Tuesday, September 15, 2020

ඇය මගේ බිරිඳය

විකසිත වෙමින් හිරු ඝනදුර වෙත රැව්වා
සඳසේ යමින් හෙමිහිට සොමි රස එව්වා
වියැළුණු ලී කැබැලි එකිනෙක ලිප සෙව්වා
ඇයගේ දෑත මත නෙක දිව රස මැව්වා

හිමි නැති ලඟක පාතක හුදෙකලාව
තරණය කළා ඇය දිවි මං තලාව
තම දරුවන්ට මැව් ගුරු තක්ෂලාව
රස අඳුනකිය පෙන්නූ දිවි කලාව

දරුවන් තුන්දෙනෙකි මා වෙනුවෙන් වැදුව
දිව මැණිකක්ය මට දෙව් බඹු ලොව හැදුව
මගෙ මාපියන් උස් ආසන මත හිඳුව
උපමා කුමට නුඹමයි අඹරෙහි සඳුව

පැද යන විටදි ඔරුවට හයියක් වෙන්න
සිදුවුණි නුඹගෙ දෑතට හබලක් ගන්න
අත්ලෙහි සිනිඳුබව ගත් රකුසන් ගොන්න
මං හින්දාය පොඩියක් තව ඉවසන්න

හුරුළු වැවට වැටෙන දිය කඩ කුමට
මගේ පියඹ ඩා බිදු ඇත පිරෙන්නට
නියං සාව දුක් විඳිනා ගොවියනට
මගේ පියඹ උපහැරණෙකි දරන්නට

මාස් මහයි පන්ති මුදල් හරි ගෙවන්ට
ගාස්තුවත් මදිවෙයි වියදං දෙන්ට
වාස් වේගයෙනි දරුවන් ගෙට ගන්ට
ගෑස් නැතුව ඇත සිව් මස ලං වෙන්ට

ඇයටයි මගේ මේ කවි පද උපහාර
පුදනෙමි මතුවටත් එක අකුරක් නෑර
දුක සැප එකට විඳි මා හද නොම පාර
ඇය වෙදදුරෙකි දිවියට ඒකාකාර

6 comments:

  1. ඔබේ බිරිඳට සුභ පැතුම්

    ReplyDelete
  2. හුඟ කලකින් නේද අයියෙ

    ReplyDelete
  3. අපොයි වැවාගෙ ලියවිල්ලක් දැක්ක කල්...

    මොකෝ වෛෆ් ඔරුවක් පදිනවය කියන්නෙ? බෝයිස් ටවුන් ළඟ වැවේ ද? :D

    ReplyDelete
  4. වැව් ඉස්මත්තෙ හාමිනේට දීර්ඝායුෂ ලැබේවා!

    (ගැළපෙන සුභ පැතුමක් ගැන කල්පනා කරල කරල තමයි මේක ලිව්වෙ... දෙන්න දෙමාල්ලො අතරෙ තියෙන බැඳීම ගැන තියෙන සංකීර්ණ හැඟීම අකුරු කරන්න හරි අමාරුයි.)

    ReplyDelete
    Replies
    1. හුඟ කාලෙකින් ඩ්‍රැකී. නෑ බං දැන් ගමේ ගිහින් ඉන්නෙ..ස්තූතියි උඹට..හුග කලකින් ලිව්වෙ නැහැ.පුලු පුලුවන් විදියට ටික ටික හරි ලියනවා...

      Delete