Tuesday, May 6, 2014

කුලහීනයා



''ලොකු දුව උඹට ඉල කැඩෙනකං කියල තියෙනව අර... අර කම්මල් කාරයත් එක්ක තියෙන පලහිලව්ව නතර කරන්ඩ කියල.......උඹල හදන්නෙ අපෙ මූණෙ දැලි ගාන්ඩද?  මහ  මිනිහ එහෙම දැන ගත්තොත් විසුමක් වෙන්නෑ....... උන් කවුද ......අපි කවුද.....ලැජ්ජාවක් නැද්ද  ලලිතා...? ඔය ඕකුන්ගෙ මහ එකා ඒ දවස්වල උඹලෑ  අප්පොච්චි දකින කොට ආ පුංචි මහත්තයා කියල සුම්බරේ අතට අරං හතරට පහට නැමිච්ච උං......ඔය කම්මල් කාරයින්ට අපෙ පවුල් පෑහෙන්නෑ ලලිතො...''

'' අනේ අම්මෙ මේ උදේ පාන්දරම අම්මට මොනව වෙලාද...මේ..මේ කුල මල ගෝත්තරේ ඇදගෙන  ලැජ්ජ නැද්ද අම්මෙ...පාරෙ යන මිනිස්සුත් හිනා වෙනව....." අතුගගා හුන් ලලිතා ඉදල මුල්ලකට විසි කර ගෙතුලට ගියාය.

" ඔව් ඔව්....පාරෙ යන මිනිස්සු හිනා වෙනව....ඒක තමයි උඹට තියෙන අමාරුව..බලා හිටිං.....!.අනේ.... හපොයි..!මෙහෙම ගියොත් අපිට දොට්ට පිළට බහින්ඩ වෙන්නෑ....මේ පරට්ටි කරන අසමජ්ජාති වැඩ හිංද........"

මුළු ගෙදරම හෝරාවක් පමණ වේලාවක් මහා නිහඩ බවකින් වෙලා ගත්තීය.මල් මල් ගවුමකින් සැරසුණු ලලිතා එලියට බැස්සාය.

"උඹ මේ උදේම කොහෙ යන්ඩද..? අද දවල් වරුවෙ නේද පන්ති තියෙනව කිව්වෙ...."

"අද උදේ වරුවෙ  ක්ලාස් තියෙනව කියල කුමුදු  කිවුව......සල්ලි නැද්ද අම්මා......"

"උඹට සල්ලි නෙමේ දෙන්ඩ වටින්නෙ ඉල අතු පාරක්....මේ කොරන වැඩවල හැටියට....හිටිං බලන්ඩ."

“ ආ....ඉදා..මේක..මේ මං හංගල තියාගත්තෙ පොඩි හාමුදුරුවො  බලන්ඩ යන්ඩ කියල....කොහෙද ඉතිං ඒකටත් වෙලාවක් තියෙනවයැ....මං නැත්තං ඉතිං අප්පට පුතාලට  බත් තම්බන්ඩ එකියක් නෑනෙ....."

"මං යනව  අම්මා....“ ලලිතා හුන් තැනම පහතට නැමී අම්මාට වැන්දාය.

"පරිස්සමින් පලයං......අරූ එහෙම මුලිච්චි වෙන්ඩ යනව නෙමේ ඕං......."

වේගයෙන් පියවර තබා යන ලලිතා දෙස මොහොතක් බලා හුන් කුසුමාවතී  ගෙතුලට රිංගුවාය.
ලලිතා කුමුදුලාගේ ගෙදර යනවිටත් ඇය ලිද ලගට වී මුහුණ සෝදමින් උන්නාය.

"මොකෝ බං මේ උදේ පාන්දරම කුකුලත් කරේ තියාගෙන.....මොකෝ ඇදේ පැත්තවත් මාරුවෙලාද නැගිට්ටෙ........ ඇයි.. ඇයි බං මේ මූණ ඇඹුල් කරගෙන..."

"නෑ...බං අදත් උදේ පාන්දරම අර කන්දොස්කිරියාව පටන්ගත්ත. බැරිම තැන උදේ පන්ති තියෙනව කියල ගෙදරින් පැන ගත්ත.."

"උඹ හිංද මටත් ගෙදරට බොරු කියන්ඩ වෙනව...මොනව කරන්ඩද උඹ ඉතිං මගෙ හොදම යාළුවනෙ...ඒ හංද  ඉවසනව..."

