“පොඩි පුතා කවද හරි හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙනවා“ උදේ කෑමට සම්බලයක් අඹරමින් සිටි අම්මා ලගට මා කිට්ටු වූවෙමි.
“ අම්ම කොහොමද එහෙම කියන්නෙ“ මම ඇසුවෙමි.
“බංඩ මහත්තය කිව්ව!“
“ වෙන මොනවද කිව්වෙ..“ තවත් කියු දේවල් අහගන්නට මසිත කුතුහලයක් ඇතිවිණ.
“ හොදට ඉගෙනගෙන හොද නීතිඥයෙක් වෙනව කියල කිව්ව........“
“බංඩ මහත්තය කොහොමද එහෙම කියන්නෙ“
“ ඔයාගෙ හදහන හදන්න ගියාම තමා කිව්වෙ“
“හදහනේ එහෙම වෙනව කියල ලියල තිබුණද“ මාගේ සිත කොහේදෝවත් නැති සතුටකින් පිරී ඉතිරී යන්නට විය.
“ ඔව් හදහනෙත් ලියල තිබුණා...“ යැයි ඇය පැවසු අයුරු දැනුදු මගේ මතකයේ ඇත.
ඒ මට යංතං වයස අවුරුදු දහයක් පමණ වෙද්දී අම්මා විසින් කියු දෙයකි. එහෙත් එකල මගේ ආශාව වූයේ පොලිස් නිලධාරියෙකු වීමටය. ඒ හරි හැටි තේරුමක් නැති අවධියේය.මාගේ හොදම යාළුවාගේ කැමැත්ත වූයේ කොන්දොස්තරවරයෙකු වීමටය.
කුඩාකල සිටම මා පොත් කියවන්නට මහත් වූ රුචියක් දැක්වුවෙමි. එහෙත් ඒ රජයෙන් මට ලැබුණූ ඒවා නොවිණී. වැඩිපුරම මා කියැවුයේ අයියාගේ පොත්ය. ගේ දොරකඩ පිලට වී අයියාගේ සිංහල පොතේ තිබු “මගේ රට“ “ අයියනායක“ වැනි කවි පන්තීන් අල්ලපු ගෙවල්වලටත්, පාරේ යනෙන මිනිසුන්ටත් ඇසෙන තරම් හයියෙන් ගායනා කිරීම මගේ සිරිතය. එවන් අවස්ථාවක,
“ ඔහොම හයියෙන් පාඩම් කරාට මතක හිටින්නෑ... හිත යටින් පාඩම් කරන්ඩ ඕනෑ....“ තාත්තා කියයි.
“ එහෙම කරන්න පුළුවන් ලොකු අයට. පොඩි අයට එහෙම පාඩම් කරන්න අමාරුයි...උඹ ඔන්න ඔහොම පාඩම් කරපන්.....“ අම්මා කියන්නීය.
එතැනින් එහාට තාත්තා වචනයකුදු දොඩන්නේ නැත. පාඩුවේ පොතක් හෝ පත්තරයක් බැලීම ඔහුගේ සිරිතය.
මා දක්ෂද අදක්ෂද යන්න මා හට නිශ්චය කල නොහැක්කකි. ඒ මන්ද කිවහොත් ගුරුවරු අහන සෑම ප්‍රශ්නයකටම මා එක එල්ලේම නියම පිළිතුරු දෙන්නා සේම කරන තරමක් වූ හිතුවක්කාර වැඩද කරන්නේ මා ඇතුළු කණ්ඩායම විසින් වීමය. එක් දිනකට දෙතුන් වතාවක්ම ගුරුවරයෙකුගෙන් ගුටියක් දෙකක් නොකෑවානම් ඇත්තටම ඒ පසලොස්වක පෝයදාට සිල්ගත් දිනයක්ම විය යුතුය.
වාසනාව හෝ අවාසනාව ගැන කියන්නට මා නොදනිමි. කිසියම් හෝ දෙයක අන්තිම ඵලය වාසනාව යැයි මා සිතමි. ඒ නොවුණූ දෙයකට වඩා සිදුවුණු දෙයක් හොද යැයි සිතාය.හරියට මට්ටකුණ්ඩලි කතා වස්තුව වගේ නොපෙනෙන දේකට වඩා පෙනෙන දේ හොද නිසා බැවිනි. මා ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේද අසමත් වූයේද නැත. සිදුවුයේ පළමු වසරේ සිටම පාසල් ගිය එම පාසලේම නැවතත් හය වසරේ සිට පාසල් යාමට සිදුවීමය.එහෙත් මා නම් එය එතරම් මහා ලොකු දෙයකැයි නොසිතුවෙමි.
කාලය වේගයෙන් ගෙවුණි.සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවන්ගේ ප්‍රතිඵල ලැයිස්තුව බිත්තියේ එල්ලා තිබු දැන්වීම් පුවරුවෙහි පළකර තිබුණි. මා මගේ නම ඉදිරියේ ඇති කුඩා කොටු මතට නෙත් යුග එබුවෙමි.
