය.
අම්මට කියල නිම කරන්න බැරි වේවි. කියල මම අම්මට කිවුව.




Saturday, August 3, 2013

අම්මා කෙනෙක් වුණි මම සෙනෙහස පෑව

                                                           


අම්මේ මෙමා හට බැහැ තනියම ඉන්න
ඔබ නැති ගෙදර පාළුයි සොහොනක් වැන්න
සෙල්ලම් කරන්නට මා සමගින් ඉන්න
පුංචිම නංගියෙක් මා හට ගෙන දෙන්න

මල්ලී මගේ පැවසු හැටි සිහි වෙනවා
කෙල්ලෙක් නැති ගෙදර පාළුව රජ වෙනවා
කොල්ලොම තුන්දෙනෙකි ගේ දොර හැඩි වෙනවා
සීදේවියක් ගෙදරට කැන්දන් එනවා

කොල්ලොම තුන්දෙනෙකි බාලම මේ කෙල්ල
නැත කිසි බියක් කරනව ඔක්කොම මෙල්ල
ජය ගන්නට සැවොම කරනා රැවටිල්ල
හැඩුමයි ඉතින් වෙයි කවුරුත් සැම මෙල්ල

කාලය කෙමෙන් ගෙවි ගෙවි ඈතට යනවා
ගෙදරට ප්‍රශ්න හෙන සැර මෙන් වද දෙනවා
තේ කොල සීනි කිරිපිටි අග හිග වෙනවා
අම්මා රටින් ඉගිලී පිටරට යනවා

මව් කෙනෙකුන් සිටින ගේදොර හරි සාරයි
ඒ ගැන හිතන විට මගෙ හදවත පාරයි
පුංචිම නංගි මගෙ පුත නුඹ හට බාරයි
අම්මා කියු හැටි හඩමින් සිත පාරයි

පාසල් ගොසින් එනතුරු පියතුම ගාව
හඩ හඩ ඉදියි නංගී එනතුරු මාව
අම්මා කෙනෙක් වුණි මම සෙනෙහස පෑව
මට අමතකයි බත්ගුලි හරි හැටි කෑව

හෝදපු හැටි කක්ක රෙදි ගෙයි ලිද ගාව
මගෙ යාළුවන් දැක ඇත නිතරම මාව
නළවන විටදි නිදිකෙරුමට මම ඈව
තාමත් මතක ඇත නැළවිලි ගී කීව

සමහර වෙලාවට නිදියන විටදී එයා
නැළවිලි ගීත් මා හට අමතකව ගියා
හඩනා විටදි කිරිවල රස මතක තියා
දන්නෙම නැතුව නිදිදෙව්දුව වෙතට ගියා

නළවපු ඇයව රෑයම  මම නිදි නැතිව
ඉන්නට පැතුවෙ මම නුඹෙ කදුලැලි නැතිව
හඩනා විටදි නංගී කුසගිනි ඇතිව
දෙනෙතින් කදුලු වැගිරිණි අම්මා නැතිව

හිරු වේගයෙන් කැරකෙන විට අප අතරේ
මගෙ ජීවිතෙත් විය වෙනසක් මේ කතරේ
වෙන් වී යන විටදි  නිවසින් සිටි  සතරේ
ඇය තරුවක්ය දැන් දිදුලන  නිල් අඹරේ





Tuesday, July 16, 2013

චීත්තෙ කැඩිලා ගෑණු කෙනෙක්ගේ විලාප දුන්හැටි මට..............



පොතකුත් පෑනකුත් අරගෙන ඇදට නැග්ගෙ  මොනව හරි කතාවක් ලියන්න කියල හිතාගෙන කල්පනා කර කර සෑහෙන වෙලාවක් හිටියා ඒත් කිසිම දෙයක් ඔළුවට ආවෙ නැහැ. කමක් නෑ ඒව පස්සෙ ලියනව කියල හිතාන පටන් ගත්ත කවි පදයක් ලියන්න.

