Monday, October 24, 2016

සමෘද්ධි නියාමක (ඡන්ද පොරෙන්දුව)


එක්දාස් නවසිය අනු හතර අවුරුද්ද. ලාංකීය දේශපාලනේ වැදගත් පිටුවක් පෙරලපු අවුරුද්දක්. ලෝකයේ හතරවන ජනාධිපතිනිය ලෙසටත් ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය ලෙසටත්, ලෝකයේ පළමු වන අගමැතිවරියගේ දියණිය  වූ  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය පත්වීම ලාකීය දේශපාලනේ විතරක් නෙවෙයි විදෙස් රටවලත් නව පිටුවක් පෙරලුව. අවුරුදු දාහතක් තිබිච්ච යූ ඇන් පී ආණ්ඩුව පෙරළලා නව රජයක් බිහිකලා. පොදු පෙරමුණු  ආණ්ඩුවක්.  ඒත් ඒව  පුංචි නිමල්ට ඒ දවස්වල තේරුනේ නෑ. මොකද ඒ කාලෙ  නිමල් අම්මගෙ තනේ එල්ලිලා ඉදලා කිරි සුවදට ආයුබෝවන් කිව්ව විතරයි . ඒ තරම්ම චුට්ටියි. හැබැයි පුංචි නිමල් හැම දෙයක්ම බලාන උන්න...හැම දෙයක්ම ඇහැව්ව. අම්ම තාත්ත එක්ක හැම තැනටම ගියා...


“කාගෙද මේ බලවේගේ........“ මිනිස්සු යටිගිරියෙන් කෑ ගහනව.

“චන්ද්‍රිකාගෙ බලවේගේ.......“ පුංචි නිමල් එහෙම උත්තර දුන්න...හැබැයි ඒ මොකටද කියන්න දන්නෑ. ඒත් එයා ඒ  හිනාවීගෙන පින්තූරෙ ඉන්න චන්ද්‍රිකාගෙ පොස්ටර් කැලැන්ඩර් ගොඩාරියක් එකතු කරගෙන එයාගෙ පොත් මේසෙ උඩ තියා ගත්ත විතරක් නෙමේ....අර නිල් පාටින් තිබිච්ච නිල් පාට සාරියක් ඇදගෙන උන්නු පොස්ටරේ එයාගෙ පොත් මේසෙ උඩින් ඇන හතරක් ගහල එල්ලුව. ඊට උඩින් බුද්ධ පින්තූරය තිබුණ..පුංචි නිමල්ට හරි සතුටුයි. ඒ විතරක් නෙවෙයි නිමල්ලෑ ගම තියෙන නගරෙට ඒ මැතිණිය දවසක් දා ආවා....එයා එදා අඩල අඩල තාත්තත් එක්ක චන්ද්‍රිකාව බලන්න ගියා. සෙනග ගොඩාරියක් පිරිල ඉතිරිලා හිටිය. නිමල් හිටියෙ තාත්තගෙ කර උඩ නැගල.

“ කෝ තාත්තෙ චන්ද්‍රිකා කතා කරන්නෙ නෑනෙ....“ පුංචි නිමල්ට චන්ද්‍රිිකාගෙ කට හඩ අහනකන් ඉස්පාසුවක් තිබුණෙ නෑ..

“ ඇයි පුතේ ඔය කතාකරන්නෙ චන්ද්‍රිකා තමා......“  තාත්ත එහෙම කියනකොට,

“ අනේ තාත්තෙ පිරිමි කෙනෙක් කතා කරනව වගේනෙ  එයා කතා කරන්නෙ...“ නිමල් හිනා වෙලා කිව්ව.

“ ඔව් ඒ තමා චන්ද්‍රිකාගෙ පෞරුෂත්වෙ....“ එදා ඉදන් පුංචි නිමල් චන්ද්‍රිකාගෙ කටහඩට ගොඩාක් ඇලුම් කළා. හැබැයි නිමල් ගොඩාක්ම කැමති වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කතාකරනව අහන් ඉන්ට..දවසක් නිමල් තාත්තත් එක්ක ගියා තිත්තකොබ්බෑව කියන ගම උදා ගම්මානයක් කරල ඒක විවෘත කරන දවසේ තිබිච්ච උස්සවේට. එදා ආවෙ ප්‍රේමදාස ජනාධිපති තුමා...එයා කතාකරපු විදියට නිමල්ගෙ හිත ජනාධිපතිතුමාට ඇදිල ගියා.

