Tuesday, June 13, 2023

මගේ පුතා ඉංජිනේරුවෙක්


 

තාත්ති ඉංජිනේරුවෙක්ද තාත්ති

හැහ් මේ මොකද්ද මේ අහන්නෙ. පුංචි පුතා පෙරපාසල් අරන් යන ගමන් එහෙම ප්‍රස්නයක් ඇහුව. මේ වයසට එහෙම දෙයක් අහයි කියල මම හිතුවෙ නෑ.

නෑ පුතේ තාත්ත ඉංජිනේරුවෙක් නෙමෙයි පුතේ

ඇයි ?

ඉංජිනේරුවෙක් වෙන්නතරම් තාත්ත ඉගෙනගත්තෙ නෑනෙ පුතේ..

ඇයි මගෙ පුතේ එහෙම ඇහුවෙ පෙරළා මම ඔහුගෙන් විමසුවෙමි.

මමනම් ඉංජිනේරුවෙක් වෙනව තාත්ති.

කොච්චර හොඳඳ මගෙ පුතා ඉංජිනේරුවෙක් වෙනවනම්. ඉංජිනේරුවෙක් වෙන්න ඉතිං ගොඩාක් හොඳට ඉගෙන ගන්න ඕන අයියය් අක්කයි එක්ක රණ්ඩුම වෙන්නෙ නැතුව...මම එයාට කිව්ව.

මම ඉංජිනේරුවෙක් වෙලා පයිලට් කෙනෙක් වෙනව...එතකොට මට පුළුවන් චොපර් එක කැඩුනොත් මටම හදාගන්න මම ඉංජිනේරුවෙක්නෙ  තාත්ති.

කොච්චර හොඳද මගෙ පුතේ..

 තාත්ති, චොපර් එක කැඩුනොත් අපෙ ගෙවල් පැත්තට අරගෙන ඇවිත් වළාකුලක් උඩ චොපර් එක නතර කරනව. නතරකරල චොපර්  ඒක හදනව. හැබැයි තාත්ති වළාකුල කැඩුනොත් එහෙම ටා....න් ගාල චොපර් එක ස්ටාට් කරගෙන අරං යනව. 

ඒ මගෙ පුංචා

(ප/ලි..


 


Monday, June 12, 2023

මාව පෙට්ට්‍රල් පෝලිමට දාන්න අයියෝ

 


 පුතා හයර් එකක් යනවද?

වයස අවුරුදු පනස්පහක් විතර අනුමාන කලහැකි ඉතා කඩිසර ගමනින් රාමක්‍රිෂ්ණ මාවත දිගේ ගාලු පාර දෙසට ගමන් කරන කාන්තාවක් තම ඇස් දෙකත් හිසත් යොදාගෙන සංඥාවක් මගින් ඇසුවාය.

ඔව් යනවා මෙන් ප්‍රතිපිළිතුරු දෙන්නාක් මෙන් මම හිස වැනුවෙමි.

ඇය ත්‍රීරෝද රථයට ගොඩවිණි. මීටර් නේද? ඇගේ පළමු ප්‍රශ්නය එය විය.

ආන්ටි  මට තප්පරයක් දෙන්න ඉක්මනට මේ කඩේට ගිහින් එන්නම්. තප්පර තිහක් යන්නට ඇත.

මේකෙ ඇයි මෙච්චර සල්ලි වැඩි වෙන්නෙ.

මම ඇයට සියුම් සිනාවකින් සංග්‍රහ කළෙමි. 

වේටින් වැටෙනව. ඒක ගණන් ගන්න එපා. මම ඒවට ගාන කියන්නෙ නෑ.

හම්මෝ එළවලු ගන්න ගියා කොහොම ගන්නද එළවලු ගිනිගණන්. කාට කියන්නද මේව.

කාන්තාව තොර තෝංචියක් නැතිව එළවලු සම්බන්ධව නොයෙක් දේවල් ගැන දොඩවන්ට විය.

ඇගේ සියලුම කතාවලට මාද පටලවා ගත්තෙන් මා හටද ඔව් නේද  හ්ම් වගේ දේවල් ප්‍රකාශ කිරීමෙන් ඇගේ වල්පල් කතාවන්ට පණ දෙන්නට සිදු විය.

මමත් මන්තිරිකම් කරා. අපෝ හරියට ඒකවත් කරන්න දුන්නැය. 

ආන්ටි ඡන්දෙත් ඉල්ලුවාද. පැරදුනාද දිනුම්ද? මමත් දැන් ඇගෙන් ප්‍රස්න කරන්නට විය.

මම දිනුම්... කාන්තාව ටිකක් වේග රිද්මයකින් තෙපලාය.

