Wednesday, July 30, 2014

ලොකු උන්ගේ කෑම - ගසාකෑම


සිරිලංකාවේ ඇති වියාපාර අතරින් මැතිවරණ වියාපාර තරම් ඉතාමත් චමත්කාර ජනක සිත්ගන්නාසුළු තවත් වියාපාරයක් නම් මා මෙරට දී දැක නැත.එමෙන්ම නොරටදීත් තියෙනවාදැයි අසාවත් නැති තරම්ය.වසර 05 ට පත් කර ගන්නා මහජන නියෝජිතයා නැවත වරක් මුණ ගැසෙන්නේ තවත් වසර 05 ක් ගෙවී ගිය පසුවය. එය  ‍මෙසිරි ලකේ ජනතාවට බත්  විකන්නා සේම කක්කුස්සි යන්නා සේය. බතුත් කෑ යුතුමය කක්කුස්සිත් යෑ යුතුමය දෙකින් එකක්වත් නොකර බැරි සේම මැතිවරණ වියාපාරයත් ගසට පොත්ත මෙන් උනුන් කෙරේ බැදී පවතින්නේය.

වරක් මහජනයා ඇන්දවූ නියෝජිතයා නැවත වරක් වසර පහකට පසුව පැමිණ  අන්දවන්නේය. මහජනයාද කරකියාගත වනාහී ඇද ගන්නේ ද එසේත් නැතිනම් ඔන් ඔහේ ඇද ගන්නේද නොදනින මුත් උන් අනිවාරියෙන්ම  ඇද ගන්නේ මොකෙක් හෝ එකේක් සබාවට වයන්නේමය.

ඇතැමෙක් නියොජිතයිනට රෙදිපිලි ඇතුව  කඩේ යන්නේය. තවකේක් ලන්කට් විතරක් ඇදගෙන කඩේ යන්නෝය. ඒවාත් නැතිවම සමහරු හෙලුවැල්ලෙන්ම කඩේ යන්නේය. හෙලුකුට්ටෙන්  යන්නෝද ඇත්තාය.

ඡන්දය කාලෙ  පුළුවන් තරම් මිනිස්සු ගොනාට අන්දවන කාලයයි.සමහරු ඡන්දය දින්නාට පසුව රත්තරං  මාල වළලු දෙනබවටත් අත්ඔරලෝසු දෙන් බවටත්  පොරොන්දු දුන් බව මැතිවරණ ඉතිහාසඥ වරු නිරන්තර කඩවල් අස්සේ දාන් අදින ගමන් කියනු මට  දිනෙක ඇසින. ඒ දින්නාට පසුවය.දැන් දෙන්නේ දිනන්නට පෙරය. එදත් දිනන්නට පෙර දුන්නේය. ඒ කෑමට සහ බීමටය...කටගොන්නක් බී ගෙන අල්ලපු ගෙදර  විරුද්ද පාක්ෂිකයාට ගූ ගැසීමටය. එහෙත් අද එසේ නැති. වෙනස් වීද නොමැත. අද ඡන්දය කාලෙට ත්‍රීවීල් වලට පැට්ටොල් ගහලා දෙනවාය. හටිටි මුට්ටි හැලි වලං ඇද ඇතිරිලි  කමිස කලිසං  සෙරෙප්පු සපත්තු දෙන්නේය. පූජ කරන්නේය. බකට් දෙන්නේය. කැති උදලු දෙන්නේය...කොටින්ම කිව්වොත් නිකර් එක සහ ලංකට් එක පමණක් කඩෙන් ගතයුතු වන්නේය. ඒ මිම්ම නොදන්නා නිසාය  මිම්ම දන්නේනම් ඒකත් ලබා දෙන්නේය. හැබැයි ඒ ඡන්ද කාලෙට පමණි.  අහිංසක අසරණ දුප්පත් මහජන නියොජීතයා ඒ වෙනුවෙන්  මේ වටිනා මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් නොඉල්ලයි. හිලව්වට ඉල්ලන්නේ  වටිනා කතිර පොජ්ජ පමණි. වටිනා මිනිසුන්ගේ කතිරය මංකොල්ල කාගෙන යන උන් නැවත දකින්නට ලැබෙන්නේ නැතිය. උන් දකින්නට  හැකි වන්නේද නැත. කරදරකාරීනම්  ලංකට් නැතුව එන්ඩ වෙන අවස්ථාද ඇත. ඒ ලංකට් ගලවන්නේ මහජන නියෝජිතයා නොවේය..එසේ කලහොත් මාද්දිය  උසි ගස්වන නිසාය. ඒ උන්ගේ කටුකන බල්ලෝය. බල්ලෝ කිව්ව පමනින් බල්ලෝමද නොවේ...උන් තව තවත් ඉහලට යන කල   පහල ආසනවල ඉදගන්නා උන්ය.

මිනිස් සංහතිය ජීවන බරින් මිරිකිලාය හිරවෙලාය.හේනේ කොරටුවේ  ඉබේ වැවෙන දේවලින්  උන්  උන්ගේ පැටවුන්ගේ බඩකටවල් පුරව‍ා ගනිති. එදිනෙද කුලියක් කර සොයා ගන්නා දේන් බේත් හේත් ටික අරගනිති. මගුල් ගෙදරකට කොටහළු ගෙදරකට පිංකං ගෙදරකට යති. මාසයකට වරක් පංසලට දානේ නොවරද්දති. ඡන්දය කාලෙට අවශ්‍ය හැම දේම නියෝජිතයෝ සපයා දෙති. ගම්මු ගනිති. උන් බලා සිටින්නේ මහට වහිනකං වත් යලට වහිනකං වත් නොව මැතිවරණයක් එන්නේ කවද්දැයි ඇගිලි ගැන ගැනය.. ඒ හට්ටි මුටට් කැති උදලු ටික නොමිලයේ ලබා ගන්නටය. උන් කති බොති ඉදිති මියයති......කලාතුරකින්  සබාවේ එකෙක් විත්  සෝකය පුදති....දැක නැති නායකයෙක් නමින්.

අසරණ දුප්පත් මිනිස්සු  හිගනුන් බවට පත් කිරීමේ ත්‍රාසජනක වු බිහිසුනු වූ ක්‍රියාව එය නොවේද  නගරයත් ගමත් අතර වෙනසක් තිබේ. නගරයේ හිගන්නා සැමදා හිගා කන්නේය. එහෙත් ගමේ එකාට හිගා කන්නට සල්ස්සවන්නේය.ටිකෙන් ටික ඒ ක්‍රියාදාමයට හුරුවන ගැමි ජනතාව එයට හුරුවෙන්නේ නැවත ඡන්දයක් ඔන්නේ කවදාදැයි ඇගිලි ගනිමින් සිටින්නේ එනිසාය....ඔවුන් කම්මැලි  පෙරේත පිරිසක් බවට පත් කරන්නේ කවුද.

පාසල් ළමුන්ට  පොත් පැන්සල් සපත්තු කුට්ටම් දීමේ වැරැද්දක්  තිරිසන් සතකුවුව නොදකී. එහෙත් අසරණ අහිංසක දුප්පත් ළමයින්ට යැයි  පීකර සැට් දමා හඩගා පවසන්නේ කුමක්ද....ඔවුන් සමාජයේ දුප්පත් පිරිස යැයි හංවඩු ගැසීමක් නොවේද..ඒ කියා පාන්නේ උන්ගේ අම්මලා අප්පලා මෙන් උඹලාත් එදාට අපිට ඡන්දෙ දෙන්ඩ ලෑස්ති වෙයල්ල යන පයින්ඩයම නෙවේද.

මේ රටේ දුප්පතුන් උන්නේ අද පමණද...එදා නොසිටියේද....දුප්පත්කමට විසදුම හට්ටි මුට්ටි  ලබා දීමද.එසේනම් කල යුත්තේ දුප්පත් කමට සාප නොකර  දුප්පත් කමින් තොර සිරිලංකාවක් තැනීමට ප්‍රයත්න දැරීම නොවේද.එසේ වුවහොත් අපේ රටේ එක්තරා ළමුන් පිරිසක් කොහේදෝ නැති ගල් මූසලියින් රැළකට, එසේත් නැත්තම් ස්ත්‍රී දුෂකයින්ට ගංජ කාරයින්ට කුඩු කාරයින්ට බාල අපචාර කරන අසික්කිත පිරිසකට දන ගසා වැදීමට අවශ්‍ය නොවන්නේය. ඒ මන්ද පාසල් පොත් බෑග් සප්ත්තු කුට්ටම් පාසල් ළමුන් හට බෙදන්නන් අතර වැඩි හරියක්ම සිටින්නේ ඉහත කී උන් බැවිනි.

ගමයි නගරයයි යනු දෙකකි.ගම නගරය වනවාට මා අකමැතිය. එහෙත් ගමේ ඇති සුන්දරත්වය එලෙසින්ම පවතින්නේ නම් ගම දිව්‍යපුරයක් වුව මා ඉතසිතින් කැමතිය.ගමයි පංසලයි වැවයි දාගැබයි. මෙහි කොටස් එකින් එක ගැලවී යන්නේය. ඇතැම් තැනිහි ගම පමණි...වැව හිදී ගොස්ය...තවත් තන්හි  දාගොබක් තබා පොල් ගොබක්වත් දකින්නට නැත්තේය...නිදන් හොරු පහර දීලාය....නිදන් හොරු කවුරුන්ද යන්න කවුරු කවුරුත් දන්නවාය.....ගමේ උන් හිරේ ලගිනවාය. ඇතැම් තැන්හි සංකේතයක් පවා සොයා ගැනීම උගහටය. ලොව ඇති එකම නොවෙනස්වීම වෙනස්වී යැයි පසක් කරමින් හැමදේම සීඝයෙන් වෙනස්වීය..එහෙත් එය සංවර්ධනයද එසේත් නැතිනම් සංවර්ධනය මුවාවෙන් කෙරෙන්නා වූ මහා මංකොල්ල කෑම් ද යන්න මා හට කුහුලකි.

පාසල් වතු බිල්ඩින් වලින් පුරවන්නේය.එහෙත් උගන්නන්ට  ගුරුවරුන් නැත්තේය. ඉන්නේද වැඩියමක් ගුරුහොරුන්ය..නිතරම මාද්දියෙන් කියන්නං වාලේ කියන්නේය.ඉන්නා උනුත් වෙලාවට වැඩ කරන්නෝය.සමහරක් උන් ඉස්කෝලේ අරින්නත් පෙර පාසලෙන් යන්නේය. ඒ මන්ද යැයි සොයා බැලු කල ටියුසොන් පන්තියට පරක්කු වී යැයි ඉස්කෝලෙ ඉස්සරහ කඩේ ආච්චිට කියා යන්නේය. හනේ මෙහෙමත් ඉස්කො‍ේලෙ මහත්තුරු...ආච්චි කම්මුලට අත තබා ගත්තීය.එක්කෝ රජයේ පාසල් ගුරුවරුන්  ටියුසන් දීම තහනම් කලයුතුය. එසේත් නැතිනම් ඒ සදහා සුදුසු වැඩපිලීවෙලක් අනුගමනය කලයුතුය. දැන් ගුරුවරු ගෙදර ගොස් ලැහැස්ති වෙන්නේ පසුවද පාසලේ උගන්වන දෙයට  සුදානම් වීම නොව හෙට දින ඇති ටියුසන් පන්තියට ඉගැන්වීමට ඇති දෙයයි. එය එසේ තිබියදී....රට කරවන ඇත්තන් පවසන්නේ තම දරුවන් ටියුසොන් කලාස් නොයවන ලෙසටය.....එය එසේනම් ඉහත කී දේ විය යුතුය......නොඑසේනම්...පාසල් ළමුන්ට කෙසේ වෙතත්......ගුරුවරුන්ටත් අන් රජයේ සේවකයින්ට මෙන් සැළකීම සුදුසු නොවන්නේද.

