Sunday, February 9, 2014
කිරි අම්මේ
කාලෙන් කලට හැමදේමත් වෙනස් වන
නොතිබෙන දෙයත් වෙද මේ ලොව සසල වන
වියතුන් නූගතුන් නිතරම දෙසන බන
ඒ ගැන සිතන විට කැපුමට සිතෙයි කන
වරමක් දුන්නොතින් සක් රජු මෙහි පැමින
කලබල වේවි කවුරුත් දැන් මෙහි සිටින
මොනවද ඇත්තෙ වැඩියෙන් දිව ලොව වටින
ඒ සැම දෙන්න මට රැකුමට දිවි ගමන
දෙව් ලොව කතා කියමින් සනසපු බාලේ
සුර අසුරයින් ගැන කිව් හිදගෙන සාලේ
මව්ටත් වැඩිය හෙව් අපි ගැන පොඩි කාලේ
කිරි අම්මාය මගෙ වරමට සක් රාලේ
වියැලී එල්ලෙනා මුත් ඇගේ මහලු තනේ
නොබැලු එකෙක් වෙද ඒ කිරි රසය අනේ
අම්මා දෙනවිටදි ගුටි බැට හතර කොනේ
වෙන සැනසුමක් වෙද කිරිමවු නොමැති තැනේ
තල් කොල වලින් නිතරම හැඩ වැඩ පෙන්නු
ඇය අමතකයි කාටත් දැන් යල් පින්නු
කිසිවිටකවත් පොල් කොල අහකට දැම්මු
කෙනෙකුන් නොවේ යැයි සළකති මේ ගම්මු
නොතිබුණු නමුදු ඇගපත සත්තියෙන් වෙළී
සිවු පෝයටම සිල් ගයි බත්තියෙන් ගැලී
ගෙයි දොර හැම වැඩම කෙරුවත් නොකර මැලී
කිසිවිටකවත් දැක නැත්තෙමි ඇගෙහි දැලී
දරු මුනුපුරන් ගැන නිතරම සිත යෙදුව
කොන් වී විටෙක පසෙකට වීමට සිදුව
මියයන තුරුම බුදු දම් සග මොක් පැතුව
නිවනින් සැනසෙන්න ඔබෙ සිල් ගුණ මතුව
http://wewismatha.blogspot.com/
Subscribe to:
Posts (Atom)