Monday, June 15, 2015

සමාජ සේවය පිණිසයි


       නිල්වන් අහස්කුස  අතරින් සුදෝ සුදුවන් වළා පෙළ හෙමින් සීරුවේ පාවෙමින්   ඇදී යන යුරු ඔහු ජනෙල් කවුළු අතරින් බලා උන්නේය. ඈතින් ඇති පොල් ගසක් සුළගේ වේගයට ඇඹැරි ඇඹරී  පැද්දෙන අයුරුත් ගේ ලගම ඇති කොට්ටම්බා ගසේ අතු සැරින් සැ‍රේ තම ගෙයි ජනෙල් පියන් පත් වැළද ගන්නායුරුත් ඔහු බලා උන්නේය.

තමන් පාසලෙන් අස් වී ගියදා පටන් තමන්ගෙන් පාසලට කිසියම් වූ දෙයක් සිදු නොවුනේ යැයි ඔහු පංචස්තාප විය. නමුත් වසර ගණනාවක් රැකියාවක් කලද ආදි ශිෂ්‍යයෙකු ලෙසට කිසියම් වූ යුතුකමක් නොකරන ලද්දේ යැයි ඔහු තුළ දුකක් හට ගත්තේය. මීට වසර ගණනාවකට පෙරද පාසල වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරන්නේ යැයි සිතා උන්නද පැවති ආර්ථික අවපාත හමුවේ  ඔහු‍ගේ සිතුවිළි සුනු විසුනු වී ගියේය.තමා මීට වඩා තම පාසල ගැන සිතිය යුතු නොවේදැයි ඔහුගේ යටිසිත ඔහුගෙන් ප්‍රස්න කරන්නට විය.

කුමක් හෝ දෙයක් කල යුතුව ඇත. එහෙත් ඔහුට පමණක් තනිව කිසිවක් කල නොහැකි බව ඔහු කල්පනා කරන්නට වූවේය. නගරයේ පාසල්වල  ආදි ශිෂයයන් තම පාසල් වෙනුවෙන් කරන්නා වූ යුුතුකම් නම් කොතෙක්ද?  එදානෙදා පුවත්පත්වලින්ම ඒ පිළිබද කතා ප්‍රවෘත්තීන්  බොහොමයක්  ඔහු කියවා ඇත.‍

පාසලේ අභිවෘද්ධීය උදෙසා පාසලින් අස් වී යන ශිෂ්‍ය ප්‍රජාවද වග කිව යුතු නොවේද ආණ්ඩුවෙන්ම දෙනතුරු බලා සිටිය යුතුමද  ඔහු සිතන්නට වූවේය.ආදි ශීෂ්‍ය සංගමයක් පිහිටු වීම අසාර්ථක වනු ඇත. උපරිම  දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්මුන්ගෙන් ඒ සදහා සහයෝ‍ගයක් නොලැබෙනු ඇත. වෙනත් සංවිධානමය වැඩ පිළිවෙලක් ආරම්භ කල යුතුව ඇත.රජයේ රැකියාලාභින් ඒ සදහා සහභාගි කරවාගත යුතුය. ඔවුන් ඒ සදහා සහයෝගය දක්වනු ඇත. ඊලග සති අන්තයේ තමන් ගමට යායුතුය. පංසලේ හාමුදුරුවන් හා මේ සම්බන්ධව සාකච්ඡා කල යුතුය. ඔහු යෝජනාව ස්ථිර කරන ලදී.

" හා... නිමල් හුග දවසකින් පංසල පැත්තෙ..." දම්මසාර හාමුදුරුවෝ  බෝ මළුව අසල දායකකාරකාදීන් කීප දෙනෙකු සමග සාකච්ඡා කරමින් වැඩ සිටියහ.
" අපෙ හාමුදුරුවනේ ..." නිමල් මදක් නැමී  උන්වහන්සේට වැන්දේය.
"අපෙ හාමුදුරුවනේ ...මට ඔබ වහන්සෙ එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..."
" යමු පංසල පැත්තෙ..." හාමුදුරුවෝ ඉස්සරහින් වැඩියහ.

නිමල් තමන් පැමිණී කාරණය කෙටියෙන් මුත් සියල්ල හාමුදුරුවන් අභිමුව තැබුවේය.
" හොදයි නිමල්... හොද වටින වැඩක්...ඒත්...."
" ඔවු හාමුදුරුවනේ  මට තේරෙනව...හාමුදුරුවො කල්පනා කරන්නෙ මේකට සහභාගීත්වය ගන්නෙ කොහොමද කියලනෙ නේද? අපි මුළු ගමේම සහභාගීත්වය අපේක්ෂා කරන්නෙ නෑ... ගමේ ඉන්න රැකියාලාභීන් විතරයි මේකට කෙලින්ම සහභාගි කරවා ගන්නෙ..එතකොට ගමේ කොල්ලොත් කෙල්ලොත්  මේකට සම්බන්ධ කර ගන්න පුළුවන්." නිමල් කියාගෙන ගියේය.
"ඒක හරි නිමල් ...ඒත් මේ වගේ දෙයක් කරද්දී අපිට මූල්‍ය ප්‍රශ්නයක් පැන නගීවි නේද?"
" අපෙ හාමුදුරුවනේ...සල්ලි ටිකක් නැතුව මේක කරන්න බෑ තමා. නමුත් මං හිතන්නෙ අපි ඒකට එච්චරටම හදිසි නොවිය යුතුයි කියල.. පස්සෙ ලොතරැයි ටිකට් ටිකට් එහෙම ගහල මේකට මුදලක් එකතු කර ගන්න හැකි වේවි. ගමේ ඉන්න කඩකාරයො ටික දෙනා ලගට ගියත් මේකට මුදලක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.. අනිත් එක අරක්කු බෝතලේකට රුපියල් දාහකටත් වඩා සල්ලි නාස්ති කරන එකේ කෙනෙකුට  මේ වගේ යහපත් දේකට රුපියල් සීයක් දෙසීයක් දෙන එක කොයිතරම්නම් පිං අතේ වැඩක්ද අපෙ හාමුදුරුවනේ..."  නිමල් හාමුදුරුවන් මේ සදහා දිරිමත් කිරීමේ අදහසින්ම කියවන්නට වූවේය.
"ඔක්කෝටම කලින් අපි මේක සංවිධානය කරන්නනම් කීප දෙනෙක්  එකතු වෙලා මේ සම්බන්ධව කතා කර ගන්ඩ ඕනෑ නොවෙද? යි හාමුදුරුවෝ ටිකක් බැරෑරුම් සොබාවයක් මූණට ආරූඩ කර ගත්තා මෙන් නලල රැලි කර ගත්තේය.
" හාමුදුරුවනේ මං ගෙයින් ගෙට ගිහිං ඒ අයව දැනුවත් කරන්නම්..." යැයි කියූ නිමල් හ‍ාමුදුරුවන්ට ආචාර පුද කර නොපෙනී යනතුරුම  හාමුදුරුවෝ ඔහු දෙස දෙනෙත් යොමා බලා උන්නේ නිමල් සම්බන්ධයෙන් කුමක් සිතේ තද කරගෙනදැයි උන්වහන්සේවත් නොදත්තේය.

නිමල් පළමුව මෙවන් දේ උදෙසා නොපිරිහෙලා සහයෝගය දක්වන තමා මිතුරා සොයා ගියේ තමාගේ වැඩපිළිවෙල ගැන ඔහුව දැනුම්වත් කරන අටියෙනි. ඔහු මහත්සේ සතුටට පත්වුණි.තම යහළුවාගේ මූලිකත්වයෙන් අරඹන්නා වූ  එම යහපත් වූ ක්‍රියාවන්ට තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවද ඒ සදහා තමුන් මුදලින් ද උපකාර කරන බවට නිමල්ට සහතික වූවේය.

අපි මේක අද කල යුතුව තිබූ දෙයක් නොව  බොහෝ කලින් කලයුතුව  තිබූ දෙයක්. අපි ඉගෙන ගත් පාසලට මොනා හරි කළ යුතුයි බලන්න එන්න එන්නම ඉස්කෝලෙ පිරිහෙනව. එදා තිබුණ වගේ නෙමෙයි පාසලේ දියුණුව එන්න එන්නම අඩපණ වෙනවා. ගුරුවරු විෂය නිර්දේෂයටම යටවෙලා. මං හිතන විදියට අද්දියාපන දෙපාර්තමේන්තුවේ ඉදන් පහලටම  ඒක ගලාගෙන එන්නක්. කලාවට සාහිත කලාවට සාහිත්‍යයට ළමුන්ගේ පෙළඹවීම ගොඩාක් අඩුවෙලා. රසවින්දනය අතින් අද පාසල් ළමුන්  බොහොමයක් දුප්පත් වෙලා. කලාවෙන් තොර සමාජය ඉතා ඉක්මණින්ම පිරිහෙනවා. තරුණ තරුණියන්ගෙ ඉවසීම නැති ‍වී ගොස්  විවිධ දේ අතින් සමාජය කෙලෙසෙනව. ඉස්සර  උගතුන්ගේ වියතුන්ගේ  සාහිත කලාවෙන් පෝෂණය  වූ සමාජය  ඉතාමත් පෝසත්. රටේ වැදගත් උදවිය. ඒත් දැන් දැන් ඒක වියැකිලා ‍ගිහින් තියෙනවා. අතීත සාහිත්‍යකරුවන්ගේ පොත් කියවන පුද්ගලයින්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ක්ෂය වී යනවා. ඒ වෙනුවට නුතන තාක්ෂණයට මිනිස්සු යට වෙලා.  අපිට මේ දේවල් එක රැයින් කරන්න පුළුවන් දේවල් නෙමේ. පියවරෙන් පියවර අපි ඉදිරියට යන්න ඕනෙ. අපි පාසල් ශිෂ්‍යයාගෙන් පටන්ගත යුතුයි. ඔවුන්ව දිරිමත් කල යුතුයි. ළමුන් තුළින් නිදහස් අදහස් ගලා එන්නට නම් ඔවුන්ගේ මනසද නිදහස් විය යුතුයි. තෙල් ටැංකියකට පුනීලයකින් තෙල් වක්කරන්නා සේ  ළමුන්ට පොතේ දැනුමම වැක්කෙරිය නොකල යුතු දෙයක් සේය. නොවටනා දෙයකට මැණික් ගල් ඔබ්බවන්නා සේය."
" දැන් බලන්ඩ දෙමාපියන් පාසලෙන් ළමුන් අස් කරගෙන ගිහිං ටවුමෙ ඉස්කෝලෙට දානවා. ළමුන් මෙයින් බොහෝ සේ පිරිහෙනවා. ඔවුන් යාන්ත්‍රික වෙලා. දෙමාපියන් ද නොදන්නා සේ  යන රැල්ලටම ඔහේ යන්නන් වාලේ යනවා. එක පැත්තකින් ගමට පාසලක් ඉතිරි නොවේවි. බලධාරීන්ද ඔහේ ඉදීවි. ඒ වගේම දුප්පත් අසරණ අයගෙ දරුවො ඉන්නවා. බොහෝම දක්ෂ අය ඉගෙන ගන්ට. ඒ අයට අපි උදව් කරන්ට ඕනෙ. ඔවුන්ව දිරිමත් කරන්ට ඕනෙ..." යැයි නිමල් දේශනා කරන්නට වූවේය. නිමල් ගෙවල් හත අටකටම ගියේය‍. තමන්  නිමල්ගේ වැඩ පිළිවෙලට උපරිමයෙන්ම සහයොගය දක්වන බව ඔවුන් සියල්ලෝම නිමල්ට සහතික වුහ.