ගමේ පාසලේ අද්දියාපනෙන් පසු නගරයේ පාසලකට යන දරුවා තුෂ්ණීම්භූත වන්නේය. කොටින්ම කිව්වොත් හොල්මන් වන්නේය.ඒ මන්ද ගමේ නගරයේ අද්දියාපන ක්‍රමය දෙවිදියක් බැවිනි.නමුත් රට කරවන ඇත්තන් ප්‍රසිද්දියේ කියාපාන්නේ එකම අදිදියිපන රටාවක් ඇති කරවන බවයි....මට නම් මෙය ඇත්තටම දවල් හීනයක්ම පමණි....එහෙත් රෑ හීනයක් වන්නට බැරි කමක් නැත.......දකුණින් බිහිවුනා සේ වෙනත් පැතිවලත් රට කරවන ඇත්තන් උපදින්නේ නම් එසේ වන්නට බැරි කමක්ද නැත...

අද නගරයේ පාසලක් වෙත ගමේ කොලු ගැටයෙක් රැගෙන ගියහොත් උෟ පුදුමයට පත්වනු නිසැකය.මේ තමන් දකින්නේ හීනයක්දැයි ඔහුටම කියාගනු  ඇත.යකෝ අපේ පැතිවල එකෙක් වත් ටයි එකක්වත් බදින්නෙ නැතුවා එ්කටත් එක්ක මෙහේ...ඔක්කොම උන් ටයි ගැටගහල...යැයි සිතනු ඇත...ඒ අන්තිමය..ඔයිට එහායින් දෙයක් ඇත්තේ නැතිය.

ගමේ පාසලේ කුමක් හෝ වේවා උත්සවයකට ප්‍රධාන ආරාදිතයා ලෙස වැඩිම උනොත් ගමේ ගිරාමසේවක මහත්තයා සම්ප්‍රාප්ත වන්නේය....එයිට වැඩිය එකෙක් එන්නේනම් නැතිය. ඒක කිරි ගහට ඇන්නා මෙන් සුවර්ය.ඒත් නගරයේ නම් ගිරාමසේවකයෙක් දකින්ටවත් නැත්තේය..තමන් ජීඑස් කියන්නට ලැජ්ජාවුන් ඒ රටේ ඉන්නේය... හැම උස්සවේටම රටකරවන ඇත්තන් එන්නේමය එසේ නැත්තං උන්දැලාගෙ මායියලා හරි එවන්නේය....උන්ගේ දස්සකං බලන්නේය.....අප්පුඩි ගසන්නේය .....හොදට කාබී සප්පායම් වෙලා යන්නේය....කොළමට කිරි ගමට කැකිරි කියන කතාව එදාටත් කදිමට ගැලපුනිද ......අදටත් මොනවට නොගැලපේද? 

ගමේ පාසලෙන් ආපු රටකරවන් ඇත්තන් හිගය...ඉහල  පුටුවල ඉදගෙන ඉන්න ඇත්තෝද හිගමය.එහෙත් ගමේ ඉස්කෝලෙ බොරළු පිට්ටනියෙ දුව පැන නටන උනුත් මේ මිහිතලයේම පය ගසා ජීවත් වෙන උන්ය.නගරයේ පාසල්වල දරුවන් ලස්ස ගණන් වියදං කොරල හදපු පිට්ටනිවල හාඩ් බෝල් ගහනකොට  ගමේ උන්ට දුක හිතේවි.....ඒත් උන් කියන්නෙ මම කවද හරි ජයසූරිය වගේ වෙනව මම  සංගවගේ වෙනව මම මහේල වගේ වෙනව කියල....හැබැයි  උන් කවදාවත්  තේරෙන්නෙ නෑ අපි මේ පොල්පිත්තක් කපාගෙන  ටෙනිස් බෝලෙකට පතබාන්නෙ  කියල....බොරලු පිට්ටනියෙ.....

උන් දුප්පත් තමා ඒත් උන් අහිංසක දුප්පත් වුන් කියල හංවඩු ගහල  උන් ලව්ව අපි අහිංසක දුප්පත් උන්ය කියල කියවගෙන  කොන්ද කැඩෙනකං වන්දවාගෙන  පොත් ටිකකුයි සපත්තු කුටටමකුයි දීල  උන්ගෙ අධ්‍යාත්මය විනාශ කරන්න හදන්න එපා..ඉල්ලගෙන කන්ඩ පුරුදු කරාට කමක් නෑ ...හිගන පරම්පරාවක් මේ රටේ   බෝ නොකර.

Tuesday, July 22, 2014

ගුටි කන්න ඕනෙද



 
විටෙක හිනැහෙයි විටෙක හඩදෙයි ලියන්නට නැහැ ඉඩක් දෙන්නේ
ඉල්ලමින් මම ලියන පෑනත් කෑගසාගෙන අතට පැන්නේ
සාරියක් ගෙන  බිරිදගේ  එය අන්දවන්නයි කෑ ගසන්නේ
ඒක නොකලොත් පැත්තකට වී මුව වසාගෙන තරහ වෙන්නේ

මොන්ටීසෝරියෙ ටීච යැයි මම  ඇදන් සාරිය සිනා වෙන්නේ
පොතක් අරගෙන කවි කියා දෙයි ටීච අනුකරණය කරන්නේ
දෝණි කියනා දේ අසාගෙන සිටිය  යුතුමයි ඇය රවන්නේ
එසේ නොකලොත් කුස්සියට ගොස් කොස්ස ගෙන අපහට තලන්නේ

පෑන් පැන්සල පාට කූරුද බිත්තියේ හැම අත දුවන්නේ
හුදකලාවෙම කියව කියවා මොනවදෝ මේ කුරුටු ලන්නේ
ඇදපු සිතුවම් කොල  ගොඩක් ගෙන  බිත්තියේ අලවා තියෙන්නේ
අයිය ආහම පෙන්නවන්නයි අම්මි හෙම නෑ ඉරාලන්නේ

Sunday, July 6, 2014

රෑ සිහිනෙන් නොවේ පුතේ හැබැහින් හදවත හඩනවා



රෑ සිහිනෙන් නුඹ පෙනුනා
සිලි බෑගෙක පොත් දාගෙන
සෙරෙප්පු නැති පුංචි කකුල්
අණ්ඩ දමපු කලිසම ඇද

හෙමින් සැරේ  නුඹ ඇදුනා
කාටත් නොපෙනුනා වුනත්
කාටත් නොදැනුනා වුනත්
හැමදාමත් හීනෙන් මට
පුංචි නුඹේ රුව පෙනුනා

පුංචි පුතේ නුඹ යනකොට
නානා විද  රථ වාහන
නුඹ පහුකරගෙන යාවි
බොරළු ගඩොල් කැට අවුදින්
පුංචි නුඹේ සිනිදු පතුල්
රිද්දනකොට නිතරම
මගේ හදට  උල් අනිනව
රෑ සිහිනෙන් නොවේ පුතේ
හැබැහින් හදවත හඩනව







Sunday, May 25, 2014

නගරසෝභිනියක් දුටිමි


ලී දණ්ඩක් සොයං
වන වැදුණු මං
මස් ගොබින් පිරි
මුව නෑම්බියක් දැක
පසෙකලා
ලී දණ්ඩ
පසුපස්සේ වැටීමි
ඇය

නොහැකි තැන සොයාගත
අසරණව
මං
මුලාවූවෙකු සේ
ඉක්මන් කලෙමි
පය
සොයනුවස්
ලී දණ්ඩ

Wednesday, May 21, 2014

සංසාර ජීවිතේ


මා කුඩා කල
තාත්තා
පාපැදියේ ඉන්දවං
එක්ක ගිය හැටි
පෙරපාසල්

ලැබුණු පසු
මල්ලිව
පුට් සයිකලේ පොල්ලේ තියං මාව........
හැඩල්එක මත කොට්ටයක් උඩ
මල්ලිව තියං.......
ජර බර ගාන ලැගිජ් එක මත
ඉන්දවාගෙන අම්මා.....
පැදපු හැටි පාපැදිය
තාත්තා මගෙ.....

ගිහිං එනකොට හේනට
නොතකා  තෙහෙට්ටුව....
රිටිගල කන්ද වන්
ඉස්කෝලේ කන්ද
පැදපු හැටි...
වීරිය අරන්
ඉන්දවාගෙන තිදෙනාම
බසින්නට ඉඩ නොදී......

සිහියට නැගේ තවමත්
වට්ටමින්
දෙනෙතින්
කදුලු කැට.....

ගෙවී ගොසින්
වසර ගණනක්
චූටි පුතා මගෙ
ඉස්කෝලෙ ඇරලන්නට
ගියපු දිනයක පාසලට

දිටියෙමි.....

ඉස්කෝලෙ පල්ලමේ
ඈත කෙළවරේ,
සෙමින් සෙමින්
සයිකලයක් තල්ලු කරන්
කේඩෑරි වී ගිය
මහලු රුවක්
කන්ද නගින හැටි
පයිං


Monday, May 19, 2014

රට කන මීයෝ


දවසේ කුලියකින් අපි කා බී  ඇදලා
ඉන්නේ කෙලෙසකද දරු පැටවුන්  හදලා
ගෙනෙනා බඩු ටිකත් පන් මල්ලක දමලා
මීයන් කතී ඒවා මහ රෑ  ඇදලා

රුපියල් පනහකට ගත් කඩයෙන් පොල් ගෙඩිය
බෑවකි ගෑවෙ බෑවක් උඩ වං ගෙඩිය
මේ එක් රැයට එය කා ඇති මී ගෙඩිය
හෙටනම් උඹට අත්වෙනවා දං ගෙඩිය

මහ රෑ පුරාවට මුළු කුස්සිය පැත්ත
ගන්නට දෙයක් නැත ඇත මීයන් රොත්ත
උදයේ කං කෙදිරි බිරිදගෙ මිං මත්ත
ඇසුනොත් තොපිව වළලනවාමයි සත්ත

ඊයෙත් පාන්දර හිටි මම තද නින්දේ
බලයෙන් ඇහරවා පෙන්වූ දේ නන්දේ
පියනක් හපා ඇත පිහිටෙන් දත් ඇන්දේ
මීයන් මරා දාපං මට ඇය වැන්දේ

කඩයෙන් ගෙනා එළවලු පළතුරු එක්ක
ඇයි මේ හතුරුකං කියපං මා එක්ක
හම්බුනු සොච්චමෙන් කරවල ටික වික්ක
සතියක් කන්නහැක දරුපැටවුන් එක්ක

කුස්සිය පුරාවට හිමියනි මී ගදය
බැහැ ඉවසන්න මියෙනා එකනම් හොදය
විසිකර තිබෙන ඔය මෙත් ගුණ, මී වදය
අවසන් කරන්නට සැලසුව හොත් හොදය

ඉටිරෙදි සීලිමට වී දගලන  සද්දේ
හදවත බියෙන් ගැස්සෙයි තද නිදි මැද්දේ
මගෙ ගේ වෙතම ඇයි මේ කෙනෙහිලි  ඇද්දේ
යන්නට බැරි වුණිද මීයෙනි වන බැද්දේ

මී ගද තිබුණ මුත් ඒකට කමක් නැතී
මී බෙටි තිබුණ මුත් අතුගා දැමිය හැකී
එනමුත් කියන්නට තව එක් දෙයක් ඇතී
කෑ කෝ ගැසුව හොත් පොඩිදුව නිදන්නැතී

Saturday, May 17, 2014

මොකද කියන්නෙ අපි දෙයියට අරිමුද



කවුද කැමති ජීවිතේ ආයෙත් පාරක් ආපස්සට යන්ඩ. ම් ..... නෑ  එහෙම නෙමේ කවුද අකමැති  ආපසු පුංචි කාලෙට ගිහින් එන්න. ඉතිං මට මේ ලගකදි එක්තරා දෙවියෙක්  වරමක් දුන්නා.
 " පුත ! නුඹට  මං වරමක් දෙනවා......"