කවි පද මතක නැති වී යන නිසාවෙන්
සිතුණා කවක් ගෙතුමට උවමනාවෙන්
සැමදා බැලූ මම ලිව් කවි සිනාවෙන්
අවසර පතමි ඔබ සැමගෙන් දයාවෙන්

කවියෙකු නොවෙමි මා හිතවත් සහෘදය
පදයක් ගොතමි පතමින් මා  විනෝදය
කවුරුත් ගෙනෙන විට තරමක් විවාදය
මා නම් ඉතින් හැමදාමත්         ප්‍රමාදය

තම රැකියාවෙ වැඩකටයුතු නිමා කොට
දුක් සෝ සුසුම්  මැද නගිනව බසේකට
මායිම් නොකර සරතැස ගැන තඹේකට
ලියනා කතා කියවමි මම අගේ කොට

ඇතැමුන් ලියන දේ මටනම් හරි ගැඹුරුයි
පැල්පත් දිවිය තුල ඒවා රජ මැදුරුයි
එනමුත් ඒව කියවන මගෙ හිත සොදුරුයි
තේරුම් ගතහැකිය ඈතක නැත නොදුරුයි

සිතුවිලි මගේ නිතරම එහෙ මෙහෙ යනවා
රජකාරියට නිතරම     වෙහෙසෙනවා
ඉඩ ලද විගස පරිඝනකය වෙත යනවා
ඔබ ලිව් කතාවක් වේගෙන් කියවනවා

වෙනසක් කිය කිසිවක් නැත කතාවල
හැමදේ අගෙයි මටනම් මේ කතාවල
කිසිවක් නොමැත කවදාවත් මෙමා හල
පුදුමයි අහෝ පුදුමයි මේ ලැගුම් හල

ගොවිතැන් කරපු හැටි ඉස්සර කුඹුරු වල
කර ගැට නැගෙන තුරු කෙටු හැටි හේන් වල
රෑ පැල් රැක්ක හැටි එළවපු රිලව් රැල
තාමත් මතක ඇත ගැලු  හැටි බතල අල

ඇල මංකඩ වල      වැව් මංකඩ වල        නාන්න ගිය හැටි                 මට මතකයි
රතු කරගෙන ඇස්     ගෑණූ උඩින් පැන     කරනම් ගැසු හැටි            මට මතකයි
චීත්තෙ කැඩිලා      ගෑණු කෙනෙක්ගේ      විලාප දුන් හැටි               මට මතකයි
වැව් ඉස්මත්තට     ගොඩවැදිලා මං        රාබිව් හැටි  හොද              හැටි මතකයි

අටන් අයිය හැලප කඩේ
හිරු මාතා සමග ඩුඩේ
මම ආවේ ඉදන් මඩේ
සමාවෙන්න ඉතින් අඩේ

නම් ඔක්කොම මතක නැතේ
සිතුම් සයුර කොනක ඇතේ
කවි ලිව්වා ඇතැයි සිතේ
නිදි දෙව් දුව වෙලෙයි ගතේ

කවි ලිය ලියා මම උන්නෙමි ඇද මත්තේ
නිදිමත වෙලා නිදි දෙව් දුව ඇග මත්තේ
එළිවෙන විටදි නම් මට විසුමක් නැත්තේ
දුරකතනයට ඇඹෙණිය රිං කර ඇත්තේ

පියවෙන විටදි දෙනයන කළුවර අස්සේ
මැවිලා පෙනෙයි නිදියපු හැටි පැල් මැස්සේ
මදුරුවො කාපු හැටි පොරවන නැති මැස්සේ
මතකයි උණ්ඩි වී හිටි හැටි මහ  වැස්සේ

ඔබ සැම වෙතට රස කවි ගෙන මා ආවේ
හැකි වෙර ගෙනයි සිවු පද ඔබ වෙත පෑවේ
දැන් මගෙ සිතත් ඔබේ සිතුවිලි හා යාවේ
මේ කවි ලියන මා නාවික         හමුදාවේ

මේ  අන්තිම කවි තුන නිදියගන්න කියල ගිහින් පෑනයි පොතයි මේසෙ උඩින් ගිහින් තියල ආවට පසුව  අරගෙන ලිව්වෙ. නැවත   පොත මේසෙ උඩින් තියන්න ගියෙ නෑ . ආයෙත් කවියක් මතක් වුණොත් ලියන්න කියල හිතාන




Sunday, July 14, 2013

බංඩ මහත්තයගෙ හදහන



                                                                                            
“පොඩි පුතා කවද හරි හොදට ඉගෙන ගෙන  ලොකු මහත්තයෙක් වෙනවා“   උදේ කෑමට සම්බලයක් අඹරමින් සිටි අම්මා ලගට මා කිට්ටු වූවෙමි.

“ අම්ම කොහොමද එහෙම කියන්නෙ“ මම ඇසුවෙමි.

“බංඩ මහත්තය කිව්ව!“

“ වෙන මොනවද කිව්වෙ..“ තවත් කියු දේවල් අහගන්නට මසිත කුතුහලයක් ඇතිවිණ.

