Thursday, April 30, 2015

පුච්චාපං මගේ මේ නිරුවත් සිරුර


මිනිසුනි මොහොතකට දෙසවන් හැරලන්න
මා මිය ගොසිනි එනමුත් බැහැ ඉවසන්න
පෙර කළ පවක කරුමය පටිසන් දුන්න
අම්මා කෙනෙකි පෙර දැන් පරලොව ඉන්න

වනචාරියෙක් මෙන් මන්නය අතැති කැලේ
පුතුගේ සොබා මගෙ හදවත සිදුරු කලේ
මේ දිවි කුමට මට පොඩි පුතු නොමැති පැලේ
කොතරම් කදුළු ගැලුවද මුල් අතර ඇලේ

පුතුගේ වේශයෙන් මර රකුසෙකු එන්නා
මගෙ පුත නුඹ කොහිද හඩ රැව්පිලි දුන්නා
රුපියල් සත වලින් ලෝකය ජය ගන්නා
මව්ගේ රුහිරු පැන්නා පහරින් මන්නා

මන්නය මගේ සියොලග රස කර බැලුවා
පොලිතින් කවර සීතල මගෙ නැති කෙරුවා
දේහය නිසල සතුටුයි පුතු කර දැරුවා
මින්රල අවුත් මගෙ තනිකම දුරු කෙරුවා

දුටුවෙමි පුතුන් නෙත් යුග රුධිරයෙන් තෙමා
මා දෙස බලනයුරු මව් සෙනෙහසින් පෙමා
සැරසෙමි යන්න මා සියොලග ඇලෙහි දමා
පුතුනේ වැරැද්දක් වුණි නම් වෙන්න සමා

දිවියම මගේ හිමිසද පමණක් පැතුව
වෙළුනෙමි දොමනසින් දෙයකට සිත නතුව
ලැජ්ජා සිතුණි මොහොතක් විළිබිය  ඇතුව
ඉන්නා විටදි රෙදි පොටකින්වත් නැතුව

හා හා පුතේ හොද නෑ එය කරන්නට
දෙනෙතින් කිව් නමුදු බැරිවිය කියන්නට
ඇදිවත එකින් එක විසිකර දමන්නට
මව් කෙනෙකුගෙ, හැකිද? තව ලොව වසන්නට

විවරය කපා දොස්තර තැන නුඹ ගත්ත
මා වෙත ඒවි කැපුමට සිරුරම රොත්ත
කෙලෙසක කිව හැකිද මේ නුපුරුදු ඇත්ත
ගිනි තියපං කයට  තරහක් නෑ සත්ත

මා සිතුවිලස නෑදෑ හිතවතුන් පිරී
මළගම උරුම නැත ඇත නිළමැසින් පිරී
උඩරට මැණිකෙ මෙන් මම සුදුවතින් සරී
නැත අද මිය ගොසින් මඩ ගොහොරුවක එරී

Saturday, April 25, 2015

පැට්ටෙක් එක්ක මොහොතක්


ඉඩ නොදෙන හැටි
හෙණ හා අකුණූ...
පැයක් තිස්සේ
තවමත් මුල් පිටුවමයි
පොතේ...

යොමා උන්නෙමි
දෙනෙත් යුග මම
බොහෝ වේලා...
භාවනාවකි,
නිවන් නොදකින

වැරදි ඔබ නොව
මෙමාමයි
සමාවෙන් මට
බැගෑපත් වෙමි
හිස නමා

කල්පනා ලොව
බලවතා වෙමි
මැකී යයි
එය ක්ෂණයකින්

හදවත ගැස්සුනිය.
නිහඩ ලොව මහ රජාණන්
කිරුළ
ඇත හිස මත තබා...

අළු වෙවී යන
දුම් වැටිය දෙස
බලා සිටියෙම්
බොහෝ වේලා
සිහිවෙලාදෝ
බුදු බණක්

සොලවමින් මුදු අතැගිලී
මොනව සිතුවද
සැලි සැලී...

නිතර ඒ මේ අත බැලී
නොමැත,
පිරි ඇත සිතුවිලී.

දුප්පතෙකි මම
අහිංසක වෙමි
මළත් මල් බොමි
ඊට වැඩි යම්
දෙයක් වෙත්.


Wednesday, April 22, 2015

මට කෙලවිය


ලද නිමේෂයකදී
අකුරු මුමුණා 
ලිවූ වචන ටිකට
අහෝ..! කෙලවිය

මිරිකූ බොත්තම
නොදැනුවත්වම
මිරිකුවා සේ විය
මගෙ බොටු කද

හදවත පමණක්ද
ශරීර කූඩුවම  වෙව්ලන්නට විය
තරහින් මගේම
නොසැළකිල්ලට
අහෝ.....මා දෙනෙත් පියා ගතිමි.

සිගරට්ටු දෙක තුනක්
බිබී  ලිව් මගේ සිතුවිලි
වලට කෙලවිය

විස්සෙ පැකට්ටුවක්
නැත
බෝතලයක්ම අරගෙන
පැට්ටෙකුත් ඔතාගෙන
උඩම තට්ටුවට ගොස්
විදගනිමි හුදකලාවෙම
දැනුණු වේදනා...

ලොවම හිනැහෙයි
හිකි ගගා
තබේකට නොවටිනා  දේ ගැන  හඩ හඩා
වැලපෙන හැටි අසා

එසේ වූ මුත්  අනේ දෙවියනි
අතුරුදන් වී ගියේ ඒ
ලියපු දේකුත්
ගොතපු දේකුත්
නොවේ ඒ මගෙ ආත්මය යැයි මට සිතේ...