සිංහල....සී,....ආගම....සී,....ගණිතය...එස්.......ඉංග්‍රීසි....එස්........මා ඔක්කොම කියවා ගණන් හදා බැලුවෙමි.
සී හතරයි එස් හතරයි......ඒ කියන්නේ අටයි හතරයි........මගේ සතුට කියා නිමකල නොහැකි විය. එහෙත් ඒ සතුට ඕනවට වඩා පෙන්නන්න නොගියේ මාගේ ලගින්ම හිටි ඇතැමෙක් විභාගය ෆේල් වී සිටීම නිසා එය ඔවුන්ට හිත් තැවුලක් ඇති වේයැයි සිතාය.
මගේ හොදම යාළුවා ගණිතය විෂයයට ඩී සාමාර්ථයක් සහිතව ඉතාමත් ඉහළින්ම විභාගය සමත් වි තිබුණි.
“ කවද්ද කොන්දොස්තර ජොබ් එක භාර ගන්නෙ,...,“ මා ඔහුගෙන් විහුළුවට මෙන් ඇසීමි.
සිත සතුටින් පිරිලා ඇත ආදරබර අම්මේ
කියන්නෙ මම කෙලෙසද නුඹ වැලිකතරේ අම්මේ
හැම රෑකම හීනෙන් මට නුඹ පෙනෙනව අම්මේ
විභාගයෙන් පාස් වෙලා පුතු නුඹගේ අම්මේ
මා අම්මාට ලියමනක් තැපැල් කළෙමි.
“නුවන් ඇයි උසස් පෙළ කරන්නෙ“ උසස් පෙළ කරන්නට මා හට වෙනත් පාසලකට යාමට සිදුවිණ. එහිදී පළමු දින අප පන්තියට ආ නමුත් මා හොදට දන්නා හදුනන ගුරුවරයෙකු වන ජයවර්ධන සර් මගෙන් විමසීය.
“ සර් සමාජයේ හොද පුරවැසියෙක් වෙන්න..“ මා එදා දුන් පිළිතුර එය විය. නමුත් එම ප්‍රශ්නයම අදත් ඔහු මගෙන් නැවත ඇසුවහොත් මාගේ පිළිතුර වනු ඇත්තේ ඔහු එදා දුන් අර්ථකතනයන්ට සමාන පිළිතුරක් වියයුතුය.
“ ඇත්ත. උසස් පෙළ ඉගෙන ගන්න හැම ශිෂ්‍යයයෙකුම සමාජයේ හොද පුරවැසියෙක් වෙන්න ඕන.ඒත් එහෙම වෙන්න උසස් පෙළ කරන්නම ඕන නෑ. නිකන් බලන්න මේ සමාජය දිහා, සමාජය කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. ඔය ඔයාලගෙ ගෙවල් වල ඉන්න උදවියම තමා . බලන්ඩ හොදට සමාජයේ ජීවත් වෙනවා නේද? සමාජයේ හොද පුරවැසියෙකු වෙලා ජීවත්වෙන්න උසස් පෙළ කරන්න අවශ්‍ය වෙන්නෙ නැති බව ඒකෙන් ඔයාලට වැටහෙනව ඇති. ළමයිනේ අපි මහන්සි වෙන්න ඕන වෙන මොකකටවත් නෙමේ හොද රැකියාවක් ගන්න......“
මා විභාගය සමත් වුවෙමි.එහෙත් ඒ විශ්ව විද්‍යාලයට යන්නට තරම් නොවේ. සම්මාන තුනකි. ඉංග්‍රිසි විෂයයටද සාමාර්ථයක් ලැබී තිබුණි. එම වසරේ ඉංග්‍රිසි විෂයයට සාමාර්ථයක් අරන් තිබු එකම ශිෂ්‍යයාද මාම විය.
“ අපේ එකා විභාගේ පාස් වෙලා.........ඒ හොදටම ඇති.මොකද ආය ඉස්කෝලෙ ගියපු එකක්යැ.ඌ හරියටම ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ දවස් දහනමයයි.“ තාත්තා විසින් අම්මාට ලියු ලියමනක සටහන් කර තිබු අයුරු මගේ නෙත ගැටිණ. මා දවස් දහනමයක් පාසල් ගිය බව තාත්තා පවසන්නේ මා පාසල් ගියේ ඉතාමත්ම අඩුවෙන් බව හුවා දැක්වීමටය. එය අම්මා ද දනී.
දින කීපයකට පසු අම්මා මා හට ලිපියක් එවමින් කියා සිටියේ නැවත වරක් විභාගය ලියන ලෙසටත් අවශ්‍ය මුදල් අම්මා කොහොම හරි එවන ලෙසත් යැයි සදහන් කරමින්ය. අම්මාගේ එකම ආශාව වූයේ මා හොදට ඉගෙන ගන්නවා දැකීමය. එහෙත් මාගේ අධ්‍යාපනයේ අවසන් මොහොත වන විට ඇයට නිවසේ හිදීමට නොහැකිවීම ඇයට මහත් වේදනාවක් ගෙන දුන්නා විය හැකිය. ඉස්කෝලෙ හයේ පන්තියේදී තිබු කථික තරගයකින් මා පළමුවැනියා විමත්,ඒ අනුව පලාත් මට්ටමින් කථික තරගවලින් ජයග්‍රහණ ලබා ගැනිම් වලදීත් වෙනත් නොයෙකුත් තරග වලදී මා ජයග්‍රහණය කරද්දී අම්මාගේ සිතේ ඇති වූ සතුට අපමණය.එය ඇගේ දෙනෙතින් මා හොදින් දැක ඇත. ඒ ගෙදර බුදුන් අම්මා වරු නිසාය.
