Monday, August 29, 2016

මම ලිවීම අත් හැරියෙමි



"ඔයා රස්සාවක් කරන්ඩ ඕනෙ නෑ" තනි එන්ජින් එකකින් ගේම ගෙනියන්ඩ පුළුවන්ය කියල හිතාගෙන ඇයට මම එහෙම කිව්ව. ඒත් ඉතිං ඇත්තටම බැලුවම ඒ කාලෙ හැටියට එංජින් දෙකක් මොකටද  සල්ලි හම්බ කරන්න. ඉස්කෝලෙ ගිහිං අහවර වෙන්ඩත් කලින් කසාද බැඳපු අපි දෙන්නට. ඒක එහෙම උනත් පහු පහු වෙනකොට ඒ කියන්නෙ පවුල දෙන්න තුන්දෙනා වෙනකොට තුන්දෙනා හතර දෙනා වෙනකොට අර කියපු මතේ මට ඉන්ඩ බැරි වුණා. ඒ මොකද ඒ වෙනකොටත් ණය බරින් ජීවිතේ හෙම්බත් වෙලා උන්නු හිංදා. හැමදාම ජොබ් එක කරා විතරයි. පුද්ගලික අංශෙට වගේ වැඩ කරල සල්ලි හොයන්න අතිරේක කාල තිබුනෙ නෑ. ඒත් හුඟක් අයනම් කියන්නෙ ඒ ගන්න පඩිය ඉහටත් උඩින් කියල. මට නම් අනේ මංද කියල තමයි හිතෙන්නෙ. ඒ ඉතිං කොච්චර ලැබුණත් අපේ හිත් සතුටු කරන්ඩ බැරි හිංදද කියලත් මට වෙලාවකට හිතෙනවා. අම්මේ ආයෙ නම් ජීවිතේටවත් ණය ගන්නෙ නෑ කියල හිතන වාර අනන්තයි. ඒත් ඉතිං ණය ගන්න හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. සමහරවිට මෙහෙම හිතන එකම එකා මේ මමම වෙන්න ඇති මේ රටේම ඉන්න.

තාත්තගෙ අයගෙන් කියල බිං අඟලක් නොලැබිච්චි අම්මගෙ වතුපිටි වලින්ම ජීවත් වෙච්චි තාත්තගෙන් මං මොනව කියල ඉල්ලන්ඩද......ඒ තාත්තගෙම පුතෙක් වෙච්චි මං ඒව ඉල්ලනවනං හතර විලිලැජ්ජා නැති එකෙක් වෙන්ඩ ඕනෙ. තාමත් තනියම හේනට වෙලා වැඩ කරනවා. ඉහින් කනින් දාඩිය වගුරෝගෙන.ආරෝහ පරිනාහ දේහයම නොතිබුණත් මම දැකපු විදියටනං ඒ දවස්වල තාත්තට තිබුනෙ කර්කෂ අව්වට, ඉඩෝරෙන් ගිනියං වෙලා ගිය මහ පොලොවටම කියාපු ශරීර ස්කන්ධයක්. උඩුකය නිරුවතින් හැමදා වැඩ කරන තාත්තගෙ පිට කොන්ද ඈතට දිලිසෙනව. දාඩිය දාල. පපුතුරේ තියෙන රෝම කූප ඈතට පෙන්නෙ හරියට උදේට තණමත ඇති පිණි  වගේ....දාඩිය වලින් මුලු පපුවම වසාගෙන ගිහිං පෙකණිය ගාවින් සරං පොටට උරා ගන්නව. කවදාවත් තාත්ත හිසට ආවරණයක් කඳට ආවරණයක් දාගෙන වැඩ කරපු දවසක් මුඛ ආවරණයක් දාගෙන තෙල් ගහපු දවසක් මට මතක නෑ... ඒ ඇයි කියන්න දන්නෙත් නෑ.....එහෙම කරන්න කිව්වට එයා කරන්නෙත් නෑ...

