Thursday, October 6, 2016
මම ලිවීම අත්හැරියෙමි - 04
එදා රෑ බෝ වෙන්න කලියෙන් අමාලියි මායි ගෙදර ආව. අමාලි ගෙදර වැඩ කරන්න පටන් ගත්ත අතර තුරේ මං හෙමි හෙමිහිට ගේ ඉස්සරහ තියෙන බෝක්කුව ගාවට සේන්දු වුණා. බෝක්කු කටින් එන වතුර පාර වැදිලා වත්තෙ තියෙන පස්ටික ගැලවිලා යයි කියන බයට අමාලිගෙ අම්ම කාලෙකට කලිං උණ පඳුරක් ගෙනැත් හිටෙව්ව. දැන් හොඳට පඳුරු ගහල ඇවිල්ල. මං බෝක්කුව උඩ ඉන්නවද කියල ගෙදර කිසි කෙනෙකුට පේන්නෑ. කුඩා බොරළු ගල් කැට කීපයක් අතට අරගෙන උණ පඳුරේ මුල් වලට ගගහ උන්න.
මිනිස්සුන්ට කවදාවත්නම් තමන්ගෙ අතීතයට නැවත වරක් යන්න ලැබෙන්නෙ නෑ. මට මතකයි ඉස්සර කතන්දර පොතක් කියවද්දී තිබුණ එක් දේවතාවියක් ඇවිත් මිනිහෙකුට කිව්වලු ඔයාට කැමති වරමක් ඉල්ලන්න කියල. ඒ මනුස්සය ඉල්ලල තියෙන්නෙ තමන්ට සැප පහසුවට ජීවත් වෙන්න අවශ්‍ය සියළුම දේවල්. යාන වාහන, වතු පිටි, හරක බාන , ගෙවල් දොරවල් ආදිය. මෝඩ මිනිහෙක් කියල මට එදා නම් හිතුනෙ නෑ...ඒත් දැන්නම් මට හිතෙනව ඒ මනුස්සය මහම මහ මරි මෝඩ මිනිහෙක් කියල. අනේ ඒ දේවතාවිය මේ දැන් මං ඉස්සරහ පෙනී ඉඳල මට වරමක් දුන්නොත් මං ඉල්ලන්නෙ මගේ ළමා කාලය ආයෙත් මට දෙන්න කියල. කොච්චර සුන්දර ද ඒ ළමා කාලය කියල හිතෙන්නෙ දැන්. අපෝ... කවදාවත් දකින්නවත් ලැබෙන්න හොඳ නෑ කියල හිතන අයත් ඕන තරම් ඇති...ඔව් ඒවගෙ ඇත්තකුත් ඇති. මමත් එහෙමයි මගෙ මුළු ළමා කාලෙත් මම සැප වින්දෙ නෑ...දුකම තමා. පුංචි කාලෙ අපි ඉල්ලන හැම දේම අරගෙන දෙන්න අපේ දෙමාපියන්ට වත්කමක් තිබ්බෙ නෑ. අපි ඉල්ලන හැම කෑමක්ම අරගෙන දෙන්න අපෙ දෙමාපියන්ට වත්කමක් තිබ්බෙ නෑ..කොටින්ම කියනවනම් සමහර දවස්වලට පැන්සලක් පෑනක් අරගෙන දෙන්න වත්කමක් අපෙ දෙමාපියන්ට තිබුණෙ නෑ...ඒත් අද ගෙවල් වල පොත් පෑන් පාට පැන්සල් තොග පිටින් ගෙනැල්ල ගෙවල්වල පුරවලා තියෙන්නෙ....
