Tuesday, March 6, 2018

පොලී සල්ලි





මම වරින් වර  කීප සැරයක්ම ඔහුගේ නිවසට ගියෙමි. එහෙත් ඒ එකම ‍මොහොතකවත් ඔහුව මට මුණ නොගැසිණී. පොලියට මුදල් දී දැනට සිව් මාසයක් ඉක්ම ගියද තුන්වැනි මාසයේ පොලී මුදල් ලැබුණේ නැත. කලට වෙලාවට පොලී සල්ලි දෙන්නම් යැයි කිවුවද පලවෙනි මාසයේම මුදල් ලැබුණේ දින පහක් ප්‍රමාදවය. එහෙත් අප තුළ පවත්නා හිතවත්කම් මත  එය එතරම් දෙයක් නොවුණි. එහෙත් දෙවැනි මස දින දහයක් පහළොවක් පමණ ප්‍රමාද වෙද්දී නම් මාගේ බිරිද මා දෙස නොරුස්නා බැල්මක් හෙලුවාය.

මොකක් හරි ප්‍රශ්නයක හිරවෙලා ඇති....මම ඇයගේ අභ්‍යන්තරික බියමුසු බව දුරලනු වස් කීවෙමි. ඒ වුවද ඇය හ්ම් යැයි කීවා මිසක නන් නොදෙඩවීමට වග බලා ගත්තා සේය.
බන්ධූල මල්ලි....”  ඒ නිමල් අයියාගේ කටහඩ විය....
මල්ලි මට ඔයාව පොඩ්ඩක් හම්බෙන්න ඕනෙ....හවස ගෙවල් පැත්තෙ ආ...වොත්....
එදින සවස් වරුවේ නිමල් අයියා හමු වීමි. ලක්ෂ ගණනක මුදලක් සීයෙට දහ‍යේ පොලියට ගෙන එය ගෙවා දැමීමට නොහැකි මට්ටමකට නිමල් අයිය පත් ව ඇත.
බන්ධුල මල්ලි...මේක ඔයා මට කරන ලොකු උදව්වක්...මේකෙන් විතරයි මට ගැළවෙන්න පුළුවන් වෙන්නෙ...
නිමල් අයියාගේ දැඩි පෙරැත්ත මත ඔහුගේ ඉල්ලීම ඉවත දැමීමට මා හට  නොහැකි තත්ත්වයක් උද්ගත විය.
එබැවින් සීයට පහක වැනි අඩු පොලියකට ම විසින් ඔහුට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් මාගේ කාර්යාලයේ සේවය කරන හිතවතකුගෙන් රැගෙන දුන්නේ සියලු කොන්දේසිවල බරපැන මාගේ කර මත තබා ගනිමිනි.

කොළඹ රැකියාවට ආ කල අප කොළඹට නුදුරින් කුළී නිවසක පදිංචිය වූවේ දියණියද නගරයේ පෙර පාසලකට දැමීමේ අදිටනෙනි. නිමල් අයියාගේ දියණීයත් මාගේ දියණියත් එකම වයසේ වූ බැවින් පෙරපාසලට ඇතුල් කළ මුල්ම දිනයේ පටන් අප සැම ඉතාම කුළුපග වූහ. එම හිතවත්කම් මෝරා වැඩෙනුයේ, චිත්‍රපට නැරඹීමට, සත්තු වත්ත නැරඹීමට, මූදු වෙරළට, ළමා උද්‍යාන වෙතට මෙන්ම එදිනෙදා ජීවිතයේ සියලු දේ එකට කිරීමට උත්සුක වුවාය. ලෙඩේදී දුකේ දී නිරෝෂනී අක්කා පිහිට වූ ආකාරය දැනුදු මගේ හදවතේ කෙළවරක තැන්පත් වී ඇති සේය. වත්සලා පඩිපෙලෙන් වැටී, කකුල කැඩී තුන්මාසයක් ඔත්පලව හුන් අයුරුත්, තුන්මාසයම ඇයව කැඩුම් බිදුම් වෙද මහතෙකු වෙත ගෙන ගියේත්, දියණිය පෙරපාසල් රැගෙන ගියේත් නිරෝෂනී අක්කාය. ඇය නොවන්නට තුන්මාසයක් නොව තවත් හය හත් මාසයක් වත් වත්සලාට ඇද මතම තපින්නට සිදුවනු ඇත.