"ඒක නෙමේ කුමුදු.....අද ජයතිලක අයියා ටවුමට එනව කියල කිව්ව මාව හම්බෙන්ඩ.වෙන දවසකුත් නෑලු අනේ..හෙට උදේම පීඨෙට යනවලු .."

"අනේ මං දන්නෑ බං උඹ මේ කරන ඒව කොතනින් කෙලවර වෙයිද කියල..."

"උඹ කියන්නෙත් මං වැරදි දෙයක් කරනව කියලද...මොනවද බං ජයතිලක අයියගෙ අඩු....ලබන අවුරුද්දෙ පීඨෙ ඉදල ආවම ගුරුවරයෙක්...අනිත්තෙක මේ ගමේම ඉන්නවද ඒ වගේ උගතෙක්...සිංහල නම් සිංහල.. දෙමළ නං දෙමළ...ඉංග්‍රීසි නං ඉංග්‍රීසී...මොනවද ජයතිලක අයියට බැරි....ඒ වගේද ආරෝහ පරිනාහ දේහෙ....ඔක්කොටම වැඩිය ..බලපංකො කතාවෙ තියෙන ලස්සන.... ඔය වන්සක්කාරයෝ කියන උන් ලගින් තියන්ඩවත් පුලුවන්ද  බං ජයතිලක අයිය...."

" හා ..හා නවත්ත ගනිං උඹෙ ඔය  කෙහෙල්මල් වර්ණනාව......ඈ බං ලලිතො ඇතකොට අපෙ උන් පඩරැල්ද.....?

"අනේ......කුමුදු......"

"විහිළුවට කිව්වෙ බං.....උඹට දුක හිතුනද......"

පොල් පටවපු ලොරියක් සේ ගෑණූ පිරිමි පටවාගත් විල්බට් මහත්තයාගේ  මලකඩ කාපු රෝසා බසයෙන් ඔවුන් දෙදෙනා අමාරුවෙන් බැස ගත්තාය.

"අර අර ඉන්නෙ උඹෙ ආරෝහ පරිනාහ දේහෙ.පලයං ගිහිං වැදපුදාගෙන වරෙන්....හැබැයි වෙලාවට ක්ලාස් වරෙන්.....මං යනවා...."  කිසිවක් නොතෙපලූ ලලිතා හෙමින් සීරුවේ ජයතිලක ලගට ගියාය.

"දැන්ද ආවෙ.."

"ඔව් දැන් ටිකක් වෙලා.."

"ඇයි අනේ ඔය උගුර නිකං බැරැන්ඩි වෙලා වගේ.."

"හුග කාලෙකින්නෙ හම්බ වුනේ ඒ හංද වෙන්ඩැති...."

"කීයටද පංති..."

"දොලහට...."

"ගොඩක් වෙලා තියෙනව එහෙනම්..."

"හ්ම්....."

"ඒක නෙමේ.......ගෙදරින් මොනවද කියන්නෙ...තාමත් මට අකමැතිද ? අම්මලා....."
ඇය කිසිවක් නොකීවාය.  " අපි යං බස්ටෑන්ඩ් එකට..''

නිදහස සොයා යන කුරුළු යුවලක් නිල් අහස් කුස පාවී යන්නා සේ බස් නැවතුම්පොල දෙසට ඔවුන් පියවර තබන්නට විය.

" ඒක නෙමේ ලලිතා..."

"ම්....“ ඇය කොදුලාය.

"ලබන  පෙබරවාරියේ පුුහුණූව  ඉවරවෙනව. ලග ඉස්කෝලෙකට පත්වීම හදාගන්න පුළුවන් වෙයි.පංසලේ ලොකු හාමුදුරුවොත් සෑහෙන ට්‍රයි එකක් ගන්නෙ මාව ගමේම ඉස්කෝලෙට දාගන්න..“

"එහෙනම් ඉතිං මෙච්චර මහන්සි වෙලා මං ඉගෙන ගන්න ඕනෙ නෑනෙ අනේ.එතකොට ඉතිං කොහොමත් මං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්නෙ......"  ලලිතා අතක්  දිගුකර  ජයතිලකගේ නිකට මිරිකුවාය.

"ඌයි..."

"ඔයාට රිදුනද.."

