Wednesday, January 8, 2025

CLEAN SRI LANKA වෙනසක් වෙනුවෙන් වෙනසක්


 CLEAN SRI LANKA  යටතේ විවිධ වෙනසකම් සිදුවෙමින් පවතී. ඇතැමෙක් එයින් යහපතක් දකී. ඇතැමෙක් එය ඔවුන්ට පුද්ගලිකව එල්ලකල මරු පහරක් සේ දකී. ඕනෑම තීරණයක හොඳ නරක දෙක අඩු වැඩි වශයෙන්ද පවතී. කෙසේ නමුත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රටේ සංවර්ධනය කෙරෙහි යහපත් වූ සංකල්පයක්  යැයි මට හැඟේ. එමෙන්ම එහි වැඩි වශයෙන් දක්නට ඇත්තේ යහපත් දේ යැයි ද මම විශ්වාස කරමි. මෙවැනි දේවල් සිදු කරද්දී පුද්ගලික එදිරිවාදිකම්ද ඉස්මතුවීම වැළක්වීම ඉතාමත් දුෂ්කර කාර්යයකි. 

වසර ගණනක් ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගෙන ඇති සංකල්පයන් වෙනස් කිරීම ඉතාමත්ම අපහසුය. එහෙත් එහි මූලයන් ඇද්දවීමට සැලැස්වුවහොත් මිනිසුන් ඒ තුළ රැඳෙනු ඇත. සිදුව ඇත්තේ අලුත් ක්‍රමයකට මිනිසුන් හුරු කරවා ගැනීමේ අපහසුතාවය. පැළයක් රෝපණය කර එය වර්ධනය කිරීමට එයට අවශ්‍ය හිරුඑළිය, ජලය, පොහොර සපයන්නා සේම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාතිය කිරීමේදී මහජනතාව තුළද එවැනි තත්ත්වයක් ඇති කළ යුතුය. හැමදාම කුඹුරට යාම තුළිනුත්, කටහඬ ඇසීම තුළිනුත් විශාල අස්වැන්නක් ලැබෙන බව පුරාණ ගොවියන් දන්නා කරුණකි. ඒ අනුව මෙවැනි ව්‍යාපෘති සඳහාද පුරාණ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ආදර්ශයට ගත හැකිය. ක්ලීන් ශ්‍රී ලංකා අප්‍රසන්න වීම නොව ප්‍රසන්න වන ආකාරයට කටයුතු කළ යුතුය.

සියලු දේවල් සිදුකරනු ලබන්නේ පිටසක්වල වෙසෙන ජීවීන් කොට්ඨාශයකට හෝ විදේශයක ජීවත්වන ජීවීන් කොට්ඨාශයකට නොව රටේ අති බහුතරයක් ඡන්දය ලබා දුන් පිරිසක් සිටින රටකටය. ආණ්ඩුව අපට අවශ්‍යය යැයි තම ඡන්දය දුන් පුරවැසියන් සිටින රටකටය. ඉතා අඩු කාලයකින් ජරාජීර්ණ වූ යාන්ත්‍රණයක් වෙනස් කළ නොහැකිවා සේම එය ආණ්ඩුව පත් වී ඉතා අඩු කාල සීමාවකදී  සිදු නොකල හැකි බවද ඡන්දය දුන් ඒ සියලු දෙනාමද හොඳින්ම දන්නා කරුණක් මෙන්ම,  සමාජීය, සංස්කාතික මෙන්ම ආර්ථික වශයෙන්  සංවර්ධිත ලස්සන රටක් බලාපොරොත්තුවෙන්  එම මහජනයා ඉතාමත් ආයාසයෙන් ඒ සියල්ල ඉවසා දරාගෙන සිටී. 

ආණ්ඩුවකට ඉතා කෙටිකාලයකින් මෙරට සුර පුරයක් කිරීමට අවශ්‍ය වෙනස සිදු කිරීමට නොහැකිවා මෙන්ම, විවිධ මානසික මට්ටම් වලින්, අධ්‍යාපනික මට්ටම්වලින්, බුද්ධි මට්ටම්වලින්, සමාජයීය මෙන්ම සංස්කෘතික , ආර්ථික වෙනස්කම්වලින් පිරුණු  ජනතාවක් සිටින රටක, ඔවුන් මත මෙවැනි ඉක්මන් වෙනස්කම් කිරීමට යාම තුළ යම් ප්‍රතිවිරෝධයක් මතු වීම ස්වභාවිකය. තේරුම් ගත යුත්තේ වෙනස සිදු කරන්නේ සෑම අතින්ම ඌණ සංවර්ධිත රටකට මිස සංවර්ධිත රටකට නොවන බවයි. 