නිමල් එදින ගෙදර යන විට රෑ නවයද පසු වී තිබුණී. පස්සා දොරෙන් ගෙට ඇතුළු වූ නිමල්  තම බිරින්දෑ  විසින් බෙදා තිබූ බත් පිගානෙන්  කටවල් දෙකතුනක් ගිල දමා නිදන කාමරය දෙසට ගියේ බිරිදටද අමතමිනි.එහෙත් ඈ ඒ වන විටත් තම දරු දෙදෙනාද තුරුළු කරන් නින්දට ගොසිනි. නිමල් කාමරයේ විදුලි ලාම්පුව දමා මොහොතක් ඔවුන් දෙස බලා උන්නේ හදවතේ ඇති වූ මහත් වූ අඹූ දරු සෙනෙහෙනි. නිමල්ගේ හදේ ගැඹුරින් ශෝකයක් ගලා ආවද  විදුලි පහන නිවා දමා දොර අඩවල් කරන්නට විය.
"ඒයි.....ඔයා දැන්ද ආවෙ.. ඔයා එයි එයි කියල බලාගෙන හිටිය..දුවට කිරි  දිදී ඉද්දි දන්නෙම නැතුව නින්ද ගිහිං.." යැයි ඇය කීවාය.
"කමක් නෑ ඔයා නිදා ගන්න..මං කාමරේ නිදාගන්නම්..."

පසුදා උදෑසනම දරු දෙදෙනාගේ සෙනෙහසින්  නිමල්ගේ නින්ද අවසන් වූවේය. ලොක්කා දුවවිත්  ඔහුගේ පපුව උඩින් පැන ඔහුගේම සිරුරට හේත්තු වී උන්ඩි වූවේය. දෝණි අවුත් නිමල්ගේ පපුව උඩ නැංගාය. දෙනෙත් පියන්නට නොදුන්නාය. දබරගිල්ලෙන් ඇස් දෙකට ඇන්නාය. පෙකණියට ඇගිල්ලෙන් ඇන්නාය.

තම සැමියා සති අන්තයේ නිවසට පැමිණියද  එක් පැයක් ගෙදර නොසිටිය බැව් දනී. ඇය හා කතාබස් කල ප්‍රමාණයද වචන කීපයකට සීමා විය. අඩු තරමින්  තම දරුවන් හා සුරතල් වූ එකදු මොහොතක්වත් ඇය නොදැක්කාය. ඔහු කරන්ට යන මේ වැඩ කිඩ ගැන ඇය බලවත් සේ විරුද්ද වුවද ඈ මුවින් නොබැන උන්නාය.

" ආය මේ කොහෙ යන්නද ලෑස්තිය...? මේ උදේ පාන්දරම.." යැයි  පාන්දරම නැගිට මුහුණ  සෝදනු දැක 
ඇය ඇසුවේ,
වෙනදා හත අට ‍වනතුරුම නිදා ගන්නා බැවිනි.


" අර සේදිරිස් මාමගෙ පුතාගෙ පුතා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලාලු...."
" ඔයා අදද දන්නෙ ඒ ළමය ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කියල...සැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි මයෙ හිතේ..."
"ඔව් ඒක තමා  ඒ ළමය හරි දක්ෂයලු ඉගෙන ගන්ඩ..මේ ලගදි දවසකදී ඒ ළමයගෙ අම්ම හම්බ වුණා..ඉස්කෝලෙ අපිට වඩා පන්ති කීපයක් ඉහළින් හිටිය අක්ක කෙනෙක්. දරුවගෙ ඉගෙනීම ගැන ඇහුවට පස්සෙ කිව්වෙ, ශිෂ්‍යත්වෙන් පාස් වුණාය කියල..ප්‍රස්න ගොඩක් මැද්දෙය ඉන්නෙ කියල කිව්වෙ හුගාක් අසරණකමකින්..මට පවු කියල හිතුණ.. හුගක්ම කොල්ල පාඩම් කරන්නෙ කුප්පි ලාම්පුවෙන්ලු..මට දුක හිතුණා..අපි ඒ දිනවල පාඩම් කල හැටි මතක් වුණා. මගේ මේ වැඩපිළිවෙල හරි ගියොත් මං හිතුව ඉස්සරෝම කියල ඒ ළමය වෙනුවෙන් ඒ ගෙදරට  විදුලිය අරගෙන දෙන්ට. වැඩි වියදමක් යන්නැති‍ වෙයි අඩුම තරමේ ළමය වෙනුවෙන්වත් නේද.." යි නිමල් තම බිරිදගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙන් ඇය දෙස බැලීය.
" අනේ මං දන්නෙ නෑ ඔයා මොනව කරන්ට හදනවද කියල..." ඇය ගෙතුලට වැදුනාය.
ත්‍රීවීලරයත් පණ ගන්වාගෙන  තම පියා පිටව යන අයුරු , තවම ග්‍රීල් වද්දවා නැති ජනෙල් කවුළු මත හිදගෙන දරු දෙදෙනා බලා උන්නාය. මුළු ගෙදරම පාළු නිසල බවක් පෙන්වීය. මෙතෙක් වේලා දරුවන්ගේ තිබූ දැගලිල්ල සුළි සුළගකට ගසාගෙන ගියාක් මෙනි. සියල්ල නිහඩය  නිසසලය. දරුවන් දෙදෙන ඔවුනොවුන්ගේ පාඩුවේ වෙන වෙනම කල්පනා ලෝකවල නිමග්න වන්නට වූවාය. වෙනදා ගෙයි පිළිකන්නට එන දෙමලිචි රෑන් ගොළු වී මෙන් කිචි බිචිය වියැකි ගොසිනි. මුළු මහත් ගෙදරම  මහා ඉඩෝරයකින් මළානිකව ගිය බොරළු කන්දක තැනින් තැන වැවී ඇති කටු පදුරු ටිකක් වැනි විය.
 සති අන්තය නිමා විය. නිමල් කොළඹ ආවේය. බසයට නැගුණු මොහොතේ පටන් කොළඹට එන තෙක්ම ඔහු කල්පනා කළේ තමන් අරඹන්ට යන වැඩ පිළිවෙල ගැනය. ගෙදර දොරේ කිසිම දෙයකට ඔහු හාංකවිසියක් නැත. බිරිය උයා දෙන දෙයක් කා කොහේ හෝ ඇවිදින්නට යාම නිමල්ගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්විය. තමන් කරනට යන යහපත් දෙයෙහි ආනිසංස තම පවුලටද අත්විදින්නට ලැබෙන බව  ඔහු තම බිරිය හා නිතර පවසන්නකි. එහෙත් තමාට අවැසි වන්නේ ඒ කිසිම ආනිසංසයන් නොව තම සැමියා ගෙදර තමා හා තම දරුවන් ලගට වී සිටීම පමණකැයි  ඇය සිතුවාය.
  
" අඩුම තරමෙ පොඩි උන් දෙන්න එක්ක ටිකක් සෙල්ලම් කරන්ට..තාත්ත එනකං කිය කිය මග බලාන ඉන්නෙ උන් දෙන්න ඔයත් එක්ක සෙල්ලමට වැටෙන්ට.." යැයි නිමල් ගෙදර ගිය දිනෙක  බිරිය කීවාය.
"හරි හරි මං ඉතිං ගෙදර ඉන්නවානෙ....කෝ එන්ඩ මගෙ පුතා මෙහාට..."  යි නිමල් තම බිරියගේ පෙරැත්ත කිරීම නිසාදෝයි  පුතා ලගට ගෙන හුරතල් කරන්ට විය. ඒ හුරතලය වැඩි වේලා නොපැවතියේය. ඔහුගේ මුළු කය පුරාම දිවෙන්නේ ඔහු කරන්ට යන වැඩ පිළිවෙලය.
" පටන් ගත් දෙයක් මගදි නතර කරන්ට බෑනෙ මේකලා.."ඔහු දැන් දැන් තම බිරියට පවසන දේය. " මේකලා.. මට රුපියල් පන්සීයක් දෙන්නකො...ඊයෙ කොමිනිකේෂන් එකෙන් ලියුම්  වගයක් හදා ගත්ත..ඒකට දෙන්නත් ඕනෙ.. ත්‍රීවීල් එකට තෙල් ටිකක් ගහ ගන්නත්  ඕනෙ...මේ දවස් ටිකේම අැවිදිනවනෙ..ගමේ මිනිස්සුන්ට ඕවට ඇවිදින්ට වෙලාවක් නෑ..අනිත් එක කුඹුරු වැඩ හිංද  මිනිස්සු හුග දෙනෙක් හිර වෙලා. ඒකයි මං මේ තනියම උනත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්නෙ. කුඹුරු වැඩ ඉවරයක් උනාම මිනිස්සු මේකට සහභාගි කර ගන්න පුළුවන් වේවි.." ඔහු සුපුරුදු ලෙස කියාගෙන ගියේය.

