Wednesday, April 5, 2017

කීත් දැන් හොද ළමයෙක්


කීත් පන්තියට ඇතුළු වෙනකොට තමන්ගෙ කකුල් පිහදාල ඇතුළට එන්නැති වරදට හැමදාම අසුවෙනවා. එයා සෙල්ලම් කරන්නට එළියට ගිහින්  ආපසු ඇතුළට එන්නෙ එයාගෙ මඩ තැවරුණු සපත්තු දෙක එක පාරක්වත් පන්තිය ඉස්සරහ තියෙන පා පිස්නාවෙන් පිහදාගෙන නෙවෙයි.

එයා ‍ගේ ඇතුළෙ ඇවිදින හැම තැනම මඩ ගෑවිලා තියෙනව ඔයාලටත් බලන්න පුළුවන්. කොටින්ම කිව්වොත් එයා ගොඩාක් දගකාර ළමයෙක්.
"කීත්.. කකුල් පිහදාගෙන ගේ ඇතුළට එන්න.." එයා ගේ ඇතුළට එන හැම වෙලාවකම කීත්ගෙ අම්ම එහෙම කිව්ව.
කීත් හැම සෙනසුරාදාවකම එයාගෙ නැන්දලාගෙ ගෙදර යනව. නැන්දත් හැමදාම කකුල් පිහදාල ගෙට ඇතුළුවෙන්න කියල  එයාට කියනව.
ඒ විතරක් නෙමෙයි, කීත් ඉස්කෝලෙ යන හැම දවසකමත් කීත්ගෙ ගුරුතුමා කකුල් පිහදාගෙන පන්තියට එන්න කියල එයාට මතක් කරනවා.
ඒත් එයා කවදාවත් තමන්ගෙ කකුල් පිහදැම්මද..? නෑ...එයා කවදාවත් එහෙම කළේ නෑ. ඒ වෙනුවට එයා කළේ හෙමින් සැරේ ලිස්සලා වගේ ඇතුළට යන එකයි.

එක දවසක්  කීත්ටයි එයාගෙ යාළුවන්ටයි එයාලගෙ ගුරුතුමා කිව්ව, එයාලගෙ ඉස්කෝලෙ තවත් පන්ති කීපයක් එක්ක තරගයක් පවත්වනව කියල. තරගෙ මොකද්ද කියල දැන ගන්නකම් කීත්ටයි යාළුවන්ටයි ඉස්පාසුවක් තිබුණෙ නෑ.

" හැබැයි ඒකෙන් දිනන්නනම් ඔයාලට ලකුණු වැඩිපුර ගන්න වෙනව....."
" ඉතින් කියන්නකො ටීචර්..." ළමයි ටීචර් වටේ කැරකි කැරකි හිටිය.
" ඒ මොනවටද දන්නවද...ඔයාල ගාව තියෙන ආචාර ධර්ම වලට...ඒ කියන්නෙ ඔයාල නිතරම හොද පුරුදු ඇති කරගන්න  පුරුදු වෙන්න ඕනෙ. ඔයාල ගාව නරක පුරුදු තියෙනවනම් ඔයාලට ලකුණු අඩු වේවි..." කීත්  සහ  එයාගෙ යාළුවො ගොඩාක් සතුටු වුණා.

ඉතින් ඒ පාසලේ උගන්වපු ගුරුවරුන්ට ඕනෙ වුණා ආචාර සම්පන්න බවින් යුතු හොදම පන්තිය තෝරා ගන්න. ඒ වගේම හැම ළමයෙක්ම තමන්ගෙ පන්තිය ජයග්‍රහණය කරවන්න  මහන්සි ගන්න කියලත් ගුරුතුමා  ළමුන්ට කිව්ව.
" ඉතින් ටීචර්, අපිට කිව්වෙ නෑනෙ මොන වගේ ආචාර විදි වලටද ලකුණු දෙන්නෙ කියල..." කීත්ගෙ යාළුවා හැරී ඇහුවා.
"හොදයි, ඔයාල කරන සෑම යහපත් දේකටම ලකුණු දෙනව. දැන්, ඔයාල බස් එකේ හරි කෝච්චියේ හරි වාඩිවෙලා යද්දී  එන වයසක ආච්චි කෙනෙක්, සීය කෙනෙක්, ඒ වගේම ලෙඩින් පෙළෙන කෙනෙක් හිටගෙන ඉන්නව දැක්කොත් නැගිටලා තමන්ගෙ ආසනය දෙන එක හොද පුරුද්දක්...

