Friday, October 14, 2016
නගර සෝභිනියක ස්නේහය
කටු මැටි බිත්ති සුවඳට කුස පිරෙන්නේ
පොල් අතු ඉලුක් පිදුරුයි අප රකින්නේ
අල්ලපු ගෙදර මේවා බොරු කරන්නේ
කවදද මගෙ ගෙදර සුදු හුණු ගාන්නේ
සමහර දාට දන්කුඩයත් ගෙන අම්මා
බලු නගුටාට දී කුස ගිනි දන් දුන්නා
එල්ලෙන පයෝදරවල හරි දුර මැන්නා
මල්ලිගෙ ණයත් හරියට ගෙවලා දැම්මා
මහවල ගෙදර අක්කා මා එක්ක ගිය
ලොව සුරපුරකි විසිතුරු දේ පිරී ගිය
කාලය ගෙවී මගෙ හදවත ඇදී ගිය
ඒ ලොව මලකි මට සියොලඟ පරව ගිය
හම්බෙන සොච්චමෙනි මම දිවි ගෙවන්නේ
කෙලෙසද බාල උන් අමතක කරන්නේ
උන්දැගෙ පොරොන්දුවටයි පණ අරින්නේ
මොණරුනි පියාපත් වල බර දැනෙන්නේ
කර උඩ යනෙන දුක් කද සිහිවෙනා විට
අම්මගෙ අදෝනා විදුලිය කොටන විට
ඔච්චම් මවන උන් මට ගොරවනා විට
ඇඟ මස් රුහිරු බොන උන් සැපයක්ය මට
පිරි ඉතිරිලා උන් සොම්නස දෝරෙ ගලා
යනවිට කඳුලු බැස යයි මගෙ මූද බලා
නුබ ගැබ පාවෙනා කිරි සුදු පාට වලා
හොරැහින් බලනවද මා දෙස කඳුළු සලා
පින්තූරය උපුටා ගැනීම මෙතැනින්
Wednesday, October 12, 2016
ගෑණූන්ගෙනුත් ගෑණූ අම්මප මෙහෙමත් ගෑණූ ( මම ලිවීම අත් ඇරියෙමි - 5 )
ගෑණූන්ගෙනුත් ගෑණූ අම්මප මෙහෙමත් ගෑණූ දැකල නෑ මන්නං සම්මජ්ජාතියකට ඕං. වැඩකරත් වැරදියි වැඩ නොකර හිටියත් වැරදියි. ඔයවගේ පොසිටිව් නෙගටිව් අහවල් ඒවනං අනන්තයි අප්ප්‍රමාණයි. එක දවසයි වැඩට ගියෙ.. අත් කොට කමිසයක් ඇඳගෙන, වැලමිටෙන් පල්ලෙහාට අඟුරු වෙලා. මූණ බලන්ඩ බෑ. හැබැයි මටනං නෙවෙයි. මගෙ ගෙදර උන්දෑට.
" යකෝ..." මට ඌරු ජුවල් නැංග....
" අහගනින්... මේ සරීර කූඩුව තව කාලයක් යද්දි කොහොමත් ගන්ඩ දෙයක් නැති පරඬැලක් වගේ පැද්දි පැද්දි තියෙයි....වැඩ කරත් වෙනව, නොකරත් වෙනව. ඊට මීට වැඩිය හොඳ නැද්ද මේකෙන් හොඳට වැඩ ගන්න එක...මේ කෙහෙල්මල් අැඟේ මොන මොන ලෙඩ රෝග තියෙනවද කියන්න අපි දන්නෑ. අපිත් දන්නැතුව දෙය්යොත් දන්නැතුව පරාන කූඩුව හග් ගාපුවහම ඉන්ඩ වෙයි නිකං කට බලියාන...මරලතෝනි දෙයි බොරුවට අනේ අප්පේ මගෙ දෙයියා කොයියියියි......කියාගෙන
"හිනාවෙන්ඩ එපා මෙතැන...." මම හෙමින් සැරේ අමාලි ලඟට කිට්ටු වුණා... මං දන්නව එයා මට තියෙන ආදරේට තමයි එහෙම කිව්වෙ කියල.