පන්සීය  පන්සීය පස්හයවතාවකට වඩා තමාගෙන් මුදල් ඉල්ලා ගත් බව ඇය ඔහුට මතක් කර දීමට නොගියාය. මුදල් වියදම් වුවද කමක් නැත සති අන්තයට ගෙදර එන නිමල් නිතර ගෙදරින් පිටවී ඇවිදින්නට යාම තරම් තවත් දෙයක් නොවීය. පැය ගණනක් තබා තමන් හා එක මොහොතක් ආදරයෙන් කතා බහ කරන්ට වේලා නැති නිමල්ට  වරු ගණන් වෙන උන් හා සාකච්ඡා කරන්ට  වේලාව ඇත්තේය. ඇ කෝප ගත්තේ එබැවිණි. ඇය ගස්සාගෙන මෙන් ගෙතුලට ගොස්  රුපියල් පන්සීයක් ගෙනැවිත් මේසය මත තැබුවාය.
"ආය සල්ලි නෑ...සන්තකේටම තිබුණෙ ඔච්චරයි..." ඇයගේ දෙනෙත් තුළ ශෝකී බවක් ඉස්මතුව තිබුණි.
" එහෙම කියන්න එපා මේකලා...මං මේ කරන්ට යන්නෙ හොද වැඩක්. ඒ විතරක්ද ගෙදරකට කරන්ට් එක අරන් දීල එක ළමයෙක් ගේ හරි නුවණ පාදන්න ලැබීම අපි අපේ ගම වෙනුවෙන් පාසල වෙනුවෙන් කරන යුතුකමක්.. අනිත්තෙක...... නිමල්ට තෙපලිය හැකි වූවේ එපමණකි.

" ඔය කියෙව්ව ඇති නිමල්..ඔයාට පිට මිනිස්සු විතරද පේන්නෙ ඔයාට අපි පේන්නැද්ද...මේ...මේ...දරුවො පේන්නැද්ද...දැන් දවස් කීයක් ගෙදර ආවද..එක දවසක් ගෙදර හිටියද පොඩි උන් එක්ක වචන කීයක් කතා කරාද..උන් කැමති නැද්ද  තමන්ගෙ අප්පත්  එක්ක හුරතල් වෙන්ඩ...ඒකට තමුසෙ....තමුසෙ  යනව දහපදුරාවෙ ඇවිදින්ඩ..එක එකාලට ලයිට් අරගෙන දෙන්ඩ යනව...තමුසෙ ගෙදර ලයිට් තියෙනවද කියල බැලුවද ....පිළිකන්නට ලයිට් එකක් නෑ  ගෙදෙට්ට ආවත් හරි..දොට්ට පිලට යන්නෙ කට්ට කළුවරේ...ගෙදෙට්ට තාම ලයිට් අර ගත්තෙ නෑ...අම්ම ගිය මාසෙ බැන්න ලයිට් බිල වැඩියෙන් ඇවිල්ල කියල..ඒකත් අම්මලගෙ ගෙදර වයර් එකක් අරං කරන්ට් එක දාල දුන්නෙ ලොකු මල්ලී..ඌ හිටියෙ නැත්තං අපි තාමත් කුප්පි ලාම්පු එළියෙන් ඉන්නෙ... ඇයි නිමලෙ මේ....ඔයා අපිට ආදරේ නැද්ද...මේ දරුවො ඔයාගෙ..මම ඔයාගෙ ගෑණී..ඇයි අපිට මෙහෙම කරන්නෙ...." ඇය ඉකි ගගහ අඩන්ට වූවාය. පොඩ් උන් දෙන්නා උළුවස්සට හේත්තු වී බලා උන්නාය.

හදිසියේ පාත් වුණු හෙණ ගෙඩියක් සේ සිදු වූ දෙයින්  නිමල් සිහිසන් වූවෙකු මෙන් විය. කල යුත්තේ කුමක්දැයි නිශ්චය කර ගැනීමට නොහැකිව න්දමන්ද වූවෙකු මෙන් බලා ගත් අත බලා හුන්නේය.අවට වටපිටාවම තමන් ව‍ටා කැරකෙන්නා සේ ඔහුට දැනෙන්නට විය. කරකියා ගත නොහී  ඔහු මදක් ඈතින් කපා බිම හෙලා තිබූ කජු කදක් මත හිද ගත්තේය.ජනෙල් කවුළු අතරින් තවමත් දරු දෙදෙනා දුකසේ ඔහු දෙසම බලා උන්නාය. නිමල් තම හිස පහතට නමාගෙන මොහොතකින් කෙලින් කළේය.අම්මාගේ ගෙදර සිට තම ගෙදර දක්වා විදුලිය රැගෙන එන විදුලි රැහැන් දෙක පැද්දි පැද්දී තමාට ඔච්චම් කරනවාදෝයි ඔහුට සිතුණි.

Wednesday, June 3, 2015

වැව් මාළුයි රොටියි බතුයි


දවසට කීවරක් ගුටිකෑවද  කියලා
නැත මා හට මතක නැත කිසිදින රිදිලා
වේ වැල දිගේ එන සෙනෙහස මට මැවිලා
නිතරම පෙනේ ඇත හුග දවසක් ගෙවිලා

වරදක් කෙරුව දින රඹ පැළ සිටුවන්න
මුල්ගුරුතුමිය දුන් දඩුවමකිය ඔන්න
ගුරුවරයට හොරෙන් පැන ගිය අඹ කන්න
සිදුවිය සියල්ලට අඹ ගෙඩිටික දෙන්න

පන්තිය නිම වෙලා  අපි වැව වෙත යමුද
මාලුත් සමග රොටියක් පිසගෙන කමුද
මගෙ යෝජනාවට නොම අවනත  කවුද
පියනැගුවෙමු වැවට මොනවට මහ මුහුද

පෙත්තගෙ ගෙදර අවසන් තිප්පොල වූවා
හත් අටදෙනෙක් පොල් ගසකින් ගෙඩි බෑවා
ලග තිව් කඩයකට ගොස් පොල් ටික පෑවා
තුනපහ සමග පිටි ටික අරගෙන ආවා

දෙන්නෙක් පමණ නවතා වැඩ කරන්නට
අවවාදයක් දුනි රස කර උයන්නට
සුපුරුදු සුවෙන් දැයි මින් රළ බලන්නට
අපි හැම දෙනා විය වැව වෙත ඇදෙන්නට

රස්නය දැනුනි අලි බෙටියක දැන් දැමුණු
ඇතැමෙක් බියෙන් මොහොතක් පස්සට ඇදුණු
අලි රංචුවක් වැව් පිට්ටනියේ පෙනුණු
මතකෙට නගයි තවමත් බියමුසු මුහුණු

වටපිට බලා කවුරුත් මෙහි ඇද්ද කියා
ඔරු තුන හතරකින් අපි වැව මැදට ගියා
සවසට ඇවිත් මාළුන් අල්ලන්න කියා
යැයි එලු තිබු දැල් මත අපෙ දෑත් ගියා

කොට්ටොරුවක තිබුණු කොල්ලෑවක් කැඩිලා
ගිරවා දගලමින් ඇත වැව වෙත වැටිලා
ඒ ලග උන්නු සුද්දා වතුරට පැනලා
අල්ලාගත්තමුත් උගෙ ඇදිවත මැකිලා

සතු‍ටක් දැනුනි ඇත මාළුන් ගොඩ පිරිලා
මොහොතක් නැතිව ඉක්මන් හබලින්ඇදිලා
ගොඩ වූයෙමි බියෙන් මුසු සැකයෙන් පෙගිලා
මුරකරු සිරී අප අල්ලාවිද  රැදිලා


මෙච්චර මාළු ඉන්නා වැව තුළ පිරිලා
එක මාළුවෙක් නැත බෙහෙතටවත් රැදිලා
කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා
මගෙ සියොලගම තෙත් වුණි ගින්නෙන් දැවිලා

Tuesday, May 19, 2015

මුවින් නොබිනු මැන ළයේ රුහිරු කැටි නුඹ වෙනුවෙන් වෙන් වෙලා ඇතේ


ජීවන ගග මත කලුගල් කුළකට
පෙම් බදිනා නුඹ කවුරු ළදේ
කාලවර්ණ නුඹෙ දියසුලි කැරකුන
වළාපෙලකි කෙහෙරැල්ල අගේ

ගල් කැට වැද්දෙන විදුලිය එළියකි
දකිනාකල නුඹෙ දෙනෙත් යුගේ
සෙල්කුඩු වැදිලා රිදුම් දේවි නුඹෙ
 ස්වේත වර්ණ රැළි වැටුණූ බදේ

කසුන් දියර නුඹෙ වුවන පුරා යන
එළිය විහිදුවයි අමාවකේ
මුවින් නොබිනු මැන ළයේ රුහිරු කැටි
නුඹ වෙනුවෙන් වෙන් වෙලා ඇතේ

Monday, May 18, 2015

උදුපියලිය කන්න හාවුනි වරෙල්ලා


සියොතුනි වරෙල්ලා පියඹා හනික මෙහේ
පිරිලා තිබේ පැණි වරකා අපේ ගහේ
මදුලක්වත් එපා අප හට කුරුල්ලනේ
පාරාදීසයක් කල මැන ගේ මිදුල අපේ

පැන පැන වරෙල්ලා හාවුනි කැලේ ඉදන්
උදුපියලිය ඇතේ වැවිලා මිදුලෙ කොනෙන්
ඇසු ඒ කතන්දර නුඹ ගැන මෙනෙහි කරන්
සත්තද කියාපන් බලනෙමි හොරෙන් හොරෙන්

දඩුලේනෝ  වරෙල්ලා කොයිබද පැන යන්නේ
කුරුම්බැට්ටි කෑවට කවුරුදු බැන්නේ
එළියට නොඑමි දොරකඩ  ලගමයි ඉන්නේ
සෙල්ලං කරනු මැන මිදුලෙහි නැත ගල් එන්නේ

Tuesday, May 5, 2015

කොටකෙතන අම්මා ගැන මගේ අම්මාගේ සිතුවිලි


බුදුන් දෙසු දහම් නුඹෙ සවනෙ නොවැටුනේ
දහම් පාසල් යන්න කියන්නත් බැරිවුණේ
සිරිත් මල්දම් දහම් පොත් නොමැත ලං වුණේ
එලෙස දිවි ගෙව් නිසයි මේ විපත සිදු වුණේ

නුඹ කියූ කිසි දෙයක් නෑ මෙමට වැටහුණේ
අසල්වැසියන්  සමග පමණි මා එක් වුණේ
මම නොදන්නෙමි ඇයිද කෙසෙල් ගස ලොකු වුනේ
කොයි ලෙසද නුඹට මා තුල සෙනේ අඩු වුනේ

දරුවො ගැන සිතාලයි මිල මුදල් රැස් කළේ
ඇවැසි නැති වැඩ වලට ඇයිද නුඹ බල කළේ
ඉගෙන ගන්නා වයස නෑ නොවෙද පසු කළේ
මගෙ සෙනෙහෙ නොදැනිලද පෙමට සිත නතු කලේ