"ඇයි ගැබිනි මවුවරුන්ට...ආබාදිත රණවිරුවන්ට......" හැරී කිවුවා...

" බොහොම හොදයි...ඒ අයටත් අපි නැගිටලා ආසනය දෙන්න ඕනෙ...ඒ විතරක් නෙමේ අපිට වැඩිය වැඩිහිටි කෙනෙක් දොරෙන්  ඇතුළට එනව නම් අපි ඒ අයට ඉඩ දීල පසෙකට වෙන්න ඕනෙ. අපි දොරක් වහද්දි සන්සුන්ව වසා දමන්න ඕනෙ. එහෙම නැතුව හයියෙන්, සද්දෙ ඇහෙන්නත් එක්ක වහන්න හොද නෑ. වැඩිහිටි කෙනෙක් කතා කරද්දි සන්සුන්ව අසා සිටින්න ඕනෙ, එකටෙක කියාගෙන යනවනම් ඒක වැරදියි. තමුන් හැම මොහොතකම කොහේ හරි තැනකට යනවනම්  තමන්නෙ කකුල් එහි ඇති පාපිස්නාවෙ පිසදාල යන්න ඕනෙ. මේ ඔක්කොම හොද පුරුදු. ඒ විතරක් නෙමෙයි කාන්තාවක් ඉස්සරහදි තමන් පැළදගෙන ඉන්න හිස්වැස්ම ඉවත් කරන එකත් හොද පුරුද්දක් විදියටයි සළකන්නෙ. මේ වගේ තව ගොඩාක් ‍හොද පුරුදු තියෙනවා.  ඉතින් ඔයාලට මේ සතිය පුරාවට වැඩියෙන් ලකුණු අරගෙන තරගෙන් දිනන්නනම් මේ හොද පුරුදු රැක ගන්න ඕනෙ..." කියල ගුරුතුමා කිව්ව.

" ඒ නරක පුරුදු කිසි දෙයක් අපි නොකර හිටියනම් අපිට දිනන්න පුළුවනි...නේද ටීචර්.." හැරී ගුරුතුමාගෙන් ඇහුව..
"හොදයි... හැබැයි නරක පුරුදු ඔයාලගෙ ලකුණු අඩුකරාවි...." ගුරුතුමා කිව්ව.

හැරී කීත් දිහා මහත් ඕනෑකමකින් බැලුව. "   කීත් හැම වෙලාවෙම කකුල් පිහදාන එක අමතක කරල ඇතුළට එන එකෙන්  අපිට ලකුණු ගොඩක් අඩුවේවි. කීත් නිසා අපි පැරදේවි..." හැරී එහෙම කියනකොට කීත්ගෙ රතුපාටට හුරු  සුදුපාට මූණ තවත් රතු වුණා.

 " මම මතක තියා ගන්න උත්සාහ ගන්නම්.." කීත් දුකින් කිව්ව.
කීත් ගොඩාක් උත්සාහ කළා. ඒත් එයා කොච්චර උත්සාහ කළත් එච්චර කාලයක් එයාට කකුල් පිහදාල පන්තියට ඇතුළු වෙන එක  මතක තියා ගන්න බැරුව ගියා. ඉතින් කීත් හින්ද ගොඩක් ලකුණු පන්තියට අහිමි වුණා. කීත්ගෙ යාළුවන්ට ගොඩාක් තරහ ගියා " ඔයා බොහොම නරක ළමයෙක්.. හොද පුරුදු වලින් අපේ පන්තියට ජය ගන්න බැරිව ගියා. ඒ ඔක්කොම වුණේ ඔයා නිසා. ඒ ඔයාට කවදාවත් ඔයාගෙ කකුල් පිහදාල පන්තියට ඇතුළු වෙන එක මතක තියා ගන්න බැරි නිසා,  ඔයා නරකම නරකම ළමයෙක්..." කීත්ගෙ යාළුවෝ එයාට  කිව්ව.

