Saturday, September 17, 2016
අද දවස කළුවරයි
අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
රැළි වෙරළ හා පෙමින්
මොනවදෝ මුමුණමින්
මුදු සුලඟ තරහින්ද
විසල් රුක් ඇත නළවමින්
පැද්දෙමින් එහෙ මෙහෙට
අතු විටෙක වට්ටමින්
අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
නොඒ කිසිවක් කුරුටු ගෑමට
හිතේ සැනසුම කොහි ගිහින්
Wednesday, September 14, 2016
මම ලිවීම අත් ඇරියෙමි.... 02
මේ එතැන් සිටය
මම ලිවීම අත් ඇරියෙමි. ඒ මම ලියන්න නොදන්නාකම නිසාය,සිංහල භාෂාව හැසිරවීම පිළිබඳ අඩු දැනුමක් ඇත්තවුන් , අඩුම තරමේ නන ලල බේදයවත් නොදන්නා උන් ලියන්න යෑමෙන් සිංහල භාෂාව විකෘති වන බවත් එය සිංහල භාෂාවේ පරිහාණීය ලක්ෂණයක් බවත් යම් හෙළ පඬිවරයෙක් පුවත් පතක සඳහන් කොට තිබුණි. හෙළ බස සුරැකීමේ පරම චේතනාවෙන් විනා වෙන යම් කාරණාවක් නිසා ලියැවිල්ල නතර නොකළෙමි. මම කියැවීම පටන් ගතිමි. පරණ පොත් අවුස්ස අවුස්සා ව්‍යාකරණ පොත් සෙව්වෙමි. ඒ පොත් කියැවූ මුත් සියල්ල ක්ෂණයකින් අමතක වී යන්නා සේය. ඇතැම් විටෙක මා හට පැය විසිහතර ද ප්‍රමාණවත් නොවිණි. එහෙත් මා කළ කෙං ගෙඩියක් නොතිබිණි. භික්ෂූන් වහන්සේ නමක් කෝටියක් සිල් රකින්නා සේ කෝටියක් ප්‍රස්න හිතේ තදකරන් ඉන්න මා කෙසේ නම් කියැවීමෙන් ප්‍රතිඵලයක් ලබන්නේද...
" වැවේ වතුර ඇරල....දවස් දෙකයිලු වතුර දෙන්නෙ......"
" ඉතිං...මට දැන් මොකද කරන්ඩ කියන්නෙ...."
"ලියැදි ටික තෙමව්වනං දවස් තුන හතරක් ඇරල හාන්ඩ පුළුවන්...ටැක්ටරයක් හොයා ගන්න එකත් ලේසි වෙන්නෙ නෑ...දැන් ටැක්ටර් කාරයො ණයට හාන්නෙත් නෑල්ලු..."
"ඇයි !...එක ටැට්ටර් කාරයෙක් විතරද ඉන්නෙ...ඕකුං ගාවට යන හිංද තමා ඕකුං ගණං උස්සන්නෙ....වෙන එකෙක් ගාවට ගියානං හරි...."
" අනේ මේහ්....මගෙන් මොකවත් අහ ගන්ඩ එපා... කොටජිනේ මාමගේ ටැට්ටරේ විතරයි තියෙන්නේ...ඊයෙ දවසම ගම පුරාම ඇවිද්ද...හතර හංදි ගන්ඩ දෙයක් නෑ...ඇවිදලාම..හම්මේ....මගෙ මේ පැත්තම පණ නෑ වගේ......." එහෙම කියපු අමාලි අතු ගගා හිටපු කොස්ස බිත්තියට හේත්තු කරල දම්රෝ පුටුවකට බර දුන්න...
" හාංහ්....ඒකත් එහෙමද...?...එහෙනං ඔයත් ලෑස්ති වෙනවද මාත් එක්ක කොටුවට ගිහිං එන්න...."
" ඇයි..තනියම යන්ඩ බැරිද..? අනේ අනේ තාම මං නැතුව බෑ නේද ? " අමාලි එයාගෙ මූණ මගෙ මූණ කිටුටුවටම ලං කරල ඇහුවා....උදේ ඉඳන් වැඩ කරලම එයාගෙ මුණ දාඩියෙන් නැහැවිලා තිබුණ....