දවසක් දා පුංචි නිමල් ඉස්කෝලෙ පිට්ටනියට ගියා යාළුවොත් එක්ක මණ්ඩි බෝල් ගහන්න..ඒ දවස්වල ලොකු අයියලා එල්ලෙ ගහනකොට නිමල්ලෑ සෙට් එක මණ්ඩි බෝල ගැහැව්ව. ඉතින් එහෙම යනකොට එකපාරම ලොකු පෙජරෝ එකක් ඇවිල්ල නතර කරා... නිමල් බය වුන්නෑ..මොකද එ් දවස්වල එක එක වර්ගයේ කාර් ගමේ තියෙන හැම අස්සක් මුල්ලකම යන හිංදා...ඒ දවස්වලට තමා නිමල්ල කාර් එකක් වත් දෑහින් බලා කියා ගන්නෙ.  නිමල් ඉස්කෝලෙ යනකොට යන්නෙ කාර් ගිහිල්ල හැදිච්ච වලවල් උඩින් පැන පැන. ඉස්කෝලෙ යනකොටනම් සුදු පාටින් ඇදුම් තිබ්බත් ගෙදර එනකොට කමිසෙ බොර පාටයි.  නිමල්ට අම්මගෙන් බැනුම් කෝටියයි....

ආපු පෙජරෝ එක එක පාරටම නිමල්ලෑ ලගින් නතර කරා....

“එන්න පුතේ......“ ඇස් දෙක පේන්නෙ නැති වෙන්ට කණ්නාඩි කුට්ටමක් දාගත්තු නැන්ද කෙනෙක් තොල්පෙති රතුම රතුපාටින් දිලිසෙනව....අපි දිහාට අත්දෙක දික්කරගෙන...රටින් ගෙනාපු ටොපි චොකලට් පිරීල තියෙනව දැක්ක... නිමලුයි යාලුවො කට්ටියයි නැන්ද ලගට දුව..ගෙන ගියා. ඒ නැන්ද කිසිම තණ්හාවක් නැතුව ටොපි ටික ඔක්කොම දුන්න...නිමල්ටයි යාලුවොන්ටයි ගොඩාරියක් සතුටුයි.... එයාලා ටොපි ටික අරගෙන කාර් එක ගාවින් ටික ටික පස්සට වුණා...අර නැන්ද හරී සතුටින් පුංචි උන් ටික දිහා බලාන ඉදල  අන්තිම මොහොතෙ තටා...කිව්ව...ළමයි ඔක්කොම උඩ පැන පැන අර ඇන්ටිට තටා කිව්ව...නිමල් පෙජරෝ එක යන දිහා සතුටින් බලා හිටිය. එතකොට තමා එයා දැක්කෙ කාර් එකේ බදේ පෝස්ටරයක් ගහල තිබුණ...කොල පාට පසුබිමේ  රාණි අධිකාරි  කියල ලියල අලියෙක්ගෙ පින්තූරයක් ඇදල ඒ ඉස්සරහින් අංක එකොළහ ලියල තිබුණ.  නිමල්ගෙ හදවතේ පතුළටම ඒ නම කිදා බැස්ස. එහෙත්  ඇය කොහේ කෙනෙක්දැයි  නිමල් දැන නොසිටියේය.

නිමල් ගෙදර ගිහින් අම්මට පෙරැත්ත කරා රාණි අධිකාරිට ඡන්දෙ දෙන්න කියල. අම්මට හරි පුදුමයි. අම්ම තමන්ගෙ පුංචි පුතාව ආදරෙන් වැළද ගත්ත.

“ බලමුකො බලමුකො....“ අම්ම එහෙම කිව්ව...


 ඒ අගෝස්තු මාසෙ වෙන්න ඇති. චන්දරේ මාමලාගෙ ගෙදරට නිමල්ලෑ ගෙදර ඔක්කොම  එකතු වුණා...නිමල්ලෑ කොටුවෙ හදල තිබුණූ රට කජු උර පිටින් ගලවං ආව. අම්ම ඒව තැම්බුව...චන්දරේ මාමගෙ  නැන්ද ට කේතලේ  බිමින් තියන්න වුණේම නෑ...අවට වට පිටාවෙ නැන්දලා මාමල විස්සක් තිහක් චන්දරේ මාමලගෙ ගෙදර...ගැහැණු ගොල්ලයි පුංචි නිමලුයි එයාගෙ යාලුවො කීප දෙනෙකුයි  බිම ඉදගෙන....එදා ජාතික රූපවාහිනිය දාල තිබුණෙ...චිත්‍ර පටියක් ගියා. ඒත් ඒක හිංදි එකද්ද එහෙමත් නැත්තන් සිංහල එකද්ද කියල නිමල්ට හරියටම නිච්චි නෑ.....

නිමල්ලෑ තාත්තයි තවත් කොල පාට අත් දිග  කමිසයක් ඇදගෙන උන්නු මාම කෙනෙකුයි විවාද තරගයක වගේ.... එහෙම වෙන්නෑ , එහෙම වෙන්නෙ කොහොමද, ගිය පාර කීයද, රැස්වීම් වල පිරිල හිටිය...අර සංවිධානෙන් මෙහෙම කිව්ව, සමීක්ෂණයෙන් ඔප්පු වුණා...ආදී  නොයෙක් දෑ මාතෘකා කරගෙන බරපතල කතාබහක. ගැහැණු  ඇස් පිල්ලන් ගහන්නැතුව ටීවි එක දිහා බලාගෙන. ජයා මාම රතිඤ්ඤ පෙටිටි ටිකකුත් තියාගෙන සුරුට්ටුවක් උර උර ඉන්නව.....පිරිමි උදවිය එකා දෙන්න එළියට ගිහිං ටික වේලාවකින් මූණ ඇඹුල් කරගෙන වම් අතින් කට පිහ දදා  ආයෙම ගෙට ඇතුළු වෙයි. ටිකෙන් ටික රූපවාහිණියේ සද්දයත් යටකරගෙන  නිමල්ලෑ තාත්තාගෙ සහ තවත් පිරිමි  කීප දෙනෙකුගේ කටහඩ ඉස්මතු විය.