එයා කොච්චර උත්සාහ ගත්තත් කකුල් පිහදාන එක මතක තියා ගන්න එයාට තාම නොහැකිවීම ගැන කීත් ගොඩාක් දුක් වුණා. මම කොහොම මේ වැරැදි හදා ගන්නද කියල හිත හිත කීත් ගෙදරට දුවගෙන ගියා.

එදා දහවල් කීත්ගෙ හදන්න තිබුණු සපත්තු ජෝඩුවකුත් අරගෙන කීත්ගෙ අම්ම කීත් එක්ක නගරයේ සපත්තු මහන්නා ලගට ගියා. සපත්තු මහන්නා ගොඩාක් මහලු කෙනෙක්. එයා කුදු ගැහිලා සපත්තු කුට්ටමක් මහ මහ හිටිය. සපත්තු මහන මහලු සීයගෙ වයස අවුරුදු සීයයක් ‍වත් වෙන්න ඇතැයි පුංචි කීත් සිතුව.

" සුභ මධ්‍යාහ්නයක් වේවා! ඔබට පුංචි මහත්තයා.. ඉතින් කියන්න කොහොමද ඔයා හොදින්ද ? "  පැළද සිටි ඝන උපැස් යුවල අතරින් කීත් දිහා එබී බලමින් මහලු සපත්තු මහන්නා ඇහුව...

"වරදක් නෑ සීයෙ..."  කීත් කිවුව. ඒ විතරක් නෙමේ එයාගෙ නරක පුරුද්ද ගැනත්  ඒ හින්දම ඉස්කෝලෙ පැවැත්වුණු තරගයෙන් එයාගෙ පන්තියට ලකුණු වැඩියෙන් ගන්න බැරි වුණ එක ගැනත් මහලු සපත්තු මහන්නාට කිවුව. එහෙම කියල කීත් එයාගෙ දුක තුනී කර ගන්න බැලුව.

" බොහොම නරකයි බොහොම නරකයි..." මහලු සපත්තු මහන්නා උරණ වුණා. " සපත්තුවල මඩ ගෑවුනාම  ඒව සවුත්තු වෙනව කියල දන්නැද්ද චූටි මහත්තයෝ.... ඒ විතරක්ද ඒව පැළදගෙන ගේ ඇතුළෙ, පන්තිය ඇතුලෙ එහෙ මෙහෙ යනකොට මඩ තැන් තැන්වල ගෑවිලා අපිරිසිදු වෙනවා...එහෙම නේද පැටියෝ...." සපත්තු මහන්නා ගොඩාක් ආදරෙන් කීත්ට කිවුව.

" හැබැයි මම කරල තිබුණු විදියටම ඔයත් කරානම් ඔයා ඔයාගෙ සපත්තු බොහොම හොදට ආරක්ෂා කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයා කරන නරක පුරුදු බොහොම  ඉක්මණටම නැති වෙලා යාවි.... ඔව් මට මතකයි.. මම තරුණ කාලෙ...මට චූටි මල්ලියෙක් හිටිය...එයත් හරියට චූටි මහත්තය වගේමයි. එයත් කවදාවත් එයාගෙ සපත්තු  පිහදැම්මෙ නෑ, පොලිෂ් කරේ නෑ. අඩු තරමෙ  එක වරක්වත්.... ආහ්...පුදුමයක්....  එයා ඉක්මණටම එයාගෙ වැරැදි හදා ගත්ත.