" මොනව කරන්ඩද වස්තුවේ.....මාත් කැමතියි..මගෙ මේ ඇඟ මීටත් වැඩිය ලස්සනට තියාගන්ඩ. මාත් කැමතියි මගෙ රත්තරං මේ ගේ ඇතුළෙම තියාගෙන ඉන්ඩ, ඉර අව්ව ගෑවෙන්ඩවත් නොදී තියාගන්ඩ. මට පුළුවන්කමක් තිබුණනම් මං ඔයාවත් අරන් මේ ගිනි ගන්න කාෂ්ඨකේ හේනට යන්නෑනෙ. ඔයාගෙ අත්දෙකේ දියපට්ට දානකං උදලු ගාව ගන්නෑනෙ. උදේ ඉඳන් රෑ වෙනකං වතුර හරවන්ඩ කියන්නෑනෙ....මේ ඔක්කොම අපෙ නැති බැරි කම හිංදනෙ....බය වෙන්ඩ එපා. කවදාක හරි දවසක අපිටත් අලුත් ඉරක් පායයි. මන් කියන්නෙ ඒ දවස එනකං අපිට පිනට වගේ ණයට කකා බිබී ඉන්ඩ හොඳ නෑ. අපිත් පුළුවන් හැටියට මොනාහරි කරන්ඩ ඕනෑ.....එහෙම නේද..?" එහෙම කියමින් මං අමාලිගෙ නළලට හීනියට වගේ පුංචි හාදුවක් තිබ්බා. එයා මගෙ මූණ දිහා ඇස් අඩවන් කරල බලාගෙන ඉඳල මගෙ උරහිස ළගින් මුණ තියා ගත්ත.
" ඒත් ඔයාට මීට වැඩිය දෙයක් කරන්ඩ ඇත්තෙම නැද්ද..." මම පාත්වෙලා අමාලිගෙ මූණ දිහා බැලුව..
" මොනවද මං කරන්ඩ ඕනෙ..? මොනවද මට කරන්ඩ පුළුවන්...? මොනවද අපිට කරන්ඩ ඉතිරිවෙලා තියෙන්නෙ.? " මං එයාගේ උරිස් දෙක මිරිකාගෙන ඇහුව.
" ඔයා ආපහු පින්තූර රාමු කරන්ඩ...."
" පින්තූර රාමු කරන්ඩ...! " මං පුදුමයෙන් වගේ ඇහුව.....
" ඇයි ඔයා කැමති නැද්ද ඒක කරන්න...මන්නං හිතන්නෙ ඔයා ආපහු ඒ වැඩේ කරනවනං හොඳයි කියලයි. එතකොට ඔයාට ආයෙ ගිනි අව්වෙ තපින්ඩ වෙන්නෑ...මටත් පුළුවන් ඔයාට උදව් කරන්ඩ...ඒක කරන ගමන් අපිට පුළුවන් ඒකට තව වෙනින් දෙයක් එකතු කරන්ඩ....."
එදා සති අන්ත නිවාඩුවට ගෙදර එන්න කියල හිතාන මං කොළඹ කොටුවෙන් ගමට යන එකම බස් එකට ගොඩ වැදුන. කොළඹ වැඩ කරන හැම කෙනෙක්ම වගේ මේ බස් එකේ ගෙදර යන නිසා ගමේ හුඟ දෙනෙක්ම බස් එකේදි හම්බ වෙනව. නානාප්‍රකාර යාචකාදීන්ගෙන් විතරක් නෙවෙයි නොයෙක් අන්දමේ භාණ්ඩ රැගත් වෙළෙන්දන්ගෙන්ද බස් රථය පිරී ඉතිරී යයි.