පුංචි පෙමි කැකුළකට ඉඩ දුන්නෙ ලොකු  වන්න
දැනුයි මට සිතෙන්නේ තිබුණෙ විරසක වන්න
ආලයෙන් මත්වෙලා කරගත්ත දුක් ගින්න
හැකිද පුතුනේ නුඹට දිවිතුරා නිම වන්න

මන්නයේ පහරවල් ගත පුරා දුවන විට
නෙත් වැසී දෙපා සිට සිරස හිරි වැටෙන විට
මගෙ පුතේ නුඹ කොහිද හදවතෙන් අසන විට
කොටන්නට හැකි වුනේ කෙලෙසින්ද පුතුනි මට

කයෙන් සිත වෙන් වුණා බුදුන් විලසට දෙසූ
දුටිමි ඔබ ගලවනව මගෙ ඇදුම් විළි වැසූ
පොලිතීන් කවරයට දමා කය පණ නැසූ
ගගට විසි කළේ නුඹ ගැළවෙන්න ඉන්පසූ

නෙතග කදුළැලි සලා වැළපෙමින් හැපී බිම
දනන් දුක් වන විලස හැඩුවෙ හැම වෙලාවෙම
නීතියෙන් හැංගෙන්න කළත් බොරු හැමෝටම
යකඩ දම්වැලට ඔබෙ අත් ගියා  ඉබේටම

දඩුවමින් වෙන්වෙලා කොටකෙතන එන දිනේ
තුණුරුවන සිහිකරල පිං කරන් සැම තැනේ
පෝය පංසලට ගොස් මාව සිහි කරමිනේ
පිං කරාපං පුතේ නිවන් සුව පතමිනේ


+++++++චන්ද්‍රා හේමචන්ද්‍ර+++++++

Thursday, April 30, 2015

පුච්චාපං මගේ මේ නිරුවත් සිරුර


මිනිසුනි මොහොතකට දෙසවන් හැරලන්න
මා මිය ගොසිනි එනමුත් බැහැ ඉවසන්න
පෙර කළ පවක කරුමය පටිසන් දුන්න
අම්මා කෙනෙකි පෙර දැන් පරලොව ඉන්න

වනචාරියෙක් මෙන් මන්නය අතැති කැලේ
පුතුගේ සොබා මගෙ හදවත සිදුරු කලේ
මේ දිවි කුමට මට පොඩි පුතු නොමැති පැලේ
කොතරම් කදුළු ගැලුවද මුල් අතර ඇලේ

පුතුගේ වේශයෙන් මර රකුසෙකු එන්නා
මගෙ පුත නුඹ කොහිද හඩ රැව්පිලි දුන්නා
රුපියල් සත වලින් ලෝකය ජය ගන්නා
මව්ගේ රුහිරු පැන්නා පහරින් මන්නා

මන්නය මගේ සියොලග රස කර බැලුවා
පොලිතින් කවර සීතල මගෙ නැති කෙරුවා
දේහය නිසල සතුටුයි පුතු කර දැරුවා
මින්රල අවුත් මගෙ තනිකම දුරු කෙරුවා

දුටුවෙමි පුතුන් නෙත් යුග රුධිරයෙන් තෙමා
මා දෙස බලනයුරු මව් සෙනෙහසින් පෙමා
සැරසෙමි යන්න මා සියොලග ඇලෙහි දමා
පුතුනේ වැරැද්දක් වුණි නම් වෙන්න සමා

දිවියම මගේ හිමිසද පමණක් පැතුව
වෙළුනෙමි දොමනසින් දෙයකට සිත නතුව
ලැජ්ජා සිතුණි මොහොතක් විළිබිය  ඇතුව
ඉන්නා විටදි රෙදි පොටකින්වත් නැතුව

හා හා පුතේ හොද නෑ එය කරන්නට
දෙනෙතින් කිව් නමුදු බැරිවිය කියන්නට
ඇදිවත එකින් එක විසිකර දමන්නට
මව් කෙනෙකුගෙ, හැකිද? තව ලොව වසන්නට

විවරය කපා දොස්තර තැන නුඹ ගත්ත
මා වෙත ඒවි කැපුමට සිරුරම රොත්ත
කෙලෙසක කිව හැකිද මේ නුපුරුදු ඇත්ත
ගිනි තියපං කයට  තරහක් නෑ සත්ත

මා සිතුවිලස නෑදෑ හිතවතුන් පිරී
මළගම උරුම නැත ඇත නිළමැසින් පිරී
උඩරට මැණිකෙ මෙන් මම සුදුවතින් සරී
නැත අද මිය ගොසින් මඩ ගොහොරුවක එරී

Saturday, April 25, 2015

පැට්ටෙක් එක්ක මොහොතක්


ඉඩ නොදෙන හැටි
හෙණ හා අකුණූ...
පැයක් තිස්සේ
තවමත් මුල් පිටුවමයි
පොතේ...

යොමා උන්නෙමි
දෙනෙත් යුග මම
බොහෝ වේලා...
භාවනාවකි,
නිවන් නොදකින

වැරදි ඔබ නොව
මෙමාමයි
සමාවෙන් මට
බැගෑපත් වෙමි
හිස නමා

කල්පනා ලොව
බලවතා වෙමි
මැකී යයි
එය ක්ෂණයකින්

හදවත ගැස්සුනිය.
නිහඩ ලොව මහ රජාණන්
කිරුළ
ඇත හිස මත තබා...

අළු වෙවී යන
දුම් වැටිය දෙස
බලා සිටියෙම්
බොහෝ වේලා
සිහිවෙලාදෝ
බුදු බණක්

සොලවමින් මුදු අතැගිලී
මොනව සිතුවද
සැලි සැලී...

නිතර ඒ මේ අත බැලී
නොමැත,
පිරි ඇත සිතුවිලී.

දුප්පතෙකි මම
අහිංසක වෙමි
මළත් මල් බොමි
ඊට වැඩි යම්
දෙයක් වෙත්.


Wednesday, April 22, 2015

මට කෙලවිය


ලද නිමේෂයකදී
අකුරු මුමුණා 
ලිවූ වචන ටිකට
අහෝ..! කෙලවිය

මිරිකූ බොත්තම
නොදැනුවත්වම
මිරිකුවා සේ විය
මගෙ බොටු කද

හදවත පමණක්ද
ශරීර කූඩුවම  වෙව්ලන්නට විය
තරහින් මගේම
නොසැළකිල්ලට
අහෝ.....මා දෙනෙත් පියා ගතිමි.

සිගරට්ටු දෙක තුනක්
බිබී  ලිව් මගේ සිතුවිලි
වලට කෙලවිය

විස්සෙ පැකට්ටුවක්
නැත
බෝතලයක්ම අරගෙන
පැට්ටෙකුත් ඔතාගෙන
උඩම තට්ටුවට ගොස්
විදගනිමි හුදකලාවෙම
දැනුණු වේදනා...

ලොවම හිනැහෙයි
හිකි ගගා
තබේකට නොවටිනා  දේ ගැන  හඩ හඩා
වැලපෙන හැටි අසා

එසේ වූ මුත්  අනේ දෙවියනි
අතුරුදන් වී ගියේ ඒ
ලියපු දේකුත්
ගොතපු දේකුත්
නොවේ ඒ මගෙ ආත්මය යැයි මට සිතේ...



Wednesday, April 8, 2015

තොප්පිය හරිනම් ... ගන්න


නැගගෙන යනෙන විට පඩිපෙල් කොම්පැණියේ
දුක් කම් කටොල් දුව එනවලු හනි හනියේ
සිහිවිය කියූ වදනක් බණ්ඩා දෙණියේ
නෞකාවකය අප ඇත හිටගෙන ‍ඇණියේ

වරදක් දුටුව තැන කෙනෙකුගෙ පෙන්නන්න
ගියහොත් වෙනවාය කොම්පැණියෙන් යන්න
කිසිදා නොගිය කුළියක රස දැන ගන්න
සිදුවෙනවාය නිවුටන් නියමය වැන්න

බැහැ කිසි දෙයක් ඇත හම සුදුවට පෙන්නා
අසනා  දෙයට නැත බැහැ පිළිතුරු දෙන්නා
පන්දම බලය විටෙකදි ඈ පෙන්නන්නා
අසරණ ලොකු එවුන් තනියම  වැළපෙන්නා

නිදහස් රටක ඉගෙනුම නිති රැක ගන්න
මදහස පපා ගිය කොළු සම තැන ගන්න
අදහස් පමණි වැඩ බැරි ටාසන් වැන්න
උදහස් වේවි ලොක්කා වැඩ කිඩ මැන්න

පන්තිස් වසත් පැන පැන්සොන් එක ලගය
පවරා දෙන්න වැඩ ඇති හැකි උන්   හිගය
හිකි බිකි ගගා උන් දී වංගෙඩි  ඉගය
අල්ලති බෝල  වැඩකළ උන් මහ මගය

Tuesday, March 31, 2015

රට අරක්කු නෙමේ අපිට කසිප්පු දීපල්ල....


මලනුවන් මිය ගොසින් ලද මුදලකින් තේ කඩයක් සදා
ටිකෙන් ටික එය වැඩි දියුණු කර ගත්තෙ මුළු දහිරිය යොදා
හදවතින් නොව බුද්ධියෙන් ඔහු වියාපාරය නිති හදා
සුදු වතින් ගිලිහී ගොසින් ඇත කලු වතට පැන විත් මෙදා

පුංචි ලාභය වටිනවා බඩු ගොඩක් විකුණන විටදි මාමේ
තාත්තට මගෙ කියූ හැටි මට තාම මතකය රෑක යාමේ
ලාබෙ වැඩි කොට දෙන්න බැරි විට අනිත් කඩවල් වැහිල යාමේ
ප්‍රවණතාවය වැඩි වෙලා අද එකම කඩයයි හත්වලාමේ

නියෝජිත තැන් බඩු බෙදා යන කියූ වදනකි මෙමට දිනයක
මගේ මිලටත් වඩා අඩුවෙනි ඔහුගෙ  බඩු මිල නොමැත සැකයක
වෙනත් කඩවල් ගමේ විකුණන සියළු දේවල් පුරා තෙමසක
මොහුගෙ කඩයේ විකිණිලා යයි පුදුම කරමින් එකම දවසක

ගමේ ඔක්කොම කුඹුරු හිමියන් ඔවුන්ගේ වී විකුණ ගන්නට
මොහුගෙ කඩයට යන්නෙ නිතරම ගත්තු ණය ටික ගෙවා ලන්නට
අහිංසක මිනිසුන්ගෙ මුදලින් මහා බිල්ඩිං කුඹුරු ගන්නට
කොච්චරක් නම් කපටි ඇද්දයි නොහැක කාටත් සිතා ගන්නට

ළතෙත් බව කාරුණික බව නම් දෙයක් නැත්තෙලු ජීවිතේ
බළල් මස් ගෙන විකුණලා හෝ මුදල් සෙවුමලු ජීවීතේ
බිරිද දරුවන් ඉන්නවාලූ කන්න නොමැතිව හාමතේ
උගන්වන්නට නැතිද කවුරුත් වටින බව මනු ජීවිතේ

මෑත දිනයක මගේ බිරිදට ඇසුණූ පුවතකි මෙමට කීවේ
සුරාසැලකට මුල පුරන්නලු සුරා බදු හා එකගතාවේ
පුරා හැම අත පොලු මුගුරු ගෙන  සුරාසැල වෙත ගම්මු ආවේ
සුරා සැල නැත පස් ගොඩක් ඇත ගම්මු ආගිය අත ගියාවේ.