“ හොදට ඉගෙනගෙන හොද නීතිඥයෙක් වෙනව කියල කිව්ව........“
                                
“බංඩ මහත්තය කොහොමද එහෙම කියන්නෙ“

“ ඔයාගෙ හදහන හදන්න ගියාම තමා කිව්වෙ“

“හදහනේ එහෙම වෙනව කියල ලියල තිබුණද“  මාගේ සිත කොහේදෝවත් නැති සතුටකින් පිරී ඉතිරී යන්නට විය.

“ ඔව් හදහනෙත් ලියල තිබුණා...“ යැයි ඇය පැවසු අයුරු දැනුදු මගේ මතකයේ ඇත.

ඒ මට යංතං වයස අවුරුදු දහයක් පමණ වෙද්දී අම්මා විසින් කියු දෙයකි. එහෙත් එකල මගේ ආශාව වූයේ  පොලිස් නිලධාරියෙකු වීමටය. ඒ හරි හැටි තේරුමක් නැති අවධියේය.මාගේ හොදම යාළුවාගේ කැමැත්ත වූයේ කොන්දොස්තරවරයෙකු වීමටය.

කුඩාකල සිටම මා පොත් කියවන්නට මහත් වූ රුචියක් දැක්වුවෙමි. එහෙත් ඒ රජයෙන් මට ලැබුණූ ඒවා නොවිණී. වැඩිපුරම මා කියැවුයේ අයියාගේ  පොත්ය. ගේ දොරකඩ පිලට වී  අයියාගේ සිංහල පොතේ තිබු   “මගේ රට“ “ අයියනායක“ වැනි කවි පන්තීන්  අල්ලපු ගෙවල්වලටත්, පාරේ යනෙන මිනිසුන්ටත් ඇසෙන තරම් හයියෙන් ගායනා කිරීම මගේ සිරිතය. එවන් අවස්ථාවක,

“ ඔහොම හයියෙන් පාඩම් කරාට මතක හිටින්නෑ... හිත යටින් පාඩම් කරන්ඩ ඕනෑ....“ තාත්තා කියයි.

“ එහෙම කරන්න පුළුවන් ලොකු අයට. පොඩි අයට එහෙම පාඩම් කරන්න අමාරුයි...උඹ ඔන්න ඔහොම පාඩම් කරපන්.....“ අම්මා කියන්නීය.

එතැනින් එහාට තාත්තා වචනයකුදු දොඩන්නේ නැත.  පාඩුවේ පොතක් හෝ පත්තරයක් බැලීම ඔහුගේ සිරිතය.

මා දක්ෂද අදක්ෂද යන්න මා හට නිශ්චය කල නොහැක්කකි. ඒ මන්ද කිවහොත් ගුරුවරු අහන සෑම ප්‍රශ්නයකටම මා එක එල්ලේම නියම පිළිතුරු දෙන්නා සේම කරන තරමක් වූ හිතුවක්කාර වැඩද කරන්නේ මා ඇතුළු කණ්ඩායම විසින් වීමය. එක් දිනකට දෙතුන් වතාවක්ම  ගුරුවරයෙකුගෙන් ගුටියක් දෙකක් නොකෑවානම්  ඇත්තටම ඒ පසලොස්වක පෝයදාට සිල්ගත් දිනයක්ම විය යුතුය.

වාසනාව හෝ අවාසනාව ගැන කියන්නට මා නොදනිමි. කිසියම් හෝ දෙයක අන්තිම ඵලය වාසනාව යැයි මා සිතමි. ඒ නොවුණූ දෙයකට වඩා සිදුවුණු දෙයක් හොද යැයි සිතාය.හරියට මට්ටකුණ්ඩලි කතා වස්තුව වගේ නොපෙනෙන දේකට වඩා පෙනෙන දේ  හොද නිසා බැවිනි. මා ශිෂ්‍යත්ව විභාගය  සමත් වූයේද අසමත් වූයේද නැත. සිදුවුයේ  පළමු වසරේ සිටම පාසල් ගිය එම පාසලේම නැවතත් හය වසරේ සිට පාසල් යාමට සිදුවීමය.එහෙත් මා නම් එය එතරම් මහා ලොකු දෙයකැයි නොසිතුවෙමි.

