Wednesday, February 26, 2025

ආදරණීය දුවා දැරියනි, දෙමාපියෙනි, ගුරු තුමියනි

 



පුංචි දරුවන් රෝස මල් මෙන් නොවේ. සිනිදු පෙති රඳන රෝස මල් කැකුලුමය. ආදරණීය ගුරුතුමියනි, මේ පුංචි පාසල වෙත හිරු ලොවට එබී බලද්දී, කෝපි මල් සිනාවෙන් පැමිණෙන්නේ මේ රට අනාගතයේ භාර ගැනීමට සිටින දරුවන්ය.

ආදරණීය දෙමාපියනි,  මිනිසුන් විශ්ව ගම්මානය නමැති ලෝකයේ සැරිසරන්නට පෙරාතුව එයට මූලික පියවර තබන්නේ පාසල නමැති රිදී තෝතැන්නෙනි. එවන් තෝතැන්නකට එවන් වටපිටාවකට දරුවන් යොමු කිරීමට අවැසි වන්නා වූ කායික වූත් මානසීක වූත් ආරම්භයක් ලබා දෙනු ලබන්නේ ඔබේ දරුවා මෙතක් කාලයක් පිය නැගූ මේ පුංචි පෙරපාසල මගිනි.

වසර හතරක් හෝ පහක් වැනි කාලයක් ඔබේ තුරුලේම හැදී වැඩී හුරතල් වූ මේ පුංචි මල් කැකුලු සාමාජීය හා සංස්කෘතිමය වශයෙන් පුංචි පුංචි දෑ ඉගෙන ගත්තේ මේ පෙරපාසලෙන්. එහීදී පිටස්තර වැඩිහිටියන් හට ගෞරව කිරීම  එකිනෙකාට ආචාර සමාචාර කිරීම්  විවිධ අයුරින් දරාගැනීමට හුරුවීම අන් අයගේ ඇදැහිලි වලට  හැසිරීම්වලටද හුරුවීම පෙර පාසල මගින් ඉටුකිරීමත්  බොහෝවිට දෙමාපියන්ට නොදැනෙන නමුත් පුංචි පැටව් තමන්ගේ කායික මානසික තත්ත්වය දියුණුකරගෙන කෙනෙකු  ඒ දණ්ඩක් මතින් ජල පහරක් තරණය කරන්නාක් මෙන් මේ පුංචි දරුපැටවුන් හට මේ පෙරපාසල මතින්  පාසල නමැති මහා කඳු පන්තිය තරණය කරන්නට  හැකි වනු නොඅනුමානය.

කාලය ඉතා වේගයෙන් වෙනස් වෙලා තියෙනව. ඉස්සර අප අම්මාගේ හෝ සහෝදර සහෝදරියෙකුගේ සුලැඟිල්ලේ එල්ලී පෙර පාසල් මෙන්ම පාසල වෙතද පිය නැගුවේ  පා ගමනිනි. තාක්ෂණීක අතින් ඉතා සිඝ්‍රයෙන් දියුණු වූ  එහෙත් කාර්ය බහුල සමාජය ඉදිරියේ අද එසේ කිරීමට හැකියාවක් නැත්තේ දරුවන්ට පමණක් නොව අපටද ඉතා අනතුරු දායක නිසාය. විවිධාකාර දූෂිත වංචාකාරී ප්‍රෝඩාකාරී ඇතැමුන්ගෙන් මුළු මහත් සමාජයද දූෂිත වී ඇති බැවින් මල් කැකුලු රැක ගැනීම ඔබ සතු වගකීමකි.

වර්තමානයේ අප රටට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දෙමාපියන්ගේ කාර්යබහුලබව නිසා සහ ඇතැම්විට නොසැළකිලිමත්කම නිසා පුංචි දරුවන් හා දෙමාපියන් අතර ඇති සබඳතාවය බොහෝ වශයෙන් ගිලිහී ගොස්  තියෙනවා. මේ නිසා බොහෝ විට දෙමවුපියන්හට තම දරුවන් පිළිබඳව සොයාබැලීමට මගහැරී ඇහිරී තියෙනවා. මේ නිසා දරුවන්ට හිමි දෙමාපිය සෙනෙහස අහිමිවීමෙන් ඔවුන්ගේ බාල කාලය මෙන්ම හුරතලයට ඉඩ ඇහිරි තියෙනව. යහපත් දරුවෙකු සමාජයට  දායාද කිරීමේදී   ශාරීරික මෙන්ම මානසික දියුණවද බලපානව. එහෙත්  තම දෙමාපියන්ගේ සෙනෙහස රැකවරණය අහිමි විමෙන් ඔවුන්  කුඩා කල සිටම  මානසික බිඳ වැටීමකට ලක්වෙනව. මේ නිසා දෙමාපියන්  තම දරුවන් වෙත තව තවත් සෙනෙහසින් ලංවීම තුලින් මානසික වශයෙන් නිරෝගිමත් අධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් ගුණවත් දරුවෙකු මේ සමාජයට බිහිකරදීමට  ඔබට හැකියාව ලැබෙනව.