මං  වෙනුවෙන් ජීවත් වෙන මං නිසා ජීවත් වෙන අයට සැපවත් විදියට ජීවත් වෙන්න ඕන දේ සපයා දෙන්න තිබුණනම්  මට ඒ  ඇති. කප්රුක් පූජාවට එන්න කියල මට කියපුවාම මම එයාට දුන්න උත්තරේ ඔන්න ඕක. ඒත් මං දන්නවා බුදුන් වහන්සේට පුදන දේ තුළත් තමන්ගෙ අය වෙනුවෙන් කරන දේ තුලත් තියෙන්නෙ හාත්පසින්ම වෙනස් ආකාර දෙකක් කියල. ඒත් මං හිතුවෙ තමන්ගෙ අයට කරල පස්සෙ දවසක බුදුන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනවා කියල.ඒ සියල්ලත් මම වෙනුවෙන් කියන්නත් මමය මාගේය යන්න බුදු සමය තුළ නොපවතින දෙයක්ය යන්නත් මම දනිමි. සමහරවිට මා ප්‍රමාද විය හැක. කොහොමත් ඔය කිසිම පූජාවකට වඩා ප්‍රතිපත්ති පූජාව ඉස්සරහින් තියෙන නිසාත් ඒ සියල්ලම නැතත් හැකි හැම විටම උපරිමයෙන් ප්‍රතිපත්ති රකින නිසාත් යැයි සිතා මම මගේම සිත සනසා ගත්ත.

තුන්වෙනි පන්තියේ නෙමේ ඊටත් පහළ පන්තියේ යැයි සිතිය හැකි පන්තියක සිටි අප  කන්නක් පාසා  වැඩ කළ අඳ කුඹරු කෑල්ල නැතිනං අපේ ජීවිතත් අද ඝණ අන්ධකාරේ ගිලී පවතිනු ඇත. අපේ ජීවිත වල සියලු අපේක්ෂාවන් මුදුන් පමුණුවන්නට මව් පාර්ශවයෙන් ලැබුණූ පුංචි ඉඩම් කෑල්ල ප්‍රමාණවත් නොවුණී. දෙමාපියන්ගේ ද අපේක්ෂාවන් වූ අපද ඔවුන්ගේ බලාපොරොත්තුද සුන් කරමින් කරගත් දේ නොසන්ඩාල මුත් ප්‍රස්න අටෝරාශියක් මැද්දේ වුව දරු සුරතල් මැද්දේ දිවිය සතුටින් ගෙවා දමමි.

"ආනන්ද සර්පයා දුටුවෙහිද" කියා බුදුන් වහන්සේ සර්පයා යැයි ප්‍රකාශ කොට ඇත්තේද රන් කහවනු වලටය. මුස්ලිම් ජාතික කෝටිපති රෙදි වෙලෙන්ඳාගේ ජීවිතය තොරවූවේ මුදල් නමැති සර්පයා දෂ්ඨ කිරීමෙන් යැයි මට සිතේ. ඒ කෙසේ වුවත් ඒ සර්පයා සොයා අපේ ජීවිත අදත් හෙටත් මේ පොළොව සැරිසරනු ඇත.
ජීවිතය දුකක් යැයි සමහරු කියයි. ඒ දුක එක් ජලාශයක් කොටගෙන  එහි පීනන්නට මම බොහෝ කැමැත්තෙමි. ඒ මන්ද, ජලාශයෙන් ගොඩ ඒමට නම් පිහිණිය යුතුමය. ගොඩබිම බොහෝ දුර වූ විට කෙහෙල් කඳක හෝ එල්ලීගෙන පීනන්නට සිදුවනු ඇත. ඒ කෙසේ වුවත් පීනන්නට හැකියාව තිබිය යුතුය. එසේ නොවූ විට ජලාශයේ පතුලෙහි පියකරු බව දකින්නට හැකි වනු ඇත. මෙසේ සිතන විට දුකද බියකරුය.