" පලමු ඡන්ද ප්‍රතිඵලය තව ස්වල්ප වේලාවකින් බලාපොරොත්තු වෙන්න.." නිවේදක තුමා කියනවාත්  එක්ක තැන් තැන්වල ඉදගෙන කතා කර කර උන් ගැහැණු පිරිමි සාලයට රොක් වුණා.

" රතිඤ්ඤ ලෑස්ති කරපල්ල.." ඒ තවත් පිරිමියෙකුගේ  කටහඩකි.

" මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය......" සියල්ලෝගෙම දෙනෙත්  රූපවාහිනී තිරය මතය. ඇල්පෙනෙත්තක හඩ නිදා සිටින වුවෙකුට පවා ඇසෙන මොහොතකි.

" පොදුජන එක්සත් පෙරමුණ ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව....."  ප්‍රමාණය කිව්වද එය කිසිවෙකුටත් නෑසුණි. රතිඤ්ඤා හඩ දසතින් ඇසෙන්නට විය. ගැහැණු පිරිමි සතුටින් කෑ ගාන්නට විය. ගැහැණු  ගැහැණු වැළද ගත්හ. පිරිමි එකිනෙකාට අතට අත දෙන්නට විය.කොළ පාට කමිසයක් ඇද සිටි පුද්ගලයා දුක් වුවද තව එහෙම්ම යැයි කියනවා ඇසුණි. නිමල්ට හුගක් සතුටුය. චන්ද්‍රිකා දිනලාය.....පක්ෂයක් පාටක් නොදන්නා නිමල්  කුමට සතුටින් සිටින්නේද ? එය දන්නේද නිමල්ම පමණෙකි.

චන්ද්‍රිකා දිණුවාය...ලංකාවේ දෙවන අගමැතිවරිය වූවාය.

" ඔයාට අනිවාර්යෙන් ජොබ් එකක් සුවර්....දිසානායක මහත්තයා කිව්වෙ, ගමට දෙන පළවෙනි ජොබ් එකම දෙන්නෙ ඔයාට කියල..." දිනක් තාත්තා අම්මා එක්ක කියනවා  නිමල් අහගෙනය..

" ඉස්සරෝම සමෘද්ධියට පත්වීම් දෙනව කිව්වෙ....සමහරවිට මේ මාසෙම ඔයාට පත්වීම හම්බ වෙයි.." තාත්තා එහෙම කියද්දී අම්මාගෙ මුහුණෙ නැගුණු සතුට නිමල් කිසි දිනෙක ඇය තුලින් දැක තිබුණේ නැත.වෙනදට වැඩිය එයාගෙ වෙනසක් දැක්ක. ගමන් කරන හැටි උණත් වෙනස්. හරියට නර්ස් නෝන කෙනෙක් වගේ එහෙ මෙහෙ ඇවිද්දෙ වැඩ රාශියක් තියෙන කෙනෙක් වගේ.  ඒ දවස් කීපයේම ගමේ හුගක් ගැහැණු පිරිමි නිමල්ලාගෙ ගෙදර ආව. නිමල්ලාගෙ අම්ම ඒ ගොල්ලන්ට තේ හදල දුන්නෙ ගොඩාක් සතුටින්. නිමල්ටත් කම්මැලිකමක් දැනුණෙ නැ. ඒ ගොල්ලත් එක්ක නිමල්ගෙ යාලුවොත් ආපු නිසා නිමල්ට යාලුවොත් එක්ක හුගක් වෙලා සෙල්ලම් කරන්න පුලුවන් වුණා.

"ජනාධිපතිවරණෙට කලින්  පත්වීම් දෙනවලු...ඊට කලින් දිසානායක මහත්තයාලගෙ ගෙදර එන්න කියල තියෙනවා..ඔක්කෝටම දවල්ට කෑම වේලක් දෙන්න.."

"කවද්ද....? "

" එන ඉරිද.... ජයසිංහ මුදලාලිගෙ වෑන් එකවත් අරන් යං..."

ඒ දවස් ටිකේම අම්මා කොරටුවට නොගියාය. සමහර විට ඉතිරිවිච්ච රටකජු ටික හොරුවත් ගලවලා ඇද්ද...? මේ  අමු මිරිස් කැඩෙන කාලෙ මොණරු ඇවිත් ඒව කාල නාස්ති කරයිද දන්නෙ නෑ....වෙනදා එහෙම හිතල ඉක්මණටම කොරටුවට පයින්ම ඇවිද යන නිමල්ලාගෙ අම්මාට අද කොරටුව ගානක්වත් නැත. කොරටුවක් නොතිබුණා සේය.