මොන පක්සෙන්ද ඉල්ලුවෙ 

පොදුජන පෙරමුනෙන්...ගෝඨාබය මහත්තය හොඳ නිසා මාත් ඉල්ලුවෙ. 

ගොඩක් වියදම් යන්න ඇති නේද..

ඔව් ලක්ෂ තුන හමාරක් වියදම් වුණා. මං ඕස්ට්‍රේලියානෙ හිටියෙ. දැන්නම් හිතෙනව අපරාදෙ සල්ලි කියල.

ආයෙ ඉල්ලන්නෙ නැද්ද.

අපෝ... නෑ ආයෙ මගෙ...බ+++වත් ඉල්ලන්නෙ නැ කියන්නාක් මෙන් වචන වගයක් තෙපලාය. මට ඒවා මතක නැත.

තවත් සංවාද කීපයක් ඇතිවුණු අතර ඒවා සංස්කරණය කර දමන්නට වැවා තීරණය කළෙමි. ඒවා අනවශ්‍ය යැයි මගේ නූගත් මොළයට සිතෙන නිසාය.

ගොඩබැස්සවීමේ ස්ථානය. 

කරගම්පිටිය පන්සලක්

හා හා මෙන්න මෙතනින් නතර කරන්න. තව ටිකක් ඉස්සරහින්.

හරියටම පන්සලේ ගේට්ටුව ගාවින්ම  ත්‍රීරෝද රථය නතර කළෙමි.

කීයද පුතා ගාන.

රුපියල් දෙසීයයි ආන්ටි...

දෙසීයක්....! එච්චර වෙන්නෙ නෑනෙ වෙනද එනකොට එච්චර ගන්නෙ නෑනෙ...

නෑ ආන්ටි හරියටම කිලෝමීටර් දෙකක් ඇවිත් තියෙනව. මේ බලන්න මීටරේ.

නෑ නෑ කොහොමත් ගාන වැඩියි

කාන්තාව නැවත නැවත කියමින්  මට මුදල් ලබා දුන්නාය.

ආන්ටිට වැරදිලා. මෙතනට හරියටම කිලෝමීටර දෙකයි. බොරු කියන්න එපා ආන්ටි රුපියල් විස්සකට තිහකට දේශපාලනඥයෝ ඔහොමම තමා. ආන්ටි ඔයා කොච්චර බොරු කියනව ඇද්ද. රුපියල් දෙසීයකට මෙච්චර බොරු කියනවනම් මම මූනටම කියා දැම්මෙමි.

ආන්ටි මොනවදෝ මුමුණමින් පන්සල් වත්තට ඇතුළු විය.

බොරු කරන බොරු කියන අය කොතනද සිටින්නේ යැයි අපට නිස්චිතවම කිව නොහැක. ආන්ටී සමහරවිට සත්‍යයක් ප්‍රකාශ කරන්නට ඇත. එහෙත්  ගාන වැඩියි කියා මා ගැන සැක පහළ කිරීමට වඩා ඇයට මීටරය බලා සැක හැර ගන්නට තිබුණාය. 

බොරුකාරයා ත්‍රීවීල් පදවන්නාද කාර් රථ පදවන්නාද  එහි හිඳගෙන යන මගියාද විය හැක. එහෙත් සියල්ල දෙස දෙවියන්වහන්සේ  බලාගෙන සිටින්නාහ.


 



Friday, June 9, 2023

සමහරවිට වැවා වෙන්න පුළුවන්


ආයෙම ලියනව

හරයක් නැති දේවල් ලියනවට වැඩිය හොඳා නොලිය ඉන්නව

ලියන්න පටන් ගත්ත එක ඩිලීට් කරලම දැම්ම

මොකෝ කාලයක් ලියල අතෑරල දැම්ම මට

ආයෙම ලියනව කියන එක හිතන්නවත් අමාරුයි

එකක්, ලියන්න කරුණු නෑ

පොත් කියවන්නෙ නැ නිවුස් බලන්නෙ නෑ කිසිම අප්ඩේට් එකක් නෑ. 

ඉතිං ලියන්න දේකුත් නෑ.

දැන් සිංහල වචනත් අමතක වෙලා

මොනව කරන්නද කියල හිතෙනව වෙලාවකට

මේ දවස්වල ත්‍රීවීල් රස්සාවෙ හිංද ගොඩාක් අවිවේකයි.

රස්සා නෑ කිව්වට ත්‍රීවීල් එකේ හයර් යන එකත් හොඳ රස්සාවක්

හැබැයි කුඩු කාරයින්ගෙන් අයිස් කාරයින්ගෙන් හොරුන්ගෙන් බේරිලා ඉන්න වෙනව.