එවන් මොහොතක මා නිමල් අයියාගේ කීමට අහක බැලුවානම් එය මානව හිතවාදී  ක්‍රියාවක් නොවනු ඇත. එය හිතවතෙකු විසින් නොව අමනුස්සයෙකු විසින් සිදු කරන ලද ක්‍රියාවක් වනු ඇත. මම පසු දිනම ගොස් ඔහුට අවශ්‍ය මුදල රැගෙන දුන්නෙමි.

මුදල් ටික දෙඅත්ලෙන් වත්තන් කරන් නිමල් අයියා ම‍ට වැන්දේය.

බන්ධුල මල්ලි..උඹ මනුස්සයෙක් නෙවී..දෙවියෙක්...
පිස්සුද නිමල් අයිය...සැපේදි එකට ඉන්නව වගේ දුකේදීත් අපි එකට ඉන්න ඕනෙ. ..නිමල් අයිය තියෙන ණය වලින් බේරෙන්න...ආයෙ ඉතින් ගෙවන්න තියෙන්නෙ පොඩි පොලියක්නෙ....ඒක කලට වෙලාවට ගෙවල දාන්න...යි මම පැවසුවෙමි.
මම ගිහින් එන්නම් මල්ලි......නිමල් අයියා පෙනී නොපෙනී යනතුරු මාත් වත්සලාත් මිදුලට වී බලා සිටියෙමු. වත්සලා අනේ හපොයි!  කියන්නාක් මෙන් මුහුණ අකුළාගෙන ගෙතුළට වැදුනාය. මම කිසිවක් නොදෙඩුවෙමි.
අක්කේ......අක්කෙ.....
මං ඒත් බැලුව මේ කවුද කියල.....එන්න බන්ධුල මල්ලි ගේ ඇතුළට...නිරෝෂනී අක්කා ගේ පෙරැත්තට මම ගෙතුලට වූයෙමි. කෝ..මේ..පොඩි උන් දෙන්න...
ඕං..ඔහේ සෙල්ලං කර කර හිටිය මල්ලියෙ...පොඩ්ඩක් ඉන්නකො...පුතේ......මේං බන්ධුල මාම ඇවිදිල්ල...”  පොඩි උන් දෙන්නා දුවගෙන විත් මා වටකර ගත්හ. මම සාක්කුවේ දමාගෙන තිබූ චොකලට් දෙක පොඩි උන් දෙදෙනා අත තැබුවෙමි. දෙදෙනාටම එය කඩා රස විදින තුරු ඉවසිල්ලක් නොමැත. නිරෝෂනී අක්කාද දොර උලුවස්සට හේත්තු වී එදෙස බලා සිටියාය. එහෙත් පෙරදී තිබූ ඇයගේ පියකරු වූ මුහුණ අද ඉරිතලා ගොහින් මෙනි. නිතර සිනාවෙන් තිබු තොල් සගල වියැලී ගියාක් මෙනි. පොඩි උන් තරගයට මෙන් චොකලට් හා පොරබදිති. යන්නට ආ ඈනුමක් තද කරන්නට ගොස් නිරෝෂනි අක්කාගේ දෙනෙත් යුග කදුලින් බර වූවාය.

මම එහෙනම් ගිහිං එන්නම් අක්කෙ....මම නැගිටිටෙමි.
අනේ..මල්ලියෙ තේකක් වත් බිල යන්නැතැයි..
දැන් බෑ අක්කෙ..මට වෙන ගමනක් යන්නත් තියෙනව...පස්සෙ වෙලාවක එන්නම්....
අනේ..මල්ලියෙ මට අහන්නත් බැරිවුනා මේ....ආවෙ මොකටද කියලවත්...අනේ මල්ලියෙ...ඇය පෙරැත්ත කළාය.
නෑ...මේ නිකං ආව....හුග දවසකින් එන්නත් බැරි වුණානෙ අක්කෙ.....ඔන්න වත්සලා මතක් කරන්න කීව....
මාත් මතක් කළාය කියන්න....මේ දවස්වල දරුවන්ගෙ ඉස්කෝලෙ වැඩ ගොඩ ගැහිල.. ඒ පැත්තෙ යන්න කියල හිතාන හිටියට ඒක කර ගන්නවත් කොහෙද ඉඩක්....” 