මල්ලී පොලිස් රාජකාරියේය. මල්ලීගේ බිරිඳ ද ඒ රාජකාරියේමය... දෙදෙනාගේ දරුවන් පුංචි පැටවුන්ය. රැක බලාගැනීමට සේවිකාවක් ගතහොත් පඩියෙන් භාගයක් දීමට සිදුවීම නියතයක් බඳුය. අන්තිමේදී එයින් බේරීමට අම්මා ගෙන්වා ගැනීමට ඔහුට සිදුවිණි. අම්මා ගියාය. එහෙත් දරුවන් රැක බලාගැනීම නිතරම ලෙඩවන අම්මාට කළ නොහැක්කක් විය. නංඟී ඇගේ තනියට ගියාය. ඇයද එක් දරු මවකි. සැමියාට ස්ථීර රැකියාවක් නැත. කුඩා කළ පටන් අපි සියල්ලෝ එකට වැඩ කල කුඩා ඉඩම් කැබැල්ල තුළින් ඔහු අනාගතය සොයමින් සිටී. කුඩා සිල්ලර බඩු කඩයක් දමා දී මස්සිනාගේ සහ නංඟීගේ දිවිය සැපවත් කරන්නට මල්ලී උත්සාහයක් ගත්තේ අම්මාගේ රැකවරණය සේම තම දරුවන්ගේ රැකවරණයද පතාය.
සියල්ල එතැනින් නිම නොවූයේ තාත්තාද මල්ලී කරා ගියේය....මව් ගර්භයේ පටන් මේ දක්වාම මහ පොලොව මත්තෙහි නැහුණු තාත්තාගේ ශරීරය ගිරිය පුප්පා කෑ ගසන බෙල්ලේ රැලි එල්ලෙන දේශපාලකයන්ගේ ශරීර කූඩු මෙන් කීයෙන් පංගුවක්දැයි මට හිතාගන්නටවත් බැරිය....ඒ සැප සම්පත් නොලැබුණත් තාත්තා සතුටින් සිටින බව නම් මට විශ්වාසයි.


ජීවිතය ආහාර දාමයක් සේ එක තැනෙකින් කෙලවරක් දකින්නේ නැත‍.එක තැනකින් අවසන් වන විට තවත් තැනකින් පටන් ගනී. හතර අත ණය වී හුන්  මම කම්මැලියන් අතර දස කම්මැලියෙක් වීඋන්නෙමි.
සියල්ල පඩිය මත තීරණය වූ කලක දුක්ක දෝමනස්සයන් ගැන කල්පනා කරන්නට ගෙයි පඩියවත් මට නොතිබුණි. කරවල කෑල්ලක් දුටු විට කරවල බිස්නස් පටන් ගත්තෙමි. රෙදි බිස්නස් පටන් ගත්තෙමි. බිරිඳ හැදූ රස කැවිලි දුටු විට රස කැවිලි බිස්නස් පටන් ගතිමි. තුනපහ කුඩු බිස්නස් පටන් ගතිමි.එකී මෙකී නොකී සිය ගණනක් රැකියා කළෙමි. සිතින් පමණක්.  බිරිඳද විටෙක මා පිස්සෙකුට සමාන නොකළාහුනම් එය පුදුමයට බඳුන් වනු ඇත. ඒ තරමට මා ස්වයං රැකියා ගැන පාරම් බෑවෙමි.


 කවුරුන් කෙසේ සිතුවත් මා දකින සිහිනයෙන් මම පලා නොයන්නෙමි. තොටිල්ල පැදවු අතින් රටක් පාලනය කරන්නට හැකිනම්......ඇයි අපට බැරි යැයි  කියා නොවිමසමි...අපිටද එය කල හැකි යැයි සිතමු. සංවර්ධනයේ හිණිපෙත්තේ සිටින ජපානය අති සාර්ථකත්වයට පත් වී ඇත්තේ කුඩා කර්මාන්තකරුවාගෙන් බව මෑතදී පුවත් පතක දුටුවෙමි. දිනෙක මා මිය යාවි. කිසිත් සාක්ෂාත් කර ගත නොහැකිවම. එනමුදු මා උත්සාහය අත්නොහරින්නෙමි.


