Saturday, January 18, 2014
පුංචිකාලෙ මං
මේ 2014 ජනවාරි 18 වෙනිදා. හැමදාම මොනා හරි ලියනව.ඒත් පස්සෙ කියවල බලපුවාම ඒව පබ්ලිෂ් කරන්ඩ හරි මදි කියල මකල දානව. ඒත් අදනම් මොනව හරි ලියල පබ්ලිෂ් කරනව කියල හිතා ගත්ත. නැත්තම් කට්ටිය හිතනවනෙ මු මේ බොරුවට වැව් ඉස්මත්ත කියල අටමගලක් එල්ලගෙන ඉන්නව කියල. ඕං මොනවා හරි ලියන්න ගත්ත ගමන් මොකෙක් හරි පිසාචයෙක් ඇවිත් ඒකට බාදා කරනව.ආය ඉතින් ඒ ලියන්න ගත්තු හරුපෙ කවදාකවත් ලියන්න වෙන්නෙ නෑ. ගෙදර ගියත් ඒ සෙතේමැයි.එක්කෙ දුව කඩාගෙන පනිනවා. නැත්තම් අඹුව පිස්සියක් වගෙ කෑ ගහනව. ගෙදර කොළ කෑලි ගොඩ ගහල එක එක ඒව ලියල. හැබැයි ඔක්කොම බාගෙට.
මම දැන් හදන්නෙ 1993 අවුරුද්දට යන්ඩ. කවුද කැමති නැත්තෙ තමන්ගෙ පුංචි සන්දියට යන්න. ඒත් මම නම් කැමති නෑ.ඇයි දෙයියනේ ඒ සන්දියේ ගුටිකාපුව මතක් වෙද්දී කාටද ආස හිතෙන්නෙ ඈ.
අනුරාධපුරේ ගලෙන්බිදුණුවැව කියන්නෙ මහ හද්ද පිටිසර ගමක්...මම එහෙම කියන්නෙ තරහකට නෙමේ ඔය හද්ද පිටිසර කියන වචන ටිකට මම ආදරෙයි. ඒ මම ඒ හද්ද පිටිසර ගම්මානෙ ඉපැදිලා හැදුණූ වැඩුණු එකෙක් හින්දා. අතීතයේ රජවරුන් ඇමතියන් සම්බන්ධ කරගෙනයි ඒ හද්දපිටිසර ගම් වල නම් බහුතරයක් ම නිර්මාණය වෙලා තියෙන්නෙ.ඒ අතින් මම හරි වාසනාවන්තයි. හැබැයි ඒවගෙ ඇත්ත නැත්ත පිළිබද කියන්න අමාරුයි. ඒවට වෙනම ගවේෂණයක් කරන්නම වෙනවා.ඔය වගේ නම් ටිකක් තමයි, කුණුගෝනෑව,අශ්වයාබැදිවැව,දුටුවැව,ගැටලාව. ඔය ටිකක් විතරයි.නමුත් ඒ ප්‍රෙද්ශය ගැන ලියන්න නෙමෙයි මම මේ හදන්නෙ.
2002 A/L කරනකම්ම ගියපු එකම අමතර පන්තිය තමයි සිස්සත්ව පන්තිය ඒකත් කරේ අපේම පන්ති භාර ගුරුතුමා.අපි කොල්ලො සෙට් එක මොකද කරන්නෙ දඹ ,කෝන්,පලු,වීර, තියෙන කාලෙට ඒව කන්ඩ යනව. හැබැයි පන්ති කට් කරල තමා යන්නෙ. අපි හිතන්නෙ ඉතින් අපි ගැන කවුරුවත් හොයන්නෙ නෑ කියලනෙ. දවසක් අපි සැට් එක ගියා කිවුලේකඩ කියල වැවක් තියෙනවා ඒකට .නිකන් නෙමේ ගියෙ පාන්පිටිත් අරගෙන යාළුවෙකුගෙ ගෙදර තියල. කෙලින්ම ගියෙ වැවට. ඔක්කොම කට්ටිය දහදෙනෙක් විතර හිටිය . ඔරු පහකට විතර නැගල කට්ටිය දැන් මාළු අල්ලනව. අල්ලන්නෙ ධීවරයින්ගෙ දැල්වලින් හොරෙන්.අපෙ ටීම් එකේ ඉන්නව ධීවරයෙකුගෙ පුතෙකුත් නිලන්ත කියල. උෟ තමයි මාළු අල්ලන එකේ නඩේ ගුරා.