" දාඩිය දාල තියෙන්නෙ....ගඳ ඇති...ඉන්නකො මූණ එහෙම හෝදලා එන්නම්කො..." මගේ මුණට එබුණු අමාලිට හාද්දක් දෙන්න හැදුවම එයා එහෙම කිව්ව....
" හරි ඒවගෙන් වැඩක් නෑ....ඉක්මනට ලෑස්ති වෙන්නකො....කොටුවට යන්ඩ......හැබැයි ආදායමෙන් ඔක්කොම දෙන්න බෑ.....අලුත් මාලයක් ගන්ඩත් බෑ.....ම්.....අපි තියෙන එක ටිකක් ලොකු කර ගමු......එහෙම හොඳයි නේද....? " අමාලිගෙ මූණ පුංචිත්තක් වෙනස් වුණා....
" හරි හරි ඔක්කොම සල්ලි ඔයාට ඔයා කැමති දෙයක් කරන්න....."
මමත් කැමති නෑ අමාලි අවුවට පිච්චි පිච්චි වැඩ කරනවට. ඒත් දෙයියො අපිට හැම දේම සර්ව සම්පූර්ණ විදියට දීල නෑ. එයා කොටුවෙ මොන වැඩක් කරන්න ගියත් කම්මැලි නෑ...ඒත් ගෙදර ආවම එයාට ගොඩාක් අමාරුයි...සමහර දවස්වලට මං මී තෙල් ගාල එයාගෙ මුළු ඇඟම තවනවා...එයාට දන්නෙම නැතුව නින්ද යනව...මං හැමදාම හීන දකිනවා...ඒත් එයානං කියන්නෙ " ඔයා කවදාවත් ඕනවට වඩා කිසිදෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා..." කියල...ඒත් මම නෙමේ බලාපොරොත්තු තියා ගන්නෙ එයා...මගෙ බලාපොරොත්තු විනාශවෙලා ගිහිං මාව දුක්වේවි කියල හිතාන එයා එහෙම කිව්වට එයා හිතෙන් ගොඩක් දුක් විඳිනව....කවදාක හරි මං ඇයව සතුටින් තියෙනව....
" ඇත්තටම ඔයාට මේ ජීවිතේ සතුටක් සැපක් නැද්ද? වෙලාවකට මං අමාලිගෙන් එහෙම අහනවා..
" සතුටක්....! ..හුහ්...ඔයා මගෙන් සතුට ගැනද අහන්නෙ....ගමනක් යන්ඩ බයික්කයක් නෑ........"
බයික්කෙන් පටන් ගෙන එකී මෙකී දාහක් දේවල් කියන්ඩ පටන් ගත්තාය... එහෙම අහපු කට තාම කපරාදු කරල නැති බිත්තියේ අතුල්ල ගත්තානං හොඳයි කියා මටම සිතුණි...එහෙත් සියල්ලන්ගේම ජයග්‍රහණය ඇයටම ලබා දී ඔහේ පාඩුවේ හිඳීමෙන් මට වන මදි පුංචිකමෙන් මා ගැලවී යා යුතුය...
" හරි...හරි...ඔයාට ඒවනෙ ඕනෙ නේද..? දෙන්නම් දෙන්නම් ඔක්කොම දෙන්නං...හැබැයි අද ඉඳන් මං මොනවද කරන්නේ කොහෙද යන්නෙ කිසි දෙයක් හොයන්න තමුසෙට බෑ..තේරුණාද ? " මම නියෝග කළෙමි....