" මට හම්බෙච්ච ගුරුපත්වීම තමා  අර උඩහ ගෙදර සීතට දුන්නෙ... උන්ගෙ ආණ්ඩුවනේ....අපි එච්එස්සී පාස් වෙලත් රජයෙ පත්වීමක් ගන්ඩ බැරි වුණා....ඔන්න දැන් අපේ වාරෙ...." නිමල්ගෙ අම්ම උදම් ඇනුව.

"ඒ අතින් හුරුල්ලෙ මහත්තයා දෙවි කෙනෙක්..ඒ මිනිස්සුන්ගෙ ඔය කුහක කම් තිබුණෙ නැ...ඒ මිනිස්සු මොන පක්සෙ උණත් සුදුස්සන්ට සුදුසු තැන දුන්න...ඒකටත් එක්ක මුං මට දුන්න පත්වීමනෙ මට දුන්නෙ නැතුව එස්එස්සී වත් පාස් නැති අරකිට දුන්නෙ.."විටෙක ඇය කෝප වූවාය. එවිට පුංචි නිමල් මිදුලෙ ඉදන් දුවගෙන ඇවිත් දොරඋළුස්සට හේත්තු වී ඉද කෝප වූ තම මෑණියන් දෙස මොහොතක් බලා ඉද ආපසු හැරී යයි.

ඉරිදා දිනය උදාවිය. නිමල්ලෑ අම්මා පාන්දරම අවදි වූවාය. ජොග්ගුවට තේ හදාගෙන අවුත්  සියලු දෙනටම  පිළිගැන්වූවාය.

" කෝප්පත් පතුරු ගිහින් ..කොහෙද ඉතින් නිමල්ට එහෙම අහුවුණොත් හත් අට පොලක වද්දනවනෙ.."

" මේ පාර මිරිස් මුරේ කැඩුනම කෝප්ප දෙක තුනක් ගමු..." නිමල්ලෑ තාත්ත එහෙම කිව්වෙ වතුර කෝප්පයක් අරන් කට හෝදන ගමන්ය.

" පුතේ.....ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල අත්තම්මලාගෙ ගෙදරින් කාපල්ල...තාත්තයි මායි පොඩි ගමනක් යනව.."
" මං එහෙම්ම කලු මහත්තලෑ දිහා යනවා..." මූන හෝදන ගමන් සිරිමල් කීවේය. සිරිමල් නිමල්ගේ වැඩිමල් සහෝදරයාය.

" පොඩි පුතේ උඹ අත්තම්මලාගෙ ගෙදර හිටිං අම්ම එනකං... අම්මයි තාත්තයි ඉක්මණට එන්ඩ බලන්නං.."

නිමල් ඔලුව වැනුවා පමණි.
.

නිමල්ගේ පියා , මව හා  තවත් ගමේ හිතමිතුරන් කිහිප දෙනෙක් දිසානායක මංත්‍රී තුමාගේ ගෙදරට  ගියේ  ජයසිංහ මුදලාලිගෙ වෑන් රථයෙනි. ගිනි පොලියට මුදල් දෙන ජයසිංහ මුදලාලි හයර් එක කීයක් ඉල්ලාවිදැයි නිමල්ගේ තාත්තා වෑන් එකෙන් මංත්‍රී තුමාගේ ගෙදරට පය තබන ගමන් සිතුවේය. මංත්‍රීතුමා දොරකඩට වී උන්නා. ගේ වටේටම සෙනග පිරිලාය. නිමල්ගෙ තාත්ත දිසානායක මහත්තයා ඉන්න තැනට ගියා. අම්මාද ඔහුව අනුකරණය කළාය.

" ආයුබෝවන් පියරත්න මහත්මයා..."

" එසේම වේවා මන්ත්‍රී තුමා...පාක්ෂිකයො හුග දෙනෙක් ඇවිල්ල නෙවැ..."

" ඔව් ඔව් ..පියරත්න මහත්තයා වගේ හුගක් උදව් කරපු උදවිය...."

" මන්ත්‍රීතුමා මෙයාගෙ ජොබ් එක හරි යයි නේද ?" නිමල්ගෙ තාත්ත වටපිට බලල බයාදු ගතියකින් ඇහුව..

" පියරත්න ඔයා කිසිදේකට බය වෙන්ඩ එපා... දැනටමත් සිරියලතාගෙ නම රෙකමන්ඩ් කරල යවලයි තියෙන්නෙ...." ඕන නම් තව සති දෙකක් යයි.....ඔන්න බලන්ඩ මං බොරුද කියන්නෙ කියල....අවුරුදු දා හතක් ඉදල බලයට ආවේ....අවුරුදු දා හතක්...." මන්ත්‍රී තුමා පුනරුච්චාරණය කළේය.