"නෑ....."

"එහෙනම් ඌයි කියල කිව්වෙ..."

"ආදරේට......."

"ඇත්තටම ආදරේද.....?

"නැතුව මේ මුළු ලෝ......කෙටත් වැඩිය මං ඔයාට ආ.....දරෙයි....."

"කවද්ද අපි බදින්නෙ.......අයියෙ.....“

"පත්වීම ගත්තු ගමන් බදිමු......ගෙදරිං අකමැති වුණොත්......"

"අපි මැරෙනකම්ම ආදරෙන් ඉම්මු..."

"එහෙම වෙයිද...?

"කවදාවත් වෙනස් වෙන්නෑ මං ඔයාගෙමයි.ඔයාලගෙ අම්ම මට කැමති වෙයිද...?

"ලේලි  ගෙදර එක්ක එනකං තමා එයාල මග බලාන.....ඉ........න්....

ජයතිලකට කතාව අවසන් කිරීමට නොහැකි විණ. ඉතා වේගයෙන් පැමිණි මොටර් සයිකලයක් ඔවුන් ඉදිරියේ නතර කෙරින.

"පට්ට බැල්ලී.....තෝ පන්ති යනවා කියල නේද ආවෙ....මොනවද තෝ ඔතන ඉදගෙන කරන්නෙ ඇ...තෝ තෝ.... අපෙ පරම්පරාවම විනාශ කරනවා...පරට්.....ට බැල්ලී........."

ලලිතාගේ අයියා මරුවිකල්ලෙන් මෙන් කෑ ගහන්නට විය. මිනී මැරුමක් වූවාදෝයි ඇතැමුන් පැමිණ වටවී බලන්නට  විය.

"තොපි කම්මල් කාරයෝ ......තොට ලැජ්ජ නැද්ද යකෝ....උඹ හිතුව මදි අපේ පවුලට සම්බන්ධ වෙන්ඩ..හැහ්....අපි වගේ වන්සක්කාර පවුලකට උඹට හේත්තු වෙන්ඩ  බෑ........අන්න ඒක තේරුං ගනිං......ගෙරි.....පා....හරයා.....මෙහෙවර..... තෝ....තෝ..ව මං එවන්නං ආය  පන්ති...."

"අනේ අයියෙ.....මට බැන්නට කමක් නෑ......ජයතිලක අයියට බනින්න එපා.......ඔයාට පව් සිද්ද වෙයි.....මගෙ අයියෙ......."

"පව්.....පව් පිං ගැන  උඹ එනවද මට උගන්නන්ඩ ඈ යකෝ.....ඌට බනින්ඩ එපා කියන්නෙ මොකෝ ඌ මහ බඹාද. ඌ හිතාන ඇති ගුරුපත්වීමක් ගත්තම කූලේ උසස් වෙනවා කියල. කම්මල් කාරයො කම්මල්කාරයොමයි  යකෝ......."

ලලිතා ජයතිලක දෙසට අත දිගුකර හඩාවැටෙන්නට  වූවාය.ලලිතාගේ අයියා පහර පිට පහර දිදී ඇයව දක්කාගෙන යන අයුරු ජයතිලක කරකියා ගත නොහී කදුලු පිරි දෙනෙතින් යුතුව බලා උන්නා මිස ඔහුට කල හැකි දෙයක් නොවීය...

 ඇම්ලොප් කවරය දකිද්දීම ලිපිය කාගෙන්දැයි ජයතිලකට හදුනාගත හැකිය. මුතුවන් අත් අකුරින් ‘වෙතට‘ යන්න යොදා ලිපිනය ලියන්නේ ලලිතාම පමණක් බව ඔහු දනී....
                                                                                                                                                   නිවසේදීය
                                                                                                                      
සම්මා සම්බුදු සරණයි!

ආදරණීය මගේම  අයියා වෙත ලියමි.