Wednesday, March 25, 2015

අලුත් පාලමේ සුන්දරිය


අලුත් පාලම ලගින් බසය නතරකරන තාක් ම මාහට සිටගෙන ඒමට සිදුවිණ. පැය පහක පමණ වේලාවක් මැදියම් රැයේ සිට  කෙසේ නම් සිටගෙන එන්නේ දැයි මටම  නොවුණත් ඉදගෙන එන ඈයන්ටනම් හොදටම තේරුම් යන්නේය. ඒ මන්ද ..සිටගෙනම නින්ද ගොස් ඔවුන්ගේ ඇග මතම ඇතැමුන් වැටෙනා බැවිනි...මා බසයෙන් බැස ගතිමි. ඉර එළිය වැටෙන්නට ආසන්නයේවත් නොතිබිණි. ගමන් බෑගය දකුණු උරහිසට ගත් මා  කහ ඉර දිගේ ගොස් පාර මාරු වුණෙමි. ඒ වන විටත් පාන්දර පහට පමණ විය. ගෙදර සිටියානම් තවමත් කට්ටම කළුවරය. එහෙත්  මුළු පෙදෙසම ආලෝකමත් කරමින් අලුත් පාලමට දිවා කල පෙනුමක් දෙන්නට අපිට හැකි වෙතැයි  කියන්නාක් මෙන් දැල්වෙන වීථී ලාම්පු සාඩම්බරයෙන් අප දෙස බලා සිටින්නාක් මෙනි. ගමේ ටවුමේ අධික කාර්ය බහුල වෙලාවක වුව දැකිය නොහැකි තරමේ මිනිසුන්ගෙන්ද රථ වාහනයන්ගෙන්ද පිරි අධික තදබදයක් ඒ වන විටත් එම පාරේ දැකිය හැකි විය. කලාතුරෙකින් පැමිණෙන අපට ඇතැම් විට මෙය අරුමයක්ද වනු ඇත. කොළඹ සිට ගුවන් ‍තොටුපොල පැත්තට ගමන් කරන බසයක්  එනතුරු තියුණු ලෙස දෑස් දල්වා ඒ දෙස බලා සිටින්නට අපට සිදුවින. ඒ ඈතින් එන බසයේ නාම පුවරුව නොපෙනෙන බැවිණි. මා සිටි තැනට උඩින් තිබු ගසක අත්තක වසා සිටි කාක්කෙක්ගේ වසුරු පිඩක් චකස්..යන හඩින් බිම පතිත විය..විසිරී ගිය වසුරු මාගේ සපත්තු යුගලයට මද වශයෙන් ඉසිරී ගියෙන් මා වහා එතැනින් වෙනතකට ගෑටුවෙමි.

පසුපසින් තිබුණු කුඩා තේ කඩයක අයිතිකරු දොර නොඇරම කඩය අස්පස් කරනු පෙනේ. සෑහෙන වෙලාවක් සිටියද බසයක් ඒම ප්‍රමාද වූ බැවින් සිගරට්ටුවක් ඉරීමේ ආසාව තදින් දැනෙන්නට විය. හෙමින් සීරුවෙ කඩකාමරය  ලගට සේන්දු වුනෙමි. සිකරට් නෑ..හ්.. මළ පනින ලද්දෙකුගේ සුවරූපයෙන්  ලැබුණූ පිළිතුරෙන් මා වහා පාරට පැමිණියෙමි..ඒ තවත් මොනවා හරි  පනිනතොත් අන් අයගේ අවධානයට මා ලක්වීමට ඉඩ ඇතැයි යන නියත වූ බියකින්ය. සිගරට් බීම ගමනාන්තයට කල් දැමුවෙමි.

නානප්‍රකාර මිනිසුන්ගේ නානප්‍රකාර ක්‍රියාකාරකම් බලමින් නිකරුනේ කල් ගෙවාලන්නට මා හට සිදු විය. ඒ වන විට අප සිටි තැනින් ගමන් කරන බොහොමයක් වාහන ඈත ප්‍රදේශවලට ගමන් කරන ඒවා විය. ඇතැමෙක් ඈතින් ධාවනය වන බසයක් වෙත බසය ලගා ‍වෙන්නටත් පෙර  ඒ දෙසට දුවන්නට විය. එහෙත් ඒවා නොනවත්වා ධාවනය කරන්නේ ඈත ප්‍රදේශ වලට  ධාවනය වන බැවිණි. වරක් නොව කිහිප සැරයක්ම එසේ කළද යථාර්තය අවබෝධ කරගත්තාක් මෙන් පසුව සිටි ස්ථානයටම වී උන්නේ පසුව වටපිට විපරම් කරද්දී දැනුනා වූ ලැජ්ජාව නිසාදෝයි මට සිතුණි.

ක්ෂණයකින් මාර්ගයේ අනිත් පැත්තේ සිට කහ ඉර දිගේ පාර පැනීමට මාන බලා ඉන්නා කෙල්ලක මගේ නෙත ගැටින..ඒ ඒවන විට එතැන උන් එකම ගැහැණු පරානය වූ බැවින් යැයි මට සිතුණි. දිගු කලිසමකින් හා කහ පාටැති ටී සර්ට් එකක් පැළැදි ඇය පිටමත  ඇයට වාවා ගත නොහැකි යැයි සිතෙන තරමට විශාල වූ බෑගයක් විය. ඉතාමත් අමාරුවෙන් වුව ඇය අප සිටි පැත්තට පැන ගත්තීය. මාගේ දෙනෙත් ඇය දෙස බලා උන්නේය. මා පමණක් නොව මා ආසන්නයේම උන් වසර හතලිස්පහක් පමණ යැයි කිව හැකි වයස් ඇති පිරිමියෙකුගේද දෙනෙත්  ඇය කෙරෙහි ඇති බව  මට පෙනුනේ, මා දෙස ඇතැමෙක් බලා හිිදින්නේදැයි සැක හැර ගනු වස් වටපිට බලන කල්හිය. අප උන් තැනට මීටර්  දහයක් පමණ දුරින් ඇය ගමන් වේගය බාල වුණු අතර, එතැන්හි තිබු විදුලි කණූවක් ආසන්නයේ ක්ෂණයකින් බිමට නැමී වමණය දමන්නට වූවාය. බසයේ පැමිණ ගමන් මහන්සියට එසේ වන්නට ඇතැයි මට සිහිවිය. මට දුක සිතුණි. මා ඇය සිටි දෙසට ප්‍රතිවිරුද්ධ දෙසට හැරුණි. පෙර කී මිනිසාද ඇය වෙත දෙනෙත් යොමා උන්නේය. පැය කාලක් පමණ වේලාවක් ඇය විටින් විට වමනය කරන්නට වුවාය. විටෙක හිස ඔසවා තමා දෙස කවුරුන් හෝ බලාසිටින්නේදැයි සැක හැර දැන ගැනීමට මෙන් වට පිට බලන්නට වූවාය.

මා සිත දෙලොවක් අතර  තනිවිය. ඇයට කුමක් සිදුවීද යන්න විමසීමට යනවාදැයි මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන්නට විය. ඇය කෙල්ලක ත්, මා කොල්ලෙකු ත් බැවින් බලා සිටින්නවුන් මා ගැන වැරදියට සිතන්නට පුළුවනි මට සිතුණි. එසේ අසන්නට ගොස් ඇය විසින්ම මට ඇණුම් පද වලින් සංග්‍රහ කරන්නට වුව හොත් මා හට පොලොව පලා යන්නට නොසිතෙන්නේද...මගේ සිත මුමුණන්නට විය....මා එහි නොගියෙමි. පවු අසරණ කෙල්ල  ඇයත් මා මෙන් ඈත පිටිසර ගමක සිට මා මෙන්ම බසයක සිටගෙනම ආවා වන්නටද බැරි නැත. මෙහි සිටින කවුරුත් මා කවුරුන්දැයි නොහදුනන නිසා ඇය ලගට යනවා යැයි මගේ හදවත කොදුරන්නට විය. නැවතත් මා පසුපසින් සිටි මිනිසා දෙස හොරැහින් බැලීමි. එවිට ඔහු මා දෙසත් ඇය දෙසත් මාරුවෙන් මාරුවට බලනයුුරු මට පෙණින. මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. එහෙත් ඇයගෙන් සුව දුක් විමසීමටවත් ඇය වෙත ලගා වීමටවත් මගේ සිතුවිළි ඊට ඉඩ නොදුන්නේ මන්දැයි  මටම ගැටළුවක් බදුය.

මා ඇය වෙත නොගියෙමි. එහෙත් ඊට මොහොතකට පසු ඇය අප සිටි ආසන්නයට පැමිණියද පියවර දහයකට පමණ වඩා ලගටද නොපැමිණියාය. මා ඉතාමත් හොදින් ඇයගේ මුහුණ ග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරීමි.  ඒ වනාහි වනචර කමක් හෝ වෙනත් නරක ඡේතනාවකින් නොවන බැව් කියන්නට මා උත්සාහ නොගනිමි. පසු දින රැය මුළුල්ලේම මත් පැන් පානය කළ පුද්ගලයෙකුගේ මුහණකිය මට ඈ වෙතින් දකින්නය හැකි වූයේ. බොහෝ වේලාවක් බසයක නිදාගෙන පැමිණී ගැහැණියකගේ මුහුණක් එසේ නොවන බව මගේ හැගීමයි. මා ඉතා හොදින් ඇගේ මුහුණ දෙස පරීක්ෂාකාරිව බලා උන්නෙමි. ඇගේ දෙනෙත් ඉදිමි දොඹ ගෙඩි මෙන්ය. තෙල් ගතියෙන් යුතු ඇගේ දෙකම්මුල් හරියට කොත්තු ගසා අවසන් කරන ලද කොත්තු තැටියක් මෙනි. ඇය මුළු රැයම නිදි නොලබාම පහන් කල යුවතියකැයි මට සිතුණි.