කට්ටියක් මාළු අල්ලනකොට කට්ටියක් ආසාවට ඔරු පදිනව. ඒ අතර හිටිය ප්‍රේමලාල් කියල හාදයෙක් ඌට පීනන්ඩ බෑ. අවාසනාව කියන්නෙ ඌ ගියපු ඔරුවම පෙරැලුනා. මූ දැන් ගිලෙන්ඩ යනව ඌත් එක්ක ගියපු එකා යටිගිරියෙන් කෑගහනවා ...“.මේක ගිලෙන්ඩ යනවෝ .....“.කියල කොහොම හරි ඌ ගොඩට ගත්ත නමුත් උගෙ සරම ගොඩට ගන්ඩ බැරිවුණා. අර යාළුවාගෙ ගෙදර යනකම් ඌට කමිසයක් ඇන්දුවා. ඔරුව පෙරලිලා පැරට්ගේ සරම ගැලවිලා ඒක වතුරට වැටිලා උෟ හෙළුවෙන් ආපු හැටි තාම මතක් වෙනව පව් අනේ අහිංසකය. දැන් මොන දීපංකරේ ඉන්නවද දන්නැ.....
කට්ටිය මාළුත් එක්ක රොටී උයාගෙන හොදට සප්පායම් වෙලා තම තමන්ගෙ ගෙවල් වලට පිටත්වුණා. එදා රෑ හීනෙනුත් පෙනුනා ප්‍රේමලාල්ට වෙච්ච දේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් අදට ප්‍රේමලාල් මැරිල අවුරුදු 20 ක් විතර වෙනවා.
පසුවද උදේම ඉස්කෝලෙ ගියාට පස්සෙ පන්ති බාර ගුරා අපි ඔක්කොම ටික අල්ලගත්ත. අපිම කපාගෙන ගෙනැත් දුන්න වේවැලෙන් අපිටම පුක පැත්තෙ වෛරපලු නගිනකම් ගැහැව්ව . කට්ටිය පුකවල් අල්ලගෙන දිව්ව. ඒ විතරක් නෙමෙයි කියනකම් බොරළුගොඩේ දනගහගෙන ඉන්ඩ කිව්ව. කොහොමද ලූල් මාළුවෙ රගේ..
.........................................
හ්ම්... ඊ්ට අවුරුද්දකට කලින් හතර වසරෙදි මගේම පන්තියෙ හිටපු රම්‍යාට ලිවුම් ලියල අහුවුණා......ඇල්බීසියා පොල්ලක් කඩාගෙන සිසිර සර් (මිය ගිය) ගැහැව්වෙ පුක පැත්තට... තෝ දැන් ඔහොම නම් පස්සට කොහොම වෙයිද කියල.....ඇත්තටම තෝ කියලම කිව්ව.ඒ විතරක් නෙමේ ගහල ඉවරවෙලා කිව්වෙ,
“ පලයන් ගිහින් කියපන් තොපෙ තාත්තට “ කියල .
හහ් හිතුව මදි....... මං කියය් තාත්තට......තාත්තගෙ හොදම යාළුවා සිසිර සර්......ඒත් ඉතින් ගෙදර ගියාට පස්සෙ තමා....වැඩේ පත්තු වුණේ. අම්මට මගදි ආරංචි වෙලා...මම රම්‍යාට ලිවුම් ලියල කියල.....කූරිටිය කෝට්ටකුත් තියාගෙන ඉදල තියෙන්නෙ අම්ම මං එනකං..
“ තෝ ආය ලිවුං ලියනවද, ලියනවද, ළියනවද“ කිය කිය ගැහැව්වා.... කකුල් දෙක ගන්ඩ දෙයක් නෑ වෛර පලු නැගල...........අඩ අඩා කිව්ව “මම ආය ලිවුම් ලියන්නෙ නෑ අම්මෙ“ කියල වෙනද තාත්ත ගහද්දී බේර ගන්නෙ අම්මා....
තාත්ත ගහල ගියාට පස්සෙ අම්ම ඇවිත් කකුල් දෙකේම පොල්තෙල් ගානවා.....ඒ වුනාට අම්ම ගැහුවම කවුද මගේ පොල්තෙල් ගාන්නෙ. අනේ ඒක ලිවුමක් නෙමේ තුන්ඩු කෑල්ලක්.....යාළුවෙක් කිව්වා “මම රම්‍යාට ආදරෙයි.....මට ලිවුමක් ලියල දෙන්නකො නුවන්......“ කියල.....අනේ ඉතින් මම ත් මෝඩයි වගේ “ මම ඔයාට ආදරෙයි“ කියල කොල කෑල්ලක ලියල දුන්නා...... දුන්න තමයි......ඕං වෙච්ච දේ.