" රුපියල් සීයයි....රුප්පියල් සීයය්.. ගන්න ලස්සන බුද්ද පින්තූරයක් ගන්න ගෙදරට දොර උඩින් තියල හැමදාම මල් තියල වඳින්න සීවලී පින්තූරයක්...හේනට පැළට යනකොට කොල අත්තක් කඩල එල්ලන්න ගන්න පුල්ලෙයාර දෙයියන්ගෙ පින්තුරයක් ගෙදරට සීදේවිය කැන්දන සරස්වතී දේවියගේ පින්තූරයක් ගන්න..! ගන්න..!! මේ අන්තිම ටික රුපියල් සීයයි." එහෙම කිය කිය පින්තූර ටිකකුත් අතේ තියන් ආපු වෙළෙන්දෙක් අපි හිටිය බස් එකට ගොඩ වැදුන. මේ ජීවිතේටවත් අසා නැති දෙවිවරුන්ගේ පින්තූර ඔහු අත ඇත. ඒ විතරක් නොවේ ඒ හෑම දෙවි කෙනෙක් ගැනම පුංචි විවරණයක් තබන්නටද වෙළෙන්ඳා අමතක නොකලේය. මන්ද හුඟ දෙනෙක් දන්නේ සුමන සමන් දෙවියන් වහන්සේ අයියනායක විශ්නු වැනි අල්පයක් දෙවියන්ගේ රූපයන්ය. ඇත්තවශයෙන්ම මාද දැන සිටියේ ඉන් ස්වල්ප දෙනෙක් පමණි.
බසයේ හුඟ දෙනෙක් බුද්ධ පින්තූර කෙසේ වෙතත් දේව පින්තූර බොහොමයක් මිලදී ගන්නා අයුරු දුටිමි.
එහෙත් රුපියල් සීයයක් දී පින්තූරයක් ගැනීමට මගේ සිත අදි මදි කළේය. වෙළෙන්ඳා ගිය පසු බසයෙන් බැසගත් මා ඔහු පසුපසම ඇදුනෙමි...
" අයියෙ .. අයියෙ.." ඔහු ආපසු හැරිණ.
" අයියෙ , පොඩි උදව්වක් කරන්ඩ පුළුවන්ද ...." මම විමසුවෙමි. එහෙත් මා ඔහුගෙන් හරි පිළිතුරක් අපේක්ෂා නොකළෙමි. මන්ද එය අල්ලපු ගෙදරින් ණයට මුදලක් ඉල්ලගන්නා සේය.
" කියන්ඩ...කියන්ඩ ඉක්මණට ...මට වැඩ තියෙනවා....." පෙනුම රෞද්‍ර වු මුත් ඔහු කරුණාවන්ත මහතෙකැයි මට සිතුණී.
" අයියෙ මට තරහ නැතුව කියන්ඩ පුළුවන්ද ඔය පින්තූර අයිය ගන්නෙ කොහෙන්ද කියල..."මම බැගෑපත් වුණෙමි.
" හරස් වීදියෙන්...දෙවැනි හරස්වීදියෙන්....." යැයි කියාගෙන ඔහු ඊළඟ බසයට නැඟ ගත්තේය.
බසය පිටත් වීමට පෑ භාගයක් පමණ තිබුණි. මම දිව්වෙමි. වේගයෙන් දිව්වෙමි. දෙවැනි හරස්වීදිය සොයා දිව ගියෙමි. එහෙත් ඒ වන විටත් හරස්වීදි වසා දමා පැය පහාමාරකුත් ගෙවී තිබුණී. එදින මම නොදැන සිටියෙමි. හරස්වීදියේ සාප්පු කඩ වසා දමන වේලාව. බලාපොරොත්තු කඩවුණු දෙනෙතින් මම බස්රථය වෙත දිව ආවෙමි. එහෙත් මගේ සිරුර පුරා පමණක් නොව ශරීරයේ ඇති හැම නහරයක් පුරාම මා, පින්තූර රැගෙන වෙළඳාම් කරන යුරු ගලා ගියේ අධික වේගයෙනි.
නැවත දිනෙක මම දෙවන හරස්වීදියේ කඩයකින් විවිධ වර්ගයේ පින්තූර තෝරන අයුරුත් ඒවායේ මිළ ගණන් කතා කරන අයුරුත් බසයේ යන අතරතුර සිහිනයෙන් පෙනුනි.