පිටිසර ගම්වල සිට නගරයේ ඇති ඇගලුම් කම්හල් වල වැඩට එන ඇතැම් තරුණ යුවතියන්, තරුණයන් හා විවාහ නොවී, විවාහ වූවන් සේ එකට ජීවත් වන බව මා අසා ඇත. සාලිය අශෝක මාලා මෙන් ටික කලක් පමණක් ආදරයෙන් ඔකදවන ඔවුනොවුන් වෙන් වී යන්නේ දැන් දැන් ලාංකීය සංස්කෘතිය බටහිරකරණය වී ඇති සෙයක් පෙන්වමිනි.සැබෑ සුන්දරත්වයෙන් සෙනෙහසින් පිරි දීර්ඝ යුග ජීවිතයක් ඔවුන් අපේක්ෂා නොකරනවා ඇතිය. තාවකාලික ලිංගික ආලිංගනයේ යෙදෙමින් ඔවුන් පතන්නේ කුමන සතුටක්දැයි විටෙක මට සිතේ. ඇතැම් විට ඇණුම් බැණුම් පහර දී ගැනීම් වලින්ද ඔවුන්ගේ ජීවිත පෝෂණය වන්නා සේය.  නැවතත් හිමිදිරි පාන්දරට කිසියම් දෙයක් ‍සිදු නොවුවා සේ ඔවුන් හැසිරෙන අයුරු  මා දැක ඇත.  කරදර වලින්  බේරීමට බැරිම තැන හිමිදිරි පාන්දරම ඇය නිවසින් බැහැරට යන අවස්ථාද එමටය..මෙයට නගරයේ කියා හෝ ගමේ කියා වෙනසක් නැතිය...එසේනම් මැයත් එවන් යුවතියක් නොවන්නේද..මොළය සිතුවිලි මවමින් හා මකමින් උන්නේය...

නොහදුනන යුවතියක නොහදුනන පිරිමියෙකු දෙස ක්ෂණයකින් බලා නැවත ඔහු දෙස නොබලන බව මා දනිමි. බලන්නේ නම් ඒ කලාතුරෙකිනි. එහෙත් දැන් දැන් ඇය මා දෙසම බලා සිටින්නට වූවාය. මගේ සිත ලැජ්ජාවකින් මෙන්ම සියුම් වු චකිතයකින් වෙලී ගියේය.මා මොහොතකට  පසුපසින් සිටි  මැදිවියේ උන් මිනිසා දෙසට කිට්ටු වී අහක බලා ගත්තෙමි. ටික වේලාවක් වෙනතක බලා උන් මා නැවත හොරැහින් ඇය දෙස බැලුවෙමි. තවත් පිරිමියෙකුගේ උරහිසට ඉහළින් ඇය මා දෙස බලා ඉන්නා අයුරු මට පෙනිණ.

ඇය මන්ද මානසික යුවතියක්දෝයි මට සිතුණි.එහෙත් ඇදුමින් පැළදුමෙන් හා හැඩහුරුකමින් එසේ නොවන්නේ යැයි මගේ සිත මටම දොස් පවරන්නට විය .ඇගේ ඉදිමුණු දෙනෙත් යුගලය හා තෙල් සහිත මුහුණ නොවන්නට ඇය සුරූපිණියක් යැයි මට සිතුණි. ඒ කෙසේ වෙතත් මෙතෙක් වේලා මදෙස බලා සිටින ඇය කුමන හෝ සමාජ අසාධාරණයකට ලක් වූ යුවතියක් විය යුතුය.නොඑසේනම් සමාජයේ අසාධාරණ යැයි සම්මත රැකියාවක් කරන්නියකු විය යුතුයැයි  මගේ සිත උපකල්පනය කරන්නට විය.ගමින් නගරයට බට අහිංසක යුවතියක යන එන මං නොදැන අතරමං වූවාදෝයි මට වරෙක සිතුණී.

එසේ  නොමැත්තේ නම් ඇය නූතන නගර  සෝභිනියක් ද යන්නත් මා තුළ සියුම් සැකයක් ඉපැදිණ. දිනෙක අනුරාදපුර නගරයේදී  කාන්තාවක් මට අතවනා කතාකල අයුරු මට සිහි විය. ඇය වයස පනහත් ඉක්මවන ලද්දියකැයි මට සිතුනි. කිසිම දිනෙක ගණිකාවක් දැක නොතිබුණු මා මේ නම් ගණිකාවක්ම විය යුතුයැයි මා අවබෝධ කර ගත්තෙමි. ඔවුන් දැකීමත් පිළිකුලක් අප්පිරියාවක් දනවන්නකි...මැයත් එසේ ගණිකාවක් නම්  මා හට  ඉගියකින් හෝ ආමන්ත්‍රණය කරනු ඇත. අනුකම්පාවෙන් ඇය දෙස බැලූ මා කෙරෙහි වෙනත් වූ සංවේගයක් උපද්දවාගෙන එසේ මා වෙත ආමන්ත්‍රණය නොකිරීමෙන් ඇය ගණිකාවක් නොවන බව තහවුරු නොවන්නේද.?

ගැබිණියක් වීමේ මුලික අවස්ථාව වමනය දැමීමෙන් පසක් නොවන්නේද, කවුරුන්  හෝ පාදඩ පිරිමියෙකුගේ රුධිරයෙන් නිපන් කළලයක් ඇය කුස තුල දරා නොසිටින්නේද.. අනියත බියකින් මුසු සෝකීය දෙනෙතින් යුක්තව මා දෙස බලා සිටින ඇය දෙස මා සිතේ කිසිදු හැගීමක් පහළ වූවේද නොවූවේ ද යන්න පවා සිතිය නොහැකිය.

ගුවන් තොටුපොල වෙතට දිවෙන බසයක් අප  ඉදිරියට විත් නතර කෙරින. බසයට නැගි  මා නැවත වරක්  ඇය දෙස බලන්නට උත්සාහ කළෙමි. ඇය ඔහේ බලාන උන්නාය එහෙත් එම දෙනෙත් යුග කවුරු දෙස එල්ල වී ඇද්දැයි මා නොදැක්කෙමි. එහෙත් ඇය බලා උන්නාය.

Monday, March 23, 2015

ෆේස්බුකියෙන් හමු වූ ගුරුවරියේ


මිතුරන් සමග දොඩමලු වෙන වයිබරියේ
නුඹ එනතුරා නැත නින්දට ඉඩ හැරියේ
කවිපද මුමුණමින් මුළු දවසම සැරියේ
එනවද ඉක්මණට‍ හිතවත් ගුරුවරියේ

කාලය වටී මිල නොකලැකි විලස ලොවේ
මාලය වටී ගිරවට නැති වුණොත් තැවේ
ජාලය නොමැති තැන අප හමු වේද බවේ
තාලය අරන් රස විදපන් මගේ කවේ

රසවත් බව දැනෙයි දැන් දැන් නුඹෙ ඇසුර
හිත යයි සොමනසින් වෙත නුඹෙ මුව කතුර
පවසට බිදක් දිය හැකිනම් ඇල් වතුර
එය වෙයි සැබෑ මිතුදම හිතවත් මිතුර

පෙරදි රැයේ යුග ගැන දොඩමලු වූවා
තනියම ඉන්න මට අද එය සිහි වූවා
කවුරුත් නොමැති පැළ අද මම තනි වූවා
ගළපන විටදි සිවුපද දුක දුරු වූවා

මතකෙට ආවොතින් හිතවත මේ මිතුර
ඇරයුම් කරමි බැලුමට මගෙ කවි වතුර
වරදක් දුටුව හොත් අරගෙන නුඹෙ කතුර
නිවැරැදි කරනු මැන මම නොම වෙමි චතුර

පරබස උගන්වන හෙළ දරු පිරිසකට
‍නොකරන් අගරුවක් කිසිවිට හෙල බසට
හැකිනම් අදින්නට ඔසරිය විදුහලට
එය තව සේවයකි නුඹගෙන් සිරිලකට

Wednesday, March 18, 2015

ආදරණීය ශිෂ්‍යයෙනි, ශිෂ්‍යාවෙනි.




ආදරණීය ශිෂ්‍යයෙනි, ශිෂ්‍යාවෙනි.