හදහනෙ ලියල තිබුණත් ලොකු මහත් කල
නීතිඥයෙකු වන ලෙස සිරිලක පතල
දෛවය වෙනස් විය අම්මා නොමැති පැල
මුහුදට විසිකළෙමි ඔබගේ පැතුම් වැල
පොලීසියට යන්න කුඩා කල සිටම මහත් වූ ආශාවකින් සිටියත් එය ඇත්තටම හීනයක්ම විය. සෙන්ටි මීටර භාගයක් උස මදි වීම හේතුවෙන් පොලිස් රැකියාව අහිමි විණි.
දිනෙක තාත්තා කියු දෙයක් මට සිහිපත් විය.
“ පොලීසියට යන්ඩ හොදට ශරීරෙ උස මහත තියෙන්ඩ ඕනෑ..නැතුව මේ ඔය යන්නන් වාලේ ගියාට පොලීසියට ගන්නෑ,,,,“ තාත්තා එසේ කීවද මා සම්මුඛ පරීක්ෂණයට කැටුව ගියේද තාත්තා විසිනි.
මා පරාජය භාර ගැනීමට සුදානම් වූයේ නැත.සෙන්ටිමීටරයකට මගේ ජීවිතය බිලිදිය යුතු වන්නේද? මා උත්සාහය අත්හැරිමට පසුබට වූයෙමි. වත්ත පසුපස ඇති වල් අඹ ගසේ එල්ලී ව්‍යායාම් කළෙමි. පපුව සාදා ගැනීමට යැයි ඩිෆ් පනහක් හැටත් දිනකට ගැසුවෙමි. ඉන්ටව් එහෙකට අවශ්‍යම වන සාධක දෙකද උස සහ පපුවය. මාසයක් විතර ඇවෑමෙන් මා සාමාන්‍ය තරමකට පැමිණි ඇති බව මටම සිතුණී. මා නැවත පොලිස් ඉන්ටව් නොගියෙමි.
එදා සම්බෝලෙ අඹරන ගමන් අම්මා කිව් වචන ටික අදටත් මගේ මතකයේ නොනැසී තියේ.මා අද නිතිඥයෙකු නොවුණද යාන වාහන නොතිබුණද මහා මන්දිර නොතිබුණද අතට පයට වැඩකාරයෝ නොසිටියද ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොලැබුවද මාගේ ආත්ම තෘප්තිය කිසිවෙකුටත් විනාශ කල නොහැක.
“මං ආයෙත් සැරයක් සාමාන්‍ය පෙළට ඉංග්‍රිසි ලියනවා.“ දිනක් මා ගෙදර ගොස් අම්මත් තාත්තත් දෙදෙනාම සිටින විටකදී පැවසුවෙමි.
“දැන් මොකටද ඔය විභාග පාස් කරලා..... එහෙනම් ඉතිං බැදල දරුමල්ලො හදන්ඩ කලින් ඕව පාස් කරන්ඩ තිබුණ...“
“ නෑ නෑ එහෙම එකක් නෑ මම එච්එස්සී පාස් කරේ සම්පතුත් හම්බ වුණාට පස්සෙ...“ තාත්තාගේ ඍණාත්මක වදන් හමුවේ අම්මා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කලාය.
“ නීතිය ඉගෙන ගන්න මගේ හිතේ ලොකු ආශාවක් තියෙනව අම්ම.. ඉංග්‍රිසි වලට සී එකක් ඕනෙ ඒකයි ආයෙත් ඉංග්‍රිසි ලියන්නෙ....“ මා හිත තුළ වු මහත් ගාම්භිරත්වයකින් පැවසුවෙමි.ඒ... එවැන්නකින් අම්මාගේ හිත උද්දාමයෙන් උද්දාමයට පත්වන බව මා දන්නා නිසාය.
එදා සම්බෝලෙ අඹරන ගමන් අම්මා කිව් වචන මහා ලොකු හාස්කමක් ඇත්තාසේය. බංඩා මහත්තයාගේ හදහනේ යම් කිසි නිවැරැදි තාවයක්ද ඇත්තා සේය. ඒ කෙසේ වෙතත් මා හට එකක් පසක් වී හමාරය.
ඒ,
අවුරුදු තිහක් ගෙවී ගියත් මා හට තාම හදහනක් නොමැතිවීමය.
.........සබද, ඔබේ වටිනා අදහස් හා ගුණ දොස් මා දිරිමත් කරාවි.........