කාලය වේගයෙන් ගෙවුණි.සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවන්ගේ ප්‍රතිඵල ලැයිස්තුව  බිත්තියේ එල්ලා තිබු දැන්වීම් පුවරුවෙහි පළකර තිබුණි. මා මගේ නම ඉදිරියේ ඇති කුඩා කොටු මතට නෙත් යුග එබුවෙමි.
සිංහල....සී,....ආගම....සී,....ගණිතය...එස්.......ඉංග්‍රීසි....එස්........මා ඔක්කොම කියවා ගණන් හදා බැලුවෙමි.
සී හතරයි එස්  හතරයි......ඒ කියන්නේ අටයි හතරයි........මගේ සතුට කියා නිමකල නොහැකි විය. එහෙත් ඒ සතුට ඕනවට වඩා පෙන්නන්න නොගියේ  මාගේ ලගින්ම හිටි ඇතැමෙක් විභාගය ෆේල් වී සිටීම නිසා එය ඔවුන්ට හිත් තැවුලක් ඇති වේයැයි සිතාය.
මගේ හොදම යාළුවා ගණිතය විෂයයට ඩී සාමාර්ථයක් සහිතව ඉතාමත් ඉහළින්ම විභාගය සමත් වි තිබුණි.

“ කවද්ද කොන්දොස්තර ජොබ් එක භාර ගන්නෙ,...,“  මා ඔහුගෙන් විහුළුවට මෙන් ඇසීමි.

සිත සතුටින් පිරිලා ඇත ආදරබර අම්මේ
කියන්නෙ මම කෙලෙසද නුඹ වැලිකතරේ  අම්මේ
හැම රෑකම හීනෙන් මට නුඹ පෙනෙනව අම්මේ
විභාගයෙන් පාස් වෙලා පුතු නුඹගේ අම්මේ

මා අම්මාට ලියමනක් තැපැල් කළෙමි.

“නුවන් ඇයි උසස් පෙළ කරන්නෙ“  උසස් පෙළ කරන්නට  මා හට වෙනත් පාසලකට යාමට සිදුවිණ. එහිදී පළමු දින අප පන්තියට ආ නමුත් මා හොදට දන්නා හදුනන ගුරුවරයෙකු වන ජයවර්ධන සර් මගෙන් විමසීය.

“ සර් සමාජයේ හොද පුරවැසියෙක්  වෙන්න..“  මා එදා දුන් පිළිතුර එය විය. නමුත් එම  ප්‍රශ්නයම අදත් ඔහු මගෙන්  නැවත ඇසුවහොත්  මාගේ පිළිතුර වනු ඇත්තේ  ඔහු එදා දුන් අර්ථකතනයන්ට සමාන පිළිතුරක් වියයුතුය.

“ ඇත්ත. උසස් පෙළ ඉගෙන ගන්න හැම ශිෂ්‍යයයෙකුම සමාජයේ හොද පුරවැසියෙක් වෙන්න ඕන.ඒත් එහෙම වෙන්න උසස් පෙළ කරන්නම ඕන නෑ. නිකන් බලන්න මේ සමාජය දිහා, සමාජය කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. ඔය ඔයාලගෙ ගෙවල් වල ඉන්න උදවියම තමා . බලන්ඩ හොදට සමාජයේ ජීවත් වෙනවා නේද? සමාජයේ හොද පුරවැසියෙකු වෙලා ජීවත්වෙන්න උසස් පෙළ කරන්න අවශ්‍ය වෙන්නෙ නැති බව ඒකෙන් ඔයාලට වැටහෙනව ඇති. ළමයිනේ  අපි මහන්සි වෙන්න ඕන වෙන මොකකටවත් නෙමේ හොද රැකියාවක් ගන්න......“

මා විභාගය සමත් වුවෙමි.එහෙත් ඒ විශ්ව විද්‍යාලයට යන්නට තරම් නොවේ. සම්මාන තුනකි. ඉංග්‍රිසි විෂයයටද සාමාර්ථයක් ලැබී තිබුණි. එම වසරේ ඉංග්‍රිසි විෂයයට සාමාර්ථයක් අරන් තිබු එකම ශිෂ්‍යයාද මාම විය.

“ අපේ එකා විභාගේ පාස් වෙලා.........ඒ හොදටම ඇති.මොකද ආය ඉස්කෝලෙ ගියපු එකක්යැ.ඌ හරියටම ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ දවස් දහනමයයි.“ තාත්තා විසින් අම්මාට ලියු ලියමනක සටහන් කර තිබු අයුරු මගේ නෙත ගැටිණ. මා දවස් දහනමයක් පාසල් ගිය බව තාත්තා පවසන්නේ මා පාසල් ගියේ ඉතාමත්ම අඩුවෙන් බව හුවා දැක්වීමටය. එය අම්මා ද දනී.