" එහෙනම් පියරත්න මහත්තයා...කාල බීල සතුටු වෙලා යන්න....දන්නවනෙ ඉතිං අද මම ටිකක් කාර්යබහුලයි කියල....."
" හොදමයි මන්ත්‍රීතුමා..."  නිමල්ගෙ තාත්ත දෙකට නැමී ආචාර කළේය..මන්ත්‍රී තුමා නිමල්ගේ අම්මාට හිස නමා ආචාර කොට පිටත්ව ගියේය.

මන්ත්‍රී තුමාගේ නිවසට ගොස් පැමිණ සතියක් ඉක්ම ගොස් අහවරය. නිමල්ගේ මවත් පියාත් ශාඛා සභාපතිතුමාගෙන් පණිවිඩයක් ලැබෙනතුරු මගබලා සිටී. ඒ අතර වාරයේ ජනාධිපතිවරණයටද කැන්වසින් යාමට නිමල්ගේ පියාටත් මවටත් සිදුවිය. දිවා රෑ වෙහෙස නොබලා ඔවුන් ගෙයක් ගෙයක් ගානේ ගොස් චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගැමියන්ගේ ඡන්දය යැද්දේය. ගෙදරින් උදෑසනම පිටත් වන ඔවුන් ගෙදරට එනවිට අදුරත් වැටිලාය.

" පොඩි පුතේ උඹ මොනවද අද දවල්ට කෑවෙ......"

" මොනවත් කෑවෙ නෑ අම්මෙ....බඩගිනී හොදටම..." නිමල් බඩවත මිරිකා ගත්තේය.

" ඇහ්....ඇයි ආත්තම්ම උයල තිබුන්නැද්ද....පුතේ.."

" ආත්තම්මට අමාරුයි කියල ඕන් දවසම ඇදට වෙලා...."

" හ්ම් ඒකත් එහෙමද..... ඉදින්  මං ඉක්මණට මොනව හරි තම්බලා දෙන්නම් ....." නිමල්ගේ අම්මා දඩි බිඩි ගා උයන්නට වූවාය.


" පුතේ......බලපං  කවුද ආවෙ කියල....." අම්මා කුස්සියේ සිට බෙරිහං දුන්නේය.

" විසිපහේ ගෙදර රණසිංහ මාම අම්මෙ....තාත්තෙ මේ රණසිංහ මාම ඇවිල්ල....."

" ආ..රණේ...වරෙන් වරෙන්.... මොකද හදිස්සියක් එහෙම නෙමෙයිනෙ...? "

" නෑ......එහෙමත්ම කියල හදිස්සියක් නෑ.....ඒත් දිසානායක මහත්තයාගෙ පණිවිඩේකට ආවෙ....."

" ඇයි..? ඇයි ..? මොකද...පත්වීම් ඇවිල්ලද..? අම්මා කුස්සියේ ඉදන් සාලෙට ආවාය. ඇගේ පිටි අල්ලේ තිබූ  වතුර අත් දෙක නුහුරට හරවා හැද සිටි චීත්තයෙන් පිස දා ගත්තාය.

" පත්වීම් ඇවිල්ල...!, " සිරියාවතීගේ මුහුණ සතුටෙන් පිරෙන්නට විය....

"පත්වීම් නම් ඇවිල්ල......ඒත් පොඩි පරහක් තියෙනවා....පියරත්න.." රණසිංහ තෙපරබාන්නට විය...

සිරියාවතීත් පියරත්නත් ඇස්ගෙඩි ලොකු කරගෙන රණසිංහ දිහා බලා උන්නාය. නිමල් පැත්තකට වී අම්මාගේ  අසරණ මුව දෙස බලා උන්නාය.

" ඔව් පියරත්න....සුමනසේකරටයි බන්දුසේනටයි විතරයි පත්වීම් ඇවිල්ල තියෙන්නෙ....අවුරුදු තිස්පහට වැඩි කාටවත් සමෘද්ධි නියාමක පත්වීම් දීල නෑ....සිරියාවතීට වයස අවුරුද්දක් වැඩියිලු....දිසානායක මහත්තයාටත්  දැනුම් දීල තියෙන්නෙ ඊයෙ.මන්ත්‍රීතුමත් සෑහෙන්න දුක් වුණා...."  රණසිංහගේ වදන් තුලින් ගිනි පුළිගු එන්නාක් මෙන් සිරියාවතීට දැනුණි. ඇය සිය දෑත්වලින් හිස දෙපැත්ත අල්ලා බදා ගත්තාය. වසර දාහතක් බලා  සිටියේ මේ වචන ටික අහන්නදැයි ඇයට සිතුණි. පක්ෂය දිනවන්ට මෙච්චර කැපකිරීමක් කල සිරියාවතීට වුණූ දෙය ගම්මු දැන ගැනීමෙන් ඇයට ඇතිවන අපහාසය කුමන මට්ටමේ එකක් වේවිදැයි ආදී නොයෙක් සිතුවිලි වලින් ඇගේ චිත්ත සන්තානය පිරී ඉතිරී යන්නට වූවාය. ඇය " අම්මේ....." කියාගෙන ඇතුළු කාමරයට දිව ගියාය. පුංචි නිමල්ද  ඇය පස්සේ දිව ගියේය.

