Showing posts with label අම්මා ලියූ කවි. Show all posts
Showing posts with label අම්මා ලියූ කවි. Show all posts
Tuesday, May 5, 2015
කොටකෙතන අම්මා ගැන මගේ අම්මාගේ සිතුවිලි
බුදුන් දෙසු දහම් නුඹෙ සවනෙ නොවැටුනේ
දහම් පාසල් යන්න කියන්නත් බැරිවුණේ
සිරිත් මල්දම් දහම් පොත් නොමැත ලං වුණේ
එලෙස දිවි ගෙව් නිසයි මේ විපත සිදු වුණේ
නුඹ කියූ කිසි දෙයක් නෑ මෙමට වැටහුණේ
අසල්වැසියන් සමග පමණි මා එක් වුණේ
මම නොදන්නෙමි ඇයිද කෙසෙල් ගස ලොකු වුනේ
කොයි ලෙසද නුඹට මා තුල සෙනේ අඩු වුනේ
දරුවො ගැන සිතාලයි මිල මුදල් රැස් කළේ
ඇවැසි නැති වැඩ වලට ඇයිද නුඹ බල කළේ
ඉගෙන ගන්නා වයස නෑ නොවෙද පසු කළේ
මගෙ සෙනෙහෙ නොදැනිලද පෙමට සිත නතු කලේ
පුංචි පෙමි කැකුළකට ඉඩ දුන්නෙ ලොකු වන්න
දැනුයි මට සිතෙන්නේ තිබුණෙ විරසක වන්න
ආලයෙන් මත්වෙලා කරගත්ත දුක් ගින්න
හැකිද පුතුනේ නුඹට දිවිතුරා නිම වන්න
මන්නයේ පහරවල් ගත පුරා දුවන විට
නෙත් වැසී දෙපා සිට සිරස හිරි වැටෙන විට
මගෙ පුතේ නුඹ කොහිද හදවතෙන් අසන විට
කොටන්නට හැකි වුනේ කෙලෙසින්ද පුතුනි මට
කයෙන් සිත වෙන් වුණා බුදුන් විලසට දෙසූ
දුටිමි ඔබ ගලවනව මගෙ ඇදුම් විළි වැසූ
පොලිතීන් කවරයට දමා කය පණ නැසූ
ගගට විසි කළේ නුඹ ගැළවෙන්න ඉන්පසූ
නෙතග කදුළැලි සලා වැළපෙමින් හැපී බිම
දනන් දුක් වන විලස හැඩුවෙ හැම වෙලාවෙම
නීතියෙන් හැංගෙන්න කළත් බොරු හැමෝටම
යකඩ දම්වැලට ඔබෙ අත් ගියා ඉබේටම
දඩුවමින් වෙන්වෙලා කොටකෙතන එන දිනේ
තුණුරුවන සිහිකරල පිං කරන් සැම තැනේ
පෝය පංසලට ගොස් මාව සිහි කරමිනේ
පිං කරාපං පුතේ නිවන් සුව පතමිනේ
+++++++චන්ද්‍රා හේමචන්ද්‍ර+++++++
Friday, August 9, 2013
හසරැල්ලක් රැගෙන ඔබ දැකුමට එන්නම්
අරලිය මල් පිපී සුලගේ වැනෙන සද
ලියමල් තිබේ ගෙමිදුල හැඩ කරන ලද
දැකුමට පමණි පින, නෙලුමට නොහැක අද
හදපිරි බැතින් කරනෙමි මා මුනිදු පුද
දහසින් පිරී ඇත පොත්ගුල මෙහි තිබෙන
නැත වාසනාවක් එය කියවන ලෙසින
පෙරලමි රූප පමණක් බැලුමට නෙතින
එයටද ඉඩක් ඇත්තේ පින් කල බැවිණ
මට මෙහි ගතවෙනා සැම මොහොතක් ගානේ
දරුවන් සමග ඔබ සිහියට එනවානේ
කන්නට ගත් පතද ගිලගන්නට බෑනේ
අවුරුදු දෙකක් තව ඉවසන්නට ඕනේ
පලයන් වරෙන් ගෙනිහින් තියපං මේක.