දින කීපයකට පසු අම්මා මා හට ලිපියක් එවමින් කියා සිටියේ නැවත වරක් විභාගය ලියන ලෙසටත් අවශ්‍ය මුදල් අම්මා කොහොම හරි එවන ලෙසත් යැයි සදහන් කරමින්ය. අම්මාගේ එකම ආශාව වූයේ මා හොදට ඉගෙන ගන්නවා දැකීමය. එහෙත් මාගේ අධ්‍යාපනයේ අවසන් මොහොත වන විට ඇයට නිවසේ හිදීමට නොහැකිවීම  ඇයට මහත් වේදනාවක් ගෙන දුන්නා විය හැකිය. ඉස්කෝලෙ හයේ පන්තියේදී තිබු කථික තරගයකින් මා පළමුවැනියා විමත්,ඒ අනුව පලාත් මට්ටමින් කථික තරගවලින් ජයග්‍රහණ ලබා ගැනිම් වලදීත් වෙනත් නොයෙකුත් තරග වලදී මා ජයග්‍රහණය කරද්දී අම්මාගේ සිතේ ඇති වූ සතුට අපමණය.එය ඇගේ දෙනෙතින් මා හොදින් දැක ඇත. ඒ ගෙදර බුදුන් අම්මා වරු නිසාය.

හදහනෙ ලියල තිබුණත් ලොකු මහත් කල
නීතිඥයෙකු වන ලෙස සිරිලක පතල
දෛවය වෙනස් විය අම්මා නොමැති පැල
මුහුදට විසිකළෙමි ඔබගේ පැතුම් වැල

පොලීසියට යන්න කුඩා කල සිටම මහත් වූ ආශාවකින් සිටියත් එය ඇත්තටම හීනයක්ම විය. සෙන්ටි මීටර භාගයක් උස මදි වීම හේතුවෙන් පොලිස්  රැකියාව අහිමි විණි.
දිනෙක තාත්තා කියු දෙයක් මට සිහිපත් විය.
“ පොලීසියට යන්ඩ හොදට ශරීරෙ උස මහත තියෙන්ඩ  ඕනෑ..නැතුව මේ ඔය යන්නන් වාලේ ගියාට පොලීසියට ගන්නෑ,,,,“  තාත්තා එසේ කීවද මා සම්මුඛ පරීක්ෂණයට කැටුව ගියේද තාත්තා විසිනි.

මා පරාජය භාර ගැනීමට සුදානම් වූයේ නැත.සෙන්ටිමීටරයකට මගේ ජීවිතය බිලිදිය යුතු වන්නේද? මා උත්සාහය අත්හැරිමට පසුබට වූයෙමි. වත්ත පසුපස ඇති වල් අඹ ගසේ එල්ලී ව්‍යායාම් කළෙමි. පපුව සාදා ගැනීමට යැයි ඩිෆ්  පනහක් හැටත් දිනකට ගැසුවෙමි.  ඉන්ටව් එහෙකට අවශ්‍යම වන සාධක දෙකද  උස සහ පපුවය. මාසයක් විතර ඇවෑමෙන් මා සාමාන්‍ය තරමකට පැමිණි ඇති බව මටම සිතුණී. මා නැවත පොලිස් ඉන්ටව් නොගියෙමි.

එදා සම්බෝලෙ අඹරන ගමන් අම්මා කිව් වචන ටික අදටත් මගේ මතකයේ නොනැසී තියේ.මා අද නිතිඥයෙකු නොවුණද  යාන වාහන නොතිබුණද මහා මන්දිර නොතිබුණද අතට පයට වැඩකාරයෝ නොසිටියද  ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොලැබුවද මාගේ ආත්ම තෘප්තිය කිසිවෙකුටත් විනාශ කල නොහැක.

“මං ආයෙත් සැරයක් සාමාන්‍ය පෙළට ඉංග්‍රිසි ලියනවා.“ දිනක් මා ගෙදර ගොස්  අම්මත් තාත්තත් දෙදෙනාම සිටින  විටකදී  පැවසුවෙමි.

“දැන් මොකටද ඔය විභාග පාස් කරලා..... එහෙනම් ඉතිං බැදල දරුමල්ලො හදන්ඩ කලින් ඕව පාස් කරන්ඩ තිබුණ...“ 

“ නෑ නෑ එහෙම එකක් නෑ මම එච්එස්සී පාස් කරේ  සම්පතුත් හම්බ වුණාට පස්සෙ...“ තාත්තාගේ ඍණාත්මක වදන් හමුවේ  අම්මා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කලාය.