" ලොකු පුතේ අපි හේනට ගියා මල්ලිත් එක්ක හේනට එන්න " අම්ම අඟුරු කෑල්ලකින් ඉස්සරහ දොරේ ලියල තියල ගිහිල්ල. දෙවැනි තුන්වැනි දවස්වලත් අම්ම එහෙම ලියල ගිහිං තිබුණ. එදා ඉඳන් ආයෙ කවදාවත් ඒ වැකිය දොරෙන් මැකිල ගියෙ නෑ හරියට බාල ගිරි දෝෂය අද නොවේ හෙට කියල කියන්නා වගේ. අපි පොත් ටික තියල හැමදාම හේනට යනව. අපිට යන්න පුස් සයිකලයක්වත් තිබ්බෙ නෑ. ඒත් අයිය ගාව තිබුණ කුඹුක් මුලෙන් රෝද කපල හදපු කරත්තයක්. අයිය ඒකෙ රෝදවලට රේෂර් එහෙම දාල සුපිරියටම හදල තිබ්බ. ඉතිං අයිය මාව ඒක උඩ නංවාගෙන හේනටම තල්ලුකරනව. අයිය අද වගේම තමා එදත් කම්මැලි නෑ. මං හිතන්නෙ අයියගෙ ශබ්ද කෝෂේ එහෙම වචනයක් නොතිබෙන්ට ඇති. හැබැයි ආයෙ එද්දිනම් එයා මාව ඉන්ඳවගෙන එන්නෙ නෑ. ඒ වෙනුවට තාත්ත පලල දුන්න බුරුත දර තොගයක් පටවගෙන එනව.
සමහර දවස්වල ඉස්කෝලෙ ඇරුණම හේනට එන්න කියල අම්ම උදේ ඉස්කෝලෙ යන්න කලින් කිවුවත් කොල්ලො කුරුට්ටොත් එක්ක රංචු ගැහිල එනකොට අම්මගෙ උපදෙස අමතක වෙනව. දන්නෙම නැතුව ගෙදර යනකොට, ඉස්සරහ දොරේ ගහල තියෙන සදාතනික වාක්‍ය ඛණ්ඩය දකිනකොට තමා මතක් වෙන්නෙ උදේ අම්ම කියපු දේවල්..බඩගින්න උහුලන්න බෑ.. අඩුම ගානෙ බත් මුට්ටියේ දංකුඩේ හරි තියෙනව කියන්න මම දන්නව. කවදාවත් පොල්ටිකක් ගාල දීල අම්මට උදව්වක් නොකරපු මම ඒ වෙලාවෙ නං පොල් ටිකක් ගාගෙන බත් එකට දාගෙන කනව. මාරම රසයක් දැනෙන්නෙ. හැබැයි ලුණු වතුර ටිකකුත් ඉහගන්න ඕනෙ. එහෙම කාල ඉවරවෙලා ආයෙ පටන් ගන්නවා හේනට ගාටන්ට.
උණපඳුර අස්සෙන් මං එබිකං කරල බැලුව..හැල හොල්මනක් නෑ. අමාලි ගේ ඇතුළට වෙලා තාම උයනව. එහෙම කීවෙ වෙන කවුරුවත් නෙවී, පෝරණුවෙ කවුළු අස්සෙන් ගුලි වෙවී ඈත අහසට ඇදී යන දූම වලාවන්. ඒ කාලෙ මං තුන වසරෙ. තාම මතකයි එදා වගේ. පුංචි වුණත් ගොවිතැන් වැඩට මං හරි ආසයි. හැබැයි අම්මට තාත්තට උදව් වෙන්න හුඟාක් කම්මැලියි. තලගොල්ලෙ ගෙදර මාමලත් එක්ක අපි ඒ දවස්වල ගොඩක් ලඟින් ආශ්‍රය කරා. එහෙ තමයි අපි වගා කරේ. අයියටයි මටයි මිරිස් හදා ගන්න කියල පාත්ති දෙකක් දීල තිබුණ. මට මතක හැටියට වලවල් පණහක් හැටක් මේ එක පාත්තියක හිටවන්ට පුළුවන්. අයියයි මායි දෙන්නය මිරිස් හැදුව. උදලු ගානව. වතුර දානව..පොහොර දානව ..බලාගෙන ඉද්දි මිරිස් පැල රිකිලි දදා ආව. පොලොව පේන්නෑ. ඒ තරමට මිරිස් පැල. දෙන්නගෙම එක වගේ. හැබැයි සමහර තැන්වල තියෙනව හොඳටම හැදුන්නැති මිරිස් ගස්...