නුඹ මෙන්ම අපද මේ පූජනීය වූ පාසල් මාතාවන්ගෙන් එකොළොස්වසක් මුළුල්ලේ අකුරු  උගෙන ගත්තෙමු. මේ බෝ සෙවණ යට  හිද අප සැමදා,  උදෑසන පන්සිල් සමාදන් වූවෙමු. අකුරු උගෙන ගත්තෙමු. අද නවීකරණය වී ඇති මේ බෝදී ප්‍රාකාරය එදා නටඹූන්ව ඇති කල්හි ඒ මත දුව පැන සෙල්ලම් කළෙමු. මකුළු දැල් වලින් ගහන පුංචි බුදු කුටියේ වැඩහුන්  බුදුන්වහන්සේ එදා පුංචි අප දෙස බලා සිටින්නට ඇතිය.
          විවේක කාලයෙහි පාසල පිටුපසින් ඇති ඝන කැලෑව අපගේ ක්‍රීඩාපිටිය විය. අප  හොරා පොලිස් සෙල්ලම් කළෙමු. සොරුන්ගේ අත් පිටුපසට බැද ගස්වල බැදීම පොලීසියේ රාජකාරිය විය. ඇතැම්විට සෙල්ලම අවසානයේ ප්‍රමාද වී පන්තියට පැමිණි අප පන්ති භාර ගුරුතුමාගෙන් පහර කෑමටද ලක් වුණෙමු.පාසල පිටුපස  කැලේ මැද හරියේ ඇති සියඹලා ගසෙහි නැග සීනි සියඹලා කන්නට අප ප්‍රිය කළෙමු.
          ලොකු හෝල් එක (අප එයට  එසේ ඇමතුවෙමු...ප්‍රින්සිපල්ට..අප ඇමතුවේ ලොකු සර් ලෙසටය...ඒ   වූ කලී  උපරිමාර්ථ වූ ගෞරව වචනයක් යැයි අද අපට සිතේ) පිටුපසින් තිබූ පොල් අතු සෙවිලි කල පන්ති කාමරයේ හිද  උක්කු මැණිකා ගුරුතුමිය හා  ප්‍රේමලතා ගුරුතුමිය  අපට හෝඩි පොත ඉගැන්වූ අයුරු තාම මතකය. පසුකලෙක ඒ පොල් අතු සෙවිලි කල පන්ති කාමරය කඩා දැමූ පසු ක්‍රීඩා පිටියට ආසන්නයේ කනේරු ගස් සෙවණේ  අප අකුරු උගනිපු හැටි තාම සිහිපත් කරමු. රම්බන්ඩා ගුරුතුමා හා   කොකොනට් ටො‍ෆී හැදූ හැටි කිසිම දිනක අමතක නොවනු ඇත.
          වැසි දිනයේ පිට්ටනියේ වලවල් හාරා පැහැදිලි වතුර  උනනවා දැකීමටත් ‍එම වතුරෙන් එම වලවල් පිරෙනු දැකීමෙනුත් අපගේ සිත් සතන් ප්‍රබෝධමත් විය.
          කරන ලද නොයෙක් වැරැදි උදෙසා අප විද ඇති දඩුවම් මේ යැයි කිව නොහැකිය...එහෙත් එය එකිනෙකාට අනුව වෙනස් වනු ඇත. ඒ  මෙන්ම කරන ලද යහපත් දේ වෙනුවෙන් අපට නොයෙක් අවස්ථාවන්හි පැසසුම්ද නොඅඩුව ලැබුණී.
          මහා සාගරය බදු ඒ අතීත සැමරුම් තුළීන් දිය දෝතක් ගෙන ඒම අප වරදක් කොට නොසිතන්නෙමු. මන්ද එසේ නොකොළෝනම් අප නිවට නියාලු බියගුල්ලන් නොවන්නේද.?.අතීතය අමතක කර ඇති මෘගයින් රැළක් නොවන්නේද?..අප එදාද අපගේ පාසල් මෑණියන්ට ආදරය කළෙමු. එය නොනිවෙන පහනක් ලෙසින් අදටත් අප හද මැදුරෙහි තැන්පත් වී ඇත්තේය.
          අද එදා මෙන් නොව අපගේ පාසල් මාතාව නොයෙක් අයුරින් පෝෂණය වී ඇත්තීය. නමුදු එදා මෙන් සුළුවෙන් තකන සමාජයක් නොව ඔබේ එක් පියවරකින්  ඔබේ ජීවිතය මහා පෙරළියකට භාජනය වනු ඇත. ඒ නිසාම ඔබ තබන්නා වූ පියවර  ඉදිරියටම තැබිය යුතු වන්නේය. ලැජ්ජාව බිය පාදක කොටගත් සංස්කෘතියකින් අප  පැවත එන්නෙමු. අනාගතයේදීත් එසේමය. එහෙත් අප ලජ්ජාව හා බිය ඇති කර ගත යුත්තේ අයහපත් දේ කිරීමට මිස යහපත් දෙයින් ගැළවීමට නොවේ. එසේ හෙයින් අප අපගේ සංස්කෘතිය ඒ ආකාරයට වෙනස් කර ගතයුතු නොවන්නේද.?
          ඔබේ දක්ෂතා ඇගයීමට හා දිරි ගැන්වීමට අප උත්සාහ කළෙමු.එහෙත් උත්සාහ කරමු යන සෘනාත්මක සංකල්පය හමුවේ එසේ කරන්නට අප අපොහොසත් වූවෙමු. අප  නැවත උත්සාහ නොකරන්නෙමු.. නමුදු අප එය කරන්නෙමු.ඔබ වෙනුවෙන්..සහ මේ රටේ ඉදිරි පරපුර වෙනුවෙන් අප එය කරන්නෙමු. අපට අවැසි උගත් මෙන්ම බුද්ධිමත්  නිර්මාණාත්මක භාවයෙන් පිරිපුන්  යහපත් පුරවැසියෙකු මේ සමාජය වෙත පිළිගන්වන්නටය.
          ඉතින්, ඔබ වෙනුවෙන් අප ඔහු නිර්මාණය කළෙමු. අප ඔහුට හුරුළු ගම් පුබුදුව යැයි නම් තැබුවෙමු. තවමත් බහතෝරන වියේ පසුවන ඔහු ලබන්නා වූ බක් මස 16 වන දින දොරට වඩිනු ඇත. ඒ මහා බක්මහ  සැනකෙළීය දිනයි..
          එදිනට ඔහු ඔබට වටිනා තෑගි රැසක් පිරිනමන්නට අදහස් පොදි බැදගෙන සිටී. එහෙත් ඒ වෙනුවෙන් නුඹට  කරන්නට යමක් ඇත. ඒ ඔහු වෙනුවෙන් කුමක්  හෝ නිර්මාණයක් කිරීමය. එය වූ කලී කාව්‍ය පන්තියක්, කෙටි කතාවක්, නිසදැසක්  හෝ ඕනෑම නිර්මාණයක්  ඔහු බලාපොරොත්තුවෙන් සිටී...එන්න ඔබේ නිර්මාණයත් සමග  ඔහු නොහොත්  හුරුළු ගම් පුබුදුව  ඔබ වෙනුවෙන් දෙනෙත් අයා බලා සිටී.

ප.ලි,   වෙන් වී ගොසින් පහලොස් වරක් ඇත්තේ
          නුඹෙ ආදරය සෙනෙහස අමතක නැත්තේ
          කළ දගකාරකම් මම නුඹෙ හද පත්තේ
          සිහිවන විටදි හද කදුලිනි සිප ගත්තේ

දුප්පත් හදවතට නුඹ දුන් අවවාද
විසිරී යයි කියා කිසිවිට සිතුවාද
නිතරම ඔබේ හැගුමන් හා වී හාද
මම වැඩ කරමි නොමදෙමි කාටත් වාද

සිප් කිරි පොවා අප ඇති දැඩි කරන්නට
නුඹ ගත් මෙහෙය මට බැහැ මිල කරන්නට
ඇති හැකි එකම දෙයනම් මට පුදන්නට
ඉඩ දෙනු මැනවී නුඹෙ ඇකයේ රැදෙන්නට

Wednesday, February 25, 2015

ගියහොත් සුසානෙට මදකට ඇසේවි නුඹට හඩා වැලපෙන හැටි ප්‍රේමවන්තයින් ආදරය ඉල්ලා


සිරාගෙ කාමරේ  අජරාමෙට බූට් මාසයක් දාගෙන භූට් කාපුඋන්ගෙ අත්දැකීම් අයියෝ කොත්තමල්ලී...දුක හිතෙනව ඇත්තටම සිරෝ ඒ වෙන අටමගලෙකටත් නෙමේ අවුරුදු ගාණක් ලව් කරා...එක පාරකට බූට් එකක් කන්ඩ බැරිවුනා......සිරාගෙ කාමරේට ගියපු හිංද තමා ඒකෙත් රහ තේරෙන්ඩ පටන් ගත්තෙ..

ඒ දවස්වල මට මතකයි මම පුංචි කාලෙ 12 වසරෙ වගේ හිටිය අයිය කෙනෙක් පීරිසියකට අත කපාගෙන...ලේ පෙරාගෙන...විදුහල්පතිගෙ ඔ‍‍ෆිස් එක ඉස්සරහට ආව..පොඩි වුන් කාලෙ තේරුන්නැති වුනාට පස්සෙ කාලෙක තමා මතක් වුණේ ඒ අයියටත් බූට් මාසයේ අයියලාට වගේ  බූට් එකක් වැදිලාතමා කියල..(හැබැයි පස්සෙ උන් බැදල දැන් දරුමල්ලොත් හදාගෙන ඉන්නවා)

ඔය ගොඩක් කෂ්ටිය  ආදරේ යෂ්ටිය අතට ගන්ඩ කලින් වගේ මාත් ඒක අතට ගත්තා...කොච්චර දේවල් කිව්වත් ඒ වෙනකොට මගෙ වයස නම් කියන්ඩ හිතෙන්නෙම නෑ..වෙන මොකවත් නෙමේ ලැජ්ජාවෙ පණ නහිනවා..ඒකයි...මොකද ඒ කාලෙ  අපෙ වෙන්ඩ මාමණ්ඩි කාරයා කියල තියෙන්නෙ...ඔය චූ බරට &*^& කෙල්ලො ගන්ඩ පුළුවන්ද කියලයි...හැබැයි පස්සෙ දවසක උන්දැට මං කියල දුන්න....කොල්ලගෙ කෙරුවාව....ඒ දවස්වල මොට වෙච්චි උල්පිහියකුත් ඉනේ ගහගෙන අපේ ගෙදර එහෙමත් උන්දැ ගාටලා තියෙනවා....මොනව උනත් අපේ අම්මනම් කිව්වෙ .."පුතේ කෝකටත් ටිකක් පරිස්සමින්..." කියල. ඒ  දවස් වල මාත් නිකං වීරප්පන් වගේ....කිසි කෙනෙකුට හොයා ගන්නත් බෑ අපි කොහෙද ඉන්නෙ, මොනව කරනවද කියලවත්...වෙන්ඩ මාමණ්ඩි උතුමාණන් කොහෙන්හරි පාත් වෙනව කියල ආරංචියක් ආවොත් ඒකත් ඉතින් තප්පරේ යන්ඩ කලියෙන්  මගෙ දෙකනට වැටෙනව...රජ කාලෙ ඔත්තු සේවෙකුත් මට උන්නා.(දෙක වදිනකොට  මාසෙකට කලින් කාපුවත් වමාරන)