“ නීතිය ඉගෙන ගන්න මගේ හිතේ ලොකු ආශාවක් තියෙනව අම්ම.. ඉංග්‍රිසි වලට සී එකක් ඕනෙ ඒකයි ආයෙත් ඉංග්‍රිසි ලියන්නෙ....“ මා හිත තුළ වු මහත් ගාම්භිරත්වයකින් පැවසුවෙමි.ඒ... එවැන්නකින් අම්මාගේ හිත උද්දාමයෙන් උද්දාමයට පත්වන බව මා දන්නා නිසාය.

එදා සම්බෝලෙ අඹරන ගමන් අම්මා කිව් වචන මහා ලොකු හාස්කමක් ඇත්තාසේය. බංඩා මහත්තයාගේ හදහනේ යම් කිසි නිවැරැදි තාවයක්ද ඇත්තා සේය. ඒ කෙසේ වෙතත් මා හට එකක් පසක් වී හමාරය.

ඒ,

 අවුරුදු තිහක් ගෙවී ගියත් මා හට තාම හදහනක් නොමැතිවීමය.







.........සබද, ඔබේ වටිනා අදහස් හා ගුණ දොස්  මා දිරිමත් කරාවි.........


Saturday, July 6, 2013

මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත, දුර්භික්ෂය අත ලගයි.



මිනිසෙකුට ලොව ඕනෑම වස්තුවක් පිළිබදව විවිධාකාර ලෙස විග්‍රහ කොට යම් තාක් දුරට හෝ එක් නිෂ්චිත නිගමනයකට එළඹිය හැක්කේ ඒවා නොවෙනස්ව පවතින බැවිණි.උදාහරණයක් ගතහොත්  කාලගුණය.දීර්ඝ කාලයක් අධ්‍යනය කිරීමෙන් පසුව ස්ථිරවම නැතත් අද වසීවි හෝ අද තද අව් රෂ්මියක් වැටේවී යැයි  අනාවැකි පළ කල හැකිය.නමුත් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දා වූ (සියල්ල වෙනස්වේ) යන සංකල්පය නොව, සියලු දේවල් වෙනස්වන නමුත් බොහෝ දේවල් වෙනස් වීමට කාලයක් ගත වනු ඇත.

එහෙත් මේ මුළු විශ්වයම පිළිබද විද්‍යාඥයින් අනාවැකි පළ කලද එසේ අනාවැකියක් පල කිරීමට  බැරි එකම වස්තුව නම් මේ මිහිතලය රජකරන මිනිසා නමැති සත්ත්වයාය.මිනිසා වනාහි කුමන වේලාවක වෙනස් වේවවිදැයි කිසිම පුද්ගලයෙකුට අනාවැකි පළකල නොහැක,නිගමනයකට එළඹිය නොහැක. ඔහු ඒ තරමටම ඇතැමුන් විශ්වාස කරන පරිදි දෙවියන් විසින් නිර්මාණය කරන ලද අපූරු සත්ත්වයෙකි.

නයෙකු ද්ෂ්ඨ කරන්නේ ඔහුට හිරිහැරයක් පීඩාවක් හෝ බියට පත් වූ අවස්ථාවකය.මිනිසුන් විසින් ඉතාම දරැණු ඝනයේ සත්ත්ව කොට්ඨාශයක් ලෙසට සළකනු ලබන සිංහයා කොටියා වලහා පවා අහිංසක සතුන්ය.මාංෂ භක්ෂක බව සැබෑ නමුත් ඒ අපූරු ජෛව විවිධත්වයේ විශ්මිත නිර්මාණයක්ය.නමුත් මිනිසා තරම් කුහක අධම ගතිගුණ වලින් පිරී ඇති

මේ පොලෝ තලය මත සිදු වෙන්නා වූ දූෂන මිනිමැරුම් මංකොල්ල අල්ලස් ගැනීම් කැපිලි කෙටිලි මොලේ උසස් යැයි සම්මත මිනිසා විසින් කරනු ලබන ඒවාය.ඔවුන් ලග හැර වෙනත් කිසිම සත්ත්වයෙකු ලග තිබේ නම් ඒ නවීණ තාක්ෂනය ඔස්සේ නිර්මාණය  කෙරූ රොබෝවරයෙකු විය යුතුය. එසේනම් ඒ රොබෝ වරයාද යනු මිනිසෙකුමය. ඒ මිනිස් මොළයෙන් නිර්මාණය වූවක් බැවිණි.