මේ තවත් සිද්දියක් ඒ දවස්වල තලගොල්ලෙ මාමලාගෙ ගෙදර වත්තෙ තමා අපේ තාත්ත වගා කරේ. මිරිස් එළවලු වගේ ඒව තමා හැදුවෙ. මායි අයියයි දෙන්නත් ඉස්කෝලේ ගිහින් පොලොව පෙරළලා පොඩි ලියද්දක වගේ මොනව හරි හදනවා. එතකොට මම හිටියෙ තුන වසරෙ. අයියයි මායි දෙන්නම මිරිස් පාත්තිය පාත්තිය හදල තිබුණෙ. පාත්තිය කිව්වට ටිකක් ලොකු ලියද්දක්ම තමා. දුකේ බැරුව....ඇස්වහක් කටවහක් නෑ ලියදු දෙක නිකන් සුප්පම හැදිල තිබ්බ. ඒකෙත් ගොඩක් මිරිස් ගස් ලොකුවට හැදිල තිබිබෙ මගෙ ලියද්දෙ.
දැන් තමයි ඕං වැඩේ පටන් ගන්නෙ.... ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිහින් තියෙන දෙයක් බඩට දාගෙන තලගොල්ලෙ මාමලාගෙ ගෙදර එන එක ඒ දවස් වල සාමාන්‍යෙයන් දිනචර්යාවෙ කොටසක්.එදානම් මම කෙලින්ම ආවෙ තලගොල්ලෙ මාමලාගෙ ගෙදර..ඇවිත් ගේ ඉස්සරහ අඹ ගහක් තියෙනව ඕකට නැගල ඇති පදම් අඹ කෑව.ඔහොම ඉන්නකොට තලගොල්ලෙ මාමගෙ නැන්දා ආව. ඇවිත් හිනාවෙවි කිව්වෙ මොකද්ද දන්නවද?
“ නුවන් පුතා ...., ඔයාලගෙ අයියගෙ මිරිස් පාත්තියෙ මිරිස් ගස් ලොකුවට හැදිල තියෙනව....අයිය එන්ඩ කලින් ඒ ටික අරන් ඔයාගෙ මිිරිස් ගස් නැති තැන්වල හදාගන්නව එතකොට අයියට වැඩිය ඔයාට සල්ලි ගොඩාක් ගන්න පුළුවන් .“ කියල......අප්පට සිරි නියම වැඩේ කියල මම තලගොල්ලෙ මාමාලගේ නැන්දටත් හොරෙන් ගිහින් අයියගෙ මිරිස් පාත්තියෙ තිබුණු ලොකුම මිරිස් ගස් ටික ගලවලා මගෙ පාත්තියෙ හිවේවා.හිටවල ඇවිත් ආයෙත් හොරපූසා වගේ අඹ ගහට නැගල අඹගෙඩි කකා හිටිය.
ටික වෙලාවක් යනකොට අම්මයි තාත්තයි අයියයි ආවා. අයියත් මාර අසාවෙන් ඉන්නෙ ඉස්කෝලෙ අරිනකම් එයාගෙ මිරිස් පාත්තිය බලන්න.අයියා දුවගෙන ගියා එයාගෙ මිරිස් පාත්තිය බලන්න.අයියා එක පාරටම අඩාගෙන ආවෙ නැද්ද.
“අම්මෙ ගිහින් බලන්ඩකො මගේ මිරිස් පැල දහයක් දොළහක් විතර මැලවිලා ගිහින් ....“ කියල.
“ කෝ බලන්ඩ..“ කියල තාත්ත ගියා එව බලන්න....අම්මත් තාත්තව අනුකරණය කලා....මමත් කිසිදෙයක් දන්නෙ නැති ගානට ගියා අම්ම පිටිපස්සෙන්......
තාත්ත ගිහින් බැලුව.තාත්තට සැක හිතිලද කොහෙද තාත්ත මගෙ පාත්තිය දිහාවෙ බැලුව.....අප්පට සිරි මගෙ පාත්තියෙත් මිරිස් පැළ දහයක් දොළහක් මැලවිලා.......මට ඒත් ගානක් නෑ.
