Tuesday, May 31, 2016

කලබගෑනි අස්සේ......


මාස හතක පමණ කාලයක් කිසිත් නොකර හිඳින්නට මා හට සිදුවිය. මම ලියන්නෙකු නොවෙමි. ලියන්නට තතනන්නෙකු වෙමි. ඇතැම් දේ නොලියාම හිඳින්නට සිදුවේ. එහෙත් මම එයින් කම්පිත නොවෙමි. දිගු කලක් නොලියූ බැවින්  මා තුළින් බොහෝ වචනයන්ද ගිලිහී ගොස් තිබුණි. මා පෙර එක දිගට ලියූ ලේඛකයෙකු යන්න එයින්  අදහස් නොකෙරේ. එහෙත් සතියකට වරක් පෙම්වතියට ලියමනක් හෝ  ලියුවෙමි. මෙසේ හෝ මා පෙර නොලියූ බැවින් අද මම බොහෝ සතුටු වෙමි. ඒ මා හට මේ අයුරින්  අකුරු අමුණා වචනයක් ලිවීමට හෝ හැකියාවක් ඇති බැවිනි. ගොවි පවුලක උපන් මම මෙය හොඳින් දනිමි. බොහෝ දෙනෙකු හට අකුරු ඇමිණීම කළ නොහැක්කකි. ඒ බොහෝ කලක් ලිවීම අමතක කොට ඇති නිසාය. කියැවීමද එසේම වනු ඇත. එක දිගට  කියවාගෙන යා නොහැක. තව නොබෝ කලක් ගත වුණිද, මාද එම ගොඩටම වැටෙන්නට ඉඩතිබුණි. එහෙත් එයින් මා ගළවා ගත් ඔහුට මගේ බලවත් ස්තුතිය . 

මා කවියෙකුද නොවෙමි. නමුදු පුංචිම පුංචි කවියක් ලියන්නට මම වෑයම් කරන්නෙක්මි.

අමතක කළෙමි සිසුවෙකු බව කවි ලෝකේ
මම තනි වුණෙමි ලෝකෙක හරි දුක සෝකේ
බෑ මට කියන්නට සිදුවන දේ ඒකේ
නැත කිසි තෙතක් විටෙකදි එය යම ලෝකේ

වෙන කිසිවක් නිසා නෙමේ, විශිෂ්ඨ ගණයේ නොවුණත් පුංචිම පුංචි කවක්වත් ගොතාගන්න නොහැකි විටෙකදි මට එලෙස සිතුණා.

සිතු සිතු විලස කිසිවක් නැත සිදුවන්නේ
පරඩැල් සේය මිනිසුන් මෙහි මිය යන්නේ
වැළපෙන හඩා පසු සැනහෙන මිනිසුන්නේ
මේ දිවි කුසුම ගැන මොන මොනවද දන්නේ

මගේ  නිවසට ආසන්නයේ ගල් වැඩ පොලකි. ඒකෙ හුගක් වැඩ කරන්නේ පිරිමින්ට වඩා ගැහැණුන්ය. පට්ට පායන ඉඩෝරෙ ඉර අව්ව හිස් මුදුන් වෙලා....ගහක් කොලක්  පේන මානෙක නෑ.....

නැත පෙර නිමිත්තක් වැස්සක වළාවක
කිම මේ තරම්  දිවියම මගෙ අමාවක
සිතමින් කඳුළු සළමින් ගිනි තලාවක
රශ්මිය විඳී හිඳගෙන හුදකලාවක

දහදිය පිරී දහවල උතුරා යන්නේ
හිමියනි මගේ ඇඟපත නිතරම දන්නේ
තුන්වේලටම මං එක වේලයි කන්නේ
දෙවියනි මගේ දුරුවන් අද බඩගින්නේ

හැම තාත්ත කෙනෙක්ගෙම හිතේ මෙහෙම සිතුවිල්ලක් තම යටි සිතේ දෝංකාර දෙනු ඇත. ඇත්තාට ඇති හැටියටත් නැත්තාට ඒ හැටියටත්  සිතුවිලි උත්පාදනය වනු ඇත.