වෙනදා මෙන් ඔබෙන් සුව දුක් අසන්නට මා පිං කර නැත. අයියේ මට දහස් වාරයක් සමා වෙන්න. එදා ගෙදර ගිය වෙලේ සිට ගෙදර අය මාව නොමරා මැරුව.ක්ලාස් තියා ගෙයින් එලියට බහින්ඩවත් මට දැන් තහනම්ය.ඒකටත් අප්පච්චීගෙන් අවසර ගන්ඩ ඕනෑ.මං ඔයාට එදා වගේම අදත් ආදරෙයි.ඒ ආදරය කවමදාකවත් වෙනස් වෙන්නෑ.ඒත් මේ සමාජය අපිට එකතු වෙන්නට ඉඩ දෙන්නෑ.ඔයාට හොද ගැහැණු ළමයෙක් හම්බෙයි. එදාට මං ගැන හිතන්න එපා. මට සමාවෙන්න.
                                                                                                         මීට
                                                                                                         ලලිතා
ජයතිලකගේ ඔලුව බමණය වන්නට විය. මේ ලිපිය එවා ඇත්තේ ලලිතාමද යන්න ඔහුට සැක සිතුනි.ඔහු නැවත වරක් ලිපිය දෙස නෙත් යොමා බලන්නට විය.අරක්කු බෝතල දෙකක් බිව් එකෙකු සේ ඔහුටම ඔහුගේ ගත සිත පාලනය කර ගැනීමට නොහැකි විය. ජයතිලක ලිවුම දෙස ඔහේ බලා උන්නේය.කිසිම දේශනයකට සහභාගි නොවූ ඔහු මුළු දවසම තම කාමරයටම වී සිටියේය. දිවා ආහාර පැකැට්ටුව වටා කුහුඹුවන් පිරී ගොසින්ය.දහයේ  තේකද එසේමය.

"ජයතිලක මොනවද උඹ ඔය කරන්නෙ..? දවසම කල්පනාව....මේ කෑම එක බලපං....ඒක කූඹි කනවා....මේව උඹලෑ අම්මා එක එකාගෙ ගෙවල්වල වැඩ කරල හොයා ගන්න තුට්ටු දෙකෙන් ගන්නේ..අඩුම තරමෙ ඒ ගෑනිට පිං සිද්ද වෙන්ඩ කෑම එකවත් කාපං ඉගෙන ගන්න එක පැත්තක තියල.....
දැන්.....හවස  ලෙක්චස් වලටවත් උඹ එන්නැද්ද.......?

" නෑ සුනිල් ........අද මගෙ ඇගට පොඩ්ඩක් හොද මදි......"
"එහෙනම් මං යනවා....තවත් බලා ඉන්නැතුව ඔය කෑම එකවත් කාපං....."

ජයතිලක ඇද මත වැතිර ගත්තේය. තම දෙඅත්ල හිස පිටුපසට තබාගෙන කැරකෙන විදුලි පංකාව දෙස බලා උන්නේ ය.

"කම්මල්කාරයෝ කම්මල්කාරයෝමයි....." ලලිතාගේ අයියාගේ කටහඩ දෝංකාර දෙන්නට විය. ඔහුගේ චිත්ත සන්තානය විදුලි පංකාව මෙන් වේගයෙන් කරකැවෙන්නට විය.

"ජයතිලක...!
"ජයතිලක .......!!    මොනව කරනවද බං දොර වහගෙන.....දොර ඇරහං  බං....."   කිසිදු හැල හොල්මනක් නොවීය........සුනිල් අතින් වැරෙන් පහරක් එල්ල කරේ කෝපයද මුසු වූ හැගීමකිනි. එය ඇතුළතින් අගුල්ලාය. සුනිල් කෑ ගසන හඩ ඇසී අහල පහල අයද එතැනට දිව  ආහ. බැරිම තැන සුනිල්  වැරෙන් පා පහරක් දෙර වෙත එල්ල කලේය. දොර දෙබෑ වී ගියේය. ජයතිලක ඇද මතය....එක් අතක් පහලට වැටී ඇත. කටින් ඒ වන විටත් සෙම පිටවන්නට විය. කනේරු මද කීපයක් ලියන මේසය උඩ විසිරී  ඇත.

29 comments:

  1. මේක මචං අප්ඩේටේ වෙලා නැතිව ඇති. දාලත් දවස් තුනක් වෙද්දි... අයියෝ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. මොනව වෙලාද කියල මට තේරෙන්නෑ දේශක.

      Delete
  2. කතාව ලස්සනට ලියලා තියෙනවා .
    .....

    ReplyDelete
  3. යකෝ මං මේකට විරුද්දත්තය පොකාස කොරනව...මං ආවෙ ලියන්නැති එකට ජාතිය අමතන්න ඒත් එනකොට පොස්ටුවක් දාල... අඩේ මොක අපේ රෝල වල අප්ඩේට් වෙලා නෑ...
    ටිකක් බලන්න...