මදුරුවන්ගේ මැස්සන්ගේ විෂ උගේ තුඩ අග ඇති බවත්, ගෝනුස්සාගේ විෂ උගේ නැට්ටේ ඇති බවත් ප්‍රකාශ කරන අලගියවන්න මුඛවෙටි තුමා  මිනිසාගේ විෂ උගේ මුළු මහත් ශරීරය පුරාම ඇති බව ප්‍රකාශ කරේ ඒ මේ අධම මිනිසාගෙන් බේරී සිටීමටය. නයෙකු පොළගෙකු දෂ්ඨ කල විට, දවසකින් හෝ දෙකකින් මිය යනු ඇත.නමුත් මිනිසා වනාහි  කුරිරු සත්ත්වයා දෂ්ඨ කලහොත් මුළු ජීවිත කාලයම විදව විදවා මිය ඇදෙන්නට ඉඩ ඇත. ඒ සතුන්ගේ හා මිනිසාගේ විෂවල ඇති පරාසයය්.


මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත.නමුත් මිනිසා බලහත්කාරයෙන් අත්පත්කරගෙන


ඇත.අහස් කුස පරයන මහා තට්ටු නිවාස ඉදිකරති.මහ මුහුද පරයන නාන තටාක හදති.එකිනෙකා පරයමින් විවිධ වු දේවල් නිපදවති.සදට යති අගහරුට යති. නව ග්‍රහලෝක සොයති.

මොවුන් ලගා කරගැනීමට තතනන දෙය කුමක්ද යන්න මහත් ගැටළුවකි. මෙය අද ඊයෙක ඇරඹුමක් නොවේ.මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම පැවතෙන්නෙකි.

අතීතයේ ගල් මුගුරු භාවිතා කොට සතුන් මරාගෙන ජීවත් වූ ගල් යුගයේ මිනිසා තම වර්ගයාගේ වර්ධනයත් සමග විවිධ උපකරණ නිර්මාණය කර ගැනීමත්, ගල් ගුහා වැනි සොබාවික වාසස්ථාන වෙනුවට ඔවුන් විසින් නව නිවාස තනාගැනීමත්, ජනගහණය පුලුල් වීමත් සමග තම වර්ගයා වෙනුවෙන් නායකයන් බිහිකරගැනීමත්, ලිංගිකත්වය,ලැජ්ජාව වැනි සංකල්ප බිහිවීමත් සමග ශරීර ආවරණයන් නිර්මාණය කර ගැනීමත් යන මෙකී නොකී දේවල් තව දුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින්නා වූ මෙවන් වු ලෝකයක් නිර්මාණය වී ඇති බව ඔබ කවුරුත් දන්නා කරුණකි.

අද ලෝකය ඇණ කොටා ගනිති. ලෝක බලවතා වීමට උත්සාහ දරති. තම බලය යොදාගෙන කුඩා රාජ්‍ය තම අණසකට ගැනීමට කටයුතු කරති.සම්බාධක පනවති,රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය කරති,වෙනත් රාජ්‍යයන් හි ඇති සම්පත් සූරාකෑමට අර අදිති.ගල් යුගයේද මේ සියල්ලම පැවතුණි. වෙනසකට ඇත්තේ එදාට වඩා නූතන මිනිසාගේ මොළයේ දියුණුවයි.මිනිසාගේ මොළයේ වර්ධනයත් සමග ලොව විනාශයකට ලක්වීමට ඇති ඉඩකඩ නිර්මාණය වනු නොවේද.

ලොව විනාශ වීම යනු  එය පුපුරා විනාශ වී යනු ඇතැමෙකු විශ්වාස කරයි. විනාශ වී යාම යනු එයමම නොවේ.  මිනිස්සු ඇණකොටා ගනීවි, මරා ගනීවි, ගංගා ඇළ දොළ සිදී යනු ඇත , ඕසෝන් ස්ථරය පළුදු වී පාර ජම්බුල කිරණ  කෙලින්ම පොළොව මතුපිට පතිත වී  විවිධ රෝග වර්ග හට ගනීවි.ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් හි වස විෂ තියේවි,ලෙඩ රෝග වලින් දුටු දුටු තැන මිනිස්සු මිය යාවි,ජෛව විවිධත්වය විනාශ වී යනු ඇත, න්‍යෂ්ටික අවි හැමතැනම තියේවී,රාජ්‍යයන් එකකට එකක් පෙන්වන්නවත් බැරි තත්ත්වයක් ඇති වේවි,ලෝකය පුරා  මහා දුර්භික්ෂයන් හට ගනීවී. මෙයින් සිදු වන්නේ ලෝකය විනාශ වීම නොවේද?