"එයා එයාගෙ වැරැදි හදා ගත්ත !, කොහොමද එයා ඒ තරම් ඉක්මණටම එයාගෙ වැරැදි හදා ගත්තෙ. මටත් ඕනෙ ඉක්මණටම මගෙ වැරැදි හදා ගන්න..." කීත් නොඉවසිල්ලෙන් කිවුව.

"ඔව්, මොකද බැරි..."  එහෙම කියපු මහලු සපත්තු මහන්නා බැරෑරුම් බවක් මුහුණට ආරූඪ කර ගත්ත.

"මේ බලනව තරුණ ළමයො...මෙන්න මේ ටින් එක ගෙදර අරන් ගිහින් මේකට මම දාල තියෙන මේ කහපාට පොලිෂ් වලින් ටිකක් අරන් ඔයාගෙ සපත්තු පොලිෂ් කරන්න. එතකොට ඉක්මණටම ඔයාගෙ සපත්තු පිරිසිදු වෙයි. ඒ වගේම ඔයාගෙ ඔය නරක පුරුද්දත් ඔයාට අමතක වෙලා යයි. මගේ චූටි මල්ලිට හොද වුණා වගේ ඔයාත්  ඉක්මණටම හොද ළමයෙක් වේවි....ඔව් ඔව් එයා නම් හොදටෝම සුව වුණා...." වයසක මහල්ලා කියාගෙන ගියා. ඒත් ඒ කොහොමද කියල මහලු සපත්තු මහන්නා කියන්න ගියේ නෑ...කීත් අහන්න ගියෙත් නෑ. එයා ටින් එකත් අරගෙන වේගයෙන් ගෙදරට දුවගෙන ගියා.

" කීත් ගෙදර තිබුණු හැම සපත්තුවකම අර කහපාට පොලිෂ් ආලේප කරල, බ්‍රස් එකක් හොයාගෙන හොදට පොලිෂ් කරා. දැන්  කීත්ගෙ හැම සපත්තුවක්ම දීප්තිමත්ව බැබළෙන්න පටන් ගත්ත. කීත්ට හරි සතුටුයි...ඒක අරුම පුදුම පොලිෂ් ටින් එකක්.....කීත් හිතුව.

කීත් පසුදා උදෑසනම දීප්තිමත්ව බැබළෙන සපත්තු ජෝඩුවකුත් පැළදගෙන පාසලට දිව ගියා. ඒත් ඇත්තටම එදත් කීත්ට පන්තියට ඇතුළු වෙලා පාපිස්ස උඩින් ඇවිදගෙන ගියත්  කකුල් පිහදාන්න අමතක වුණා.  එයා එයාගෙ පුටුවෙ වාඩි වෙලා පොතක් අතට ගත්ත. ඒත් ටික වෙලාවක් යනකොට එයාගෙ දෙපා වලට දරාගන්න බැරි අපහසුවක් දැනෙන්න පටන් ගත්ත. එයා දැක්ක එයාගෙ සපත්තු ජෝඩුවම ටිකෙන් ටික කුඩා වෙන්න පටන් ගන්නව. දැන් කීත්ට, එයාගෙ සපත්තු දෙක කකුල් දෙකට ගොඩක් තදට දැනුණ. පුංචි කීත්ට මේ වේදනාව ඉවසන් ඉන්න පුළුවන් වුණේ නෑ. කීත් එයාගෙ ලේස් බුරුල් කරල එයාගෙ මඩ තැවරුණු සපත්තු ගලවල දැම්ම.