Thursday, October 6, 2016
මම ලිවීම අත්හැරියෙමි - 04
එදා රෑ බෝ වෙන්න කලියෙන් අමාලියි මායි ගෙදර ආව. අමාලි ගෙදර වැඩ කරන්න පටන් ගත්ත අතර තුරේ මං හෙමි හෙමිහිට ගේ ඉස්සරහ තියෙන බෝක්කුව ගාවට සේන්දු වුණා. බෝක්කු කටින් එන වතුර පාර වැදිලා වත්තෙ තියෙන පස්ටික ගැලවිලා යයි කියන බයට අමාලිගෙ අම්ම කාලෙකට කලිං උණ පඳුරක් ගෙනැත් හිටෙව්ව. දැන් හොඳට පඳුරු ගහල ඇවිල්ල. මං බෝක්කුව උඩ ඉන්නවද කියල ගෙදර කිසි කෙනෙකුට පේන්නෑ. කුඩා බොරළු ගල් කැට කීපයක් අතට අරගෙන උණ පඳුරේ මුල් වලට ගගහ උන්න.
මිනිස්සුන්ට කවදාවත්නම් තමන්ගෙ අතීතයට නැවත වරක් යන්න ලැබෙන්නෙ නෑ. මට මතකයි ඉස්සර කතන්දර පොතක් කියවද්දී තිබුණ එක් දේවතාවියක් ඇවිත් මිනිහෙකුට කිව්වලු ඔයාට කැමති වරමක් ඉල්ලන්න කියල. ඒ මනුස්සය ඉල්ලල තියෙන්නෙ තමන්ට සැප පහසුවට ජීවත් වෙන්න අවශ්‍ය සියළුම දේවල්. යාන වාහන, වතු පිටි, හරක බාන , ගෙවල් දොරවල් ආදිය. මෝඩ මිනිහෙක් කියල මට එදා නම් හිතුනෙ නෑ...ඒත් දැන්නම් මට හිතෙනව ඒ මනුස්සය මහම මහ මරි මෝඩ මිනිහෙක් කියල. අනේ ඒ දේවතාවිය මේ දැන් මං ඉස්සරහ පෙනී ඉඳල මට වරමක් දුන්නොත් මං ඉල්ලන්නෙ මගේ ළමා කාලය ආයෙත් මට දෙන්න කියල. කොච්චර සුන්දර ද ඒ ළමා කාලය කියල හිතෙන්නෙ දැන්. අපෝ... කවදාවත් දකින්නවත් ලැබෙන්න හොඳ නෑ කියල හිතන අයත් ඕන තරම් ඇති...ඔව් ඒවගෙ ඇත්තකුත් ඇති. මමත් එහෙමයි මගෙ මුළු ළමා කාලෙත් මම සැප වින්දෙ නෑ...දුකම තමා. පුංචි කාලෙ අපි ඉල්ලන හැම දේම අරගෙන දෙන්න අපේ දෙමාපියන්ට වත්කමක් තිබ්බෙ නෑ. අපි ඉල්ලන හැම කෑමක්ම අරගෙන දෙන්න අපෙ දෙමාපියන්ට වත්කමක් තිබ්බෙ නෑ..කොටින්ම කියනවනම් සමහර දවස්වලට පැන්සලක් පෑනක් අරගෙන දෙන්න වත්කමක් අපෙ දෙමාපියන්ට තිබුණෙ නෑ...ඒත් අද ගෙවල් වල පොත් පෑන් පාට පැන්සල් තොග පිටින් ගෙනැල්ල ගෙවල්වල පුරවලා තියෙන්නෙ....
" ලොකු පුතේ අපි හේනට ගියා මල්ලිත් එක්ක හේනට එන්න " අම්ම අඟුරු කෑල්ලකින් ඉස්සරහ දොරේ ලියල තියල ගිහිල්ල. දෙවැනි තුන්වැනි දවස්වලත් අම්ම එහෙම ලියල ගිහිං තිබුණ. එදා ඉඳන් ආයෙ කවදාවත් ඒ වැකිය දොරෙන් මැකිල ගියෙ නෑ හරියට බාල ගිරි දෝෂය අද නොවේ හෙට කියල කියන්නා වගේ. අපි පොත් ටික තියල හැමදාම හේනට යනව. අපිට යන්න පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ. ඒත් අයිය ගාව තිබුණ කුඹුක් මුලෙන් රෝද කපල හදපු කරත්තයක්. අයිය ඒකෙ රෝදවලට රේෂර් එහෙම දාල සුපිරියටම හදල තිබ්බ. ඉතිං අයිය මාව ඒක උඩ නංවාගෙන හේනටම තල්ලුකරනව. අයිය අද වගේම තමා එදත් කම්මැලි නෑ. මං හිතන්නෙ අයියගෙ ශබ්ද කෝෂේ එහෙම වචනයක් නොතිබෙන්ට ඇති. හැබැයි ආයෙ එද්දිනම් එයා මාව ඉන්ඳවගෙන එන්නෙ නෑ. ඒ වෙනුවට තාත්ත පලල දුන්න බුරුත දර තොගයක් පටවගෙන එනව.