සුදෝ සුදුවන් කිරි කොකුන් මෙනි ඈත එනවිට පෙනෙන්නේ
උදෑසන පිපි දෑසමන් පෙති පරදවයි ලවනත දිලෙන්නේ
මගේ හදතුළ දෝරෙ ගලනා සතුට නුඹ වෙනුවෙන් පිරෙන්නේ
මගේ ලොව දෙස බලාගෙන මං නුඹට නව ලොව තනන්නේ

රාත්‍රීය උදාවනු එකෙකුගේ නොව සියල්ලන්ගේම සතුටට හේතුවනු ඇත. එකෙකු ගී ගයයි. තවකෙකු ලඟට විත් මැසිවිලි නඟයි. එහෙත් රාත්‍රීය කණපිට හැරලුණී. යකඩ ඇඳක් මැස්සක් වෙචිචි...

මුන්ගෙ ගොරහැඬි සද්ද අස්සේ
ලියනු කවි පද කෙසේ සිත්සේ
උදෑසන හිරි පිපෙන වැස්සේ
නිදමි මං ගුලිවෙලා මැස්සේ

මේ කව කුමක් අරබයා ගෙතූවක්ද නොදනිම්

අදහස් කොතෙක් තිබුණත් හිත යට පේවී
මදහස් බැල්ම නැතිවී උදහස් වේවි
සෙනෙහස් කඳක් වියැකී නොපෙනී යාවී
නිදහස් කිරුළ තව යයි දුරටම පාවී

ඉඳල හිටල මහ රෑ ෆේස් බුක් එකටත්  කවියක් දෙකක් ලිව්වා....මේ එහෙම ලියපු එක කවියක්  මං හිතන්නෙ හිටිවන කවි මඩුවක්.....හැබැයි හිටිවන වුණාය මේක සැතපුණ කවියක්

මේ ඇරඹුමකි කවියෙන් ලොව සරන්නට
ඔබෙ අත පතමි ඒ ලොව ධජ වනන්නට




කාලය වටී මට බැහැ මිළ කරන්නට
අවසර දෙන්න චුට්ටිත්තක් නිදන්නට


අන්කල් කාරයාට පිළිතුරක්

ඇය සියුමැලිය නුඹ හට ඇය ගැළපේද
පළමුව සිතිය යුතු එයමය නේද
ඇන්දත් සියුම් රෙදිපිලි වටිනා සේද
වයසට ගිය සෙයකි මාමේ වැටහේද

මහා දේශ පාලුවන් බිම් මට්ටම ගැන කියන පුංචි කතාවක්....අහිංසකකම විතරයි මං දැක්කෙ.....කඩවුණු පොරෙන්දුව..........

ගලා හැලෙනා අව්ව නොතකා වන ලතාවක් ඔහේ දිවුවා
සලා දෙනුවන් මෙමට මතකයි බැන්න හැටි නෙත් කොනින් රැව්වා
කලා වක් සේ දේස පල්ලන් වචන හරි ලස්සනට මැව්වා
මළා නික වී ගිහින් අද ඈ ටිකින් ටික ජීවිතය සෙව්වා

මේ වෙනමම කතාවක් ....දැක්කම පව් කියල හිතෙනවා......ඒත් දැන් ජීව්තේ වෙනස්ම කතාවක් වෙලා....