"දෙවියනි........නුඹ කුමක් වදාරන්නේද"

"නුඹ පෙර බවයක කරන ලද පිංකං වල මහිමයෙන් නුඹට වරමක් දෙනව. හැබැයි ඒ ආපහු සැරයක් පුංචි කාලෙට ගිහිං එන්ඩ........"

"පුංචි කාලෙ කිව්වට ඒකෙත් එක එක කාල තියෙනවා.....ඒ හිංද මොන කාලෙද ඕනෙත් කියල කියන්ඩ ඕනෙ......" කියල දෙයියො කිව්ව.

"අනේ.....දෙයියනේ.......! .මට කොල්ල කාලෙට යන්ඩ තිබ්බනං ඇති ....."

මහා දුමාරයක් එක්ක දෙයියො අන්තරස්දාන වුණා........ මට මහා භයක් ඇති වුණා.......මට නිකං දවල් තරු පෙනුනා වගේ වූනා......මොහොතක් මුළු පරිසරයම විවිධ වූ වර්ණවලින් දිලිසුනා........ඒත් එක්කම මගේ හිතේ අප්‍රමාණ සතුටක් ඇතිවුණා.........මං ආසාව වැඩි කමට හූ....කිව්ව..... මං කොල්ලෙක් වුණා......කිය කිය හූ කිව්ව.....පුළුවන් තරං හයියෙං....

ඈතින්   තුන් හතර දෙනෙක් මේ පැත්තට එනව පේනව.......කවුද යකෝ..මුන්  ටික...... මගේ හිත විමසන්ඩ වුණා........යකෝ....මේ  මගෙ යාළුවො සෙට් එකනේ.....

"මේ මේ උඹ කොහොමද මෙහෙට්ට ආවෙ.?..දෙයියො උඹලටත් වරං දුන්නද.....?"

"දැන් එතකොට උඹ විතරද පිං කරල තියෙන්නෙ.......අපිත් කැමති නැද්ද  ඔය ගෑනු දරුවන්ගෙන් එහෙම ටිකක් ඈතට ගිහිල්ල පොඩි සැපක් කාරිය ගන්න......අඩෝ...මේ වල්පල් නිකං එපා.....ගහනව උඹට ආපහු හිටිය තැනටම විසික්ක වෙන්ඩ ඕං....."

"නෑ..නෑ...බං මාත් කැමති නෑ බං  ආය හිටිය තැනට ආපහු  යන්ඩ.....ඒ වගේද බං මේ  ලෝකෙ....පුල් ආතල් නැද්ද මං කියන්නෙ..."

"මේ ඒක නෙමේ.....අපි යන්ද වැව පැත්තෙ පොඩ් රවුමක් දාන්ඩ......"

"යං මචන් යං මටත් බැරිවුණා හුග කාලෙකින් වැවකට පැනල නාල පොඩි ආතල් පාරක් ගන්ඩ."

"මේ...... සිරියගෙ ඔරු කබල තාම තියෙනවද දන්නෙ නෑ .. නේද බං......පවු  බං සිිරිය මාම ...මතකද පොරගෙ ඔරුව අරගෙන හොරෙන් මිනිහගෙම දැල් වලින් මාලු  අල්ලගෙන  අහුවෙයි කියල බයට ඔරුව එහා ගොඩෙන් තියල  වැව් ඉස්මත්ත දිගේ  ඇවිත් අර කෙලවරින් වැව් බන්ටෙක දිගේ ගෙදෙට්ට ගාටනව.........පිස්සු ඕයි ඕව මතක් වෙනකොට........"

"අප්පට සිරි.......මොකද බං මේ වැවට වෙලා තියෙන දේ........."

"ඇයි බං උඹ ලංකාවෙ නෙමේද හිටියෙ.......ගිය අවුරුද්දෙ අර අකාලෙට වැහපු වැස්සට වැව කඩාගෙන ගියානෙ ....ඒකයි ඔය....."

"ඉතිං බං  කැඩිච්ච විදිහටම තියෙන එක හරිද මං අහන්නෙ..."

"අනේ මේ පඩි ටෝක් දෙන්නැතිව වරෙන් එනවනං යන්ඩ....කැඩිච්ච ඒව කැඩිච්ච විදිහටම තිබිච්චාවෙ....ඕව හද හද ඉන්ඩ ගියොත් එහෙම...ගෑණි නඩු දානව...මිනිහ වෙන මිනිහෙක් එක්ක පැනල ගිහින් දැන් දවස් ගානක් ගෙදර ආවෙ නෑ.... කියල...."

"ඇයි  උඹ  ඒතරමටම ගෑනිට බයද බං..."

"පිස්සුද බං...ගෑණිට බය වෙන්ඩ....ඒක නෙමේ...උඹ තාම බැදල නැද්ද බං......මං මේ ඇහුවෙ....අර වගේ ප්‍රස්නයක් අහපු හිංද...."

"මචන් නුවන්....මතකද අර හොරොව්ව........"

"විමල්.....උඹ හිතං ඉන්නෙ......මට ඔය ඔක්කොම අමතකයි කියලද.... ඈ..."

"නුවනො.... උඹයි  විමලුයි කැලුමුයි තුන් දෙනා .... ඇත්තටම පේම වන්තයෝ....උඹල තුන්දෙනා ඔය  හොරොව්ව ලගට ඇවිත්... තොපි ඔය බැදපු උන්ම තමයි කවදහරි බදින්නෙ කියල  ලවු උන්මාදයෙන් හොරොව්ව පල්ලෙහාට පැනපු හැටි මට අද වගේ මතකයි. ඇත්තටම උඹල හරි වාසනාවන්තයි....හොරොව්වෙන් පල්ලෙහාට පනින්ඩ බයේ උන්නු මට මං ට්‍රයි කරපු එක  කවදාවත් සෙට් කරගන්ඩ  බැරි වුණා....අද තොපි තුන්දෙනාම  එදා ට්‍රයි කරපු කෑලි තුන බැදල  ඉන්නව දැකීමත් ඇත්තටම සතුටුයි මචංල......"

"අනේ මේ ධනසිරිය ....මට කියල හුප්පද අහගන්ඩ එපා ඕං....පස්සෙ තමා මට තේරුනේ.....එදා හොරොව්වෙන් පැනපු එකේ...රගේ....ඇත්තටම මෙහෙම වෙනව කියල දන්නවනම් කවදාවත් පනින්නෑ යකෝ...."

"කියල වැඩක් නෑ....ඒක නෙමේ........නුවනො.....".

"ඇයි....ඇයි....මොකද්ද වෙන්ඩ ඕනෙ"

"මොකද කියන්නෙ.....අපි දෙය්යට අරිමුද....."



===========මස===========

Friday, May 9, 2014

මේ මට පේන හැටි


පෙර රජ දවස සිට  එන හොද සිරිතක්ය
කවුරුත් එක වගේ නැත කිසි වෙනසක්ය
ඇද්දිලි කැපිලි ගෙරවිලි නම් රකුසෙක්ය
උෟ නැති එකෙක් මිහිපිටනම් දෙවියෙක්ය

එකෙකුගෙ කීම තවකෙකු ගරහනා ලොවේ
අද කාටවත් නම් මෙය පුදුමයක් නොවේ
මහ සග රුවන පෙන්වයි එඩි බලය ජවේ
ලොකු මැරකමකි තවකෙකු හට මෙහෙව් ලොවේ

පෙර පිනකින්ය ලැබුනේ කට කටකාර
ඒකෙන් පනී අදහස් ගොන්නක් මාර
කරමින් එකෙක් නිරුවත් කර ලෙස වීර
සිටියත් නොම දැනේ එන පරලොව පාර

අත්තා මුත්ත මී මුත්තාගෙන් ලැබුණු
දේපළ මොටද මම පුස් මිනිසෙකි දැමුණූ
ගැහි ගැහි ඉන්න දුප්පත් වැස්සෙන් තෙමුණු
උන්හට පුදමි මට කුමටද රජ ඔටුණු

යැයි තවඑකෙක් බෙරිහං දෙයි රට මැද්දේ
දුප්පත් එවුන් ටික ඌ පස්සෙන් ඇද්දේ
රැවටිලි කපටිකං මේ නැත හිත් වැද්දේ
යම රජු අපායේ ඇත කරමින් සද්දේ

ලැබුණ මුත් මිලියන ගණන් මහ දනන්ගේ පොදු වැඩට යෙදුමට
ඒව වියදම්  වුණේ මහතුනි බට දෙකේ පාලම්ද තැනුමට
ලෝකෙ හිනැහෙයි ගම්මු වැළපෙයි කවුරුවත් නැත නුඹට රිදුමට
එහෙත් ඉන්නව සොහොන් පිටියේ නුඹ වගේ උන් ගන්න පොලොවට


========මතු සම්බන්ධයි=========






Tuesday, May 6, 2014

කුලහීනයා



''ලොකු දුව උඹට ඉල කැඩෙනකං කියල තියෙනව අර... අර කම්මල් කාරයත් එක්ක තියෙන පලහිලව්ව නතර කරන්ඩ කියල.......උඹල හදන්නෙ අපෙ මූණෙ දැලි ගාන්ඩද?  මහ  මිනිහ එහෙම දැන ගත්තොත් විසුමක් වෙන්නෑ....... උන් කවුද ......අපි කවුද.....ලැජ්ජාවක් නැද්ද  ලලිතා...? ඔය ඕකුන්ගෙ මහ එකා ඒ දවස්වල උඹලෑ  අප්පොච්චි දකින කොට ආ පුංචි මහත්තයා කියල සුම්බරේ අතට අරං හතරට පහට නැමිච්ච උං......ඔය කම්මල් කාරයින්ට අපෙ පවුල් පෑහෙන්නෑ ලලිතො...''

'' අනේ අම්මෙ මේ උදේ පාන්දරම අම්මට මොනව වෙලාද...මේ..මේ කුල මල ගෝත්තරේ ඇදගෙන  ලැජ්ජ නැද්ද අම්මෙ...පාරෙ යන මිනිස්සුත් හිනා වෙනව....." අතුගගා හුන් ලලිතා ඉදල මුල්ලකට විසි කර ගෙතුලට ගියාය.

" ඔව් ඔව්....පාරෙ යන මිනිස්සු හිනා වෙනව....ඒක තමයි උඹට තියෙන අමාරුව..බලා හිටිං.....!.අනේ.... හපොයි..!මෙහෙම ගියොත් අපිට දොට්ට පිළට බහින්ඩ වෙන්නෑ....මේ පරට්ටි කරන අසමජ්ජාති වැඩ හිංද........"

මුළු ගෙදරම හෝරාවක් පමණ වේලාවක් මහා නිහඩ බවකින් වෙලා ගත්තීය.මල් මල් ගවුමකින් සැරසුණු ලලිතා එලියට බැස්සාය.

"උඹ මේ උදේම කොහෙ යන්ඩද..? අද දවල් වරුවෙ නේද පන්ති තියෙනව කිව්වෙ...."

"අද උදේ වරුවෙ  ක්ලාස් තියෙනව කියල කුමුදු  කිවුව......සල්ලි නැද්ද අම්මා......"

"උඹට සල්ලි නෙමේ දෙන්ඩ වටින්නෙ ඉල අතු පාරක්....මේ කොරන වැඩවල හැටියට....හිටිං බලන්ඩ."

