Sunday, April 27, 2014

මා මෙන් වයසකයි මගෙ පෙම්බර බාරී



දිනයක උදෑසන ගමනක් යන්න සැදී
උන්නෙමි මෙමා බස් නැවතුම් පොලක රැදී
වයසක මහල්ලෙක් හැදගෙන කිලිටු  රෙදී
හෙමිහිට ගෑටුවේ බර හැරමිටට දිදී

මා මෙන් වයසකයි මගෙ පෙම්බර බාරී
සැමදා ඔත්පලයි බැහැ වැඩපල කාරී
නොගියපු දීගයක මගෙ ලොකු දූ මාරී
දැන් වයසකයි නොහදියි මංගල සාරී

පුත්වරු තුන්දෙනෙකු හැදුවේ රජුන් වගේ
දරුවන් නොවේ උන් සැම හද ගැස්ම මගේ
සිප් කිරී පොවා යැව් යහමාවතක් දිගේ
තාමත් නාවෙ ඇයි කටුමැටි පැලට මගේ

කිසිවක් නුඹෙන් පුතුනේ නැහැ පතන්නේ
වේලක් නොකා හෝ අපි කල් ගෙවන්නේ
පණ නල අදින නුඹෙ මව් පිය සොයන්නේ
නුඹ පමණමයි පුතුනේ මගේ වරෙන්නේ

පාසල් යන්න රෙදි සෝදා මැද දුන්න
බෝතල් වලින් සෙල්ලම් බඩු හැදු ගොන්න
සීතල වතුර උණූ කර බොන්නට දුන්න
හීනෙන් ඇවිත් අක්කා සිප වැද යන්න

කිසිවක් නොමැත දින තුනකින් මම කෑවේ
කියමින් දුබල වී ගිය බඩවත පෑවේ
තව දුර යන්න ඇත මට අදනම් රෑවේ
ඇතිනම් කාසියක් දෙන්නකො අත පෑවේ

දකිනා විටදි ඔහුගේ දුක්බර මුහුණ
අමතක වුණා මා හට යායුතු ගමන
සියයක් පමණි ගමනට මගෙ අත තිබුණ
කුමටද සිතන්නේ දෙවරක් මට සිතිණ



19 comments:

  1. හරිම සංවේදී සිතිවිල්ලක් වැව්.......නිර්මාණය ලස්සනයි...

    ReplyDelete
  2. හදවතට දැනෙන විදිහට ලියල තියනවා අයියෙ, නියමයි :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි සසිදු මල්ලි ස්තුතියි

      Delete
  3. ලස්සනයි, සංවේදීයි. දැනට අවුරුදු 40 කට පමණ පෙර අවිස්සාවේල්ල බස් නැවතුම්පොලේ සිටි එක්තරා යාචකයකු මේ වගේම කවි කියපු හැටි එකවරම මතකයට ආවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක, අපිටත් මෙහෙම වේවිද නොවේවිද කියල නීර්ණය කරන්න බෑ. අනාගතය ඒක විසදාවි දුක ඉවසන්න දැන් ඉදන්ම කවියක්වත් ලියල පුරුදු වෙනවා.

      Delete
  4. මහ හිස් බවක් පාළුවක් හිතට දැනුනා. ඇත්තටම පව්.…

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ඇත්තටමද එහෙම දැනුනානම් මං සාර්තකයි කියා හිතනවා. ස්තුතියි ඔබට

      Delete
  5. අපූරුයි.. වෙන මොනාද කියන්නේ කියලා මම කල්පනා කලේ..

    ReplyDelete
    Replies
    1. වෙන මොනවත් එපා ඒ ඇති

      Delete
  6. පට්ටයෝ....................
    අපූරු සංවේදී සිතුවිල්ලක් අපූරවට ගෙත්තම් කරල ජයවේවා

    ReplyDelete
  7. කියන්න තියෙන ඔක්කොම උඩින් කියලනේ...

    පට්ටයි මේක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධනා. ධනා මීට කලින් ඇවිත් නෑ වගේ පිලිගන්නව සාදරයෙන්

      Delete
  8. සමාජෙම ඔයවගේ දු:ඛිත කතාවලින් පිරිල. පුදුම කළකිරීමක් දැනෙන්නේ. හරිම අපූරුයි නිර්මාණ‍ය.

    ReplyDelete
  9. ඔව් ඒක ඇත්ත. ස්තුතියි මනෝෂ්

    ReplyDelete
  10. සංවේදී නිර්මාණයක්. ඉතා රසවත්

    ReplyDelete