" සතුටනේ ඕනෙ දෙන්නං සතුට..අර අල්ලපු ගෙදර එකා දෙන්නෙ සතුට....ඔක්කොම ගෙදර තියෙනවා...නැති දෙයක් නෑ ගෙදර...ඒකි රෙදි හෝදන්නෙත් වොෂින් මැසින් එකෙන්...සතියෙන් ගේනවා ඔක්කොම ගේනවා....ඉන්නවකො...මං තමුසෙට දෙන්නං සතුට පිරිල ඉතිරිලා වාන් දැම්ම වගේ වෙන්ඩ......හැබැයි එකක් මතක තියා ගන්නව...මාත් අදින් පස්සෙ රේඩියෝ ගෙදර සුමනයා වගේ බජාර් එකට ගිහිං කොල්ලො සෙට් එකත් එක්ක ඉඳලා ගෙදර එන්නෙ රෑ දහයත් පහු වෙලා....එතකොට හරිනෙ....ඒකනෙ තමුසෙට ඕනෙ නේ..." අවශ්‍ය වූ ටික කියැවුණාදැයි නොදනිමි...එහෙත් එක වචනයක් එහෙ මෙහෙ වීමෙන් එය ඇගේ නැගිටීමට උත්තේජනයක් වන බව මම හොඳාකාරවම දනිමි. සියල්ල කණපිට පෙරළුණි.
" ඉතිං ඕකට ඔච්චර තරහ ගන්න ඕනැය..." ඇය මගේ බෙල්ලේ එල්ලී ගත්තාය.....
" සියල්ල සිදුවන්නේ යහපතටය " යන උදාන වාක්‍ය පෙරටු කොටගෙන ජීවත්වීමට දෛවෝපගතය. එහෙත් සියල්ල සිදු වී අවසන්ය...ජීවිත පමණක් සුරක්ෂිත බව ඉඳුරා කිව හැකිය.....දෙවන ලෝක යුද්ධයෙන් පසු දළු දමා ආවේ උණ ගස පමණකි....කුඩා කැබැල්ලක් පමණක් තබා ඉතිරි සියල්ලම ලෝක බලවතා යටතේ පාලනය කිරීමට උත්සාහ ගත්තේය. එහෙව් රාජ්‍යක් අද ලොව සුපිරිම රටවල් අතරින් එකකි. ලඟම ඥාතීන්ද පමණක් නොව ඇඳිවත ද උදුරා ගැනීමට තරම් මහ මුහුද අශීෂ්ට විය. ඈට කිසිදිනෙක සමාවක් නොලැබෙනු ඇත. ඒ, ඒ තරමටම මිනිසුන්ගේ හදවත් වේදනාවෙන් පොඟවාලූ නිසාය.....එවන් මිනිසුන්ද අද සුපිරි ලෙස ජීවතය ජීවත් කරනු ඇත.. එහෙව් ලොවක දිවි ගෙවන මා කුමණ නම් කතාවක්ද යැයි සිතේ....සියල්ලන් විසින් මා විහිළු කාරයෙකු නැතහොත් නූතන අන්දරේ ලෙස නම් පටබඳිණු නියතය.....
මම අමාලිත් සමඟ කොරටුව බලා ගමන් කළෙමි. වසර දෙකක් තිස්සේ ගරාජයක් නොදැකපු මගේ තුන්රෝද රිය ධාවනය කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ නොවුණොත් කබලෙන් ලිපට වැටුනා සේ මේ අස්සේ ඉස්පිරිතාල වලට සල්ලි වියදං කරන්නට කරමයක් නැති නිසාමය.
================මතු සම්බන්ධයි=================
බිරිඳකගේ කන්නලව්ව
අයියනායක දෙවිඳුනේ මගේ හිමියන්
එළිකරන්නට බැද්ද, හේනට ගොහිං
සමාවෙනු මැන කොහොඹ අත්තක්
නොඑල්ලූ හිංදා ලඟින්
බුදුන් වැන්ඳා ගෙයි දොරින්
පිටවෙන්න පෙර සත්තයි
එපා හමූ වෙනු විෂඝෝර සත්තුන්
කැපී යයි ගෑවිලා කැත්තේ
වතුර බොන්නට එකම ලබ්බයි
ගෙනියන්ට පුරවලා දුන්නේ
එපා තිබහක් දැනෙන්නට
පුන්සඳක් සේ සිසිලස සදන්නේ
රන්වන් අස්වැන්න ගෙට ගන්නා තුරුම
නුඹගේ බැල්ම පමණිය අප හට උරුම
කෙම්මුර දිනෙක එක් වීගෙන අප සැවොම
සිවුමංසලේ කරනෙමි කිරිබත් පිදුම
Subscribe to:
Posts (Atom)