“ ආ....ඉදා..මේක..මේ මං හංගල තියාගත්තෙ පොඩි හාමුදුරුවො  බලන්ඩ යන්ඩ කියල....කොහෙද ඉතිං ඒකටත් වෙලාවක් තියෙනවයැ....මං නැත්තං ඉතිං අප්පට පුතාලට  බත් තම්බන්ඩ එකියක් නෑනෙ....."

"මං යනව  අම්මා....“ ලලිතා හුන් තැනම පහතට නැමී අම්මාට වැන්දාය.

"පරිස්සමින් පලයං......අරූ එහෙම මුලිච්චි වෙන්ඩ යනව නෙමේ ඕං......."

වේගයෙන් පියවර තබා යන ලලිතා දෙස මොහොතක් බලා හුන් කුසුමාවතී  ගෙතුලට රිංගුවාය.
ලලිතා කුමුදුලාගේ ගෙදර යනවිටත් ඇය ලිද ලගට වී මුහුණ සෝදමින් උන්නාය.

"මොකෝ බං මේ උදේ පාන්දරම කුකුලත් කරේ තියාගෙන.....මොකෝ ඇදේ පැත්තවත් මාරුවෙලාද නැගිට්ටෙ........ ඇයි.. ඇයි බං මේ මූණ ඇඹුල් කරගෙන..."

"නෑ...බං අදත් උදේ පාන්දරම අර කන්දොස්කිරියාව පටන්ගත්ත. බැරිම තැන උදේ පන්ති තියෙනව කියල ගෙදරින් පැන ගත්ත.."

"උඹ හිංද මටත් ගෙදරට බොරු කියන්ඩ වෙනව...මොනව කරන්ඩද උඹ ඉතිං මගෙ හොදම යාළුවනෙ...ඒ හංද  ඉවසනව..."

"ඒක නෙමේ කුමුදු.....අද ජයතිලක අයියා ටවුමට එනව කියල කිව්ව මාව හම්බෙන්ඩ.වෙන දවසකුත් නෑලු අනේ..හෙට උදේම පීඨෙට යනවලු .."

"අනේ මං දන්නෑ බං උඹ මේ කරන ඒව කොතනින් කෙලවර වෙයිද කියල..."

"උඹ කියන්නෙත් මං වැරදි දෙයක් කරනව කියලද...මොනවද බං ජයතිලක අයියගෙ අඩු....ලබන අවුරුද්දෙ පීඨෙ ඉදල ආවම ගුරුවරයෙක්...අනිත්තෙක මේ ගමේම ඉන්නවද ඒ වගේ උගතෙක්...සිංහල නම් සිංහල.. දෙමළ නං දෙමළ...ඉංග්‍රීසි නං ඉංග්‍රීසී...මොනවද ජයතිලක අයියට බැරි....ඒ වගේද ආරෝහ පරිනාහ දේහෙ....ඔක්කොටම වැඩිය ..බලපංකො කතාවෙ තියෙන ලස්සන.... ඔය වන්සක්කාරයෝ කියන උන් ලගින් තියන්ඩවත් පුලුවන්ද  බං ජයතිලක අයිය...."

" හා ..හා නවත්ත ගනිං උඹෙ ඔය  කෙහෙල්මල් වර්ණනාව......ඈ බං ලලිතො ඇතකොට අපෙ උන් පඩරැල්ද.....?

"අනේ......කුමුදු......"

"විහිළුවට කිව්වෙ බං.....උඹට දුක හිතුනද......"

පොල් පටවපු ලොරියක් සේ ගෑණූ පිරිමි පටවාගත් විල්බට් මහත්තයාගේ  මලකඩ කාපු රෝසා බසයෙන් ඔවුන් දෙදෙනා අමාරුවෙන් බැස ගත්තාය.

"අර අර ඉන්නෙ උඹෙ ආරෝහ පරිනාහ දේහෙ.පලයං ගිහිං වැදපුදාගෙන වරෙන්....හැබැයි වෙලාවට ක්ලාස් වරෙන්.....මං යනවා...."  කිසිවක් නොතෙපලූ ලලිතා හෙමින් සීරුවේ ජයතිලක ලගට ගියාය.

"දැන්ද ආවෙ.."

"ඔව් දැන් ටිකක් වෙලා.."

"ඇයි අනේ ඔය උගුර නිකං බැරැන්ඩි වෙලා වගේ.."

"හුග කාලෙකින්නෙ හම්බ වුනේ ඒ හංද වෙන්ඩැති...."

"කීයටද පංති..."

"දොලහට...."

"ගොඩක් වෙලා තියෙනව එහෙනම්..."

"හ්ම්....."

"ඒක නෙමේ.......ගෙදරින් මොනවද කියන්නෙ...තාමත් මට අකමැතිද ? අම්මලා....."
ඇය කිසිවක් නොකීවාය.  " අපි යං බස්ටෑන්ඩ් එකට..''

නිදහස සොයා යන කුරුළු යුවලක් නිල් අහස් කුස පාවී යන්නා සේ බස් නැවතුම්පොල දෙසට ඔවුන් පියවර තබන්නට විය.

" ඒක නෙමේ ලලිතා..."

"ම්....“ ඇය කොදුලාය.

"ලබන  පෙබරවාරියේ පුුහුණූව  ඉවරවෙනව. ලග ඉස්කෝලෙකට පත්වීම හදාගන්න පුළුවන් වෙයි.පංසලේ ලොකු හාමුදුරුවොත් සෑහෙන ට්‍රයි එකක් ගන්නෙ මාව ගමේම ඉස්කෝලෙට දාගන්න..“

"එහෙනම් ඉතිං මෙච්චර මහන්සි වෙලා මං ඉගෙන ගන්න ඕනෙ නෑනෙ අනේ.එතකොට ඉතිං කොහොමත් මං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්නෙ......"  ලලිතා අතක්  දිගුකර  ජයතිලකගේ නිකට මිරිකුවාය.

"ඌයි..."

"ඔයාට රිදුනද.."

"නෑ....."

"එහෙනම් ඌයි කියල කිව්වෙ..."

"ආදරේට......."

"ඇත්තටම ආදරේද.....?

"නැතුව මේ මුළු ලෝ......කෙටත් වැඩිය මං ඔයාට ආ.....දරෙයි....."

"කවද්ද අපි බදින්නෙ.......අයියෙ.....“

"පත්වීම ගත්තු ගමන් බදිමු......ගෙදරිං අකමැති වුණොත්......"

"අපි මැරෙනකම්ම ආදරෙන් ඉම්මු..."

"එහෙම වෙයිද...?

"කවදාවත් වෙනස් වෙන්නෑ මං ඔයාගෙමයි.ඔයාලගෙ අම්ම මට කැමති වෙයිද...?

"ලේලි  ගෙදර එක්ක එනකං තමා එයාල මග බලාන.....ඉ........න්....

ජයතිලකට කතාව අවසන් කිරීමට නොහැකි විණ. ඉතා වේගයෙන් පැමිණි මොටර් සයිකලයක් ඔවුන් ඉදිරියේ නතර කෙරින.

"පට්ට බැල්ලී.....තෝ පන්ති යනවා කියල නේද ආවෙ....මොනවද තෝ ඔතන ඉදගෙන කරන්නෙ ඇ...තෝ තෝ.... අපෙ පරම්පරාවම විනාශ කරනවා...පරට්.....ට බැල්ලී........."

ලලිතාගේ අයියා මරුවිකල්ලෙන් මෙන් කෑ ගහන්නට විය. මිනී මැරුමක් වූවාදෝයි ඇතැමුන් පැමිණ වටවී බලන්නට  විය.

"තොපි කම්මල් කාරයෝ ......තොට ලැජ්ජ නැද්ද යකෝ....උඹ හිතුව මදි අපේ පවුලට සම්බන්ධ වෙන්ඩ..හැහ්....අපි වගේ වන්සක්කාර පවුලකට උඹට හේත්තු වෙන්ඩ  බෑ........අන්න ඒක තේරුං ගනිං......ගෙරි.....පා....හරයා.....මෙහෙවර..... තෝ....තෝ..ව මං එවන්නං ආය  පන්ති...."

"අනේ අයියෙ.....මට බැන්නට කමක් නෑ......ජයතිලක අයියට බනින්න එපා.......ඔයාට පව් සිද්ද වෙයි.....මගෙ අයියෙ......."

"පව්.....පව් පිං ගැන  උඹ එනවද මට උගන්නන්ඩ ඈ යකෝ.....ඌට බනින්ඩ එපා කියන්නෙ මොකෝ ඌ මහ බඹාද. ඌ හිතාන ඇති ගුරුපත්වීමක් ගත්තම කූලේ උසස් වෙනවා කියල. කම්මල් කාරයො කම්මල්කාරයොමයි  යකෝ......."

ලලිතා ජයතිලක දෙසට අත දිගුකර හඩාවැටෙන්නට  වූවාය.ලලිතාගේ අයියා පහර පිට පහර දිදී ඇයව දක්කාගෙන යන අයුරු ජයතිලක කරකියා ගත නොහී කදුලු පිරි දෙනෙතින් යුතුව බලා උන්නා මිස ඔහුට කල හැකි දෙයක් නොවීය...

 ඇම්ලොප් කවරය දකිද්දීම ලිපිය කාගෙන්දැයි ජයතිලකට හදුනාගත හැකිය. මුතුවන් අත් අකුරින් ‘වෙතට‘ යන්න යොදා ලිපිනය ලියන්නේ ලලිතාම පමණක් බව ඔහු දනී....
                                                                                                                                                   නිවසේදීය
                                                                                                                      
සම්මා සම්බුදු සරණයි!

ආදරණීය මගේම  අයියා වෙත ලියමි.

වෙනදා මෙන් ඔබෙන් සුව දුක් අසන්නට මා පිං කර නැත. අයියේ මට දහස් වාරයක් සමා වෙන්න. එදා ගෙදර ගිය වෙලේ සිට ගෙදර අය මාව නොමරා මැරුව.ක්ලාස් තියා ගෙයින් එලියට බහින්ඩවත් මට දැන් තහනම්ය.ඒකටත් අප්පච්චීගෙන් අවසර ගන්ඩ ඕනෑ.මං ඔයාට එදා වගේම අදත් ආදරෙයි.ඒ ආදරය කවමදාකවත් වෙනස් වෙන්නෑ.ඒත් මේ සමාජය අපිට එකතු වෙන්නට ඉඩ දෙන්නෑ.ඔයාට හොද ගැහැණු ළමයෙක් හම්බෙයි. එදාට මං ගැන හිතන්න එපා. මට සමාවෙන්න.
                                                                                                         මීට
                                                                                                         ලලිතා
ජයතිලකගේ ඔලුව බමණය වන්නට විය. මේ ලිපිය එවා ඇත්තේ ලලිතාමද යන්න ඔහුට සැක සිතුනි.ඔහු නැවත වරක් ලිපිය දෙස නෙත් යොමා බලන්නට විය.අරක්කු බෝතල දෙකක් බිව් එකෙකු සේ ඔහුටම ඔහුගේ ගත සිත පාලනය කර ගැනීමට නොහැකි විය. ජයතිලක ලිවුම දෙස ඔහේ බලා උන්නේය.කිසිම දේශනයකට සහභාගි නොවූ ඔහු මුළු දවසම තම කාමරයටම වී සිටියේය. දිවා ආහාර පැකැට්ටුව වටා කුහුඹුවන් පිරී ගොසින්ය.දහයේ  තේකද එසේමය.

"ජයතිලක මොනවද උඹ ඔය කරන්නෙ..? දවසම කල්පනාව....මේ කෑම එක බලපං....ඒක කූඹි කනවා....මේව උඹලෑ අම්මා එක එකාගෙ ගෙවල්වල වැඩ කරල හොයා ගන්න තුට්ටු දෙකෙන් ගන්නේ..අඩුම තරමෙ ඒ ගෑනිට පිං සිද්ද වෙන්ඩ කෑම එකවත් කාපං ඉගෙන ගන්න එක පැත්තක තියල.....
දැන්.....හවස  ලෙක්චස් වලටවත් උඹ එන්නැද්ද.......?