“ උඹ ගැලෙව්ව නේද මිරිස් පැළ....“ තාත්ත ගෙරෙව්ව.......මට කලිසමේ චු ගියාද කියල හිතුන. මම බිම බලාගෙන උන්නා....තත්පරයක් ගියෙ නෑ. මගෙ කන් දෙක ගැලවිලා යන සයිස් එකට ඇදීලා ගියා....තලගොල්ලෙ මාමලාගෙ ගේ ඉස්සරහටම.....අඹගහේ අත්තක් කඩාගෙන අඹ අත්ත කැඩෙනකම්ම අම්ම මට තඩිබෑව.....බුදු අම්මෝ මම ආය එහෙම කරන්නැතෝ.......කිය කිය කෑ ගැහැව්ව.......ඒත් මම කිව්වෙ නෑ...තලගොල්ලෙ නැන්දා කිව්ව හින්ද එහෙම කරාකියල. ඒත් මම අයියගෙ පාත්තියෙ පැළ විතරක් ගලවගෙන මගේ පාත්තියෙ හිටෙව්වනම් ඒ ගස් ටික විතරයි මැරෙන්නෙ. මම මගෙ පාත්තියෙ තිබුණු පොඩි පැළ ගලවගෙන අයියගෙ පාත්තියෙ හිටෙව්වා....ඒකෙන් වුණේ පැළ ටික ඔක්කොම මැරිච්ච එක......
එදා කරපු වැරැද්දට අම්ම බයිසිකලේට නැගල පැදගෙන ගියා...මට පයින් දුවගෙන වරෙන් කියල....අනේ ඉතින් අම්ම බයිකලේ නැගල පැදගෙන යනව. මම බයිසිකලේට සමාන්තරව දුවගෙන යනව.....පාරෙ යන මිනිස්සු බලාගෙන හිනාවෙනා...එතකොට අම්ම කියනව.....මු අද යස වැඩක් කරල කියල..මම කරපු දේ ඒ අයට කියනව.....මට වස ලැජ්ජාවෙ බෑ... එත් අම්ම ගෙදර ගිහින් පලු නගින කම් ගහපු කකුල් දෙකේ පොල්තෙල් ගාල ඇතිල්ලුවා...ආයෙ මගෙ පොඩිපුතේ එහෙම කරන්න එපා..ඒව නරක වැඩනේ කියල....එතකොට නම් ඉතින් මගෙ ඇස්වල කදුළු පිරෙනවා..
ඒකෙ ඉතිරි හරිය තමා නියම....අයියට මල පැනල අයියත් ලෑස්ති වුණා මගෙ පාත්තියෙන් මිරිස් පැළ ගලවලා එයාගෙ පාත්තියෙ හිටවන්න. ඊටපස්සෙ අම්ම කිව්ව.ආය මිරිස් පැල ගැලෙව්වොත් ඒවත් මැරෙනවා...ඒ හින්දා ලොකුපුතාගෙ පාත්තියෙන් ගලවපු මිරිස් පැල ගානට මගෙන් කොටසක් වෙන් කර ගන්ඩ කියල......ඒ 1993 අවුරුද්ද.......මට තාම මතකයි...මගෙ මිරිස් කඩල ගත්තු සල්ලිවලින් තාත්ත මට කලු සපත්තු කුට්ටමක් ගෙනැත් දුන්න...
මේ ඇවිල්ල කරල තියෙන ගොන්කං බූරුකං වලින් පොඩ්ඩක් විතරයි...ඉතිරිවත් පසුවට දාන්න උත්සාහ කරනවා..
Labels:
මං ගැන
Subscribe to:
Post Comments (Atom)
හොද සුන්දර ළමා අත්දැකීම් කීපයක්ම මෙතන තියෙනවා.
ReplyDeleteමේවා එකිනෙක් වෙන් කරලා,අ ද කාලේ එක්ක හැකි විදියට සන්සන්දනය කරලා ටිකක් සංස්කරණය කරලා පළ කලොත් තමයි හුඟ දෙනෙකුට රස විදින්න පුළුවන්.
ඔබ හරි කතන්දර ඒත් වැඩේ කියන්නෙ එහෙම සංස්කරණය කරන්න ගියොත් මට ඒක මටම එපා වෙනවා.ඒක හොද නෑ කියල හිතල නැවත පබ්ලිෂ් කරන්න හිතෙන්නැ. සමහර විට ඒක මගෙ මානසිකත්වයක් වෙන්න ඇති.උත්සාහ කරනවා. ස්තුතියි කතන්දර
Deleteසරළවම කියුවොත් මේක හෙන අමුයි , මෙව්වා ලියහං තව ටිකක් අයිසිං කරලා .