මැදපන් හෝදපං වැසිකිළි වැඩ නේක
හේනේ පැලේ වැඩ කෙරුවත් කිසිදාක
මගෙ හදවතට දැනුණේ නෑ දුක ශෝක
අහසට නැගුණ ගේ මත සදු නැගුණ පැයේ
පසලොස්වක පෝය දිනකිය උඩට ගියේ
සාවා හැර ගොසිණි සද මත නොමැති රැයේ
සිසිලක් කොහිද මෙහි හද සෝගිනිය ලයේ
දොරකඩ තිබු ගස්වල මල් පිපෙනවද
මී අඹ ගහේ මී මැස්සන් සිටිනවද
පොඩිඋන් මගේ අම්මා ගැන අසනවද
මා එනතුරා මග බලමින් සිටිනවද
දෝනිට මගේ බොනික්කෙක් ගෙන එන්නම්
පුතුනට ඇදුම් පොත්පත් අරගෙන දෙන්නම්
ගේ පොඩ්ඩක් හදා තැබුමට පුළුවන්නම්
හසරැල්ලක් රැගෙන ඔබ දැකුමට එන්නම්
.......චන්ද්‍රා හේමචන්ද්‍ර............
ප/ලි.
අම්ම ලගට වෙලා ඉදගෙන අම්ම කියන කවි පදයක් ගානෙ කොල කෑල්ලක ලියාගෙන ආයෙත් කාර්යාලයට ඇවිත් කොටල දැම්ම. මේ අම්ම පිට රටක රැකියාව කරන කාලෙ සිතුවිල්ලක් හැබැයි ලිව්වෙ දැන් මට යන්න හදිස්සියි කියපු නිසා , වයසට ගියපු ඇස්දෙක චූටි කරගෙන ලියපු ටික කියවනකොට ඇස් දෙකට ආපු කදුළු ටික එහෙම්ම යටපත් කරගත්තෙ ලැජ්ජාවට නෙමේ. අම්මගෙ ඇස් වලිනුත් කදුළු එයි කියල බයට. ඒ අම්ම මොනව ලිවුවත් කිවුවත්, හොදයි අම්මෙ , ලස්සනයි අම්මෙ කියල කියන එකම පුතා මං හින්ද වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මෙහෙම ලියනකොට මට මැවිල පේන්නෙ ඉස්කෝලෙ යනකොට අම්ම මාව කථික තරග වලට, නාට්‍ය වලට පුරුදු පුහුණූ කරපු විදිය . ඇත්තමයි එක විනාඩියක් අම්ම ගැන මතක් කරන්නකො. කදුලක් ඇස් දෙකට එන්නැතුව තියෙන්නෙ නැ සත්තමයි.
අම්ම නේක දේවල් අහනව මේ කවි ලියල දැම්මම මොකද වෙන්නෙ කියල . මම අම්මට කියනව, අම්මෙ මේක දානව මම කොම්පියුටරේට එතකොට ගොඩාක් අය මේව කියවනව. කියවල හොදයි ලස්සනයි කියල යටින් ලියල යනව කියල.... අර සීගිරිය බලන්න ආපු අය එක එක දේවල් ලියල ගියෙ අන්න ඒ වගේ . ඒ ලියල ගියපුවා අද කුරුටු ගී වෙලා මිනිස්සු කී දෙනෙක් කියවනවද නේද. එතකොට ලැබෙන ආත්ම තෘප්තිය.
අම්මට කියල නිම කරන්න බැරි වේවි. කියල මම අම්මට කිවුව.