" නෑ සුනිල් ........අද මගෙ ඇගට පොඩ්ඩක් හොද මදි......"
"එහෙනම් මං යනවා....තවත් බලා ඉන්නැතුව ඔය කෑම එකවත් කාපං....."

ජයතිලක ඇද මත වැතිර ගත්තේය. තම දෙඅත්ල හිස පිටුපසට තබාගෙන කැරකෙන විදුලි පංකාව දෙස බලා උන්නේ ය.

"කම්මල්කාරයෝ කම්මල්කාරයෝමයි....." ලලිතාගේ අයියාගේ කටහඩ දෝංකාර දෙන්නට විය. ඔහුගේ චිත්ත සන්තානය විදුලි පංකාව මෙන් වේගයෙන් කරකැවෙන්නට විය.

"ජයතිලක...!
"ජයතිලක .......!!    මොනව කරනවද බං දොර වහගෙන.....දොර ඇරහං  බං....."   කිසිදු හැල හොල්මනක් නොවීය........සුනිල් අතින් වැරෙන් පහරක් එල්ල කරේ කෝපයද මුසු වූ හැගීමකිනි. එය ඇතුළතින් අගුල්ලාය. සුනිල් කෑ ගසන හඩ ඇසී අහල පහල අයද එතැනට දිව  ආහ. බැරිම තැන සුනිල්  වැරෙන් පා පහරක් දෙර වෙත එල්ල කලේය. දොර දෙබෑ වී ගියේය. ජයතිලක ඇද මතය....එක් අතක් පහලට වැටී ඇත. කටින් ඒ වන විටත් සෙම පිටවන්නට විය. කනේරු මද කීපයක් ලියන මේසය උඩ විසිරී  ඇත.

Sunday, April 27, 2014

මා මෙන් වයසකයි මගෙ පෙම්බර බාරී



දිනයක උදෑසන ගමනක් යන්න සැදී
උන්නෙමි මෙමා බස් නැවතුම් පොලක රැදී
වයසක මහල්ලෙක් හැදගෙන කිලිටු  රෙදී
හෙමිහිට ගෑටුවේ බර හැරමිටට දිදී

මා මෙන් වයසකයි මගෙ පෙම්බර බාරී
සැමදා ඔත්පලයි බැහැ වැඩපල කාරී
නොගියපු දීගයක මගෙ ලොකු දූ මාරී
දැන් වයසකයි නොහදියි මංගල සාරී

පුත්වරු තුන්දෙනෙකු හැදුවේ රජුන් වගේ
දරුවන් නොවේ උන් සැම හද ගැස්ම මගේ
සිප් කිරී පොවා යැව් යහමාවතක් දිගේ
තාමත් නාවෙ ඇයි කටුමැටි පැලට මගේ

කිසිවක් නුඹෙන් පුතුනේ නැහැ පතන්නේ
වේලක් නොකා හෝ අපි කල් ගෙවන්නේ
පණ නල අදින නුඹෙ මව් පිය සොයන්නේ
නුඹ පමණමයි පුතුනේ මගේ වරෙන්නේ

පාසල් යන්න රෙදි සෝදා මැද දුන්න
බෝතල් වලින් සෙල්ලම් බඩු හැදු ගොන්න
සීතල වතුර උණූ කර බොන්නට දුන්න
හීනෙන් ඇවිත් අක්කා සිප වැද යන්න

කිසිවක් නොමැත දින තුනකින් මම කෑවේ
කියමින් දුබල වී ගිය බඩවත පෑවේ
තව දුර යන්න ඇත මට අදනම් රෑවේ
ඇතිනම් කාසියක් දෙන්නකො අත පෑවේ

දකිනා විටදි ඔහුගේ දුක්බර මුහුණ
අමතක වුණා මා හට යායුතු ගමන
සියයක් පමණි ගමනට මගෙ අත තිබුණ
කුමටද සිතන්නේ දෙවරක් මට සිතිණ



Sunday, March 9, 2014

උඹ දැන ගනින් උඹ ඉල්ලාගෙන කෑවේ


මුදලක් යවනු වස් යාළුවෙකුගෙ නමට
පිය නැගුවේය මම අද බැංකුව වෙතට
පොඩි චකිතයක් වූවේ නම් මගෙ සිතට
ඒ නිල ඇදුම විය ඇති පාටින් නිලට

හදිසියෙ සිදුවුණෙමි බැංකුව වෙත එන්න
සිත සැලුනේය දුටු විට මිනිසුන්  ගොන්න
මා පමණක් වුවද නිල ඇදුමින් ඉන්න
හැකිවෙද මෙමට පෝලිම පෙරටම යන්න

සිතුවිලි හඩනගයි මහතාණෙනි එන්න
ඔබගේ හදුන්පත ඉක්මණටම දෙන්න
හොද නැහැ රණවිරුවො පස්සට කර ලන්න
විය යුතු එයත් එය පුස් වෙඩියක් වැන්න

මේසය කිට්ටුවට වී දැන් මම ඉන්නේ
දැන්වත් අඩගසයි මා හට සිතමින්නේ
එනමුත් ඒ තුමා මා දෙස බලමින්නේ
නැත කිසි වගක් මා දැන් නිකමෙක් වැන්නේ

ඔබවන් උගත්කම් සපුරා නැති නමුදු
මා සෙබළෙක්ය තිවු රට වෙත දිවි පරදු
නැත ලැබ සැපක් කිසිලෙසකින්වත් සිනිදු
මා නැවියෙක්ය දිනු හත් ගව්වක් මුහුදු

ඔක්කොම සැබවි මිනිසුන් බව ලොව වසන
එය උත්තරීතරමයි කොහොමත් නිතින
එනමුත්   මෙමා උන් නිල ඇදුමින් පැමිණ
නුඹ ගරු කල යුතුයි රණවිරුවකු ලෙසින

කොටියන් සිටින විට රණවිරුවන්ට එදා
සැළකු අයුරු සිහිවෙයි මගෙ සිතට මෙදා
වෙනමම පෝලිමක් රණවිරුවන්ට පුදා
දිරිමත් කල නමුදු ඇයි මේ ලෙසට මෙදා

දැන් දැන් කාට කාටත් අප කළ සේවේ
සිරිලක් රුපියලකි ඒ මේ අත පාවේ
පිරිබාහරන් සිහිනෙන් විත් මට කීවේ
උඹ දැන ගනින් උඹ ඉල්ලාගෙන කෑවේ


චිත්‍රය -  අමිල අබේවික්‍රම


Sunday, March 2, 2014

අපේ වංශෙ දරුවන් අඩු වයසින් මැරෙන්නෑ


සමස්ථ ප්‍රජාවම විවිධ වූ මතයයන් හි එල්බ සිටී. ගස් මුදුන් වල එල්ලී මියයන ලද තරුණ තරැණීයෝය.ක්ෂණයකින් මුළුමහත් ශ්‍රී ලංකාවම ආන්දෝලනයට තුඩුදෙමින් රැව්පිළි්රැව් දෙන ප්‍රවෘත්තියකි.නිවේදකයින් මුහුණට ආරූඩ කරගත් ශෝක ජනක හැගීමකින් යුතුව ප්‍රවෘත්තිය කියවාගෙන යයි.එකී මෙකී නොකී සැමටම වැරැද්ද පටවයි.අවසානයේ කෙසේ හෝ කොහේවත් යන අහිංසකයෙකු මත වැරැද්ද පටවා ඔහු හෝ ඇයව සිපිරිගෙට යවයි. එයයි අවසානය.

ලංකාව පුරා ගිනිය නොහැකි තරම් විකාශන ජාලයන් ස්ථාපිත කර ඇත.මොන දේ කොතැනක වුවත්  හොද හෝ නරක  හෝ එය ඊලග ක්ෂණයේදී මුළු ලොවටම දකින්නට සලස්සවයි.එය වත්මන් ජනසන්නිවේදනයේ එක් දියුණූ වූ අවස්ථාවක් ලෙසට මා දකිමි.එක් එක් ආයතනයයන් විවිධ වූ ප්‍රයෝගයන් උපයෝගී කර ගනිමින් තමන්ගේ සාර්ථකත්වය කරා පැමිණෙයි.එමෙන්ම එය ඔවුන්ගේ සමාජ වගකීමක් මෙන්ම කාර්යභාරයක් ලෙසට සළකති.මේ තුලින් බොහෝ දේ ඉගෙන ගැනීමට රටේ සෑම පුරවැසියෙකු හටම අවස්ථාව උදාවී ඇත.මේ තුලින් තමන් වෙත අනාගතයේ ඒමට ඇති වේ යැයි සිතිය හැකි ග්‍රහ චක්‍රය පවා වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත.

රූමත් තරුණීයක්, පාසල් යන දැරිවියක් එල්ලී මිය ගොස් ඇත.

මෙය හෙළි කිරීමේ වැරැද්ද මා නොදනිමි. මුහුණූ පොත තහනම් කිරීමෙන් මේ වැරැද්ද නිවැරැදි කිරීමට හැකියාවක් ඇති වේවිද යන්න මගේ හැගීමයි.

මෑතකදී  පාසලේ පින්තුර සහ අනෙකුත් දේ තම මුහුණුපොතේ පෙන්වීමේ වරදට මුල් ගුරුතුමා තමාට බැනවැදුනේ යැයි වෙනූෂා දියණීය එල්ලී මිය යන ලදී.වැරැද්ද මුල්ගුරුට පටවන ලදී.සමස්ථ ප්‍රජාවම පාසල් දැරිවියගේ පැත්තේ සිටගෙන මුල්ගුරුට ප්‍රහාර පිට ප්‍රහාර දියත් කරන්නේය.එසේනම් දැන් ගුරුවරුන්ට දඩුවම් දීමේ සහ බිනීමේ අයිතිය ප්‍රජාව විසින් උදුරාගෙන ඇත.කලයුතු වන්නේ දෙමාපියන් කැදවා ඔවුන් දැනුවත් කිරීමය.එසේද කල නොහැකිය.මන්ද එසේ කිවහොත් පාසල් දරුවන් ගෙල වැල ලා මියයන බැවිනි.ඔවුන් එල්ලී මිය යන්නේ කජු කනවා මෙන්ය.එසේ වුවහොත් එය පහසුදෙයකැයි සිතා සියළු තරුණ තරුණියෝ එල්ලී මිය යති.හැම පාසලකම මුල් ගුරුවරුන් හට සිරබත් කෑමට එන දවස වැඩි ඈතක නොවේ.
වත්මන් ගුරුවරුන් පඹයන් සේ ඔවුන්ගෙන් විය යුත්තේ සිංහල බාසාවේ අකුරු ස්වල්පය ඉගැන්වීම පමණක්ද?සමාජයට අවැසි වන්නේ උගත්කමින් පමණක් පිරි පුරවැසියන් පිරිසක් පමණද?
ඇතැම් දෙමාපියන් ගුරුවරු වනාහි පිටස්තරයින් පිරිසක් සේ සළකති.සැබෑවකි.ඔවුන් පිටස්තර පුද්ගලයින්ය.නමුත් පාසල් බිමේ දී ඔබේ දරුවාගේ සම්පූර්ණ අයිතිය හිමිවිය යුත්තේ ගුරුවරයාටය.මගේ දරුවාද ඒ පැය කීපය ඒ ගුරුවරයාට පූජා කලේ යහපත් පුරවැසියෙක් කරදෙන මෙන් ඉල්ලාය.