ඔයාල හිතන්නෙ, ඊට පස්සෙ මොනව සිද්ධ වෙන්න ඇද්ද?  කාටවත් හිතාගන්න බැරි අරුම පුදුම සිදුවීමක්. එයා සපත්තු ගලවපු ගමන්ම, විශාල ශබ්දයක් නගමින් සපත්තු දෙක පාපිස්න තියෙන පැත්තට දුවන්න පටන් ගත්ත. පා පිස්නාව උඩට දුවගෙන ගියපු සපත්තු දෙක එයාල විසින්ම ප්‍රවේශමෙන් අතුල්ල ගනිමින් තමන්ගෙ ඇගේ තියෙන මඩ දුවිලි පිහිදගන්න පටන් ගත්ත. මේ ගොල්ලන්ගෙ සද්දෙ කීත්ගෙ ගුරුතුමාට විතරක් නෙමෙයි කීත්ගෙ යාලුවන්ටත් ඇහුණ. ඒ ගොල්ලො හනි හනිකට පාපිස්නාව ලගට දුවගෙන ආව මේ අරුම පුදුම සිද්ධිය බලන්න. ඔවුන්ට තේරුණා මේ කීත්ගෙ මඩ තැවරුණ සපත්තු කුට්ටම තමයි කියල. ඔවුන් හයියෙන් හිනාවෙන්න පටන් ගත්ත. ඔවුන්ගෙ හිනාවෙ තරම කිව්වොත් හිනා වෙලා හිනාවෙලා ඇස් වලින් වැටිච්චි කදුලු කම්මුල් දිගේ කඩා හැලෙන තරමටම හිනා වුණා.

"හෝ....හෝ....හෝ...හා...හා....හා ... බලන්නකො අර සපත්තු දිහා....කීත්ට එයාගෙ සපත්තු පිහදාන්න අමතක වෙන නිසා එයාලම ඒව පිහිද ගන්නවා...අයියෝ...කීත්ට කොච්චරනම් ලැජ්ජාවක්ද අයියො......හෝ...හෝ...හෝ....." එයාල එහෙම කියල විනොද වෙන්න පටන් ගත්ත.

කීත්ගෙ මුහුණ රතු වුණා. එයා එයාට හිනාවුණූ අය දිහා පිළිකුලෙන් බලන් හිටිය. කීත් තමන්ගෙ පුටුවට වෙලා ඉදගෙන එයාගෙ සපත්තු දෙක තමුන් ලගට එනතුරු ලජ්ජාවන් යුතුව බලන් උන්න. සපත්තු යුගල හොදටම පිරිසිදු වුණාට පස්සෙ සට සට ශබ්දයක් නගමින් කීත් ලගට ආව. කීත් ඒව පැළැද ගත්ත. පිරිසිදු වෙලා ආපු සපත්තු කුට්ටම හරියටම කකුල් දෙකේ ගානටම තිබෙන බව කීත්ට දැනුණ.

එදා දහවල් දවස පුරාම කාගෙ කාගෙත් කතා බහට ලක්වුනේ කීත්ගෙ අරුම පුදුම සපත්තු කුට්ටම ගැනයි. ඒත් කීත් එයාලත් එක්ක එකතු වුණේ නෑ.  ඉස්කෝලෙ ඇරුණු විගසම එයා   වෙනදාටත් වඩා හයියෙන් දුවගෙන ගියේ එයාගෙ සපත්තු කුට්ටම ගලවලා දාල ඒකෙන් නිදහස් වෙන්න හිතාගෙන. එයා සපත්තු කුට්ටම ගලවන්න හදනවත්  එක්කම  දැක්ක එයාගෙ ජෝර්ජ් මාම එතැන ඉන්නව.

" හලෝ.....මෙන්න සුළි කුණාටුවක් එනෝ....." ජෝර්ජ් මාම එහෙම කිව්ව‍ෙ විහිලුවට. පුංචි කීත් දුවගෙන ඇවිත්  ජෝර්ජ් මාමව වැළද ගත්ත. ජෝර්ජ් මාම එයාට ගොඩාක් ආදරෙයි. කීත්ට හැමදේම අමතක වුණා. කොටින්ම කියනවනම් එයාට ආයෙත් සපත්තු පිහදාන එක අමතක වෙලාම ගියා. ඒත් එච්චර කාලයක් ගියෙ නෑ. එයාගෙ සපත්තුම ආයෙමත් ඒ ගැන මතක් කරල දුන්න.