" පියරත්ත, මන්ත්‍රීතුමා කිව්ව...සිරියාවතීට කනගාටු වෙන්ට එපාය කියල කියන්ට කියල....ජනාධිපතිවරණයට බය නැතුව වැඩ කරන්ට කියල....ජොබ් එකක් අනිවාර්යයෙන් අරන් දෙනව කියල කියන්න කිව්ව...මේ ගමට රස්සා දෙනවනම් දෙන්නෙ සිරියාවතීට දුන්නට පස්සෙ කියලයි මන්ත්‍රීතුමා කිව්වෙ.."

" එහෙනම් පියරත්න මං ගිහින් එන්නම්......" පියරත්න ඔලුව වැනුවේය.

නොවැම්බර් මාසය උදාවිය.

" අම්මේ......පොඩි එකා පොඩ්ඩක් බලාගන්ඩකො......ටිකක් හවස් වෙයි එනකොට...පුතේ....අම්ම එනකං ආත්තම්මත් එක්ක ඉන්ඩ ඕනෙ...දග කරන්නෙ එහෙම නෑ ඕං......" එහෙම කියපු නිමල්ලෑ අම්මා ගමේ පන්සලට  ගියාය.... ඒ තම පක්ෂය වෙනුවෙන් පෝලිම්බූත් රාජකාරිය ඉටු කිරීම පිණිසය...

 





Wednesday, October 19, 2016

සෙනෙහස ගිනි අරං


ඈ.........
එරමිණිය ලන්දක
කුඩුමීරිසිය කන්දක
කටු අතර හිරවෙලා
බලනවලු
රූරා වැටෙන
දිය ගංඟාවක
කිමැයි  මේ ලුණු රස කියා
ඈ............
වුවනත කඳුලු කැට
රුධිරය වැක්කෙරෙන විට
දෙකම්මුල් මතින් පහළට,
සිහිවුණි මෙමට
ගලන හැටි සුවිශාල ගංගා
මහා කඳු මතින් පහළට
 ඈ............
හෙමි හෙමින් තඩි බායි
ඉඳගෙන
හිර වෙච්චි
බත්වෙලං පඳුරට.
පූරුවේ කරුමෙට
විසිවී වැදුනි නළලට
කැපී වෙන්වුණූ වෙලං ලීයක්,
එයින්  ආ ගෙඩියක්
නොවේමැයි එය
ලකුණකි  ශේෂ කන්දක
ඈ.............
දිලිසුණු නෙතු සඟල
හංගා හිරුට බිය වී
බලයි අවපස
නළල්තල රැළි ගන්වා
කලු ගැහුණු
හොඬු යුගල උස්සා...
ඈ...............
පොල් හනස් පන්දම
සිවු අත දුවන අන්දම
දැවී අළු වී යනෙන විට සැම
සිතා ගනු බෑ
ගියාදෝ යැයි
ඇගේ සෙනෙහෙත්
ඒත් එක්කම

Sunday, October 16, 2016

දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ (මම ලිවීම අත් ඇරියෙමි - 6)


සති අන්ත නිවාඩුව පැමිණ කිසි දිනෙක මා හට හරස් වීදියෙන් කිසිවක් ගත නොහැකිවනු ඇත. ඒ, සති අන්ත නිවාඩු ලැබෙන විට සවස්වන බැවිනුත්  ඒ වන විටත් හරස්වීදියන් හි ඇති කඩ සාප්පු වසා දමන බැවිනි. එම නිසා මා ආයතන ප්‍රධානියාට බොරුවක් කියා  දිනක නිවාඩුවක් ඉල්ලා ගත්තද,
''තමුසෙගෙ ඔය ප්‍රශ්න කවදද ඕයි ඉවර වෙන්නෙ...?'' යන උදාන වැකිය කියන්නටද අමතක නොකළේය.

එදින උදෑසනම නියමිත  වේලාවටත් කලින් මා නිවස බලා යාමට පිටත් විය. මා බසයකට නගිද්දීත් බසිද්දීත් මැවී පෙනෙන්නේ මා පින්තූර විකුණන අයුරුය. මම එදා බසයේ පින්තූර විකුණු වෙළෙන්දා පින්තූර විකිණූ අයුරු  අනුකරණය කරන්නට වීමි. මම සිතින් ඒ සියල්ල පුරුදු පුහුණු වීමට උත්සාහ දැරීමි.එහෙත් මා එතරම්ම දක්ෂ නැතැයි සිතුණි.