මේ ලඟදි බෙල්ලට පිහිය තියල ත්‍රීවීල් කාරයෙක්ගෙ සබ්බ සකලමනාවම හූරගෙන ගිහිල්ල.

සමහරු සල්ලි නොදී පැනල දුවනව. අල්ලන්න කියලය. ආයෙම හරෝගෙන එනව. නින්ද එනකම් දුවනව. නිදිමත ආපුවාම ත්‍රීවීල් එකේම නිදා ගන්නව. ඒකත් පට්ටම ආතල් ජීවිතයක්. 

 එළීවෙනකොට ගේ ඉස්සරහ ත්‍රීවීල් එකක් නතර කරල තිබුනොත් බලන්න සමහරවිට වැවා වෙන්න පුළුවන්.

 

Wednesday, June 7, 2023

මාමෙ හයර් එකක් යමුද?




ලියන්න ඇතත් බොහෝ දේවල් දැන් අකුරු අමුණන්නත් අමතකයි වගේ. ආයෙමත් පුරුදු රස්සාවට වැටිල. ඒ රස්සාවට මම ගොඩාක් කැමතියි. ඒකට හේතු ගොඩාක් තියෙනව. කරත්තකාරයා ආමිකාරයා මාලුකාරය කියල නොදැනුවත්කමට මිනිස්සු කිව්වට ඉස්සර තාමත් උගත් යැයි සම්මත මිනිස්සු ත්‍රීවීල්කාරයා කියල අමතනව මගෙ දෙසවනට වැකුන වාර අනන්තයි.ඔව් ඉතිං ත්‍රීවීල්කාරය කියන්නැතුව වෙන මොකක් කියන්නද.  ඒත් ඒ ත්‍රීවීල්කාරයාට මම කැමතියි. ත්‍රීවීල් එක පදවනකොටනම් ගොඩාක් දේවල් ලියන්න හිතට එනව හරියට ටොයිලට් එකේ ඉන්නකොට හිතෙන දේවල් වගේ. හැබැයි ටොයිලට් එකෙන් නැගිටලා එනකොට ඒ දේවල් අමතකයි වගේ ත්‍රීවීල් එකෙන් බැහැල එනකොට ඒ දේවල් අමතකයි.

මාමේ හයර් එකක් යනවද?

මං හිතුවෙ ඇත්තටම කියල. බම්බලපිටියෙ

මං ඔව් කියන්න ලෑස්තිවුණා විතරයි

නුවරඑළියෙ කියල අවුරුදු අටක් විතර වයසැති පුතා කොක්හඩලා හිනා වුණා.

එයත් එක්ක එයාගෙ අම්ම තාත්ත තවත් ඥාති පිරිසක් හිටිය එයාලත් මං දිහා බලල හිනා වුණා.

මාත් හිනා වුණා.

හැබැයි මගෙ දරුවෙක් එහෙම ඒ වෙලාවෙ ඒ දේ කරානම්. එහෙම කරන්නෙ නෑ දන්නව එයාල තාත්තගෙ හැටි.

පුංචිපුතා විහිළුවට තමයි එහෙම කරේ. ඒකට කමක් නෑ. දෙමාපියොත් ඒකට මං දිහා බලල හිනාවුණ එකයි වැරදි.

තවත් දරුවෙක් දවසක් එයාගෙ ආච්චිලාගෙ ගෙදර ඉඳල එනකොට මල්වගයක් කඩාගෙන ඒ මල්වලට සුවඳ දිදී ආව. අවුරුදු නමයක් විතර ගනේමුල්ල පැත්තෙ.

බහිද්දි  අනේ ඒ පුතා බැහැල මං ගාවට ඇවිත් ඒ මල දීල ඉංග්‍රීසියෙන් කිව්ව මේ මල මාව මතක්වෙන්න තියාගන්න කියල. ඒ දරුවව ඉඹින්න බෑ මට. මම ගොඩාක් සතුටින් ඒ මල ගත්ත. අරං ත්‍රීවීල් එකේ ඉස්සරහින් ගහගත්ත.

දරුවො මල් වගේ.ඒ දරුවො දෙන්නම එකම වයසේ වගේ.  උන්ව කාටවත් කරදරයක් හිසරදයක් වෙන්නෙ නැතුව ඉන්න කියල දෙන්න ඕනෙ එයාලගෙ දෙමව්පියන්. පුංචි දේකින්වත් කාගෙවත් හිත් රිද්දන්න හොඳ නෑ. එහෙම නොවුනොත් ඊලඟ මොහොත මොනවගේ වෙයිද කියල කියන්න බැහැ.

අපෙ හිත් රිදවන්න කාටවත් බෑ. ඒක නෙමෙයි මං කියන්න උත්සාහ කරේ.