මගේ පියා මගේ පාසල් කල ගුරුවරුන්ට කීවේ හදන්න බැරිනම් කෝටුමස් කරන ලෙසටය.ඒ එදවසය.ඒ වචනයේ පිහිටෙන් මා සියදිවි හානි නොකරගෙන හොරෙක් මංපහරන්නෙකු නොවී අද සුවසේ ජීවත්වෙමි.
නමුත් අද එවැන්නක් නොමැත.එවැනි පියවරුද හිගය.මා එදා මෙන් අද සංසන්දනය කිරීමට යනවාද නොවේ.

ඇතැම් දරුවන් තමන්ගේ පියා කලුද සුදුද කියා නොදනී.පාන්දරින්ම වැඩට යන පියා නැවත එන්නේ රෑබෝවී ය.එයයි මේ සමාජ ක්‍රමයේ සත්‍යය.නමුත් දෙමාපියන් වශයෙන් දරුවන්ගේ වගකීම ඔවුන් අතද තබාගතයුතුවා මෙන්ම ඔවුන්ට සීමා සහිත නිදහසක් ලබා දීමට වගබලා ගත යුතුය.නොඑසේනම් ඔවුන් ඉබාගාතේ යන බලු රැළක් සේ තම ජීවිතය මෙහෙයවන්නට උත්සාහ ගනී.
වෙනූෂා දියණිය මුහුණු පොතේ සැරිසරා ඇත්තේ පාසලේද නැත එසේනම් ඒ ගෙදරදීය.මෙවැන්නකට මව්පියන් ඉඩ දී ඇත.එසේනම් වැරැද්ද කාගේ අතද?

පාසල් ගුරුවරුන් සුළුකොට නොතැකිය යුතුය.ඔවුන් දෙවිවරුය.ඔවුන් විසින් සිපිරිගෙයිවල කම්බිකූරු ගනින්නට කටයුතු කරන්න එපා.එය අානන්තර්ය පාපකර්මයට සමාන නොවන්නේද?ගුරුවරුන්ට නිදහස දෙන්න  තම දරුවාව යහපත්,ගුණවත්,වැඩදායී උගත් බුද්ධිමත් ජවසම්පන්න පුරවැසියෙක් කරන්න.දෙමාපියන් වශයෙන් අපගේ කාර්යභාරය එයයි.තමන් සිහියට ගන්න අද තමන් සිටින තැන තමන් වැජඹෙන්නේ කවුරුන් නිසාදැයි සිහියට ගන්න. අම්මා තාත්තා අපව වැදූ හැදූ එක ඇත්තය.එනමුදු අපිව සමාජයට හැරලුවේ විදු මෑණීයන්ය, ඒ ගුරුදෙවිවරුය.

පුද්ගලයෙකු ජීවත්වන්නේ හෝ මියයන්නේ සන්නිවේදනය නිසා නොව,ඒ ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව අනුවය. එසේනම් විය යුත්තේ ඔවුන් ශක්ති සම්පන්න පුද්ගලයින් කිරීමය. ඒ සදහා කල යුත්තේ ගුරුවරුන් හා නිරන්තර සහයෝගයෙන් යුක්තව තම දරුවන් ගැන අවධානයෙන් සිටීමය.මුහුණු පොත නිසා පමණක්ම තරුණ තරුණීයන් මිය යන්නේ නම්, හා ඒ මගින් පමණක්ම දරුවන් විනාශමුඛය කරා ගමන්කරන්නේ නම් පමණක් මුහුණුපොත තහනම් කලාට වරදක්ද නොවන්නේය.
තම දරුවන් උගත්කමින් මෙන්ම ගුණවත්කමින්ද පෝෂණය වන්නේ නම්  ඔවුන් අකාලයේ මිය නොයනු ඇත.මෙයට හොදම උදාහරණය ධර්මපාල ජතක කතා වස්තුව නොවේද?

මා හට අයනු ආයනු ඉගැන්වූ මගේ මුල්ගුරුතුමිය තව නොබෝ දිනකින් විශ්‍රාම යාමට නියමිතය.ඒ මගේ පුංචි පුතුටත් දෙවසරක් උගන්වාය.ඇය කියන්නේ ඔහුද මාමෙන්ම දඩබ්බරයෙකු බවයි.මා කුමක් කියන්නද මට හොද නරක කියා දුන් මගේ පුංචි පුතුටද ඇය හොද නරක උගන්වාවි.ඒ ගුරුදෙවිවරුන්ගේ හැටිය.

ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලිංකන් සිහියට ගන්න.තම පුතාගේ ඉස්කෝලේ මුල් ගුරුට  යැව් ලිපිය කියවන්න.එය සෑම මව්පියවරයෙකුටම වැදගත් වනු ඇත.

අවසන් වශයෙන් කිවයුත්තේ , අපට අවැසි වන්නේ මීටරයක් මිස මෝටරයක් නොවේ.

විශ්‍රාම යන මගේ මුල්ගුරුතුමිය වන ප්‍රේමලතා ගුරුතුමියට විවේක සුවය ප්‍රාර්ථනා කරමි


(පින්තූරය බලන්න මෙන්න මෙතැනින්http://wewismatha.blogspot.com/2013/08/blog-post_5767.html

Sunday, February 9, 2014

කිරි අම්මේ


කාලෙන් කලට හැමදේමත් වෙනස් වන
නොතිබෙන දෙයත් වෙද මේ ලොව සසල වන
වියතුන් නූගතුන් නිතරම දෙසන බන
ඒ ගැන සිතන විට කැපුමට සිතෙයි කන

වරමක් දුන්නොතින් සක් රජු මෙහි පැමින
කලබල වේවි කවුරුත් දැන් මෙහි සිටින
මොනවද ඇත්තෙ  වැඩියෙන් දිව ලොව වටින
ඒ සැම දෙන්න මට රැකුමට දිවි ගමන

දෙව් ලොව කතා කියමින් සනසපු බාලේ
සුර  අසුරයින් ගැන කිව් හිදගෙන සාලේ
මව්ටත් වැඩිය හෙව් අපි ගැන පොඩි කාලේ
කිරි අම්මාය මගෙ වරමට සක් රාලේ

 වියැලී එල්ලෙනා මුත් ඇගේ මහලු තනේ
නොබැලු එකෙක් වෙද ඒ කිරි රසය අනේ
අම්මා දෙනවිටදි ගුටි බැට හතර කොනේ
වෙන සැනසුමක් වෙද කිරිමවු නොමැති තැනේ

තල් කොල වලින් නිතරම හැඩ වැඩ පෙන්නු
ඇය අමතකයි කාටත් දැන් යල් පින්නු
කිසිවිටකවත් පොල් කොල අහකට දැම්මු
කෙනෙකුන් නොවේ යැයි සළකති මේ ගම්මු

නොතිබුණු නමුදු ඇගපත සත්තියෙන් වෙළී
සිවු පෝයටම සිල් ගයි බත්තියෙන් ගැලී
ගෙයි දොර හැම වැඩම කෙරුවත් නොකර මැලී
කිසිවිටකවත්  දැක නැත්තෙමි ඇගෙහි දැලී

දරු මුනුපුරන් ගැන නිතරම  සිත යෙදුව
කොන් වී විටෙක පසෙකට වීමට සිදුව
මියයන තුරුම බුදු දම් සග මොක්  පැතුව
නිවනින් සැනසෙන්න ඔබෙ සිල් ගුණ මතුව

http://wewismatha.blogspot.com/

Wednesday, January 29, 2014

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා


කදු හෙල් තලා පසුකරගෙන මන නන්ද
දියවැල් ගලා එයි පසුකර මහ කන්ද
සොබදම් මෑණියන් දකිමින් මන බැන්ද
පොඩි කෙන්දක් වුණා වැනිමය මහ කන්ද

කියතක් සොයාගෙන ගාටා මහ බැද්දේ
ලීයක් ඉරාගෙන ජීවන ඔරු පැද්දේ
කටවැරදුන තැනදි දිනකදී වන මැද්දේ
බොට කදයා තලා කෙරුවා මහ සද්දේ

මීයක් කඩාගෙන දරුවන් රකින්නට
දැරුවේ වෙහෙස මෙපමණදැයි කියන්නට
පෙන්වයි වලස් තඩියා ඇත පනින්නට
මූණම අපායක් මෙනි බෑ දකින්නට‍

කලකදි පිපෙන මී මල් වල සුවද දැනී
මී මැස්සියන් කඩිසරකම සිතට ගනී
සැගවී තිබූ පන්මලු අත් දෙකට පනී
පෙට්ටියෙ අඩියෙ ගෑවෙයි බාගයක් පැනී

ලූලා තෙප්පිලිය කනයා වැනි මාලු
පෙට්ටිය තුලට එබුවා අල්ලා යාලු
විකුණා සොයා ගෙන දිවි ගැට ගැසුවාලු
කෑමට රස ඇතේ වැව්මාළුන් වේලු

වී ටික වවාගෙන කැකුලෙන් බත් කන්න
එළවලු පලා ඒකට එක්කරලන්න
වැව් රජු මගේ ගම් පෙදෙසට බත දුන්න
ගන දෙවිදුනේ ඇයි බැරිවුනෙ රැකගන්න

 වේලි ඉරිතැලුණු තැන් කලකට පස්සේ
පෙගිලා මතුවුණා තණකොල ඒ අස්සේ
කුරහන් බඩඉරිගු වේලන දුම්මැස්සේ
ගින්දර වැඩි වුණා දුම් ඇත හැම තිස්සේ

එළවළු ගොවිපලේ කුණු වී ගසයි ගද
බඩ රැක ගැනුම කොහොමද කොයිලෙසද අද
දවසින් දවස වැඩිවිය වැසි දෙවියො තෙද
නොනිදන පුරය නොනිදයි පණු දුගද මැද

දවසින් දවස දිය පිරි වැව් ඉස්මත්තේ
අලි මුව රෑන් දිය බීමට විත් ඇත්තේ
මාලුන් එකිනෙකා විත් ඇත එළිපත්තේ
දැඩි බව නිසයි වානේ, වැව තව ඇත්තේ

ටික ටික දියපාර වානෙන් ගලනවිට
කට කට පැතිරුණා එය අවට දන හට
පිට පොට කවාගෙනවත් යන්න එගොඩට
ටිකිරිට බැරිවුණා දුක්විය මෙගොඩ සිට

 මෙසිරි ලකට සිරි ගෙන එන වැව් බැම්මේ
ටික ටික වැඩි වුණා ජල කද එක පිම්මේ
රෑ නිදිමරාගෙන සිටියත් හනි හැම්මේ
ගම්බිම් යටකලා ගැමි දුක නැත නිම්මේ

අඩුම කුඩුම අරගෙන ආවත් ගමට
ඉන්පල ලබන්නට ලැබුනේ අන් අයට
වපුරනු නොහැකි විය කන්නක්වත් මහට
තුන් වසරක් ගෙවී ඇත වානේ වැඩට

වානේ වැඩය කවදද නිම කරන්නේ
රජයේ අයට කවදද ඇස් ඇරෙන්නේ
මහවැසි ලැබී කවදද වැව පිරෙන්නේ
කිවුලේකඩට කවදද බත් ලැබෙන්නේ




http://wewismatha.blogspot.com/








Thursday, January 23, 2014

ඇය දෙවියන්ගේමය


 අපූූර්වත්වයන්ගෙන් පිරි ළමා මනස තේරුම් ගැනීම මහත් වු අපහසුවක් දනවන්නෙකි. ඒ සා පුංචිම පුංචි අවධියක් පසුකල අයෙකුගේ මනස තේරුම් ගැනීම ඒ තරමටම දුෂ්කර වන්නේ නම් වයස මුහුකුරා ගිය පුද්ගලයෙකුගේ හැගීම්  තේරුම් ගැනීමට පෘතග්ජන යමෙකු උත්සාහ කරයිද එය කිසිදාක ඵලයක් නොලැබෙන ගොවිතැක් කිරීමක් බදුය.