දෙමරක් අතර තනි වූවකු පරිද්දෙන් මගේ සිත කය භ්‍රමණය වන්නා සේ හැගිණි. එක් පැත්තකින් මා ඇපයට තබා ගෙන දුන් රුපියල් ලක්ෂ පහය. අනෙක් පසින් නිරෝෂනි අක්කාත් දරුවන් දෙදෙනාත්ය. නිමල් අයියා මගෙන් මුදල් ගත් බවක් ඇතැම්විට ඇය නොදන්නවා විය හැකිය. මා ගනුදෙනු කළේ නිමල් අයියා සමගය. නිරෝෂනී අක්කාට කියා විසදුමක් ලැබේවිද. එය  ඇගේ සිත දවා හළු කරන්නක් මෙන් නොවේද.

තුන්මාසය, හයමාසයක් බවට පරිවර්ථනය විය. නිමල් අයියා සොයා ගියද ඒ එකදු දිනයකදීවත් මට ඔහුව මුණ නොගැසින. එහෙත් නිමල් අයියාගේ කෙරුවාවල් පිලිබද සියලු තතු දැනගැනීමට මට අවකාශ ලැබුණි. නිමල් අයියා දැනට වසර දෙකකට පමණ පෙර මුදල් හදල් යහමින් තිබු ව්‍යාපාරිකයෙකු බව මාද දන්නා කරුණකි. එහෙත් ව්‍යාපාර පාඩු ලබද්දී ඔහු ණය ගෙන ඇත. එය ලක්ෂයේ සිට දහය දක්වාද පහලොව දක්වාද විකාශනය වී ඇත. එක ණයක් ගෙවන්නට තව ණයක් අරන් එය ගෙවන්නට තවත් ණයක් වශයෙන් ඔහු ණයබරිත වූවා මිස ණයෙන් නිදහස් නොවූවේය.

සියල්ල කණපිට පෙරළුණි. මා කාගෙන් නම් මුදල් ඉල්ලා ගන්නේද. තවත් නිමල් අයියා පසුපස ගොස් මගේ වටිනා කාලය නාස්ති නොවේද. කාර්යාල සගයාට පොලී මුදල් ගෙවන්නේ මට ලැබෙන වැටුපෙන්ය. සගයාගෙන් මුදල් ලබාගත්තේ මමය. ඔහුට පොලී මුදල් ලබා දිය යුත්තේද මම විසින්මය. මේ වන විට පස් මාසයක් පොලී මුදල් දී අහවරය. තවත් දෙන්නට මුදල් මට ඉතිරිවන්නේද නැත. වත්සලා නිසා මා හුස්ම පොද අදිමියි සිතේ. නොඑසේනම් මා.....

මගේ අලුත්ම ත්‍රී වීලය මම විකු‍ණූවෙමි. එයින් ලැබුණු මුදල් ගෙනගොස් කාර්යාල සගයාගේ ණය බේරුවෙමි. වත්සලා  වදනකුදු නොදෙඩුවාය.
අපි තව වාහනයක් ඉක්මණටම ගමු”  ඇගේ දෙනෙත් කදුලින් පිරෙනු මම දුටිමි. ඇය ගෙතුලට දිව ගියාය. මම ඇයට ඇති තරම් හඩන්නට ඉඩ දුනිමි.