Tuesday, July 2, 2013
මම අත් හරින්නෙමි මේ එකගෙයි කෑම
ලැබිලා නැති නමුත් රජයෙන් සම්මානේ
රස කවි ගොතන්නයි මා හට නම් ඕනේ
හොද ගෙවිලියක් වෙමි මා දිනු ගම්මානේ
කවි කිවිදියනි මා හට අවසර ඕනේ
ඇරයුම ලැබුණ මුත් කවි පද ගලපන්න
මට සිදුවුනේ ඇද මත කැහැ කැහැ ඉන්න
හැකිවුණ නමුත් රස කවි අහගෙන ඉන්න
නෙතගින් ගැලු කදුලු බැරිවිය නවතන්න
තබනට මගේ ගම්මානෙට මතට තිත
ඔබ කිව් වදන් සමහර දෑ මතක ඇත
දුන් අවවාද පිළිඅරගෙන සියළු සත
මත්වන බීම අත්හැරියොත් වේය සෙත
කවි කිවිදියන් විත් කවි ලොව රගන විට
ස්ටීවන් කිවිදු සිහිපත් වුණිය මට
සිරිසර සවිය මා සිත යට පුබුදු කොට
යවහන් කියා දුන් හැටි සිහිවුණිය මට
නොතබා මතට තිත හිමි බිව්වොත් බීම
දරුවන් සමග ඇති සැප සම්පත් සෑම
නොතකා අතැර දා මින්පසු හැම දාම
මම අත්හරින්නෙමි මේ එක ගෙයි කෑම
හඩ දී ගැයුණ විට මැදියම් රැයෙහි නළා
ඔබ සැම දෙනා යන විට කවි සෙමෙර සලා
ඔබ හට නෑසුනත් මම අත් දෙකම සලා
අත්පොළොසන් දුනිමි මම ලෙඩ ඇදට වෙලා
මේ කවි පෙලත් අම්මා විසින් ලියන ලද කවි පෙළකි. තවත් කවි කිපයක් ලියා තිබුණත් ඒවා මාහට මෙහි ලියන්නට පැහැදිලි නැති නිසා පසුවට ලියන්නට තැබුවෙමි. දින තුන හතරක නිවාඩුවකට ගම රට බලා යන බැවින් ඇය ලියු තවත් එක් කවක් මා ලියා යන්නට සිතුවෙමි.
කැක්කුම වැටි නිතරම රිදෙනවා දෙපා
කොදු ඇට පෙල රිදෙයි නෑ මට කිසිදු සැපා
දරුවන් නැති මෙමට රුපියල් අතට එපා
මේ වැනි දුකක් කිසි කෙනෙකුට වෙන්න එපා
ලනු ටික දිරා ටික ටික එළියට ඇද්දේ
සැමියා නිදයි කුදු වී ඒ ඇද මැද්දේ
උලමා හඩයි බියමුසු විලසට බැද්දේ
සිතුවිලි වලින් මාගේ හදවත රිද්දේ
පොත්වල අකුරු නොපෙනෙයි එළියට පානේ
සිහියට නැගේ කල වැඩ කුඹුරේ හේනේ
ඉපැයූ මුදල් කිසිවක් ඉතිරිව නැනේ
මා කොන්වෙලා අද වැඩකටයුතු බෑනේ
දරුවන් සිවුදෙනෙකි මා මව් කිරි දුන්න
අද නැත දූ පුතුන් මා තනියට ඉන්න
නෑ බත් පතක් වැඩිවෙයි මගෙ කුස ගින්න
මරුවාණනේ විගසින් මා වෙත එන්න
...................චන්ද්‍රා හේමචන්ද්‍ර.........................
Monday, June 24, 2013
පරා භවය
මා කවියෙකු නොවෙමි එහෙත් මා කවියට බොහෝ සේ ආදරය කරමි. ඒ මාගේ මෑණීයන්ගෙන් ලද ආභාෂය නිසා යැයි පැවසීම මුසාවක් නොවේ. මා කවියට මෙන්ම මාගේ මෑණියන්ටද එකසේ ආදරය කරමි. අම්මාට කරන්නා වූ උපහාරයක් ලෙස අම්මා විසින් තනන ලද පැදි පෙළක් මෙහි පළකිරීම අම්මාගේ සතුටටද හේතු වනු ඇත.
පහතින් දක්වා ඇත්තේ මාගේ මෑණියන් 2010 වසරේදි දහම් පාසල් ළමුන් හට පරාභවය නම් වූ දහම් පාඩම කියාදෙන්නට එහි ඇති පාලි ගාථාවන් කාව්‍යට හරවා උගනවනු ලැබූ පාඩමකි. මෙය ඔබේ රත්තරන් දරුවාටද කියා දිය හැකි වටිනා පාඩමක් වනු ඇත. මෙය විරිදු කවි ආරෙන් නිර්මාණය කරනු ලැබූවක් බැවින් ඒ තාලයටම ගායනා කිරීම වටී.