නැහැ තෙත් බවක් ඇත්තේ කිසි හදවතක
දුටු දුටු තැනදි දඬුවම්මය හැම විටෙක
අත් පා සිනිදු හැදු ඇස් දෙක මෙන් කලෙක
වියැකි ගොසිනි දැන් මා මිලිටරි ලොවක
( ඒත් මේ හදවතුත් මිනිස්සුන්ගෙම හදවත් , මේ ලෝකෙ ජීවත් වෙන කියල,  පස්සෙ දිනයක සිතෙනවා ඇති )

කාලය කොච්චර වටිනවද කියල හිතෙන්නෙ දැන්....
වෙල් ඉපනැල්ලෙ දුව පැන ගියපු හැටි
කකුල් දෙකේ කටු ඇනිල වේදනා දුන්න හැටි
අයිය කියන දේවල් නාහ හොඳටම ගුටි කාපු හැටි......
මහා කවියෙක් වගේ නොලිව්වත් මට ලියවුනේ මෙහෙමයි......

වෙල් ඉපනැල්ලෙ දුවමින් එහෙ මෙහෙ නැටුව
අල්ලන් කකුල ඇඬු හැටි ඇණුනම කටුව
අයියා දුන්න හැටි ගුටි අල්ලන් බොටුව
මතකය අවදි වෙයි සිහිවෙන විට කොටුව ( මේ ඇවිල්ල .....කොළඹ කොටුව එහෙම නෙවෙයි  ඕං..)

දැක්කනෙ අයිය ගහන හැටි . තාත්ත කොහොම ගහනවා ඇද්ද.....එහෙව්  ගුටිකාපු අපිට...........මේවත් ........කිවුවලු.

සෙවූ සැම තැන මුහුනු පොත ගෙන  නුඹයි ප්‍රේමය හද දිනූ
හැමූ මේඝය පරදවයි එය මහා මංදිරයකි තැනූ
ඉනූ සෙනෙහස පුද කරන්නම් නොවේ මේ කවියක තනූ
දැමූ ආයාචනය පිළි‍ගෙන රැදෙන්නට හද ඉඩ දෙනූ

අදට ලියන අන්තිම කවිය.......මොනව නොකරත් ඔන්න ඕකනං කොරා රෑ මැදියං වෙනකං.....

Wednesday, May 4, 2016

ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං ච කාකයො: මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්- නාරි චිත්තං න විශ්වශේත්



අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
සැමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ
අම්බලමේ නැවතීලා යම්ද නගෝ

තනිපංගලමේ යන එක් තරුණ කාන්තාවකට එක් තරුණයෙක් මෙහෙම ආරාධනාවක් කරනව. ඒ ආරාධනය කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකරන ඇය,

අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හිංදා
වසාගෙන දෙතන බිළීදුගෙ කිරි හිංදා
බාල මස්සිනා පස්සෙන් එන හිංදා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා

මඩ ගොහොරුන් පිරුණු, සතා සීපාවා උදේ හවා ඇවිද යන අලි කකුල් වලින් වල ගැසුනු  අමාරුවෙන්  කරත්ත දක්කගෙන යන කරත්ත පාරකයි මේ කියන කතා නායිකාව මෙන්ම නායකයාව දැන් ඇවිදන් යන්නෙ. පාර මඩ ගොහොරුවලින් පිරී ඉතිරී තියෙන හිංදම   මේ තරුණ කාන්තාව චීත්ත රෙද්දෙ යට කොටස අතකින් උස්සා ගෙන ගමන් කරනව. ලතාවකට නැළවි නැළවී යන කාන්තාවගේ පිරුණූ පාදයන්හි  සුන්දරත්වයෙන් හදවත සලිත වන තරුණයාගෙ සිත රාගයෙන් මුසපත් වෙනව. ඒ හිංදම ඔහු ඇයගෙන් අහනවා ඇයි මේ එක අතකින් නෙරිය අල්ලාගෙන කියල . නෙරිය යන්න ඇතැම් අය දකින්නෙ චීත්තය හැදගත්විට පහතට වැටෙන රැලි සහිත පොටට බවයි. නමුත් මෙහිදී ඒ පොටෙහි මඩ ගෑවිය නොහැකි බැවින් එය චීත්තයේ යට කොටසම විය යුතුය යන්න මගේ පුද්ගලික හැගීමයි. ඇය විවාහක තරුණ කාන්තාවක්. නමුත් ඒ කිසිවක් හෙළි නොකරන ඇය නිහතමානීව පිළිතුරු දෙනව, මේ පාරෙ ගමන් කරන්න අපහසුයි මඩ නිසා මගේ චීත්තය ජරාවෙනවා ඒ නිසයි මා නෙරිය අල්ලන් යන්නෙ කියල.