මව් කුසයේ පිළිසිද ගත් දා පටන් පුද්ගලයා විවිධ  වු භාවයන්ට යොමු කරලීමට කුස තුළ ඇති  කළලයට වුව හැකියාවක් ඇත. මිනිස් වර්ගයාම වෙනස්කරලීමේ බලයක් මෙන්ම   බිළිදාට ඇති හැකියාවද අලංකාරය. කොතරම්  භයානක පුද්ගලයෙකුට දාව වුව ගැහැණියක් කුස තුල දරුවකු පිලිසිද  ගනීද, ඒ භයංකාර ගති ලක්ෂණ ඇති පිරිමියාගේ මුළු මහත් සර්වාංගයම ලිහිල් වන ස්වරූපයක් පෙනේ.වෙනදා තම බිරියට සළකන ආකාරයෙන් නොව ඉතාමත් ආදරයෙන් ඇයට ඇප උපස්ථාන කිරීමට ඔහු වගබලා ගනී.ඇයට ආදරයෙන් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරයි. එමෙන්ම ඔහුගේ හදවත ළයාන්විත වේ. බොළද වු අදහස් වලින් ඔහුගේ හදවත පිරීඉතිරී යනු ඇත. ඔහු ඔවුන්ටම උරුම වූ ලෝකයක් ගැන සිහින මවයි.

මා කුඩා කල උත්පලවන්නා නම් වු  නව කතාවක් හෝ කතාවක් කියවා ඇත්තෙමි.ඒය කා විසින් ලියන ලද්දකදැයි මා නොදනිමි. නමුත් ඉහත මා ලියු ආකාරයට එහි ඇති චරිතයක් වූ මිනිසාද මහත් රෞද්‍ර ගති ලක්ෂණ වලින් හෙබි මනුසතකු විය. ඔහුගේ එකම ආසාව වූයේ දියණියක් ලබා ගැනීමය. සිටු දියණියක් වූ උත්පලවන්නාට  ඉහත රෞද්‍ර වු මිනිසාට දාව දරුවෙකු පිලිසිද ගනී. දියණියක් ලබා ගැනීමේ ආසාවෙන් සිටි ඔහුගේ රෞද්‍ර ගති ලක්ෂණ ටිකෙන් ටික වියැකි යන්නට විය. ඒ වූ කලීද කුඩා දරුවෙකු වෙනුවෙන් වන්නා වූ වෙනස් වීමකි.

දැඩි හදවතක් ඇත්තෙකු සැනෙකින් හැඩවීමට බිලිදාට  ඇති හැකියාව අපූරුය.හැඩවීම පමණක් නොව බිලිදාගේ  හැම ඉරියව්වක්ම  අපගේ සිත් මෝහනය කරයි.  ඇය ගීතයකි. ඇය ජීවිතයේ රස  නිෂ්පත්තියයි.කවියා කවියක් නිර්මාණයේදී  විරිත් ,එළිවැට,යවහන් දොස් , එළිසමය වැනි එකී නොකී  සියළු දෙයක්ම යොදා කවියක්  එළි දක්වන්නා සේම  ඇය මෙලොව එළිය දක්න්නේ ඒ සියළු දේ සපිරිවරාගෙනය. කවියක් රසාස්වාදය කල හැකිවා මෙන්ම විවේචනය කිරීමද කල හැකිය. එහෙත් දරු සිගිත්තා නමැති  කාව්‍ය කිසිදා විචාරය කලනොහැකි අන්දමින් නිමවී ඇත.කල හැක්කේ රසාස්වාදය කිරීම පමණකි.

මෙලොව වසන්නන්ගෙන් වැඩි ප්‍රතිසතය කල්පනා කරන්නේ දුක සතුට තනිකම වේදනාව කේන්තිය තරහව වැනි  භාවයන් උපදින්නේ තමන් හට පමණක් බවය.එය එසේනම්  අලුත උපන් දරුවාට දිය යුතු වෙලාවේදී කිරි පුඩුව කටේ නොගසා ටික මොහොතක අත්දැකීමක් විදගන්න. එවිට දැනේවී තමන්ටම මෙන්ම හය හතර නොතේරෙන දරුවාටද  භාවයන් උපදිනා බව. ඇය තනිකර දමා මොහොතක්  රැදෙන්න. ඇයටද තනිකමේ වේදනාව දැනෙනු ඇත.

ඇය අපිව සන්තෘෂ්ටියට පත් කරයි. ඇය නිළියකි. ඇය අපිව සිනාගන්වයි. ඇය විහිළු කාරියෙකි.ඇය අපිව හඩවයි. වේදනාබර කාව්‍යයකි.ඇය අපිව සනසවයි . ඇය පැද්දෙන තොටිල්ලකි. කිසිදාක නොසිතන්න ඇය අපගේ ලේ වලින් නිර්මාණය වූවක් බව . ඇය දෙවියන් විසින්ම මවන ලද නිර්මාණයක්ම පමණකි.


















Saturday, January 18, 2014

පුංචිකාලෙ මං



 මේ 2014 ජනවාරි 18 වෙනිදා. හැමදාම මොනා හරි  ලියනව.ඒත් පස්සෙ කියවල බලපුවාම ඒව පබ්ලිෂ්  කරන්ඩ හරි මදි කියල  මකල දානව. ඒත් අදනම් මොනව හරි ලියල පබ්ලිෂ් කරනව කියල හිතා ගත්ත. නැත්තම් කට්ටිය හිතනවනෙ මු මේ බොරුවට වැව් ඉස්මත්ත කියල අටමගලක් එල්ලගෙන ඉන්නව කියල. ඕං මොනවා හරි ලියන්න ගත්ත ගමන් මොකෙක් හරි පිසාචයෙක් ඇවිත් ඒකට බාදා කරනව.ආය ඉතින් ඒ ලියන්න ගත්තු හරුපෙ කවදාකවත් ලියන්න වෙන්නෙ නෑ. ගෙදර ගියත් ඒ සෙතේමැයි.එක්කෙ දුව කඩාගෙන පනිනවා. නැත්තම් අඹුව පිස්සියක් වගෙ කෑ ගහනව. ගෙදර කොළ කෑලි ගොඩ ගහල එක එක ඒව ලියල. හැබැයි ඔක්කොම බාගෙට.

මම දැන් හදන්නෙ 1993 අවුරුද්දට යන්ඩ. කවුද කැමති නැත්තෙ තමන්ගෙ පුංචි සන්දියට යන්න. ඒත් මම නම් කැමති නෑ.ඇයි දෙයියනේ ඒ සන්දියේ ගුටිකාපුව මතක් වෙද්දී කාටද ආස හිතෙන්නෙ  ඈ.

අනුරාධපුරේ  ගලෙන්බිදුණුවැව කියන්නෙ මහ හද්ද පිටිසර ගමක්...මම එහෙම කියන්නෙ තරහකට නෙමේ ඔය හද්ද පිටිසර කියන වචන ටිකට මම ආදරෙයි. ඒ මම  ඒ හද්ද පිටිසර ගම්මානෙ ඉපැදිලා හැදුණූ වැඩුණු එකෙක් හින්දා. අතීතයේ රජවරුන් ඇමතියන් සම්බන්ධ කරගෙනයි  ඒ හද්දපිටිසර ගම්  වල නම් බහුතරයක් ම  නිර්මාණය වෙලා තියෙන්නෙ.ඒ අතින් මම හරි වාසනාවන්තයි. හැබැයි ඒවගෙ ඇත්ත නැත්ත පිළිබද කියන්න අමාරුයි. ඒවට වෙනම ගවේෂණයක් කරන්නම වෙනවා.ඔය වගේ නම් ටිකක් තමයි, කුණුගෝනෑව,අශ්වයාබැදිවැව,දුටුවැව,ගැටලාව. ඔය ටිකක් විතරයි.නමුත් ඒ  ප්‍රෙද්ශය ගැන ලියන්න නෙමෙයි මම මේ හදන්නෙ.

2002 A/L කරනකම්ම ගියපු එකම අමතර පන්තිය තමයි සිස්සත්ව පන්තිය ඒකත් කරේ අපේම පන්ති භාර ගුරුතුමා.අපි කොල්ලො සෙට් එක මොකද කරන්නෙ දඹ ,කෝන්,පලු,වීර, තියෙන කාලෙට ඒව කන්ඩ යනව. හැබැයි පන්ති කට් කරල තමා යන්නෙ. අපි හිතන්නෙ ඉතින් අපි ගැන කවුරුවත් හොයන්නෙ නෑ කියලනෙ. දවසක් අපි සැට් එක ගියා කිවුලේකඩ කියල වැවක් තියෙනවා ඒකට .නිකන් නෙමේ ගියෙ පාන්පිටිත් අරගෙන යාළුවෙකුගෙ ගෙදර තියල. කෙලින්ම ගියෙ වැවට. ඔක්කොම කට්ටිය දහදෙනෙක් විතර හිටිය . ඔරු පහකට විතර නැගල කට්ටිය දැන් මාළු අල්ලනව. අල්ලන්නෙ ධීවරයින්ගෙ දැල්වලින් හොරෙන්.අපෙ  ටීම් එකේ ඉන්නව ධීවරයෙකුගෙ පුතෙකුත් නිලන්ත කියල. උෟ තමයි මාළු අල්ලන එකේ නඩේ ගුරා.

කට්ටියක් මාළු අල්ලනකොට කට්ටියක් ආසාවට ඔරු පදිනව. ඒ අතර හිටිය ප්‍රේමලාල් කියල හාදයෙක් ඌට පීනන්ඩ බෑ. අවාසනාව කියන්නෙ ඌ ගියපු ඔරුවම පෙරැලුනා. මූ දැන් ගිලෙන්ඩ යනව ඌත් එක්ක ගියපු එකා යටිගිරියෙන් කෑගහනවා ...“.මේක ගිලෙන්ඩ යනවෝ .....“.කියල කොහොම හරි ඌ ගොඩට ගත්ත නමුත් උගෙ සරම ගොඩට ගන්ඩ බැරිවුණා. අර යාළුවාගෙ ගෙදර යනකම් ඌට කමිසයක් ඇන්දුවා. ඔරුව පෙරලිලා පැරට්ගේ සරම ගැලවිලා  ඒක වතුරට වැටිලා  උෟ  හෙළුවෙන් ආපු හැටි  තාම මතක් වෙනව පව් අනේ අහිංසකය. දැන් මොන දීපංකරේ ඉන්නවද දන්නැ.....

කට්ටිය මාළුත් එක්ක රොටී උයාගෙන හොදට සප්පායම් වෙලා තම තමන්ගෙ ගෙවල් වලට පිටත්වුණා. එදා රෑ හීනෙනුත් පෙනුනා ප්‍රේමලාල්ට වෙච්ච දේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම්  අදට ප්‍රේමලාල් මැරිල අවුරුදු 20 ක් විතර වෙනවා.

පසුවද උදේම  ඉස්කෝලෙ ගියාට පස්සෙ පන්ති බාර ගුරා අපි ඔක්කොම ටික අල්ලගත්ත. අපිම කපාගෙන ගෙනැත් දුන්න වේවැලෙන් අපිටම පුක පැත්තෙ වෛරපලු නගිනකම් ගැහැව්ව . කට්ටිය පුකවල් අල්ලගෙන දිව්ව. ඒ විතරක් නෙමෙයි කියනකම් බොරළුගොඩේ  දනගහගෙන ඉන්ඩ කිව්ව. කොහොමද ලූල් මාළුවෙ රගේ..
.........................................
හ්ම්... ඊ්ට අවුරුද්දකට කලින් හතර වසරෙදි  මගේම පන්තියෙ හිටපු රම්‍යාට ලිවුම් ලියල අහුවුණා......ඇල්බීසියා පොල්ලක් කඩාගෙන සිසිර සර් (මිය ගිය) ගැහැව්වෙ පුක පැත්තට... තෝ දැන් ඔහොම නම් පස්සට කොහොම වෙයිද කියල.....ඇත්තටම  තෝ කියලම කිව්ව.ඒ විතරක් නෙමේ ගහල ඉවරවෙලා කිව්වෙ,

“ පලයන් ගිහින් කියපන් තොපෙ තාත්තට “ කියල .