මා බසයෙන් බැස, දෙවන හරස් වීදිය සොයා  පා නැගුවෙමි. ඇතැම් වෙළෙන්දන්ගෙන් පවා  දෙවන හරස් වීදිය කොහේ ඇද්දයි විමසුවෙමි. සමහරුන් මට දෙවන හරස් වීදිය යැයි ගසා ඇති නාම පුවරුව පවා පෙන්වයි. මා මල පොතේ අකුරක් නොදන්නෙකැයි ඔවුන් සිතන්නට ඇතැයි මට සිතුණි. මාද  එසේ යෙහෙකැයි සිතා වීදි ඔස්සේ ඇවිද ගියෙමි. පින්තූර සෙවීම මූලික අරමුණූ කොටගෙන මා විවිධ භාණ්ඩ ඇති කඩ සාප්පුවලට ගොඩ වී ඒවායේ මිල ගණන් ඇසුවෙමි. ඔවුන් තොග මිළත් සිල්ලරට විකුණන මිලත් වෙන වෙනම කියයි. පස්සෙ එන්නම් කියා හෝ වෙනත් අයුරකින් ඔවුන්ගේ සිත් නොපෑරෙන ලෙස කුමක් හෝ පවසා මම වෙනත් සාප්පුවකට ගොඩ වීමි. පැය ගණනක් යන තුරු  විවිධාකාර භාණ්ඩයන්හි මිල ගණන් කැදවීමි. මම ඔවුන් තුළින් ඉවසීම ප්‍රගුණ කළෙමි. පාරිභෝගියෙකුට භාණ්ඩයක් විකිණිමට නම් මනා ඉවසීමේ හැකියාවක් තිබිය යුතු බව ඒ පැය කිහිපය තුළදී ඔවුන් විසින් මා හට උගන්වනු ලැබූ පාඩම් මාලාවේ පළමු පාඩම විය. ඒ තරමටම ඔවුන්ගේ ඉවසීමේ ගුණය උසස්ය. නොඑසේ නම් ඔවුන් විසින් මා ඒ වන විටත් පන්නා දැමීමට ඉඩ තිබුණී.

මම තවත් කඩයකට ගොඩ වැදුනෙමි. එහි තිබුනේ කලාළ පැදුරු වැනි අයිතමයන්ය. ඒවායේ මිල අපේ නගරයේ කඩවල මිල හා සසදා බලද්දී එකකට එකකටත් වඩා මිල අඩුය. මම එයින් පැදුරු දහයක් මිල දී ගෙන එළියට නොපෙනෙන සේ නිරාවරණය කොට රැගෙන යන්නට නැවත එන්නේ යැයි පවසා පින්තූර කඩය සොයා ගියෙමි.

නේක නේක වර්ණයන්යන්ගෙන් යුතු විවිධාකාර පින්තූර සිය ගණනින් වෙන් කර තබා ඇත. දේව පින්තූර බුද්ධ පින්තූර  පුංචි දරුවන්ගේ පින්තූර  සොභාවික සෞන්දර්යයෙන් පිරි මනස්කාන්ත දර්ශන ඇතුලත් පින්තූර ආදි සිය ගණන් පින්තූර ගොඩ ගසා තබා ඇත. ඒවායින් එක එක ප්‍රදර්ශනය සදහා තබා ඇත. මම බොහෝ වේලා  පින්තූර එකින්  එක ඈත් මෑත් කර බැලුවෙමි.

'' ගන්න මහත්තයා....කීයක් විතරද ගන්න බැලුවෙ...''

මම නිහඩවම එකින් එක පෙරළ පෙරළා පින්තූර බැලුවෙමි. විකිණීම පසෙකලා ඒ වායේ ඇති අති සුන්දරත්වය මනසින් වින්දෙමි. නැවතත් පින්තූර රාශියක් පපුවට තුරුලු කරන් විකුණන අයුරු මට මැවී පෙනෙන්නට විය.

'' මේ එකක් කීයක් වෙනවද මුදලාලි...''

'' එකක් රුපියල් තිස්පහක් වෙනව... ඒත් අපි එකක් විකුණන්නෙ නෑ මහත්තයෝ...ඕරසෙල් තමා අපි දෙන්නෙ... ගන්ඩ මහත්තයෝ අපි අඩු කරල දෙන්නම්....''

මම නිහඩව උන්නෙමි.  ඕරසෙල් යනු කුමක්දැයි මම කල්පනා කරන්නට වීමි. එය තේරුම් ගැනීමට මට නොහැකි විය. එහෙත් පසු කාලීනව එය හොල් සේල්  යන්න බවත් එය  එදා මට ඇසී තිබෙන්නේ ඕරසෙල් විදියටත් යන්න මතකයට ඒමෙන් ස්වයං ලජ්ජාවක් මසිත හට ගත්තේය.

'' ම්.....එහෙනම් කීයක් විතර දාල දෙනවද...?''

'' රුපියල් තිහක් දාල දෙන්නම් මහත්තයා.... මහත්තයාට කීයක් ඕනෙද....?''

'' මට පින්තූර තිස්පහක් විතර දෙන්න... '' '' එතකොට මුදලාලි මේ පින්තූර මීට වැඩියඅඩුවෙන් ගන්ඩ තැනක් නැද්ද?''