පසු දිනෙක මම නිමල් අයියාගේ ගෙදරට ගියෙමි. කිසිදු සබ්දයක් සවන් නොවැකිණ. අක්කේ....මම  ටිකක් හයියෙන් කතාකළෙමි.
මල්ලියෙ....ගෙතුළින් ආවෙ පෙර සිටි නිරෝෂනී අක්කා නොවේ. ඇය පරඩැලක් සේය. ගැරඩියෙකු විසින් හැර දමන ලද හැවක් මෙන් යැයි මට සිතුණි.
අක්කෙ...කෝ දරුවො දෙන්න...මම දරු දෙදෙනා කෙරෙහි සැළකිලීමත් වීමි.
ඔන්න ඔහෙ හිටිය මල්ලියෙ...
සදුනි....මම දියණියට කතා කළෙමි...කිසි හැල හොල්මනක් නැත. කිසි දිනෙක නොගිය ඔවුන්ගේ නිදන කාමරය දෙසට මගේ පා ගමන් කලේ ඇයි දැයි මට නොහැගේ. දරුවන් දෙදෙනා වකුටු වී නිදාගෙන උන්නාය.
නිරෝෂනි අක්කෙ  ඇයි මේ....මගේ සවන් යුගලයෙන් පටන් සියොලග පුරා දහදිය ගලන්නට පටන් ගති.
මල්ලිට මං කොහොම කියන්නද මල්ලියෙ...දවස් දෙකකින් ලිප පත්තු කරේ නෑ. තාම පොඩි උන් බඩ පිරෙන්ඩ බත් ඩිංගක් කාල නෑ. උන් හාමතේට වකුටු වෙලා නිදි මල්ලියෙ. මං කාට කියල කියන්නද මල්ලියෙ. මගෙ කියල කවුරුත් මේ ගමේ තියා ගං හතකවත් නෑ මල්ලියෙ.....නිමල් අයිය ආගිය අතක් නෑ...මං කොහොම කියන්නද මල්ලියේ ඔයාට මේව...ඇය විලාප දෙන්නට වූවාය....

පොඩි උන් ‍දෙදෙනාට ගෙනා චොකලට් දෙක මේසය මත තබා මම එලියට බැස්සෙමි. කටක් ඇර ලක්ෂ පහක් ඉල්ලන්නේ නිරෝෂනී අක්කාගෙන්ද...එහෙමත් නැත්තම් අසරණ  පැටව් දෙන්නාගෙන්දැයි මගේ හදවත විමසන්නට වූවේය. ආගිය අතක් නැති එකෙකුගෙන් මුදල් පතන්නේ කොදු නාරටියක් හිමි අයෙකුදැයි මම මාගෙන්ම විමසුවෙමි. මම පයින්ම ගෑටුවෙමි. මින් මනත මම නිමල් අයියාගෙන් මුදල් නොඉල්ලමි. එනමුදු මම දානපතියෙකුද නොවෙමි. ඒ මට කරකියා ගත නොහැකි බැවිණී.
මම  සිල්ලර කඩයකට ගොඩ වුනෙමි. අතේ ඇති මුදලට සතියකට තරම් සෑහෙන බඩු ටිකක් ගත්තෙමි.
 “වෙන මොනවද? යි” මුදලාලි අන්තිමට ඇසුවේ තවත් කුමක් හෝ දෙයක් අමතක වී ඇත්නම් මතකයට

නගා  ගනු පිණිසය....”

“ම්........”

“ චොකලට් දෙකක් දෙන්න”

8 comments:

  1. කොමන් කතාවක් අන්කොමන් හැකියාවකින් ලියල තියනව.

    ReplyDelete
  2. වැව්. සුලඹ කතා වස්තුවක්. උඹේ වෙනදා කෙටි කථා වලයි මේකෙයි වෙනසක් දැණෙනවා මට.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ගෙදරකට කන්න බඩු ටිකක් අරන් දෙන එකනම්....ජාති ජාති පලදෙන පිනක් මචො....

    ReplyDelete
  4. /// නිමල් අයියා දැනට වසර දෙකකට පමණ පෙර මුදල් හදල් යහමින් තිබු ව්‍යාපාරිකයෙකු බව මාද දන්නා කරුණකි. එහෙත් ව්‍යාපාර පාඩු ලබද්දී ඔහු ණය ගෙන ඇත. එය ලක්ෂයේ සිට දහය දක්වාද පහලොව දක්වාද විකාශනය වී ඇත. එක ණයක් ගෙවන්නට තව ණයක් අරන් එය ගෙවන්නට තවත් ණයක් වශයෙන් ඔහු ණයබරිත වූවා මිස ණයෙන් නිදහස් නොවූවේය. ///

    රටට වෙලා තියෙන දේම තමයි රටේ බහුතර මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ...
    ඕක තමයි යතාර්ථය...

    කතාව එළ මචං...

    ReplyDelete
  5. ආයේ ටොපියක් කෑවද පුතේ

    ReplyDelete
  6. දැනුණා. හරි සජීවියි ඔබ ලියන විදිය.

    ReplyDelete