හහ් හිතුව මදි....... මං කියය් තාත්තට......තාත්තගෙ හොදම යාළුවා සිසිර සර්......ඒත් ඉතින්  ගෙදර ගියාට පස්සෙ තමා....වැඩේ පත්තු වුණේ. අම්මට මගදි ආරංචි වෙලා...මම රම්‍යාට ලිවුම් ලියල කියල.....කූරිටිය කෝට්ටකුත් තියාගෙන ඉදල තියෙන්නෙ අම්ම මං එනකං..

“ තෝ ආය ලිවුං ලියනවද, ලියනවද, ළියනවද“  කිය කිය ගැහැව්වා.... කකුල් දෙක ගන්ඩ දෙයක් නෑ වෛර පලු නැගල...........අඩ අඩා කිව්ව   “මම ආය ලිවුම් ලියන්නෙ නෑ අම්මෙ“ කියල   වෙනද තාත්ත ගහද්දී බේර ගන්නෙ අම්මා....

තාත්ත ගහල ගියාට පස්සෙ අම්ම ඇවිත් කකුල් දෙකේම පොල්තෙල් ගානවා.....ඒ වුනාට අම්ම ගැහුවම කවුද මගේ පොල්තෙල් ගාන්නෙ. අනේ ඒක ලිවුමක් නෙමේ තුන්ඩු කෑල්ලක්.....යාළුවෙක් කිව්වා  “මම රම්‍යාට ආදරෙයි.....මට ලිවුමක් ලියල දෙන්නකො නුවන්......“  කියල.....අනේ ඉතින් මම ත්  මෝඩයි වගේ “ මම ඔයාට ආදරෙයි“ කියල කොල කෑල්ලක ලියල දුන්නා...... දුන්න තමයි......ඕං වෙච්ච දේ.

මේ තවත් සිද්දියක්  ඒ දවස්වල තලගොල්ලෙ මාමලාගෙ ගෙදර වත්තෙ තමා අපේ තාත්ත වගා කරේ. මිරිස් එළවලු වගේ ඒව තමා හැදුවෙ. මායි අයියයි දෙන්නත් ඉස්කෝලේ ගිහින්  පොලොව පෙරළලා පොඩි ලියද්දක වගේ මොනව හරි හදනවා. එතකොට මම හිටියෙ තුන වසරෙ. අයියයි මායි දෙන්නම මිරිස් පාත්තිය පාත්තිය හදල තිබුණෙ. පාත්තිය කිව්වට ටිකක් ලොකු ලියද්දක්ම තමා. දුකේ බැරුව....ඇස්වහක්  කටවහක් නෑ ලියදු දෙක නිකන් සුප්පම හැදිල තිබ්බ. ඒකෙත් ගොඩක් මිරිස් ගස් ලොකුවට හැදිල තිබිබෙ මගෙ ලියද්දෙ.

දැන් තමයි ඕං වැඩේ පටන් ගන්නෙ.... ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිහින් තියෙන දෙයක් බඩට දාගෙන තලගොල්ලෙ මාමලාගෙ ගෙදර එන එක ඒ දවස් වල සාමාන්‍යෙයන් දිනචර්යාවෙ කොටසක්.එදානම් මම කෙලින්ම ආවෙ තලගොල්ලෙ මාමලාගෙ ගෙදර..ඇවිත් ගේ ඉස්සරහ අඹ ගහක් තියෙනව ඕකට  නැගල ඇති පදම් අඹ කෑව.ඔහොම ඉන්නකොට තලගොල්ලෙ මාමගෙ නැන්දා ආව. ඇවිත් හිනාවෙවි කිව්වෙ මොකද්ද දන්නවද?

“ නුවන් පුතා ...., ඔයාලගෙ අයියගෙ මිරිස්  පාත්තියෙ මිරිස් ගස් ලොකුවට හැදිල තියෙනව....අයිය එන්ඩ කලින් ඒ ටික අරන් ඔයාගෙ මිිරිස් ගස් නැති තැන්වල හදාගන්නව  එතකොට අයියට වැඩිය ඔයාට සල්ලි ගොඩාක් ගන්න පුළුවන් .“ කියල......අප්පට සිරි නියම වැඩේ කියල මම තලගොල්ලෙ මාමාලගේ නැන්දටත් හොරෙන් ගිහින් අයියගෙ මිරිස් පාත්තියෙ තිබුණු ලොකුම මිරිස් ගස් ටික ගලවලා මගෙ පාත්තියෙ හිවේවා.හිටවල  ඇවිත් ආයෙත් හොරපූසා වගේ අඹ ගහට නැගල අඹගෙඩි කකා හිටිය.

ටික වෙලාවක් යනකොට අම්මයි තාත්තයි අයියයි ආවා. අයියත් මාර අසාවෙන් ඉන්නෙ ඉස්කෝලෙ අරිනකම්  එයාගෙ මිරිස් පාත්තිය බලන්න.අයියා දුවගෙන ගියා එයාගෙ මිරිස් පාත්තිය බලන්න.අයියා එක පාරටම අඩාගෙන ආවෙ නැද්ද.
“අම්මෙ ගිහින් බලන්ඩකො මගේ මිරිස් පැල දහයක් දොළහක් විතර මැලවිලා ගිහින් ....“ කියල.

“ කෝ බලන්ඩ..“ කියල තාත්ත ගියා එව බලන්න....අම්මත් තාත්තව අනුකරණය කලා....මමත් කිසිදෙයක් දන්නෙ නැති ගානට ගියා අම්ම පිටිපස්සෙන්......

තාත්ත ගිහින් බැලුව.තාත්තට සැක හිතිලද කොහෙද තාත්ත මගෙ පාත්තිය දිහාවෙ බැලුව.....අප්පට සිරි  මගෙ පාත්තියෙත් මිරිස් පැළ දහයක් දොළහක් මැලවිලා.......මට ඒත් ගානක් නෑ.

“ උඹ ගැලෙව්ව නේද මිරිස් පැළ....“ තාත්ත ගෙරෙව්ව.......මට කලිසමේ  චු ගියාද කියල හිතුන. මම බිම බලාගෙන උන්නා....තත්පරයක් ගියෙ නෑ. මගෙ කන් දෙක ගැලවිලා යන සයිස් එකට ඇදීලා ගියා....තලගොල්ලෙ මාමලාගෙ ගේ ඉස්සරහටම.....අඹගහේ අත්තක් කඩාගෙන අඹ අත්ත කැඩෙනකම්ම අම්ම  මට තඩිබෑව.....බුදු අම්මෝ මම ආය එහෙම කරන්නැතෝ.......කිය කිය කෑ ගැහැව්ව.......ඒත් මම කිව්වෙ නෑ...තලගොල්ලෙ නැන්දා කිව්ව හින්ද එහෙම කරාකියල. ඒත් මම අයියගෙ පාත්තියෙ පැළ විතරක් ගලවගෙන මගේ පාත්තියෙ හිටෙව්වනම් ඒ ගස් ටික විතරයි මැරෙන්නෙ. මම මගෙ පාත්තියෙ තිබුණු පොඩි පැළ ගලවගෙන අයියගෙ පාත්තියෙ හිටෙව්වා....ඒකෙන් වුණේ පැළ ටික ඔක්කොම මැරිච්ච එක......

එදා කරපු වැරැද්දට අම්ම බයිසිකලේට නැගල පැදගෙන ගියා...මට පයින් දුවගෙන වරෙන් කියල....අනේ ඉතින් අම්ම බයිකලේ නැගල පැදගෙන යනව. මම බයිසිකලේට සමාන්තරව දුවගෙන යනව.....පාරෙ යන මිනිස්සු බලාගෙන හිනාවෙනා...එතකොට අම්ම කියනව.....මු අද යස වැඩක් කරල කියල..මම කරපු දේ ඒ අයට කියනව.....මට වස ලැජ්ජාවෙ බෑ... එත් අම්ම ගෙදර ගිහින්  පලු නගින කම් ගහපු කකුල් දෙකේ පොල්තෙල් ගාල ඇතිල්ලුවා...ආයෙ මගෙ පොඩිපුතේ එහෙම කරන්න එපා..ඒව නරක වැඩනේ කියල....එතකොට නම් ඉතින් මගෙ ඇස්වල කදුළු පිරෙනවා..


ඒකෙ ඉතිරි හරිය තමා නියම....අයියට මල පැනල අයියත් ලෑස්ති වුණා මගෙ පාත්තියෙන් මිරිස් පැළ ගලවලා එයාගෙ පාත්තියෙ හිටවන්න. ඊටපස්සෙ අම්ම කිව්ව.ආය මිරිස් පැල ගැලෙව්වොත් ඒවත් මැරෙනවා...ඒ හින්දා ලොකුපුතාගෙ පාත්තියෙන් ගලවපු මිරිස් පැල ගානට මගෙන් කොටසක් වෙන් කර ගන්ඩ කියල......ඒ 1993 අවුරුද්ද.......මට තාම මතකයි...මගෙ මිරිස් කඩල ගත්තු සල්ලිවලින් තාත්ත මට කලු සපත්තු කුට්ටමක් ගෙනැත් දුන්න...


මේ ඇවිල්ල කරල තියෙන ගොන්කං බූරුකං වලින් පොඩ්ඩක් විතරයි...ඉතිරිවත් පසුවට දාන්න උත්සාහ කරනවා..



Tuesday, January 14, 2014

පොඩියක් තවන්නද නුඹෙ පා දෙක රිදෙන

                                                              

තිබෙනා හැටි නුඹේ රණ තිසරුන් යුගල
මගෙ සිත පාරවයි උණුසුම් ලෙස වපුල
සීගිරි ලදුන් පරදන නුඹෙ නෙත් සගල
තැන්පත් වුණිය ඇතුලත මගෙ හද මඩල

තොල්දෙක නුඹේ දිලිසෙන රන්වන් පාට
හැකිවෙද සම කරන්නට මේ ලොව කාට
මුහුණේ තිබෙන ලස්සන සැක නැතිවාට
දිව අගනක්ය ලදුනේ සද ඇති රෑට

මං තීරුව දිගේ හෙමිහිට හෙමිහිට ඇදෙන
කවුරුත් බලයි ඇගෙ පා මිණිගෙඩි සැලෙන
පොඩියක් තවන්නද නුඹෙ පා දෙක රිදෙන
ඇසුමට වුව සිතේ කාටත් ඇය දකින

එදවස රජදවස රජ දූ ඇදපු සළු
සුර අංගනාවන් සුර ලොව ඇදපු සළු
හීනෙන්වත් දකින්නට සිතු ඒ කසී සළු
නුඹෙ ඔය වතට රළු වැඩිදෝ අදින සළු

අඩියක් පමන පහලට නුඹෙ  කන් ඇද්දේ
ඒ මේ අතට සුදුවන් තෝඩුව පැද්දේ
තව කළු තෝඩුවක් ඇත නුඹෙ කන මැද්දේ
කවුරුද නුඹට සුදු ඔය තරමට විද්දේ

දෙරියන් පමණ ඉහළින් ඇති කොට සාය
පෙන්වයි නුඹේ දිලිසෙන ඔය යටකාය
දුටුවොත් නුඹව නර රකුසෙකු ඇති ගාය
නුඹ හට පුදයි ලදුනේ දුක්බර සෑය