රට සංවර්ධනය වන විට එය අවිඥානකව  මහජනයාට සංජානනය වේ . ජනතාවගේ පහසුව සැකසීම වෙනුවෙන් කරනු ලබන වෙනස්වීම් සඳහා ජනයා විරෝධතා නොදක්වයි. එහෙත් ජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් එකවරම සිදුවීමේදී ඒ සඳහා ප්‍රතිවිරෝධතා දැක්වීම අසාමාන්‍ය නොවන බව අවබෝධ කරගත යුතුය.

රටේ අස්සක් මුල්ලක් නෑරම කුණු කඳු වලින් ජරාජීර්ණ වී ඇත. තැන නොතැන බලා කාරා සෙම සොටු කෙල ගසන මිනිසුන් අප කාට වුව සිය දහස්වර මුණ ගැසී ඇත. දහස් ගණනින් වියදම් කර ආහාර වේල් රැගෙන අනුභව කොට ඉතිරිවන ඉඳුල් කාර් රථයේ ජනේලයෙන් මහ පාරට විසිකර දමන මහත්වරුන් යැයි සම්මත, අසම්මත තිරිසනුන් දැක නොතිබේද? CLEAN SRI LANKA  ක්‍රියාවක් නොව සංකල්පයකි. සියල්ල සංකල්ප මත රැඳී තිබේනම් ඒ සංකල්පයට ගරු කළ යුතුය. එම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී  ටොෆි කොලයක්වත් මහපාරේ නොදැමිය යුතුය. ඒ තැනට මහජන සන්තානය වෙනස් කළ යුතුය. එය එකවර කිරීමේ අපහසුතාවය, සංකල්පමය වශයෙන් නොදියුණු . ග්‍රාම්‍යයත්වයෙන් පිරි, රටවැසියන් පිරිසක් ජීවත්වන රටකට සිදු කල නොහැකිය. දූපත් මානසිකත්වයෙන් මිදී නොව සැබවින්ම අප දූපතක ජීවත්වනවා යැයි සිතා මේ දූපත ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. දුරාතීතේ පටන් මේ දූපතේ පැවතුණු, තවත් පවතින සාර ධර්ම සිරිත් විරිත් ඉදිරියටත් ආරක්ෂා කර ගැනීමට සුපිරිසිදු ශ්‍රී ලංකාවක් පැවතිය යුතුමය. 

අපි අතීතයට දොස්  නොපවරා, සම්ප්‍රපලාඵ නොදොඩා ඉවසීමෙන් ශ්‍රී ලංකාව පිරිසිදු කර ගත යුතුය. මහජනයා මෙතෙක් කාලයක් නිහඬව  ඇතැම් දේවල්  බුක්ති වින්දේ, වැරැදි හෝ නිවැරැදි යන සංකල්පයන් පිළිබඳ අබමල් රේණුවක තරම්වත් දැනීමක් ඇතිව යැයි මට නොහැ‍ඟේ. එහෙත් හදිසියේ ඒවා වැරැදි යැයි හංවඩු ගැසීමෙන් ඇතැමුන් පුදුමයට පත්වනු ඇත. සාධාරණ වූ මනසකින් බැලූ කළ ඒවා වැරදිය. එහෙත් මෙතෙක් කාලයක් පැවතුනි. ඒවා හදිසියේ මුලිනුපුටා දමන්නට වෙර දැරීමෙන් ඔවුන් තුළ වෛරයක් පිළිකුළක් ඇති වනු වැළක්විය හැකිද? එසේ නොකොට ක්‍රම ක්‍රමයෙන් ඔවුන් වෙනස් කිරීමට කටයුතු කළ යුතුය යන්න මාගේ දැක්මයි. එයින් මහජනයා තුළ වෛර සිතුවිලි වෙනුවට පාලකයා කෙරෙහි ප්‍රශංසාත්මක සිතුවිලි උපදී.