සමහර දවස්වල ඉස්කෝලෙ ඇරුණම හේනට එන්න කියල අම්ම උදේ ඉස්කෝලෙ යන්න කලින් කිවුවත් කොල්ලො කුරුට්ටොත් එක්ක රංචු ගැහිල එනකොට අම්මගෙ උපදෙස අමතක වෙනව. දන්නෙම නැතුව ගෙදර යනකොට, ඉස්සරහ දොරේ ගහල තියෙන සදාතනික වාක්‍ය ඛණ්ඩය දකිනකොට තමා මතක් වෙන්නෙ උදේ අම්ම කියපු දේවල්..බඩගින්න උහුලන්න බෑ.. අඩුම ගානෙ බත් මුට්ටියේ දංකුඩේ හරි තියෙනව කියන්න මම දන්නව. කවදාවත් පොල්ටිකක් ගාල දීල අම්මට උදව්වක් නොකරපු මම ඒ වෙලාවෙ නං පොල් ටිකක් ගාගෙන බත් එකට දාගෙන කනව. මාරම රසයක් දැනෙන්නෙ. හැබැයි ලුණු වතුර ටිකකුත් ඉහගන්න ඕනෙ. එහෙම කාල ඉවරවෙලා ආයෙ පටන් ගන්නවා හේනට ගාටන්ට.
උණපඳුර අස්සෙන් මං එබිකං කරල බැලුව..හැල හොල්මනක් නෑ. අමාලි ගේ ඇතුළට වෙලා තාම උයනව. එහෙම කීවෙ වෙන කවුරුවත් නෙවී, පෝරණුවෙ කවුළු අස්සෙන් ගුලි වෙවී ඈත අහසට ඇදී යන දූම වලාවන්. ඒ කාලෙ මං තුන වසරෙ. තාම මතකයි එදා වගේ. පුංචි වුණත් ගොවිතැන් වැඩට මං හරි ආසයි. හැබැයි අම්මට තාත්තට උදව් වෙන්න හුඟාක් කම්මැලියි. තලගොල්ලෙ ගෙදර මාමලත් එක්ක අපි ඒ දවස්වල ගොඩක් ලඟින් ආශ්‍රය කරා. එහෙ තමයි අපි වගා කරේ. අයියටයි මටයි මිරිස් හදා ගන්න කියල පාත්ති දෙකක් දීල තිබුණ. මට මතක හැටියට වලවල් පණහක් හැටක් මේ එක පාත්තියක හිටවන්ට පුළුවන්. අයියයි මායි දෙන්නය මිරිස් හැදුව. උදලු ගානව. වතුර දානව..පොහොර දානව ..බලාගෙන ඉද්දි මිරිස් පැල රිකිලි දදා ආව. පොලොව පේන්නෑ. ඒ තරමට මිරිස් පැල. දෙන්නගෙම එක වගේ. හැබැයි සමහර තැන්වල තියෙනව හොඳටම හැදුන්නැති මිරිස් ගස්...
දවසක් මම ඔක්කෝටම කලින් තලගොල්ලෙ මාමලාගෙ ගෙදර ගියා. අජිත් අයියත් එක්ක සෙල්ලං කරන්න හිතාන. තලගොල්ලෙ මාමගෙ දෙවැනි පුතා මට එක අවුරුද්දයි වැඩිමල්..ගෙදර යනකොට හිටියෙ තලගොල්ලෙ මාමගෙ නැන්ද...