'' මීට වැඩිය අඩුවෙන් ගන්න කොහේවත් නෑ....මෙතන විතරයි තියෙන්නෙ...ඇයි මේත් ගණන් වැඩියිද මහත්තයා.....?''

මම සිනාසුනෙමි.'' ඔව් ඉතින් මං බැලුවෙ තවත් ටිකක් අඩුවෙන් ගන්න තැනක් තියෙනවනම් හොදයිනෙ නේද ?''

ඔවුන් සිනාසුනා පමණි...අපේ ගමේ කඩේ නම් වෙනත් කඩේකින් බඩු රැගෙන යන්න යැයි කියනවා නොඅනුමානය...ඒ තරමටම මේ මුදලාලිලා ඉවසිලිවන්ත කාරුණික පිරිසක් බව මට පසක් විය. මම  වර්ග කිහිපයක පින්තූර තෝරා ගත්තෙමි. පසුව එයින්  වැඩි හරියක් දේව පින්තූරත් බුද්ධ පින්තූරත්  සොභාවික සෞන්දර්යයෙන් හෙබි පින්තූරත් ඇතුළත්වන සේ පින්තූර තිස් පහක් රුපියල් තිහ ගානේ මිල දී ගත්තෙමි.

ගත් පින්තූර ටික විකුණා නැවත එන්නම් යැයි කියා ඔවුන්ගේ විසිටින්ග් කාඩ් එකක්ද ඉල්වාගෙන  මිළ දී ගත් පැදුරු ටික ද ගෙන මම බස් එකට ගොඩ වැදුනෙමි. බසයේ පිටු පසම අසුනට ගොස් ඉද ගත්තේ එය ගමනාගමනයට අපහසු වුවත් මා ගෙන ගිය බඩු ටික මා ලගම තබා ගැනීමේ අපේක්ෂාවෙනි. සුළු මුදලකින් ගත් බඩු ස්වල්පයක් පමණක් වුවද මාගේ පළමු ව්‍යාපාරය එය බැවින් හදිසියේ හෝ එ්වා අන්තරස්දාන වුවහොත් පුදනකොටම කාපි යකා කිව්වා සේ  ව්‍යාපාරය බිද වැටෙනවාට මා අකමැති වීම එසේ කරන්නට හේතු විය. ඒ කෙසේ වුවත් බිරිදට කියා රුපියල් පන්දහසක් බැංකු ගිණූමට දා ගත්තේ මුදල් අතේ තිබිලා ද නොවේය. සීයට දහයේ පොලියට අරගෙනය.

බසයේ ඉදන් ගෙදරට යනතුරුම මිල ගණන් හැදුවෙමි. පින්තූරයක් විකුණන ගණන් හා පැදුරු විකුණන ගණන් කී පාරක් නම් හදන්නට ඇද්දයි මට සිතාගත නොහැකිය. ඒ කෙසේ හැදුවත් ලාභය එකකට දෙකක් වෙනසේ එන්නේය.

පින්තූර මට විකිණිය හැකිය. පැදුරු ටික බිරිදට දී සීට්ටුවක් දාන්න කියනවාය. සීට්ටුවට දහදෙනෙක් පමණ අල්ලා ගතහොත් එක් මසකට පැදුරු දහයක් අනිවාර්යෙන් විකුණාගත හැකිය. අඩුම තරමේ එවැනි සීට්ටු දෙක තුනක් අල්ලා ගතහොත් මසකට රුපියල් පන්දහසක පමණ ලාභයක් පැදුරුවලින් පමණක් උපයාගත හැකි වනු ඇත. නැවත එනවිට තවත් පොඩි පොඩි අයිටම් ටිකක් රැගෙන ගිය හොත් ඒවාද විකුණා පොඩි හෝ ලාභයක් උපයා ගැනීමට පුළුවන් වෙයි. කොටුවේ බස්වල විකුණන මිලටම මට පින්තූර විකිණිය හැකිය. අම්මාගේ ස්කූටියේ ගෙවල් වලටම ගොස් විකිණිය යුතුය. ගෙදරටම යන බැවින් අඩුම තරමේ එක පින්තූරයක් හෝ මිළ දී ගනු ඇත. එකක් විකිණීමෙන් රුපියල් හැත්තෑවක ලාභයක් ලැබේ. අඩුම තරමේ පින්තූර විස්සක් පමණ විකුණා ගතහොත් රුපියල් එක්දාස් හාරසීයක ලාභයක් ලැබෙනු ඇත. ගෙදරට වී කාලය කාබාසිනිය කිරීමට වඩා මෙයින් ආත්ම තෘප්තියත් ඒ විතරක් නොව පවතින ආර්ථික දුෂ්කරතාවයන්ට පොඩි  හෝ පැලැස්තරයක් වනු ඇතිය යන්න මගේ හැගීම විය.

දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන පැදුරු ටික එක අතකත් පින්තූර ටික අනෙක් අතෙත් එල්ලාගෙන  ගෙදරට ගොඩ වුණෙමි.