එහෙත් සිදුවිය යුත්තේ එය නොවේ. මිනිස් වර්ගයා තුළ අන්‍යේන්‍ය  අවබෝධය ඇති කල යුතුය. ඒ සදහා විවිධ  වු ක්‍රමවේදයන් සකස් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් විය යුතුය.නැතිබැරිකම තුරන්කල යුතුය.ළමයින්ට  ඉතා හොද ආගමිත වතාවත් පිළිපැදීමට සැලැස්විය යුතුය.මනා අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කල යුතුය.සැමට එකසේ ජීවත්විය හැකි පරිසරයක් ඇතිකල යුතුය.පරිසරය ආරක්ෂා කර ගත යුතුය. එසේ නොවන්නේ නම් එදා විශාලා මහනුවර ඇතිවු  දුර්භික්ෂය මෙන් නොව මුලු ලොව තුලම මහා දුර්භික්ෂයක් ඇතිවීම වළක්වනු නොහැකි වනු ඇත.

Tuesday, July 2, 2013

මම අත් හරින්නෙමි මේ එකගෙයි කෑම

                                                                 
   
ලැබිලා නැති නමුත් රජයෙන් සම්මානේ
රස කවි ගොතන්නයි මා හට නම් ඕනේ
හොද ගෙවිලියක් වෙමි මා දිනු ගම්මානේ
කවි කිවිදියනි මා හට අවසර ඕනේ

ඇරයුම ලැබුණ මුත් කවි පද ගලපන්න
මට සිදුවුනේ ඇද මත කැහැ කැහැ ඉන්න
හැකිවුණ නමුත් රස කවි අහගෙන ඉන්න
නෙතගින් ගැලු කදුලු බැරිවිය නවතන්න

තබනට මගේ ගම්මානෙට මතට තිත
ඔබ කිව් වදන් සමහර දෑ මතක ඇත
දුන් අවවාද පිළිඅරගෙන සියළු සත
මත්වන බීම අත්හැරියොත් වේය සෙත

කවි කිවිදියන් විත් කවි ලොව රගන විට
ස්ටීවන් කිවිදු සිහිපත් වුණිය මට
සිරිසර සවිය මා සිත යට පුබුදු කොට
යවහන් කියා දුන් හැටි සිහිවුණිය මට

නොතබා මතට තිත හිමි බිව්වොත් බීම
දරුවන් සමග ඇති සැප සම්පත් සෑම
නොතකා අතැර දා මින්පසු හැම දාම
මම අත්හරින්නෙමි මේ එක ගෙයි කෑම

හඩ දී ගැයුණ විට මැදියම් රැයෙහි නළා
ඔබ සැම දෙනා යන විට කවි සෙමෙර සලා
ඔබ හට නෑසුනත් මම අත් දෙකම සලා
අත්පොළොසන් දුනිමි මම ලෙඩ ඇදට වෙලා

මේ කවි පෙලත්  අම්මා විසින් ලියන ලද කවි පෙළකි. තවත් කවි කිපයක් ලියා තිබුණත් ඒවා මාහට  මෙහි ලියන්නට පැහැදිලි නැති නිසා පසුවට ලියන්නට තැබුවෙමි. දින තුන හතරක නිවාඩුවකට ගම රට බලා යන බැවින්  ඇය ලියු තවත් එක් කවක් මා ලියා යන්නට සිතුවෙමි.

කැක්කුම වැටි නිතරම රිදෙනවා දෙපා
කොදු ඇට පෙල රිදෙයි නෑ මට කිසිදු සැපා
දරුවන් නැති මෙමට රුපියල් අතට එපා
මේ වැනි දුකක් කිසි කෙනෙකුට වෙන්න එපා

ලනු ටික දිරා ටික ටික එළියට ඇද්දේ
සැමියා නිදයි කුදු වී ඒ ඇද මැද්දේ
උලමා හඩයි බියමුසු විලසට බැද්දේ
සිතුවිලි වලින් මාගේ හදවත රිද්දේ

පොත්වල අකුරු නොපෙනෙයි එළියට පානේ
සිහියට නැගේ කල වැඩ කුඹුරේ හේනේ
ඉපැයූ මුදල් කිසිවක් ඉතිරිව නැනේ
මා කොන්වෙලා අද වැඩකටයුතු බෑනේ

දරුවන් සිවුදෙනෙකි මා මව් කිරි දුන්න
අද නැත දූ පුතුන් මා තනියට ඉන්න
නෑ බත් පතක් වැඩිවෙයි මගෙ කුස ගින්න
මරුවාණනේ විගසින් මා වෙත එන්න

...................චන්ද්‍රා හේමචන්ද්‍ර.........................