Monday, June 24, 2013

පරා භවය

                                                                             

මා කවියෙකු නොවෙමි එහෙත් මා කවිය‍ට බොහෝ සේ ආදරය කරමි. ඒ මාගේ මෑණීයන්ගෙන් ලද ආභාෂය නිසා යැයි පැවසීම මුසාවක් නොවේ. මා කවියට මෙන්ම මාගේ මෑණියන්ටද එකසේ ආදරය කරමි. අම්මාට කරන්නා වූ උපහාරයක් ලෙස අම්මා විසින් තනන ලද පැදි පෙළක් මෙහි පළකිරීම අම්මාගේ සතුටටද හේතු වනු ඇත.
පහතින් දක්වා ඇත්තේ මාගේ මෑණියන් 2010 වසරේදි දහම් පාසල් ළමුන් හට පරාභවය නම් වූ දහම් පාඩම කියාදෙන්නට එහි ඇති පාලි ගාථාවන් කාව්‍යට හරවා උගනවනු ලැබූ පාඩමකි. මෙය ඔබේ රත්තරන් දරුවාටද  කියා දිය හැකි වටිනා පාඩමක් වනු ඇත. මෙය විරිදු කවි ආරෙන් නිර්මාණය කරනු ලැබූවක් බැවින් ඒ තාලයටම ගායනා කිරීම වටී.

බුදුන් දහම් සග තෙරුවන 
දොහොත් මුදුන් දී බැතියෙන
නමදිමි මා මේ විලසට
ධර්මය පවසන අටියෙන

සැවත් නුවර සිටුවරයා
ජේතවනය ඉදිකෙරුවා
භාග්‍යවත් බුදු සමිදුන්
දම් දෙසමින් වැඩ විසුවා

රෑ පෙරයම නික්මුනේය
ජේතවනය බැබලුනේය
 දෙවියන් එතැනට ඇවිදින්
පරාභවය විමසුවේය

පුද්ගලයෙකු පිරිහීම
කිමදැයි නොදනිමි තාම
භාග්‍යවත්  ගොතමයිනි
හේතු කියනු මැන මේම

හිත ඇති ඇත්තා දහමට
පත්වෙයි දියුණෙන් දියුනට
පිරිහෙන්නා සැම නිතරම
ද්වේෂ කරනු ඇත දහමට

අසත්පුරුෂයෝ ප්‍රියවේ
සත්පුරුෂයො අප්‍රිය වේ
පිරිහෙන ඒ පුද්ගලයා
අධර්මයට සිත යොමු වේ

නිදන සුළුය අලස වේය
පිරිස සමග නිරත වේය
උත්සාහය ඇත්තෙම නෑ
කිපෙමින් ජීවිත ගෙවේය

වැදු මව් සහ හැදුව පියා
රැකගත හැක පාල දයා
වත බත දී නොරකීනම්
පිරිහෙයි සැම විටම එයා

තමන් වෙතට පැමිණෙන්නේ
බමුණන් යාචකයින්නේ
බොරුවෙන් රවටා යැවීම
පිරිහෙන කරුණක් වන්නේ

රන්රිදි කහවනු ඇත්තා
පොහොසත් බව පිළිගත්තා
කිසිවකු හට නොම දීමෙන්
පිරිහෙනු ඇත ඒ ඇත්තා

ජාතිය හා ධනයෙන්නේ
කුළයෙන් උඩගුව ඉන්නේ
නෑයින් පහතට දැමීම
පිරිහෙන කරුණක් වන්නේ

ගැහැණුන් හට සුරාවටද
සූදුවටද ලොල් වීමද
පිරිහීමට කරුණු වේය
ලැබෙනා දේ නැති කෙරුමද

තම බිරිදට ආදරයෙන්
නොම සළකා ගොස් වෙනතින්
පිරිහීමට කරුණූ වේය
එක් වූවොත් පර අඹුවන්

තරුණ වයස පසු වුනාම
තරුණ බිරින්දන් ලැබීම
නොනිදා රැය පහන් කලොත්
පිරිහෙයි ඒ ගැන සිතාම