පුංචි කීත්ට ආයෙත් දැනුණ එයාගෙ සපත්තු දෙක තද වෙනව වගේ කියල. කීත් හොදටම බිය වුණා. එයා බයෙන් බයෙන් ලේස් බුරුල් කරල සපත්තු දෙක ගලවල දැම්ම. සපත්තු කුට්ටම  කාමරයෙන් එළියට දුවගෙන ගිහින් දොරකඩ ඉස්සරහ තියෙන පාපිස්ස උඩට ගියා.  ජෝර්ජ් මාමයි අම්මයි දෙන්නම පුදු‍ම‍ වෙලා බලන් උන්න. කඩිසර කමින් එයාල විසින්ම සපත්තුවල අඩියේ තිබුණු මඩ සුද්ද පවිත්‍ර කර ගන්න විදිය  හරිම පුදුමයි. අම්මයි මාමයි දෙන්න තාමත් පුදුම වෙලා ඒ දිහා බලන් ඉන්නව පුංචි කීත් දැක්ක.

" මේ වගේ දෙයක් මම නම් කවදාවත් දැකල නෑ..." අම්ම ජෝර්ජ් මාමට කිව්ව. ඉස්කෝලෙ ගුරුතුමයි යාළුවොයි වගේ ජෝර්ජ් මාමයි අමමයි දෙන්නත් ඇස් වලින් කදුළු කැට පනිනතුරු හිනාවුණා. ඒත් කීත් හිනා වුණේ නෑ.  එයාට එයා ගැනම ලොකු තරහක් ආව.

ඒ සතිය පුරාවට හැම දෙයක්ම සිද්ධ වුණා. ඒත් කීත් වෙනස් වුණේ නෑ. කීත් තමන්ගෙ කකුල් පිහදාන එක හැමදාම අමතක කරන නිසා සපත්තුත් හැමදාම පාපිස්ස උඩට ගිහින් පිරිසිදු වෙලා එන්න පටන් ගත්ත.

ආයෙත් අලුතින් සතියක් පටන් ගත්ත. පසු ගිය සතිය පුරාවටම වෙච්චි දේවල් අමතක කරල කීත් සදුදා උදෑසනම ඉස්කෝලට ගියා.  කීත්ගෙ පන්තියෙ හිටිය ගැහැණු පිරිමි යාළුවො ඔක්කොම පුල පුලා බලා හිටියෙ කීත්ට කකුල් පිහදාන්න අමතක වෙනකම්. ඒ වෙන මොකවත් හින්ද නෙමෙයි. කීත්ගෙ සපත්තු කුට්ටම පාපිස්නාව උඩට ගිහින් පිරිසිදු වෙන හැටි බලන් ඉදල එයාලට සතුටු වෙන්න  පුළුවන් වෙන හින්ද.

ඒත් එදානම් කීත්ට කකුල් පිහදාන්න අමතක වුණේ නෑ. කීත් පාපිස්නාව උඩ හිටගත්තා. එයා අනිත් අය කරා වගේම තමන්ගෙ කකුල් පාපිස්ස මත තබා පිරිසිදු කර ගත්ත. ඒත් පුංචි කීත්ගෙ  වම් කකුලෙ සපත්තුවෙ පිටිපස්සෙ මඩ චුට්ටක් ඉතිරිවෙලා තියෙනව කීත් දැක්කෙ නෑ. එයා කකුල් දෙක පිරිසිදු කරල ඉවරයි කියල හිතාන පන්තියට ඇවිත් එයාගෙ පුටුවෙ වාඩි වුණා. කීත්ට හරි සතුටුයි. එයාගෙ යාළුවන්ටත් සතුටුයි..ඒ විතරක් නෙමෙයි කීත්ගෙ ගුරුතුමාත් ගොඩාක් සතුටු වුණා..දැන් කීත් හොද ළමයෙක් කියල...