"පුතේ අර ඔයාගෙ මිරිස් පාත්තියෙ සවුත්තු මිරිස් ගස් වගයක් තියෙනව නේද? මං කියන්ඩද වැඩක් ඔයා අයියගෙ පාත්තියෙන් හොඳ ටිකක් ගලවලා අරගෙන ඔයාගෙ පැත්තෙ හිටවන්ඩ...මං කාටවත් කියන්ඩ යන්නෙ නෑ ඔයා ගැලෙව්ව කියල.." තලගොල්ලෙ මාමගෙ නැන්ද කිව්ව. කොහොමද නැන්දගෙ මොලේ මාමගෙ වගේද කියල මාත් අයිය එහෙම එන්ඩ කලිං අයියගෙ පාත්තියෙ තිබිච්චි හොඳම මිරිස් පැළ ටිකක් අරං මගෙ පාත්තියෙ ඉන්දලා ඒවගෙ හිස්තුන්වලට මගෙ කුණාටු ගැහිච්ච ගස් ටිකක් ඉන්දව්ව...කොහොමද මගෙ ටිකිරි මොලේ කියල මං සද්ද නොකර හිටිය....ටිකක් වෙලා යනකොට අපේ ගෙදර ඔක්කොම ටික ආව. අයියත් ඉතිං මං වගේම තමයි ආපු ගමන්ම දුවගෙන යන්නෙ එයාගෙ මිරිස් පාත්තිය බලන්න. මිරිස් පාත්තිය බලන්න ගියා විතරයි අයිය අඬාගෙන දුවගෙන ආව අම්මලා ගාවට. එයාගෙ පාත්තියෙ හේ ගිහං තිබිච්ච මිරිස් ගස් දැකල එයාල දුක් වුණා... මිරිස් ගස් වලට මොකක් හරි ලෙඩක් එන්නැති පුතේ කියල අම්ම අයියගෙ ඔලුව අතගාල සැනසුවා. එන්ඩ හදනකොටතමා අම්ම මගෙ මිරිස් පාත්තිය බැලුවෙ. දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මගෙ පාත්තියෙත් මිරිස් ගස් ටිකක් හේ ගිහිල්ල. අම්ම මගෙ මූණ දිහා බැලුව. ඒ වෙලාවෙ මිරිස් පැළවලටත් වඩා මගෙ මූණ හේ ගිහිල්ල තිබ්බ. අයිය මට ගහපු පාරට මගෙ කණ ටීන් ගෑව....තාත්ත කූරටිය කෝට්ටක් අරගෙන, හවස අම්ම ලව්ව මගෙ කකුල් දෙකේ පොල්තෙල් ගාන්න සැලස්සුවා එච්චරයි.
අයියගෙන් ගලවගත්ත මිරිස් ගස් ගාණට එයා මගෙ පැත්තෙන් වැඩිපුරත් එක්ක මිරිස් පැළ අයිතිකරගත්ත.
තලගොල්ලෙ මාමගෙ නැන්ද කිසිත් නොවිච්චි ගානට හිනා වෙවී බලාන හිටිය. මං එදත් මිනිස්සු විශ්වාස කරා. වෙලාවකට හිතෙනවා මං අදත් ඒ වගේ මිනිස්සු විශ්වාස කරනවද කියල. සමහරවිට එහෙම වෙනව ඇති කියල මං හිතනවා. හැබැයි එකවසරට දාන්න සපත්තු කුට්ටමක් තාත්ත අරන් දුන්නට පස්සෙ ඊලඟ සපත්තු කුට්ටම ගත්තෙ මගේම සල්ලිවලින්.....මගේ මහන්සියෙන් මිරිස් හදල වතුර දාල පොහොර දාල උදලුගාල කඩල වේලල විකුණල ගත්ත සල්ලිවලින් හිංද මට අදටත් ආඩම්බරයක් දැනෙනව.
"ඒයි..........." අමාලිගෙ කටහඬ ඇහුණ.....මම හෙමින් සැරේ ගේ පැත්තට ඇදුනෙමි.
======================මතු සම්බන්ධයි========================
Subscribe to:
Posts (Atom)