    පොඩි අඩුපාඩු තිබුණත් සමස්තයක් විදියට කතාව නං පට්ට

    ReplyDelete
    Replies
    1. ලියනව ලියනව මේ අප්ඩේට් වෙන්නැති කේස් එකක් . මට මේ දේවල් වැඩිය තේරෙන්නෑ මනෝෂ් මොන රෙද්දක් වෙලාද දන්නෑ. දාන ඒව අප්ඩේට් වෙන්නෑලු

      Delete
  4. කුලය කියන්නෙ කොච්චර නෑ කිව්වත් තාම විවාහයෙදි ප්‍රධාන සාධකයක් මචං !!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පත්තරේ. කවදා නැති වේවිද කියල හිතා ගන්න අමාරුයි

      Delete
  5. කතාව ලස්සනයි. ආසාවෙන් කියෙව්වා. අප්ඩේට් වෙන්නැති අවුලක් තියෙනවා තමයි. ටිකක් බලන්න.....

    ReplyDelete
  6. කනේරු ඇට හපලා කාලා සීනිත් කන්න ඕනෑ එතකොටයි විස වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියෙ, ඒක මට ඒකට සම්බන්ධ කොරන්ට අමතක වුණා.

      Delete
  7. ජයතිලක තමන්ව හංවඩු ගහපු කුලේට නින්දා කලා. ජයතිලකට දිග ගමනක් යන්න තිබුනා. කුලය පුපුරවල සමාජයට දෙයක් කරන්න තිබුනා. ඇයවම විවාහ කරගන්න තිබුනා. දැන් කතාකරල වැඩක් නෑ. කුල බේදයනම් මං අධෝ වාතයක් තරම් වත් මායිම් නොකරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඇත්ත. නමුත් ඒක එයාට කරගන්න බැරි වුණා.ස්තූතියි මනෝෂ්

      Delete
  8. කුල භේදය කියන්නේ මේ කාලේ අලුයම ලූ කෙල පිඩක් මෙන් ප්‍රතික්ෂේප කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරිම පරිස්සමින් පිටකරන උන් ඉන්න සමාජයක් අජිත් මේ

      Delete
  9. කතාව ගැන නම් නෙවෙයි මේ බ්ලොග් ලීස්ට් අවුල් වෙලා වගේ නේද ???

    ReplyDelete
    Replies
    1. මට ඒ සම්බන්ධ වැඩි දැනුමක් නෑ. අටං මේක නැවත අරව මේව කරල දුන්න. බලමු දැන් හරියයි. (දෙයියන්ගෙ පිහිටෙන් අකුරු ටික විතරයි යන්තමට කොටාගන්ඩ පුළුවන්).ස්තූතියි සහෝදර

      Delete
  10. අදයි මේ පැත්තට ගොඩවුනේ... ලස්සනයි කතාව ...

    ReplyDelete
  11. ස්තුතියි කුශානි සාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්තට

    ReplyDelete
  12. දුක හිතුණා අයියේ, ලස්සනයි,

    ReplyDelete
  13. මේක බ්ලොග් රෝල්වල අප්ඩෙට් වෙලා නෑ වගේ..

    කතාවනම් හොඳයි, ඒත් බොහොම සුලබ තේමාවක් නේද ? පොරට ඇඟ තිබුනට මොලේ නෑ.. ඒකට කුලයේ බලපෑමක් එහෙම තියනවද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක තමායි සෙන්න මේකෙන් මට ඔප්පු කරන්ඩ ඕන වුනේ.මොලේ තිබ්බනම් මෙහෙම කරන්නෑනේ.

      Delete
  14. නියම කතාවක් මලේ. දවස් දෙකකට කඩලා කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදිකයියෙ

      Delete
  15. පට්ට කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? මේක අප්ඩේට් වෙන්නේ නෑ බන් ,මේ අහම්බෙන් ආවේ , මොකක්ද කරන්නේ කියලා හොයලා බලල කරපං අපරාදේ උඹේ ලියවිල්ල නැත්තම් .. උඹත් නියම කතා කාරයෙක් බං

    ReplyDelete
  16. තෑන්ක්ස් ඉවාන් අයිය

    ReplyDelete