දවසක් මම ඔක්කෝටම කලින් තලගොල්ලෙ මාමලාගෙ ගෙදර ගියා. අජිත් අයියත් එක්ක සෙල්ලං කරන්න හිතාන. තලගොල්ලෙ මාමගෙ දෙවැනි පුතා මට එක අවුරුද්දයි වැඩිමල්..ගෙදර යනකොට හිටියෙ තලගොල්ලෙ මාමගෙ නැන්ද...
"පුතේ අර ඔයාගෙ මිරිස් පාත්තියෙ සවුත්තු මිරිස් ගස් වගයක් තියෙනව නේද? මං කියන්ඩද වැඩක් ඔයා අයියගෙ පාත්තියෙන් හොඳ ටිකක් ගලවලා අරගෙන ඔයාගෙ පැත්තෙ හිටවන්ඩ...මං කාටවත් කියන්ඩ යන්නෙ නෑ ඔයා ගැලෙව්ව කියල.." තලගොල්ලෙ මාමගෙ නැන්ද කිව්ව. කොහොමද නැන්දගෙ මොලේ මාමගෙ වගේද කියල මාත් අයිය එහෙම එන්ඩ කලිං අයියගෙ පාත්තියෙ තිබිච්චි හොඳම මිරිස් පැළ ටිකක් අරං මගෙ පාත්තියෙ ඉන්දලා ඒවගෙ හිස්තුන්වලට මගෙ කුණාටු ගැහිච්ච ගස් ටිකක් ඉන්දව්ව...කොහොමද මගෙ ටිකිරි මොලේ කියල මං සද්ද නොකර හිටිය....ටිකක් වෙලා යනකොට අපේ ගෙදර ඔක්කොම ටික ආව. අයියත් ඉතිං මං වගේම තමයි ආපු ගමන්ම දුවගෙන යන්නෙ එයාගෙ මිරිස් පාත්තිය බලන්න. මිරිස් පාත්තිය බලන්න ගියා විතරයි අයිය අඬාගෙන දුවගෙන ආව අම්මලා ගාවට. එයාගෙ පාත්තියෙ හේ ගිහං තිබිච්ච මිරිස් ගස් දැකල එයාල දුක් වුණා... මිරිස් ගස් වලට මොකක් හරි ලෙඩක් එන්නැති පුතේ කියල අම්ම අයියගෙ ඔලුව අතගාල සැනසුවා. එන්ඩ හදනකොටතමා අම්ම මගෙ මිරිස් පාත්තිය බැලුවෙ. දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මගෙ පාත්තියෙත් මිරිස් ගස් ටිකක් හේ ගිහිල්ල. අම්ම මගෙ මූණ දිහා බැලුව. ඒ වෙලාවෙ මිරිස් පැළවලටත් වඩා මගෙ මූණ හේ ගිහිල්ල තිබ්බ. අයිය මට ගහපු පාරට මගෙ කණ ටීන් ගෑව....තාත්ත කූරටිය කෝට්ටක් අරගෙන, හවස අම්ම ලව්ව මගෙ කකුල් දෙකේ පොල්තෙල් ගාන්න සැලස්සුවා එච්චරයි.
අයියගෙන් ගලවගත්ත මිරිස් ගස් ගාණට එයා මගෙ පැත්තෙන් වැඩිපුරත් එක්ක මිරිස් පැළ අයිතිකරගත්ත.
තලගොල්ලෙ මාමගෙ නැන්ද කිසිත් නොවිච්චි ගානට හිනා වෙවී බලාන හිටිය. මං එදත් මිනිස්සු විශ්වාස කරා. වෙලාවකට හිතෙනවා මං අදත් ඒ වගේ මිනිස්සු විශ්වාස කරනවද කියල. සමහරවිට එහෙම වෙනව ඇති කියල මං හිතනවා. හැබැයි එකවසරට දාන්න සපත්තු කුට්ටමක් තාත්ත අරන් දුන්නට පස්සෙ ඊලඟ සපත්තු කුට්ටම ගත්තෙ මගේම සල්ලිවලින්.....මගේ මහන්සියෙන් මිරිස් හදල වතුර දාල පොහොර දාල උදලුගාල කඩල වේලල විකුණල ගත්ත සල්ලිවලින් හිංද මට අදටත් ආඩම්බරයක් දැනෙනව.
"ඒයි..........." අමාලිගෙ කටහඬ ඇහුණ.....මම හෙමින් සැරේ ගේ පැත්තට ඇදුනෙමි.