සුරාව සූදුව වැන්නේ
මස්වලටම ලොල් වන්නේ
පරිපාලනයෙහි යෙදවුණූ
පුද්ගලයා පිරිහෙන්නේ

රජ කුළයෙහි ඉපදුනාට
රජ වන්නට තැත් කලාට
අඩු සැප සම්පත් ඇත්තා
ලක්වනු ඇත පිරිහීමට

පරාභවය ගැන දන්නා
ආරිය පණ්ඩිත යන්නා
පිරිහීමේ කරුණු වලින්
සැම කාලෙම වෙන් වන්නා

දෙවියා සිත තුටු වන්නේ
සාදු සාදු හඩ දුන්නේ
පරාභවය උගත් පිරිස
දියුණෙන් දියුණට යන්නේ

වැරදීමක් සිදුවුණිනම්
සමාව දෙනු මැන සතුටින්
මෙම පාඩම හැකි වේවා
ඔබ හට තෙරුවන් සරණින්

දම්පාසල් යන දරුවෝ
පෙර ජය පිට ජය ලැබුවෝ
මා හට ඇති පැතුම් ගොන්න
ඔබගේ දියුණයි දරුවෝ







14 comments:

  1. කවි ටික නම් අපූරුයි..
    දහම් පාසල් වැඩි උනාට..
    සමාජය පිරිහිලා නේද....?

    ඒකත් තව ට්‍රෙන්ඩ් එකක් විතරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් පාසල් යන අවධියේ හොදට හිටියට ගොඩාක් අය පිරිහෙන්නෙ සමාජයට ගිය පසුවයි

      Delete
  2. හැබෑට කවි ටික පංකාදු නං තමා. එන්නැත්තේ තාලය තමා

    ReplyDelete
    Replies
    1. Ayilas A ගෙන් තාලය අයගන්න පූළුවන් දේශකයාණෙනි

      Delete
  3. ඔබගේ අඩවිය ඇස ගැටුනේ සමකය වටේ කරක්ගහන විටදී. හරිම අගනා අඩවියක්. ඔබගේ මවු තුමිය විසින් පබදින ලද මේ කවි හරිම අපුරුයි.

    හරිම අපුරු කවිවැල් ටික
    ඔබේ මවු තුමී ගොතලා ඇත
    කියවූ පසු මටත් හිතුනා
    විරිදු කවක් ලියා යන්න

    ReplyDelete
    Replies
    1. අම්මා ලියපු කවි තව තියෙනවා හෙටත් එන්න ඇවිත් කියවන්න ගොඩක් ස්තූතියි

      Delete
  4. මාත් ආව. කියෙව්ව. රෝලටත් දාගන්නං.

    ReplyDelete
  5. හ්ම්.. රසවත් පැදි පෙළක්..

    ReplyDelete
    Replies
    1. සුරාව සූදුව වැන්නේ
      මස්වලටම ලොල් වන්නේ
      පරිපාලනයෙහි යෙදවුණූ
      පුද්ගලයා පිරිහෙන්නේ

      මට මේ කවිය නම් තේරෙන්නෙ නෑ..

      මස් මාංශ හා මද්‍යසාර ලොල්ව ඒ සඳහා මුදල් වියදම් කරන හෝ එසේ කරන්නෙකු ප්‍රධානත්වයේ තබා ඇසුරු කරන පුද්ගලයෙක් වේද හේ පිරිහීමට පත් වේ.

      මේ කවියෙන් කියන්නට උත්සාහ කරන්ට ඇත්තේ මෙයයි.. සමාවෙන්න එය හරි හැටි කියවෙන්නේ නැති බවයි මගේ අදහස..

      සුරාව සූදුව වැන්නේ
      මස්වලටම ලොල් වන්නේ
      එවැනි අයට අතවැසි උනු
      පුද්ගලයොත් පිරිහෙන්නේ

      නරකද මෙහෙම කිවුවා නම්..

      Delete
    2. ඔබ හරි තැන්ක්ස් එහෙම තමයි ඒ විදියට එතෙන්ට ගැ‍ලපෙනවා

      Delete
  6. පැමිණියාට ස්තූතියි

    ReplyDelete
  7. අම්මගෙන් ගොඩ යන්ඩද හදන්නේ ඉස්සෙල්ලා ලියපං උඹේ එව්වා

    ReplyDelete
  8. තාම අම්මගේ කු‍සේ ඉන්නා ළදරුවෙක් වෙමි මං
    කැපූ විගසම පෙකණී වැල මගෙ ලියන්නම් කවි බං

    ReplyDelete