නොබෝ කලකට පෙර මම කුමක් හෝ ලියන්නට පටන් ගත්තෙමි. එය අවාරෙට පොල් වැටෙන්නා සේය. කොටින්ම කියතොත් මා උසස් පෙළට ඉස්කෝලෙ ගියා සේය. ඒවාට හේතු හරියට ආවාට බඳුය. ඒ තරමටය. එහෙත් මම තීරණයකට බැස ගත්තෙමි.....මම ලිවීම අත් හැරියෙමි..........


=====================මතු සම්බන්ධයි======================

38 comments:

  1. පැන්ෂන් ගියාම මෙහේ පදිංචි වෙන්න ඇරියස් ගන්නත් එක්ක, එතකොට ලියන්නේ පිරිණු තරමක් නිවුණු මිනිහෙක්, හැබැයි මයිනොරිටියේ කෙනෙත්. දැන් ලියන දෙයක් තමයි බහු ජන මතය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ලියැවෙන්නෙ නිරන්තරයෙන් දැවුණු මිනිහෙක්ගේ අවේශයෙන්...

      Delete
  2. ම් ම් ම් සැබෑ ජීවිත කතාවක්ද නැතිනම් නවකතාවක්ද?

    මතු සම්බන්ධයි කියලා අන්තිමට තියෙන නිසා කතාවක කොටසක් කියලා හිතෙනවා.

    කොහොම නමුත් මේ කියන විදිහට ජීවිතය ජීවිතය විහිහට නොහිතක තාක් කල් ඒක සුන්දර දෙයක් නෙමේ.

    අගහිඟකම් අඩුපාඩු එක්ක ඒ දේවල් ගොඩනගාගන්න දිරි දෙන තරමට සහ ඒ දිරිය වෙනස් අයුරකින් දැකලා "දුකම කොයි තරම් සතුටක්දෝ" කියනා හිතන තැනට එනකම් විතර කර්කශයි දුක්බරයි. (අත්දැකීමෙන් කිව්වේ)

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කොයිතරම් නම් පිටින් හිතනවද මේ දුක සතුටක් කියල ඒත් ඇත්තටම වෙන්නෙ හිතයටින් විඳවන එක.....

      Delete
  3. ලස්සන කතාවක ආරම්භය.. ඉතිරි කොටස් එනතුරු බලා සිටිමි . ජයවේවා !!

    ReplyDelete
  4. මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා
    කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා

    ReplyDelete
    Replies
    1. පත්තරේ උඹ හුඟ කාලෙකින්.....කොහොමද ඉතින්.....

      Delete
    2. ඔන්නොහෙ ඉන්නව බං.. ඩිංගක් අනුමත වෙන්න ඒ පැත්තෙ යමං කීවම අටම කිව්ව එහෙ නෑ උඹ පුරේ ඉන්නෙ කියලා.

      Delete
  5. විඳින විඳවන ජීවිතය. අනේ මන්දා...

    ජයවේවා!!!

    ReplyDelete
  6. When the going gets tough.. tough gets going.. ඇකඩමියේ පෙරඩ් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා ගලක ලියලා තියෙනවා මතකද? Never give up!!!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ විලාට් ගහ ගාව ටැප් ලයින් එක ලඟ වගේ......එච්චර මතකයත් නෑ කමී...අනිත් එක ඇකඩමියනේ

      Delete
  7. ඔය කිව්වට නතර කරන්ඩ එපා බං ....
    ඔය වගේම මේකත් ඇදං යං .....