CLEAN SRI LANKA  ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තවත් හොඳම පැත්තක් වන්නේ මහජනතාවගේ සනීපාරක්ෂාව ඉහළ නැංවීමයි. මේ වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලංකාවේම වැසිකිලි කැසිකිළි පද්ධතිය පිරිසිදු කළ හැකිය. මේ සම්බන්ධයෙන් සමාජය තුළ, ආණ්ඩුව කෙරෙහි ප්‍රසාදයක් මිස  ප්‍රතිවිරෝධාකල්ප පැන නොනගී. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයන් හි ඇති වැසිකිළි කැසිකිලි පද්ධතිය ගැන කතා පවා කිරීමට නොහැකිය. ඒවා තුළට යෑම පවා අප්‍රසන්නය. රූප හඳුනන, අකුරු කියවිය හැකි කුඩා දරුවෙකු රැගෙන ඇතුළට යාමට නොහැකිය. ඒවා තුළ  කැත කුණුහරුප අප්‍රසන්න දේවල් ලියා ඇත. ලිංගික ක්‍රියාවන් සිදු කරන ආකාරය චිත්‍රනය කර ඇත. මේ තත්ත්වය වෙනස් කළ යුතුය. එසේ වෙනස් කිරීමටනම් වෙනස්කළ යුත්තේ මොනවාද, කොතනින්ද යන්න ඒ සම්බන්ධ ප්‍රවීණයන් අවබෝධ කර ගත යුතුය. පර්යේෂණ කළ යුතුය. ක්‍රියාත්මක කළ යුතුය. 

හදිසි විය යුතු නැත. අත්දැකිම් ලැබෙන්නේ අවසානයටය. පැසසුම් ලැබෙන්නේ පසුවටය. සියවතාවක් සිතා කරන දෙය නිවැරැදිව කළ යුතුය. කළ දෙය නිවැරැදිද වැරැදිද යන්නද තීරණය කරන්නේ මහජනතාවය. සිරකරුවන්ද මිනිසුන්ය යනුවෙන් පවසනු මා අසා ඇත. කිව යුත්තේ ආණ්ඩු පත් කරන්නේත්, ආණ්ඩුවට පැසසුම් එක් කරන්නේත්, ක්ලීන් ශ්‍රී ලංකා  හෝ ඉදිරියට ක්‍රියාත්මක කරනු ලබන රට නංවාලීමේ  ව්‍යාපෘති  තේරුම් ගැනීම නොගැනීම මත ප්‍රතිවිරෝධතා දක්වන්නෝද මිනිසුන්ය යනුවෙනි. විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීම පිණිස විවිධ පර්යේෂණයන් සිදු කරන්නා සේම, මානුෂ  සම්පත උපයෝජනය කර ගැනීම පිණිස මානව සම්බන්ධතා කෙරෙහි පර්යේෂණය  සිදු කිරීම තුළින්  වඩා වටිනා ප්‍රතිලාභ හිමිකර ගැනීමට  හැකිය යන්න  මගේ හැඟීමයි.

2 comments:

  1. සහෝදරයා අපි ඔව නෙමේ කරන්න ඕන දැන් මේ මාසෙ 10/15 වේන කොට වී අස්වනු නෙලනව ඉග කන්නෙට වීවගා කරපු නැති ඉඩම් (පුරන් කුඹුරු) අස්වදන වැඩ සටහන ඕන කරන්නෙ තවම වගක්වත් නැහැ එවගෙ තියෙන කැලැ කපල ඇල මාර්ගය සකස් කරන්න කාලයක් යනව ඔය බස් ත්‍රිවිල් පස්සෙ දුවල විසදුම් හොයන්න බැහැ ඔව හොදයි මොඩ මිනිස්සු චුං කරන්න.මේ කනිනෙ වී ප්‍රමාණය අඩුවීම ගිය රජයෙ වැද්ද කියමු ඉලග කන්නෙට එ වැරද්ද පෙර රජයවල් වලට මේයාලට දාන්න බැහැ. දැන් හමුදාව එවට යොදාගන්න බැහැ අනුර කුමාර දිපු පොරොන්දු වලට බලන්න ඉලග සැරෙ මාලිමාව ඇනගන්න ඇනිල්ල මේ නොකරොත් . කොටිම අපේ අයත් කයිය ගැහුවට වැඩ නැහැ තවම අපි තමයි ගම් පළාත්වල මිනිස්සුන්ට මුණ දීලා ඇනුම් බැනුම් අහන්න ඕන ඒකයි ලොකුම අභියෝගය

    ReplyDelete
  2. අඩුකුලේ ත්‍රීවිල්කාරයෝ කියන ඒවා කවුද ගණන් ගන්නේ මෙයා.

    ReplyDelete