Deleteඋඹට හොද හැකියාවක් සහ අත්දැකීම් තියනවා , අනික අඹ මනුස්සකං තියන මිනිහෙක් , ඔය තුන එකතු කරලා උඹට පුළුවන් අපිව සතුටින් තියන්න , උඹ කවි කාරයෙක්ට වඩා උඹ කතාකාරයෙක් වෙනමට මම මනාපයි , අඹට ඒක හොදට කරන්න පුළුවන් , ඕන කරන්නේ උනන්දුව විතරයි.
වැවා සුන්දර ළමා කාලයක් ගතකරල තියෙන හැඩයි. ගමක හැදිච්ච කොල්ලෙක් ඔය වගේ වැඩ නොකළොත් ඒක පුදුමයක්.
ReplyDeleteඉතුරු ගොංකං බූරුකං වීරකං ටිකත් හෙමීට ලියමු බලන්න.
මිනිසුන් තමන්ගෙ යටගියාවෙ අසුන්දර තැන් ලියන්නෑ.සුන්දරත්වය විතරක් ලියන්න උත්සාහ කරනව.තමන් කරපු වැරදි වැඩ අපි ලියන්න ඕනෙ.අපි පොඩි කාලෙ කරපුවා දැන් කරන්නෑ.නමුත් දැන් මතක් කරනකොට ඒව කොච්චර අසුන්දර වුණත් සුන්දර විදියට මං දකිනවා. ස්තූතියි ප්‍රසන්න
Deleteමමත් ඔබ සමග එකඟ වෙනවා. තාත්තාගෙන් ගුටි කන එක මට කම්මලේ බල්ලට හෙන ගහනවා වගේ. ඒත් ඉතා කලාතුරකින් අම්ම ගැහුවොත් මම සෑහෙන වෙලාවක් අඬනවා. අම්මා මට නොපෙනෙන්න වෙන තැනකට වෙලා අඬනවා කියලා දැනගත්තේ පස්සේ.
ReplyDeleteඅපේ තාත්ත දරුවන්ට ගහල පස්සෙ අඩන්නෙවත්, දරුවෙකුගෙ දුකකදි කදුළු සැලුවෙවත් නෑ කවමදාකවත් ඒත් මට අද තේරෙනව තාත්ත අපිට කොච්චර නම් සෙනෙහසක් දක්වලා තියෙනවද කියල ඒ මම අද තාත්ත කෙනෙක් නිසා
Deleteඅපේ තාත්ත මට පොඩිම කාලෙ මොන්ටිසෝරි යන කාලෙ යන්න බෑ කිව්වම ගැහුවට පස්සෙ ගහලම නැහැ..කොටින්ම තාත්ත නම් හයියෙන් බැනල තියෙන්නෙත් දෙතුන් වතාවයි..
ReplyDeleteඅම්මනම් සතියට වතාවක් දෙකක් බනිනවා..නමුත් අම්ම නම් කවදාව්ත කෝටුවකින් තියා අතින්වත් ගහල නැහැ..
අයියල දෙන්නගෙන් වුනත් පොඩි අයියා මැරෑටි වැඩ කරන්න ගිහින් දෙතුන් වතාවක් ගුටිකන්න ඇති. ඊට වඩා නම් ගුටිකාල නැහැ..
මොනව වුනත් මේ විදියට ගහන එකට නම් මං අදටත් කැමති නැහැ..අපේ නෑයොන්ගේ ලමයි එහෙම පොඩි වැරදි කලාම ඒ දෙමාපියො ඒ ළමයි දිහා බලන්නෙ මාරයො දිහා බලනවා වගේ..ඒක වැරදියි..
මගෙ නම් කෙලවරක් නෑ සාපෙල ලියද්දිත් හොද හැටි නෙලල තියෙනව
Deleteහරිම රසවත්, හරිම ලයාන්විත සටහන්. වැව් හුඟ කාලෙකට පස්සේ ලියලා නිසා රසයත් වැඩියි. මට හිනා ගියේම අම්මා බයිසිකලේ ඉඳන් දීපු දඬුවම. මේ සුන්දරත්වය නේද අපි අපේ දරුවන්ට ඉතුරුකරන්න ඕන. ඒක වෙන්නේ බොහොම අඩුවෙන.
ReplyDeleteවැඩියෙන් කෙරෙන්න ඕන දේවල් අඩුවෙන් වෙන, අඩුවෙන් කෙරෙන්න ඕන දේවල් වැඩියෙන් වෙන සමාජ සිස්ටම් එකකට තමයි අපි වේගයෙන් ඇදී යන්නේ.
ඒ ක්‍රමය නවත්වන්න හරි අමාරුයි.ඒක තමා ධර්මතාවය
ReplyDelete