    ReplyDelete
  8. දුප්පත්කමත් සාපේක්ෂයි...
    පොහොසත් කම තියෙන්න ඕන හිතේ.. එහෙම නැතිව් ගතේ නෙමෙයි
    - මහාචාර්‍ය මාතලන් -

    ReplyDelete
    Replies
    1. ඔව් මහාචාර්ය මාතලන් තුමණි, ඔයා ඒ බව පසක් කරල තියෙනවා ඔයා මේ ලඟදි අර ගොඩාක් හොඳ ලස්සන බාෂාවෙන් ලියපු පෝස්ටුවේ...තැන්ක්ස්

      Delete
  9. ජිවිතේ විඳවනවා කියලා හිතුවොත් ගොඩ ඒමක් නැ, ජිවිතේ විඳිනවා අත් නොහැර කියලා හිතුවොත් ඔබ කියලා තියනවා වගේ ගඟට බැහැලා පීනලා ඉවුරකට ගොඩ වෙන්න ඉඩක් හැදේවි. හැබැයි ඉතින් ගඟට බැස්සා වගේ නෙමේ සැඬ පහරේ පීනන්න ගිහාම..

    ReplyDelete
    Replies
    1. සැඩ පහර කියන්නෙ දුක් කම් කටොලු... ඉතිං ඒව මග ඇරියොත් තමයි ජය......තෑන්ක්ස්

      Delete
  10. සෑම පුද්ගලයකුම තම අතීතය අවලෝකනය කරනවා. ඒ අවලෝකනය තුළින් වර්තමානය සහ අනාගතය දෙස බලන්නට පෙළඹෙනවා. එය ධනාත්මක වූ තරමට ඉදිරි ජීවන මාර්ගය ශක්තිමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත සමහරු කියනවා අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුවට වැඩක් නෑ කියලා විචා මාම‍ෙ......ඒව බොරු කරන්න පුළුවන් මිනිහ දිනනවා

      Delete
  11. බලපං බං.... උඹ නොලියා ඉන්න එක කොච්චර අපරාදයක්ද කියලා....

    ReplyDelete
  12. බලපං බං.... උඹ නොලියා ඉන්න එක කොච්චර අපරාදයක්ද කියලා....

    ReplyDelete
  13. බලපං බං.... උඹ නොලියා ඉන්න එක කොච්චර අපරාදයක්ද කියලා....

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කොච්චර බරපතලද කිව්වොත් තුන්වතාවක්ම ?

      ජයවේවා!!!

      Delete
    2. කටුස්සො බලපං උඹට විතරයි ඒක තේරුනේ

      Delete
  14. නවත්තන්නෙ නැතිව දිගටම ලිව්ව නං තමයි හරි. පේන විදිහට ලියවෙයි වගේ. මතු සම්බන්ධයිනෙ....

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරනවා.....දවස් දෙකක්ම වෙබ් අවුට්

      Delete
  15. ගොඩක් මිනිස්සුන්ගේ ජිවිත වල ඔය වගේ කාල තියෙනවා.. අපි වෙනස් වුනාම ඔය හැමදේමත් වෙනස් වෙනවා.. අපි වෙනස් නොවන තාක්කල් මොනවා කලත් වැඩක් නෑ සමහර වෙලාවට..

    ReplyDelete
  16. Replies
    1. තෑන්ක්ස් මෙන්ඩා.. ලියනවා

      Delete
  17. හිත ඇත්නම් පත කුඩාද බබා.. ලියහං

    ReplyDelete
    Replies
    1. අනිව අනිවා......තැන්ක්ස් දේශා

      Delete
  18. බොහොම ලස්සනට ගලාගෙන යන කතාවක් වැව්.

    ReplyDelete
  19. //ජීවිතය ආහාර දාමයක් සේ එක තැනෙකින් කෙලවරක් දකින්නේ නැත‍.එක තැනකින් අවසන් වන විට තවත් තැනකින් පටන් ගනී. //

    මිනිස්සු ජීවත් වෙන තාක් කල් එක දෙයක් අත් හරිනකොට, තවත් දෙයක් අල්ලාගන්නවා...ජීවිතේ කොයි තරම් දුෂ්කරයිද කියල තීරණය කරන්නේ තමන්ගේම හිත...

    ලිවීමේ රටාව හරිම අපූරුයි...

    ReplyDelete
  20. හොද පටන් ගැන්මක්

    ReplyDelete