ඒ විතරක් නෙවෙයි තරුණ කාන්තාවකගේ මුළු ශරීරයම ඒකාලෝක කරන්නෙ ඇගෙ  සුන්දර පුන් පයෝදර යුග්මයයි.  අතීතයේ පටන් රණ හංසයින්ට උපමා කරන, ඇගේ පිරුණා වු  පියයුරු දැක ඔහු වශීකෘත වෙනව. එහෙව් ලස්සන දෙතන කුමක් නිසා නුඹ අතකින් වසාගෙන යන්නේද කියා තරුණයා ඇගෙන් විමසනව. මේ කව  මෑතක කියනලද  කවියක් නෙමේ දැනට වසර සිය ගණනකට පෙර කියු කවකි. අතීතයේ කාන්තාවන් උඩුකය නිරුවත්ව සිටි බවට ඇතැම් පොත්පත් සාක්ෂී දරයි. රොබට් නොක්ස් කියන ඉංග්‍රීසි ලේඛකයා ලියා ඇති එදා හෙළදිව කෘතියෙ ඒ පිළිබද මනාව පෙන්වා තිබෙනව. (සියළු කාන්තාවන් නොවේ). ඉතිං අලුත උපන් දරුවෙක් ඉන්න කාන්තාවකගෙ පියයුරු කිරෙන් බර වෙලා තියෙන්නෙ..සමහර විට තම දරුවා බොහෝ වෙලාවකින් කිරි උරා බොන්නත් නැතුව ඇති. ඒ වෙලාවට මව් කෙනෙකුට දැනෙන වේදනාවද ඒ අයම මිසක් පිරිමි අපි දනිත්ද ? ඉතිං හයියෙන් හයියෙන් පයින් යනවිට ඒ බර තමන්ට දරා ගන්න බැහැ. ඒ නිසාම  එක අතකින් පියයුරු වසාගෙන යන  තරුණ කාන්තාව මේ මොකුත්ම කියන්නෙ නැතුව කියන්නෙ බිලිදුගෙ කිරි නිසා තමන් දෙතන වසාගෙන යන බවයි. කාන්තාව නොකියා කියන්නෙ තමන් මවක් බවයි.