බුදුන් දහම් සග තෙරුවන
දොහොත් මුදුන් දී බැතියෙන
නමදිමි මා මේ විලසටධර්මය පවසන අටියෙන
සැවත් නුවර සිටුවරයා
ජේතවනය ඉදිකෙරුවා
භාග්‍යවත් බුදු සමිදුන්
දම් දෙසමින් වැඩ විසුවා
රෑ පෙරයම නික්මුනේය
ජේතවනය බැබලුනේය
දෙවියන් එතැනට ඇවිදින්
පරාභවය විමසුවේය
පුද්ගලයෙකු පිරිහීම
කිමදැයි නොදනිමි තාම
භාග්‍යවත් ගොතමයිනි
හේතු කියනු මැන මේම
හිත ඇති ඇත්තා දහමට
පත්වෙයි දියුණෙන් දියුනට
පිරිහෙන්නා සැම නිතරම
ද්වේෂ කරනු ඇත දහමට
අසත්පුරුෂයෝ ප්‍රියවේ
සත්පුරුෂයො අප්‍රිය වේ
පිරිහෙන ඒ පුද්ගලයා
අධර්මයට සිත යොමු වේ
නිදන සුළුය අලස වේය
පිරිස සමග නිරත වේය
උත්සාහය ඇත්තෙම නෑ
කිපෙමින් ජීවිත ගෙවේය
වැදු මව් සහ හැදුව පියා
රැකගත හැක පාල දයා
වත බත දී නොරකීනම්
පිරිහෙයි සැම විටම එයා
තමන් වෙතට පැමිණෙන්නේ
බමුණන් යාචකයින්නේ
බොරුවෙන් රවටා යැවීම
පිරිහෙන කරුණක් වන්නේ
රන්රිදි කහවනු ඇත්තා
පොහොසත් බව පිළිගත්තා
කිසිවකු හට නොම දීමෙන්
පිරිහෙනු ඇත ඒ ඇත්තා
ජාතිය හා ධනයෙන්නේ
කුළයෙන් උඩගුව ඉන්නේ
නෑයින් පහතට දැමීම
පිරිහෙන කරුණක් වන්නේ
ගැහැණුන් හට සුරාවටද
සූදුවටද ලොල් වීමද
පිරිහීමට කරුණු වේය
ලැබෙනා දේ නැති කෙරුමද
තම බිරිදට ආදරයෙන්
නොම සළකා ගොස් වෙනතින්
පිරිහීමට කරුණූ වේය
එක් වූවොත් පර අඹුවන්
තරුණ වයස පසු වුනාම
තරුණ බිරින්දන් ලැබීම
නොනිදා රැය පහන් කලොත්
පිරිහෙයි ඒ ගැන සිතාම
සුරාව සූදුව වැන්නේ
මස්වලටම ලොල් වන්නේ
පරිපාලනයෙහි යෙදවුණූ
පුද්ගලයා පිරිහෙන්නේ
රජ කුළයෙහි ඉපදුනාට
රජ වන්නට තැත් කලාට
අඩු සැප සම්පත් ඇත්තා
ලක්වනු ඇත පිරිහීමට
පරාභවය ගැන දන්නා
ආරිය පණ්ඩිත යන්නා
පිරිහීමේ කරුණු වලින්
සැම කාලෙම වෙන් වන්නා
දෙවියා සිත තුටු වන්නේ
සාදු සාදු හඩ දුන්නේ
පරාභවය උගත් පිරිස
දියුණෙන් දියුණට යන්නේ
වැරදීමක් සිදුවුණිනම්
සමාව දෙනු මැන සතුටින්
මෙම පාඩම හැකි වේවා
ඔබ හට තෙරුවන් සරණින්
දම්පාසල් යන දරුවෝ
පෙර ජය පිට ජය ලැබුවෝ
මා හට ඇති පැතුම් ගොන්න
ඔබගේ දියුණයි දරුවෝ
Subscribe to:
Posts (Atom)



