Wednesday, June 7, 2023

මාමෙ හයර් එකක් යමුද?




ලියන්න ඇතත් බොහෝ දේවල් දැන් අකුරු අමුණන්නත් අමතකයි වගේ. ආයෙමත් පුරුදු රස්සාවට වැටිල. ඒ රස්සාවට මම ගොඩාක් කැමතියි. ඒකට හේතු ගොඩාක් තියෙනව. කරත්තකාරයා ආමිකාරයා මාලුකාරය කියල නොදැනුවත්කමට මිනිස්සු කිව්වට ඉස්සර තාමත් උගත් යැයි සම්මත මිනිස්සු ත්‍රීවීල්කාරයා කියල අමතනව මගෙ දෙසවනට වැකුන වාර අනන්තයි.ඔව් ඉතිං ත්‍රීවීල්කාරය කියන්නැතුව වෙන මොකක් කියන්නද.  ඒත් ඒ ත්‍රීවීල්කාරයාට මම කැමතියි. ත්‍රීවීල් එක පදවනකොටනම් ගොඩාක් දේවල් ලියන්න හිතට එනව හරියට ටොයිලට් එකේ ඉන්නකොට හිතෙන දේවල් වගේ. හැබැයි ටොයිලට් එකෙන් නැගිටලා එනකොට ඒ දේවල් අමතකයි වගේ ත්‍රීවීල් එකෙන් බැහැල එනකොට ඒ දේවල් අමතකයි.

මාමේ හයර් එකක් යනවද?

මං හිතුවෙ ඇත්තටම කියල. බම්බලපිටියෙ

මං ඔව් කියන්න ලෑස්තිවුණා විතරයි

නුවරඑළියෙ කියල අවුරුදු අටක් විතර වයසැති පුතා කොක්හඩලා හිනා වුණා.

එයත් එක්ක එයාගෙ අම්ම තාත්ත තවත් ඥාති පිරිසක් හිටිය එයාලත් මං දිහා බලල හිනා වුණා.

මාත් හිනා වුණා.

හැබැයි මගෙ දරුවෙක් එහෙම ඒ වෙලාවෙ ඒ දේ කරානම්. එහෙම කරන්නෙ නෑ දන්නව එයාල තාත්තගෙ හැටි.

පුංචිපුතා විහිළුවට තමයි එහෙම කරේ. ඒකට කමක් නෑ. දෙමාපියොත් ඒකට මං දිහා බලල හිනාවුණ එකයි වැරදි.

තවත් දරුවෙක් දවසක් එයාගෙ ආච්චිලාගෙ ගෙදර ඉඳල එනකොට මල්වගයක් කඩාගෙන ඒ මල්වලට සුවඳ දිදී ආව. අවුරුදු නමයක් විතර ගනේමුල්ල පැත්තෙ.

බහිද්දි  අනේ ඒ පුතා බැහැල මං ගාවට ඇවිත් ඒ මල දීල ඉංග්‍රීසියෙන් කිව්ව මේ මල මාව මතක්වෙන්න තියාගන්න කියල. ඒ දරුවව ඉඹින්න බෑ මට. මම ගොඩාක් සතුටින් ඒ මල ගත්ත. අරං ත්‍රීවීල් එකේ ඉස්සරහින් ගහගත්ත.

දරුවො මල් වගේ.ඒ දරුවො දෙන්නම එකම වයසේ වගේ.  උන්ව කාටවත් කරදරයක් හිසරදයක් වෙන්නෙ නැතුව ඉන්න කියල දෙන්න ඕනෙ එයාලගෙ දෙමව්පියන්. පුංචි දේකින්වත් කාගෙවත් හිත් රිද්දන්න හොඳ නෑ. එහෙම නොවුනොත් ඊලඟ මොහොත මොනවගේ වෙයිද කියල කියන්න බැහැ.

අපෙ හිත් රිදවන්න කාටවත් බෑ. ඒක නෙමෙයි මං කියන්න උත්සාහ කරේ.

Thursday, September 17, 2020



 ඒකත් ප්‍රේමයක් .........


පත්තියං වී ආවෙ මුරුගසන් වරුසාව
සීතලට ගැහුණි හද සෙනෙහසක් ඉඟි පෑව
කොහේදෝ ඈතකින් මා සොයන්  පා ආව
එරමිණිය මල නුඹයි සිඹගන්න හිත් ලෑව

නීල දෙනයන, කරපු ඉඟි බිඟි සියොලඟම මගෙ ඇවිලුවා
හංස පැටවුන්, කරපු දඟකම් සිතේ එහෙ මෙහෙ දැඟලුවා
මවා නුබ ගැබ, තරු නේන රෑ මසිත හැඟුමන් පැතිරුවා
තුඩ තුඩින් ගෙන, දුරින් ඉඳගෙන ප්‍රේම කවි පද මිමිණුවා

ලඟට නා මුත්  හංස චංචල  ලීලා
තාම ඇත මගෙ හදේ කොනකට වීලා
අමා පැන් ගෙන තුඩින් සැනසීලා
මුව දොවන්නෙමි හිඳිනු සැරසීලා



පින්තූරය මෙතැනින්

Tuesday, September 15, 2020

ඇය මගේ බිරිඳය

විකසිත වෙමින් හිරු ඝනදුර වෙත රැව්වා
සඳසේ යමින් හෙමිහිට සොමි රස එව්වා
වියැළුණු ලී කැබැලි එකිනෙක ලිප සෙව්වා
ඇයගේ දෑත මත නෙක දිව රස මැව්වා

හිමි නැති ලඟක පාතක හුදෙකලාව
තරණය කළා ඇය දිවි මං තලාව
තම දරුවන්ට මැව් ගුරු තක්ෂලාව
රස අඳුනකිය පෙන්නූ දිවි කලාව

දරුවන් තුන්දෙනෙකි මා වෙනුවෙන් වැදුව
දිව මැණිකක්ය මට දෙව් බඹු ලොව හැදුව
මගෙ මාපියන් උස් ආසන මත හිඳුව
උපමා කුමට නුඹමයි අඹරෙහි සඳුව

පැද යන විටදි ඔරුවට හයියක් වෙන්න
සිදුවුණි නුඹගෙ දෑතට හබලක් ගන්න
අත්ලෙහි සිනිඳුබව ගත් රකුසන් ගොන්න
මං හින්දාය පොඩියක් තව ඉවසන්න

හුරුළු වැවට වැටෙන දිය කඩ කුමට
මගේ පියඹ ඩා බිදු ඇත පිරෙන්නට
නියං සාව දුක් විඳිනා ගොවියනට
මගේ පියඹ උපහැරණෙකි දරන්නට

මාස් මහයි පන්ති මුදල් හරි ගෙවන්ට
ගාස්තුවත් මදිවෙයි වියදං දෙන්ට
වාස් වේගයෙනි දරුවන් ගෙට ගන්ට
ගෑස් නැතුව ඇත සිව් මස ලං වෙන්ට

ඇයටයි මගේ මේ කවි පද උපහාර
පුදනෙමි මතුවටත් එක අකුරක් නෑර
දුක සැප එකට විඳි මා හද නොම පාර
ඇය වෙදදුරෙකි දිවියට ඒකාකාර