මෝරා වැඩෙන තාරුණ්‍යයේ ප්‍රේමණීය හැඟීම්වලින් සන්නද්ධ තරුණයාද  තම අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමට කෙසේ හෝ ප්‍රයත්න දරයි . තරුණියගේ සංවරශීලි බවින් දිරිමත් වන   තරුණයා   නැවතත්  ඇයගෙන් ප්‍රශ්න කරයි. සැමියෙක් නැතිව තනිපංගලමේ  නුඹ  මේ කොහේ යන්නෙද  ?. අතීතයේ පමණක් නෙමේ වත්මනෙහිද තනිවම තරුණ කාන්තාවක් එළිබැසහොත්, ඇතැම් තරුණයින්ගේ පමණක් නොව ඉතා වයසක මිනිසුන්ගෙන් පවා නානප්‍රකාර වචන අහන්නට සිදුවීම කාලයේ අවාසනාවය. නමුත් මේ කාන්තාව ගරු ගාම්භීරව තරුණයාට පිළිතුරු දෙනව. මගේ බාල මස්සිනා පිටිපස්සෙන් එනවා. ඒකයි  මං මේ කිසි බියක් නැතිව මේ පාරෙ ගමන් කරන්නෙ කියල. මේ කවි පදයෙන් කරුණු කීපයක් පිළිබද කියැවෙනව. එකක් තමන්ගෙ ස්වාමියා මිය ගිය කාන්තාවක්.  ස්වාමියා මිය ගියාට පසුව ඔහුගෙ සහෝදරයින් විසින්  තම නෑනණ්ඩිය ආරක්ෂා කරගන්නව.  ඒ වගේම තමා මේ කාන්තාවගේ ස්වාමියා ජීවත්වෙලා ඉන්නවා සහ එයාගෙ පුංචි මල්ලිත් එක්ක තමා මේ ගමන යන්නෙ. ඉතිං ඒකත් වෙන්න බැරි කමක් නෑ. එමෙන්ම බුදු දහමින් පෝෂණය වු එදා ගැමියා තුල තිබු ඥානය පිළිබිඹු කරන්නට කියු වදනක් වුවද  විය හැක. එසේනම් ඇය තම ස්ථානෝචිත ප්‍රඥා මහිමයෙන් අසත්‍යයක් පවසා ඔහුගෙන් ගැලවීමට උත්සාහ කළා වුවද විය හැකිය.

තරුණයාට නොදැනෙන්න බිය වද්දන කතා කිව්වද තරුණයාද බියවෙන ස්වරූපයක් පෙනෙන්නට නැත. ඒ හිංදම තරුණයා අවසානයේ අර කාන්තාවගෙන් අහන්නෙ  අම්බලමේ නැවතිලා ටිකක් විවේක අරගෙන යමුද කියලා. තරුණ කාන්තාව දන්නවා  මේ ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නටම බව. ඇය ඔහුගේ කිසිදු උගුලකට අසුවන්නේ නැහැ. තරුණයා විමසන සෑම ප්‍රස්නයකටම මේ තරුණිය සාදාරණ මෙන්ම  තරුණයාගේ හිත තුල ක්‍රෝධයක් වෛරයක් හට නොගන්නා ආකාරයට පිළීතුරු දීමට සමත් වෙනව. ඇය විසින් කියන ලද මේ පුංචි කවි පන්තිය  මුලු මහත් කාන්තා පරපුරටම ආර්ශයක් යැයි මගේ මතයයි. මේ විවාහක තරුණ කාන්තාව සමස්ථ ගැහැණුවර්ගයාටම ආදර්ශයක් වෙනව. තමන් කොපමණ දුප්පත් උනත් කොපමණ  කුළයෙන් පහත් උනත් තමන්ගෙ පතිවෘත්තා ධර්මය ආරක්ෂා කරගැනීමට ඇය සමත් වෙනවා.  බුදුන්ගෙ කාලයේ තිබුණූ බමුණු මතය මේ කාන්තාව විසින් කීතු කීතු කරල ඉරල දානව. "යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා "  යන කියුමෙන් ඇය තරුණයාගෙ සිත තුල සෙනෙහසක් දයාවක් ඇති කරලීමට සමත් වෙනව. එම තරුණයාගෙ පමණක් නොවේ සියලු හදවත් තුළ ඇය කෙරේ අනුකම්පාවක් ජනිත නොව්නනේද?. ඔහු තුල ඇය කෙරේ අසංවර වූ රාගයක් ඇතිව තිබුනේනම් ඇගේ ඒ වදන් පෙළින් ඒ සියල්ල සුන්නද්දූලි නොවන්නේද? "ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං කාකයො:මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්- නාරි චිත්තං න විශ්වශේත්" වැනි වැකි යොදා ගනිමින්  එදා ගැහැණිය කොතෙක් නම් ගර්හාවට ලක් කලද බුදු සමය තුළ එය නිර්දය ලෙස විවේචනයට ලක් කරයි.