අවාසනාවකට කීත්ගෙ සතුට එච්චරවෙලා රැදුනෙ නෑ. කීත්ගෙ වම් කකුල ටිකෙන් ටික තද වෙන්න පටන් ගත්ත. කීත් දුකින් වට පිට බැලුව. එයාගෙ යාළුවන්ටත් තේරුණා  කීත්ගෙ වෙනස. ඒත් වෙනද වගේ කීත්ට ඔච්චම් කරන්නට ය‍ාළුවො ආවෙ නෑ. එයාල කීත් ලගට ඇවිත් කීත්ගෙ දුක බෙදා හදා ගත්ත...කීත් වෙනද වගේම ලේස් එක බුරුල් කරල තදවුණු සපත්තුව ගලවල දැම්ම. ඊට පස්සෙ සපත්තුව දුවගෙන ගිහින් පාපිස්ස උඩ හිටගෙන එහෙට මෙහෙට පෙරළි පෙරළි චූටි චූටි මඩ කෑලි ඉවත් වෙන තුරු පිරිසිදු කරගෙන  ආයෙත් කීත් ලගට ආවා.

කීත්ට ඉවසගන්න බැරිතරම් දුකක් දැනුණ. මට මගේ සපත්තු පිරිසිදු කරන එක විතරක් නෙමෙයි,  ඒවගේ තියෙන චූටි චූටි මඩ දූවිලිත් හැම මොහොතකම අයින්කරන්න  වෙනවා. මට ඒක කවදාවත් කරන්න බැරි වේවි. සපත්තු හැමදාම පාපිස්ස උඩට යන්න ගත්තොත් මගේ යාළුවො මට හැමදාම හිනාවෙයි. අපරාදෙ.. ! අර මහලු සපත්තු මහන්නාට මං ගැන කිිසිම දෙයක් නොකිය ඉන්නයි මට තිබුණෙ......කීත් හිතුව.

දැන් කීත් ටිකක් ලොකු ළමයෙක්. කකුල් ලොකු වෙලා අර සපත්තු දාන්න බැරි මට්ටමට ආව. ඒ වන තෙක්ම අර මහලු සපත්තු මහන්නා දුන්න කහපාට පොලිෂ් ඉතිරිවෙලා තිබුණ. කීත්ට අලුත් සපත්තු කුට්ටමක් හදා ගන්න ඕනෙ වුණා. ඉතින් කීත් පසුවදාම මහලු සපත්තු මහන්නා ලගට ගියා.  ඒවගේම, අලුත් සපත්තු ජෝඩුවක් දෙනකොට අර කහපාට පොලිෂ් ගල්වන්න එපාය කියල කීත් මහලු සපත්තු මහන්නාගෙන් ආයාචනය කරා.

" ආහ්...ඒත් පුංචි මහත්තයාට සහතිකවම කියන්න පුළුවන්ද දැන් ඔයාට හොදයි කියල...." මහලු සපත්තුමහන්නා පුංචි කීත් දිහා දුඹුරු පාට උපැස් යුවල අස්සෙන් බැලුව.

"ඇත්තටම ...ඇත්තටම ..දැන් මට හොදටම හොදයි..." කීත් ස්ථීරවම ප්‍රකාශ කරා. " කොහේ හරි යද්දී කකුල් පිරිසිදු කරගෙන ඇතුළට යන එක මට කවදාවත් අමතක වෙන්නැති වේවි... ඒ හින්ද අර කහ පාට ‍පොලිෂ් ගල්වන්නෙ නැතුව මගේ අලුත් සපත්තු කුට්ටම මට දෙන්න.." කීත් බැගෑපත් වුණා...

"බොහොම හොදයි.....බොහොම හොදයි...." මහලු සපත්තු මහන්නා ආදරෙන් කීත් දිහා බලාගෙන ඉදල අලුත්ම අලුත් සපත්තු කුට්ටමක් කීත්ට දුන්නා.  කීත් ඒ සපත්තු කුට්ටමත් අරගෙන  ගෙදරට දිවුවා. කීත්ගෙ සපත්තු කුට්ටම හරියට ඔයාගෙයි මගෙයි වාගෙම එකක්.