ඉතින් පුංචි පුතේ දුවේ පුතාලගෙ දුවලගෙ නිර්මාණ නැටුම් සිංදු මම ගොඩාක් රස වින්දා. ඉතිං පුතාල දූල ලබන අවුරුද්දෙ ලොකු ඉස්කෝලෙකට යනව. ඉතිං දුවේ පුතේ එහෙදි ඔයාලට මේ ටීචර්ල වගේ ගොඩාක් හොඳ ටීචර්ල හම්බෙනව. තව අලුතින් ගොඩාක් යාලුවො හම්බෙනව. එයාලත් එක්ක එකමුතුකමින් සහයෝගයෙන් ආදරෙන් සතුටින් ටීචර්ලා කියන දේ හොඳට අහගෙන  හොඳට ඉගෙනගෙන රටට ගොඩාක් හොඳ වැඩදායක පිරිසක් වෙන්න ඕනෙ. එහෙම වෙනව නේද හොඳ දූල පුතාල. මං පුතාලට අපේ රටේ හිටිය ටිබෙට් කියන රටේ ඉඳල ආපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ලියපු ලස්සන කවි දෙකක් කියන්නම්. ඒ කවි දෙක ලියල තියෙන්නෙ මේ ඉන්න පුතාලටයි දූලටයි. ඔන්න අහගන්නකො.

 

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්න‍ට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

Monday, February 17, 2025

ටක් ටොක් ටක් ටොක්

 




මුලු පරිසරයම එකම නිහැඬියාවකින් යටවී ඇත. ඝන අන්ධකාරයෙන් වැසී පවතින සප්ත මහා සාගරයෙන් ඔබ්බට පනින මූදු රැළි වෙරළ සිපගන්නා ඝෝර නාදය පමණක් විටින් විට ඇසේ.  එක් වරම මූදූ සිංහයෙක් ගොරවන සද්දයක් මට අල්ලපු කාමරයෙන් ඇසේ. විටින් විට කකුලුවෙකු  හුඇක් හුඇක් ගගා නගන කෙඳිරිලි හඬ අනිත් පැත්තේ කාමරයක් දෙසින්  ඇසෙන කළ මගේ දෙසවනට මී පැනි වක්කරන්නා සේය. රෑට බල්ලෝ නුබුරති. එහෙත් දිය හබරලයෙක් වෙරළ දිගේ එහෙට මෙහෙට දුවන ශබ්ධය මගේ ගතත් සිතත් පිනවාගෙන එහෙට මෙහෙට යන්නා සේය. මම මොහොතක් නිහඬව  උතුරු දිශාවට දෙකන් යොමා උන්නෙමි. ටක් ටොක් ටක් ටොක් හඬින් ශබ්දයක් ඇසුනි. ශබ්දය  එන්න එන්නම  තීව්‍ර විය. මම කොයිකටත් කියා නැගිට ගොස්  දොර මෑත් කර මුහුණ ඝන අන්ධකාරයට එබුවෙමි. දෙපාරක් තුන්පාරක් ඇස් පිල්ලන් ගැසුවෙමි. එක පාරටම කණා මැදිරියෙක් මා සිටි තැනින් මීටර් සියයක් පමණ දික් අතට පියාඹා ක්ෂණයකින් අහසට පැන නොපෙනී ගියේය. එහෙත්  ඌ ගිය පාර  එලියෙන් මගේ දෙනෙත් නිලංකාර විය. මගේ ඇස් ඇදුම් කන්නට විය. මම දෙනෙත් පියන් වසා මොහොතක් හිටි තැනම ගල් ගැසුණි. ටක් ටොක් ටක් ටොක්..නැවතත් එම සද්දය කන ලඟටම ඇසුනි. මම දෙනෙත් පියන් විවර කර බැලූවෙමි. මුහුදු අශ්වයෙක් පිට නැගී අසරුවෙක් විදුලි වේගයෙන් මා සිටි දෙසට ආයේය. මට විජයබා කොල්ලය මතක් විණි. මම වහ වහා ලඟම තිබු ගසකට පැන නැංගෙමි. මම දඩස් ගා බිම වැටුනි. මම අවට බැලුවෙමි. ලැප් ටොප් එක පසෙකට වීසි වී මම ඇඳෙන් බිමට ඇද වැටී ඇති හැටි දුටිමි.....කෝකටත් කියා ගෘෘප් කෝල් එකක්වත් අරගෙනදැයි කියා ගෘෘප් එකටත් මූණ ඔබා බැලුවෙමි...

Friday, February 14, 2025

 

ක්ෂිතිජයත් වී දැන් කලාවක්



දරාගන්නට හිතක් නෑ මට

දමා හදවත කෑලි කරලා

මහා තල්ගස් බිඳී වැටෙනව

රැල්ල වෙරළට දඟ කලාමත්

 

සීනු හඬ සවනතට වැටෙනව

හීනයකි ඒ දැකපු සවසක

වීර නෙතු යට කඳුළු පිරෙනව

කෙස් ගහක් විත් දඟ කලාමත්

 

පීරමින් මම ඈත බලනව

සීරුවට අවි අත තබාගෙන

ඈත නොපෙනී යන අපූරුව

ක්ෂිතිජයත් මට දැන්  කලාවක්