අතීතයේ ගැමි කාන්තාව තුළ තිබූ හික්මීම  සංවරකම මනාවට පෙළ ගැස්ස වූ කවි සංවාදයක් ලෙසට මෙය ගෙන හැර දැක්විය හැකි. තරුණයාගෙ හදවතේ වුවද තරුණ කාන්තාව සම්බන්ධයෙන් පැන නැගුණා වූ ඒ ආදරය රාගය මුසු වුවද  කොයි තරම් නම් සංවරශීලිද ලෙංගතුද  යන්න මොනවට පිළිබිඹු වේ. ඇයගේ අනවසරයෙන් ඇයව නම්මවා ගැනීමට ඔහු කිසිවිටෙක උත්සාහ නොකල අතර, සියල්ල ව්‍යංගයෙන් පැවසුවේ ඔහු ඇයට ආදරය කරන්නට කැමැත්තෙන් සිටින බවකි.  ඇතැම් විට ඔහු කාමාතුරයකු වුවානම් තරුණියට තම ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවනු ඇත. බොහෝ දුරට වර්තමානයේ සිදුවන්නේද එයමය. ආදරය රාගය ලිංගිකත්වය ආදියෙන් එදා තරුණයා මුසපත් වුවද ආගම දහමින් පෝෂණය වු ඔහුගේ අභ්‍යන්තරය සාමකාමි සංවර වු හදවතක් ඇත්තෙක් යැයි නොකිය හැක්කේද?

එමෙන්ම අද මෙන්ම අතීතයේද  තරුණයින් විවාහක කාන්තාවන් හා ආදරයෙන් වෙලෙන්නට වැඩි කැමැත්තක් දක්වා ඇති බව මේ කාව් තුළින් මනාව පිළිබිඹු වේ. ඒ කෙසේ වුවද  මෙවැන්නක් අද සිදු වූවා නම් අපට පෙනෙන්නේ සිර කූඩුවේ කම්බි කූරු ගණන් කරමින් සිටිනා තරුණයෙකුය.

ප.ලි..
එහෙත් කෙනෙකුට මෙය වෙනත් විදියකට වුව දැකිය හැකිය .

Sunday, May 1, 2016

මැයි රැලිය


වෙසක් මාසයෙ පළමු දිනයයි ඉංගිරිස් මැයි පළමු වැනිදා
කාගෙ දිනයද කියා නොදනියි  කවුරු කවුරුත් ගියත් සැමදා
බලය ඇති උන් දොඩයි නන්,දන අසාගෙන හිඳි දෙකන් පිසදා
අඹුව දරුකැළ ගිනි බුදිති හිඳ කන්න කොයි අද කුළිය නැති දා

බොහෝදුර සිට එන්නෙ කම්කරු දනා සමරනු මැයි දිනේ
බලවතුන් ජය විජය නංවන දිනෙකි කම්කරු වන් දිනේ
රවටගෙන දුප්පතුන් හට දුන් මහමෙරක් පැතුමන් පෙනේ
දුප්පතුන්ගේ කුසටමයි කම්කරු දිනේදීත් කෙලවුණේ

එහෙන් ගෙන්වති මෙහෙන් ගෙන්වති නිර්දනන්ගෙන් පුරවතී
කොහෙන් අහුලා ගත්තකින් හරි උනුනගේ කන් පුරවතී
ගල් අරක්කුත් පැට්ටො ටිකකුත් අරං දී දෙව් ලොවක් මවතී
දිනේ අහවර, යන්න නොමැතිව චූ ගඳින් පිරි කොටුවෙ නිදතී

සෙනඟ මෙච්චර මං ගෙනාවා මට සුවර් ඊලඟ සැරේ
මැති තුමන්ලා නිතර කියවයි එල්ලගෙන කට මන්තරේ
රටේ මහජනතාව රවටනු බැරිය දැන්නම් මිත්තරේ
ගෙදර යන්නට සැරසියන් හෙට අදයි කම්කරු වෙඩිමුරේ.....