හැබැයි කීත් ආයෙ කවදාවත් එක දෙයක් අමතක කරේ නෑ...ඒ මොකද්ද දන්නවද? එයා කවදාවත් කොහේට ගියත් කකුල් පිහදාල යන එක අමතක කරේ නෑ....කීත් වෙනදා වගේම එයාගෙ යාළුවොත් එක්ක සතුටින් හිටිය.

ඒත් තවම කීත්ගෙ පරණ සපත්තු කුට්ටමයි පොලිෂ් ටින් එකයි  එයාගෙ අම්ම පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඒ මොකටද දන්නවද ? බෑ බෑ ඒක කියන්න බෑ. හැබැයි  ඒ ඇයි කියල පුංචි කීත් නම් හොදට දන්නවා......
 ======================================

 ENID BLYTON  විසින් රචිත The Three Strange Travelles and Other  Stories කතාවේ පරිවර්තනයකි.

33 comments:

  1. කීත් කිව්වම මම හිතුවෙ කීත් නොයාර් වත්ද කියල.

    ReplyDelete
    Replies
    1. එයත් පොඩි කාලෙ එහම හිටියලු කියන්නෙ

      Delete
    2. මටත් එක පාරටම ඔලුවට ආවේ කීත් නොයාර් ව​...

      Delete
  2. Replies
    1. නියමයි මාමේ . :DX3

      Delete
    2. ඉවාන් අයියෙ,කසුන් මල්ලි,දිල්ශාන් ටෙක් ස්තූතියි ඔබ සැමට

      Delete
  3. ලස්සන කතාව.. නියමයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නිර්මාණි නංගි

      Delete
  4. මරු වැව්. මේ කතාව කියවද්දිත් ඔය රූප ටික දකිද්දිත් 'කෝච්චියේ ළමයි' පරිවර්ථනය මට මතක් වුණා. ඒකෙ මුල් කෘතියත් මේ රචකයාගෙමද කියලා මතකයක් නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. https://www.amazon.com/Childrens-Train-Jana-Zinser/dp/1939371856
      ?

      Delete
    2. ස්තූතියි වැව්.... මොකක්

      Delete
  5. නියමයි මචං...
    ළමා කතාවකට ගැලපෙන ශෛලයෙන්ම ලියල...

    ReplyDelete
  6. ඉතා හොඳ පරිවර්ථනයක්

    ReplyDelete
  7. වැව් මාමට තෑන්ක්ස්... අද මේ කතාව මං පොඩි එකාට කියලා දෙනවා...

    ReplyDelete
  8. ලස්සන කතාවක් වැව්...

    ReplyDelete
  9. වැව් මාමට තුති...ලස්සන කතාවක් රූපරාමු මැවුනා කියවද්දී...

    ReplyDelete
  10. බොහොම ලස්සන ළමා කතාවක් වගේ. මේකේ සැගවුණු අරුතක් තියෙනවද මන්ද. කෙලින්ම නම් එහෙම එකක් හිතට එන්නේ නෑ. විඩාව නිසා වෙන්න ඇති ඒ.

    කලින් මම බ්ලොග් ලියන කාලේ ඔබේ කොමෙන්ට් වලින් මාව දිරිගන්වුවත් මට ඔබට දිරියක් දෙන්න ලැබුන පළමු අවස්ථාව මේ.

    මෙයාකාර ලියවිල්ලක් පරිවර්තනය කරන්න ඔබට තිබෙන හැකියාව බොහොම ඉහල බවයි මට සිතෙන්නේ.

    ReplyDelete
  11. මට ඒ කතාව කියවන් යද්දි රූප ටික හරි අපූරුවට මැවිලා පෙනුනා..ඒක නියමයි මාමේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම තරමක් සාර්තකයි නේද....
      කලු මොනරි දූ පිළීගන්නව වැව් ඉස්මත්තට...ජය වේවා

      Delete