ඒ කතා ටික පැත්තට දාමුකො...මොකද  හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට කියනවනෙ නේද...මේ කතාව කියන්ඩ ටිකක් උත්සාහ කරන්නෙ සිරා කොළුවගෙ බූට් මාසෙ වෙනුවෙන්ම නෙමේයි. ඒත් ටිකක් ලියන්ඩ හිතුණා. මේක ඇවිල්ල අවුරුදු 40 ට විතර කලින් ලවු එකක් කොටින්ම කිව්වොත් අපෙ අම්මගෙ කාලෙ.....මහ ලොකු කාලයක් නෙවෙයි ..මොකද මං හිතන්නෙ මේ බූට් කන එකට සෑහෙන අතීතයක් ඇතිනෙ...ඉතින්,අපේ අම්මත් එක්ක එකට ඉගෙන ගෙන තියෙන නැන්ද කෙනෙක්..එච්එස්සී විභාගෙත් හොදටම පාස් කරල තියෙනවා...ඒ කාලෙ හැටියට ඒ පැත්තෙන් ඒච්එස්සී විබාගයක් පාස් උනා කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද... ඒ වගේ මිනිස්සුන්ට තාමත් ගම්වල මිනිස්සු ගරු කරනවා...කතාව නොපිටට යන්ට හදනවා වගෙ...ඉත්න් මේ නැන්දගෙත් කල වයස මෝරාගෙන එනකොට....මල්සරා ඊතලේ විදල...මල්සරාගෙ ඉලක්කෙ කියන්නෙ..නැන්දගෙ  පපු කැනැත්තටම තමා එල්ල කරල තියෙන්නෙ....ඉතින් නැන්ද එතැනම මුසපත් වෙලා ආදරෙන්....දැන් ඉතින් නැන්ද මාමගෙ ආදරේ සරුවට වැවීගෙන යනවලු...දෙපැත්තෙන් ගල් මුගුරු දෙන්නට දිනපතා වදිනවලු...ඒත් දෙන්නගෙ ආදරේ බිදක්වත් අඩුවුණේ නෑ කියලලු ඒ දවස්වල උන්නු ගම්මු අදත් ඔය ශ්‍රමදාන වගේ පොදු තැනකට එක්කහු උනාම  දොඩවන්නෙ...
ඒ තරමටම ආදරෙන් වෙලී බැදී ඉදල තියෙනව ඉතින් මේ දෙන්න. නැන්දටත් ඉතින් දෙන්න පුළුවන් හැමදේමත් මේ අපිරිමිත ආදරය වෙනුවෙන්  අර මාමට පූජා කරල...ඕක දැනගත්තු අර නැන්දගෙ ගෙදර කට්ටියට පස්සෙ ගිනි පත්තුවෙලා...ඒත් කට්ටියම පරක්කු වැඩී..අහිංසක නැන්ද ඇග හම රැළි වැටෙන්ඩ ඔන්න මෙන්න  වන තුරුම තනිකඩ ජීවිතයක් ගත කරා.....වන මලකගෙ රොන් උරා බීපු ඒ අසික්කිත වන බඹරාට මොකද්දෝ කැම්පස් එකකින් ලැබිච්චි උපාධියෙන් ලොකු රස්සාවකට  ගිහින් අන්තිමේට ගමෙනුත් ගොහිං කියලයි ගම්මු නං කියන්නෙ... ගමේ වයසක මාම කෙනෙක් එක්ක පස්සෙ කාලෙක දීගෙක ගියපු නැන්දට පුංචි පුතෙකුත් හැබැයි හම්බ උනා...දොස්තරලනං කියල තියෙන්නෙ...ගර්භාෂ බිත්ති වේලිලාද කොහෙද නිසා  නැන්දට ගොඩක් අමාරු වුණා කියලයි...මේවත් ඉතිං ගම්මුම කියන දේවල් උනත් ඉතිං මේව ඔක්කොම ඉදුරාම ඇත්ත කියලයි මගෙ හදවත නං කොදුරන්නෙ..හැබැයි ඉතින් හම්බෙලා ඉන්න කොලු පැටිය නම් ශාන්ත දාන්ත කුරුළු පැටියෙක් වගේ...හැබැයි පැටියගෙ තාත්තටනං අවුරුදු 40 ට කිට්ටු වෙන දු පැටික්කියකුත් ඉන්නවා ඕං. ඒ ඔක්කොම මේ කොලු පැටියට ගොඩාක් ආදරෙයි...හැමදාම ඒ නැන්දලා දාල තියෙන පුංචි කඩ පොඩ්ඩට ගොඩ වෙලා සිගරට් එකක අමෘත රස විදින මට ඒ රහත් පේනවා...හැබැයි තවත් එක දෙයක් කියන්න තියෙනවා...ලමිස්සී කාලෙ නැන්දගෙ රොන් උරා බීපු අර පාදඩ වන බඹරට තාම දරු පැටියෙක් හදා ගන්ඩ බැරි වුණාලු....හැබැයි ඉතිං නැන්දනම් කියන්නෙ ජීවිතේ කවදාවත් ඒ මාමට සාප කරේ නැහැයි කියලලු....

ඒ එකම එක සිදුවීමක් ජීවිතේ පුරාවටම වැළපෙන..." ඇයි ජනකගෙ අක්ක එල්ලිලා මැරිච්ච හැටි....අයියෝ දුකේ බැරුවා ඒ තරමටම  සීදේවි කෙල්ල....ඒකිත් ඒකිගෙ අම්මම අඹපු එකී...අර කොහේදෝ නැති එකෙක් හිංදා බෙල්ලෙ වැල දාගෙන මැරුනා..ඇයි කනේරු  කාල මැරිච්ච ජයතිලක ...පවු මුළු පවුලම ගොඩ දාන්ඩ හිටිය එකම කොල්ල මුලු ගමටම උෟ ආශිර්වාදයක්.....කොහේදෝ නැති වංශක්කාර එකියක් හිංද නිකරුනේ මැරිලා ගියා..." මේ සියල්ලම ගමේ ගොඩේ ගෑණූන්ට නං කටේ විකන හපයක් වගේ කොච්චර විකුවත් ඇතිවීමක්නං නැත්තේමය....


ගියහොත්
සුසානෙට මදකට
ඇසේවි නුඹට හඩා වැළපෙන හැටි
ප්‍රේමවන්තයින්
ආදරය ඉල්ලා

Friday, February 20, 2015

නුඹ කෙසේනම් යම්ද අතහැර


ඩා බිදු රුහිරෙන් නැහැවී
පිට කොන්දෙන් දෙකකුල් සිඹ
මහපොලොවට එක් වූයේ
ප්‍රාණ රුධිරයයි අපගේ

මහා වෘක්ෂයන් පෙම් බැදි
පොරෝතලේ සෙනෙහස විද
මහ පොලොවට සිදලූයේ
ප්‍රාණ ශක්තියයි අපගේ

දේදුනු තැනුමට ලකඹර
ජීව හුස්ම පෙව් දියකර
නුඹ කෙසේනම් යම්ද අතහැර
ප්‍රාණයන් නුඹ සැදුව දැඩිකර

Wednesday, February 18, 2015

පුංචි පුතුට පණිවිඩයක්


යනෙන විට මග තොට
පරසිදු වදන් සිහියට
ආවොතින් සැමවිට
ලියා ගනු පුත වේය සුමගට

මිතුරන් සමග ගමනක්
යනෙන විට පැය ගණනක්
කිසිවිට පරුෂ වදනක්
නොපවසන් ගැහැණුන්ට අගනක්

උගත් දේ කිසිවිට
නොගත යුතු වේ තරහට
මිතුරන් සමග පමණට
කතාබහ යහපත්ය දිවියට

දැන උගත්කම් වත්
බලයෙන් පොහොසතින්වත්
දන මනිනු ගියහොත්
දෝශයක් එය කරමි සිහිපත්

සරල ලෙස දිවියක්
වේය නිතරම සවියක්
පෑන ඉස්සර අවියක්
ලියාපන් එක පුංචි කවියක්

මාරයා සැම විට
ශූරයාමයි දිවියට
කාරයා යැයි කිසිවිට
නොපවසන් පුත මාළු මාමට

සයිකලෙන් යනවිට
ගුරුතුමෙකු හමු වූ විට
දෙවියෙක්ය සිහි කොට
බැසිය යුතුමයි ගලව කැහැපොට

මට මතක නැත්තේ
සිහියක් පතක් නැත්තේ
යන කියුම් ඇත්තේ
මොඩයින්ටයි සිතිය යුත්තේ

ඉතිහාසයෙන් ගත යුතු
පාඩම්ය සිහිකටයුතු
තම යුතුකම්ම කල යුතු
හොද පුතෙකු වනු දැයට මින් මතු

ගැහැණූ ළමයින් හමුවන
සොයුරිය ලෙසට සළකන
හොද පුතෙකු වනු මැන
කුමට නුඹ හට තවත් අබරණ

Wednesday, February 11, 2015

අම්මේ


දරුවන් පිරිමි තිදෙනෙකි ගෙදරට හිටිය
නංගී තවම සුවදින් පිරි කිරි කැටිය
කාමර දෙකකි ඔක්කෝටම එහි සිටිය
වහලය පිදුරු සෙවිකල බිත්තිය මැටිය

හඩලන විටදි කුකුළා, නැගිටින අම්මා
තේ මුට්ටියක් ලිප උඩ තියමින් පෙම්මා
මුමුණන  ගීයකින් කම්මැලි කම පන්නා
වී ටික රැගෙන ගැරුමට කොරහට දැම්මා

නිදිබර පෙනුම ඇගෙ මුහුණින් පැන යාවී
මුතුවැල් විලස කවිපද මුවගට ඒවී
බත් ටික ඉදී සුවදින් රස ඉතිරේවී
කටහඩ ඇගේ ගේ හැම තැන  රැව් දේවී

නැගිටින් පුතුනි නැගිටින් කෑ ගසන්නී
ගේ දොර වැඩට  ඈ එහෙ මෙහෙ දුවන්නී
යන තෙක් පාසලට අඩහැර තබන්නී
කෝටුව ගන්න වුව පසුබට නොවන්නී

‍දරුවන් තිදෙන පාසල වෙත ගොස් ඇරලා
ඇය පිය මනියි හේනට කම්මැලි දුරලා
පියතුම සමග හරි හරියට වැඩ කරලා
අම්මා ගෙදර එනවිට  කළුවර කරලා

කන්නෙන් කන්න වහලය දිරුමට යාවී
අම්මා වියන පොල් අතු සැම එක් වේවී
පියතුම තැනුව වහලෙට සැරසිලි ඒවී
ඈ ගෙවිලියක් නොව ගෙදරට සිරියාවී

චින්තා මල්ලත් අතින් අරගෙන,  දරත් අරගෙන හිසේ හොවමිණ
සිතේ ශක්තිය ඇගේ දැවටුණ,   සදකි නුඹ අප  වෙතට පැමිනුණ
සිතේ සතුටින් පිරුණූ හැම දින,  නිබද සෙනෙහස හදේ  පැතිරුණ
දනිමි අම්මේ වින්ද අපමණ,  කන්ද දුක් අප නිසා වෙහෙසුණ