======================මතු සම්බන්ධයි========================
Labels:
ඊයේ අද සහ හෙට
Subscribe to:
Post Comments (Atom)
හිතට හොඳ දැනුණා. ලිවීමේ හැකියාව උපරිම.
ReplyDeleteහොඳට
Deleteස්තූතියි ඉයන්
Deleteපට්ටයි මචං...
ReplyDeleteකලින් ටික බලන්න බැරි උනා, ඒවත් හිමීට කියවගෙන එන්නං...
ස්තූතියි ලොකූ
Deleteපහුගිය කොටස් ටික වගේම මේකත් ආසාවෙන් කියෙව්වා. අමාලි උයපුවා කාලා එනකන් අපිට මගබලන් ඉන්න වෙනවා.
ReplyDeleteජයවේවා!!!
රෑ කෑමට පස්සේ බිසී වෙයිනෙ. අපිට හෙට උදේ වෙනකන් ඉන්න වෙයි දුමින්ද?
Deleteඒත් වැව්ගේ රසපිරි මේ අකුරුකිරීම හින්දම හෙට දවස අද එනවනම් කොච්චර හොඳද, ඉයන්.
Deleteජයවේවා!!!
දුමී, එයා ටිකක් හෙමින් සැරේ උයන නිසා ටිකක් පරක්කු වේවි...
Deleteඉයන්, කාටත් පොදු ධර්මතාවයක්නෙ නේද....
තෑන්ක්ස් දුමී ඉයන්
එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයො මිනී මරාගන්න තත්වෙට පත් කරන්නෙ ඔය තලගොල්ලෙ මාමගෙ නැන්ද වගේ අය තමයි.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට ඕන.
අනිවාර්යයෙන්ම ප්‍රසන්න...
Delete//කොටින්ම කියනවනම් සමහර දවස්වලට පැන්සලක් පෑනක් අරගෙන දෙන්න වත්කමක් අපෙ දෙමාපියන්ට තිබුණෙ නෑ...ඒත් අද ගෙවල් වල පොත් පෑන් පාට පැන්සල් තොග පිටින් ගෙනැල්ල ගෙවල්වල පුරවලා තියෙන්නෙ.//
ReplyDeleteමේක කියවල මට මගේ පුංචි කාලෙ මතක් වුණා. අපි පැන්සල අඟලක් විතර දක්වා ලියලා ඒ කෑල්ල ප්ලැටිග්නම් බටයක දමාගෙනත් අන්තිම වෙනකං අකුරු ලියලා තිබෙනවා. නමුත් දැන් ඉන්න දරුවො පැන්සල්, පෑන් නාස්ති කරන හැටි දැක්කාම දුක හිතෙනවා.
උඹේ ලියමන් හරි අපූරුයි, ජීවිතේ පැරණි මතකයන් එක්ක රස්තියාදු වෙන්න. ජය !
තෑන්ක්ස් ප්‍රභාත්
Deleteමහදිග කතාවක්. නමුත් කියවන්න සහ සිතටගන්න යමක් තියනවා.
ReplyDeleteගුණ දොස් එක වගේ
Deleteමීවිතක රස නැගේ
අතඇරියයි කියනව කොහොමද දන්නැ
ReplyDeleteඅතඇරීමේ අවසානය නිවන
Delete//අනේ ඒ දේවතාවිය මේ දැන් මං ඉස්සරහ පෙනී ඉඳල මට වරමක් දුන්නොත් මං ඉල්ලන්නෙ මගේ ළමා කාලය ආයෙත් මට දෙන්න කියල. //
ReplyDeleteමම නම් ඉල්ලන්නේ දැන් මම ගත කරන ජිවිතය දිගටම තියාගන්න ලැබෙන වරයක්.. හි හී
කතාව හරි අපූරුයි වැව්.. කවුරු මොනවා කිව්වත් කලත් තමන් තමන්ගේ හිතට අවංක නම් කිසිම කෙනෙකුට ඒ හිත පරද්දන්න බැහැ..
සෑහෙන දවසකින් ආවේ. කතාව ලස්සනට ඇදිල ගිහින්.
ReplyDelete