Wednesday, June 26, 2013

සද නැති අහස

සුදු පාට සිවිලිමට කලු පාට ගෙනෙන්නේ
රකින්නද තනි නොතනි මකුලු දැල් බදින්නේ
වැහිදාට ඝන අදුර ගෙබිම රජ කරන්නේ
නුඹ නැතිව මං කෙලෙස මේ දිවිය ගෙවන්නේ

සුදු පාට පංකාව කලු ගැහී දුවන්නේ
කුස්සියේ පිටිපස්ස කුණූ ගොඩක් මවන්නේ
වැහි දාට සීතලට ගුලි ගැහී නිදන්නේ
මහ රෑට හීනෙනුත් නුඹව මට පෙනෙන්නේ

මේසෙ උඩ සියළු දේ ඇත ගොසින් විසිරිලා
හෝදන්න රෙදි ගොඩක් බේසමක් ඉතිරිලා
බැහැ ඉන්න නුඹ නැතිව හදවතම පුපුරලා
මිය යාවි මං දිනක නුඹ නැතිව තනිවෙලා

පොඩිපුතුට අපි ගෙනා ලී පුටුව තනිවෙලා
හීනෙනුත් හඩනවා මගෙ පුතුව සිහිවෙලා
බෝනික්ක දූට ගත් ඇස් කොනින් හිනැහිලා
කෝ අසයි සුදු දූ ව මගෙ කනට කොදුරලා

කොහේදෝ ගිහින් ඇත හිත සතුට වියැකිලා
මොනවදෝ මිමිණූවා නුඹ රෑක පැමිණිලා
කියම්දෝ කෙලෙස මම තවම ඇත තනිවෙලා
කවදදෝ නුඹ එන්නෙ මා වෙතට හිනැහිලා

මහ රෑට ගෙඹි පැටව් මෙමට ඔච්චම් කරයි
කැරපොත්තු සිරි සිරිය මහද සිතුවිලි මරයි
නුඹ නොමැති වැහි රැයත් පට්ට අව් ගිනි සැරයි
මට එන්න නුඹ ලගට දැන් ඉතින් අවසරයි

Monday, June 24, 2013

පරා භවය

                                                                             

මා කවියෙකු නොවෙමි එහෙත් මා කවිය‍ට බොහෝ සේ ආදරය කරමි. ඒ මාගේ මෑණීයන්ගෙන් ලද ආභාෂය නිසා යැයි පැවසීම මුසාවක් නොවේ. මා කවියට මෙන්ම මාගේ මෑණියන්ටද එකසේ ආදරය කරමි. අම්මාට කරන්නා වූ උපහාරයක් ලෙස අම්මා විසින් තනන ලද පැදි පෙළක් මෙහි පළකිරීම අම්මාගේ සතුටටද හේතු වනු ඇත.
පහතින් දක්වා ඇත්තේ මාගේ මෑණියන් 2010 වසරේදි දහම් පාසල් ළමුන් හට පරාභවය නම් වූ දහම් පාඩම කියාදෙන්නට එහි ඇති පාලි ගාථාවන් කාව්‍යට හරවා උගනවනු ලැබූ පාඩමකි. මෙය ඔබේ රත්තරන් දරුවාටද  කියා දිය හැකි වටිනා පාඩමක් වනු ඇත. මෙය විරිදු කවි ආරෙන් නිර්මාණය කරනු ලැබූවක් බැවින් ඒ තාලයටම ගායනා කිරීම වටී.

බුදුන් දහම් සග තෙරුවන 
දොහොත් මුදුන් දී බැතියෙන
නමදිමි මා මේ විලසට
ධර්මය පවසන අටියෙන

සැවත් නුවර සිටුවරයා
ජේතවනය ඉදිකෙරුවා
භාග්‍යවත් බුදු සමිදුන්
දම් දෙසමින් වැඩ විසුවා

රෑ පෙරයම නික්මුනේය
ජේතවනය බැබලුනේය
 දෙවියන් එතැනට ඇවිදින්
පරාභවය විමසුවේය

පුද්ගලයෙකු පිරිහීම
කිමදැයි නොදනිමි තාම
භාග්‍යවත්  ගොතමයිනි
හේතු කියනු මැන මේම

හිත ඇති ඇත්තා දහමට
පත්වෙයි දියුණෙන් දියුනට
පිරිහෙන්නා සැම නිතරම
ද්වේෂ කරනු ඇත දහමට

අසත්පුරුෂයෝ ප්‍රියවේ
සත්පුරුෂයො අප්‍රිය වේ
පිරිහෙන ඒ පුද්ගලයා
අධර්මයට සිත යොමු වේ

නිදන සුළුය අලස වේය
පිරිස සමග නිරත වේය
උත්සාහය ඇත්තෙම නෑ
කිපෙමින් ජීවිත ගෙවේය

වැදු මව් සහ හැදුව පියා
රැකගත හැක පාල දයා
වත බත දී නොරකීනම්
පිරිහෙයි සැම විටම එයා

තමන් වෙතට පැමිණෙන්නේ
බමුණන් යාචකයින්නේ
බොරුවෙන් රවටා යැවීම
පිරිහෙන කරුණක් වන්නේ

රන්රිදි කහවනු ඇත්තා
පොහොසත් බව පිළිගත්තා
කිසිවකු හට නොම දීමෙන්
පිරිහෙනු ඇත ඒ ඇත්තා

ජාතිය හා ධනයෙන්නේ
කුළයෙන් උඩගුව ඉන්නේ
නෑයින් පහතට දැමීම
පිරිහෙන කරුණක් වන්නේ

ගැහැණුන් හට සුරාවටද
සූදුවටද ලොල් වීමද
පිරිහීමට කරුණු වේය
ලැබෙනා දේ නැති කෙරුමද

තම බිරිදට ආදරයෙන්
නොම සළකා ගොස් වෙනතින්
පිරිහීමට කරුණූ වේය
එක් වූවොත් පර අඹුවන්

තරුණ වයස පසු වුනාම
තරුණ බිරින්දන් ලැබීම
නොනිදා රැය පහන් කලොත්
පිරිහෙයි ඒ ගැන සිතාම

සුරාව සූදුව වැන්නේ
මස්වලටම ලොල් වන්නේ
පරිපාලනයෙහි යෙදවුණූ
පුද්ගලයා පිරිහෙන්නේ

රජ කුළයෙහි ඉපදුනාට
රජ වන්නට තැත් කලාට
අඩු සැප සම්පත් ඇත්තා
ලක්වනු ඇත පිරිහීමට

පරාභවය ගැන දන්නා
ආරිය පණ්ඩිත යන්නා
පිරිහීමේ කරුණු වලින්
සැම කාලෙම වෙන් වන්නා

දෙවියා සිත තුටු වන්නේ
සාදු සාදු හඩ දුන්නේ
පරාභවය උගත් පිරිස
දියුණෙන් දියුණට යන්නේ

වැරදීමක් සිදුවුණිනම්
සමාව දෙනු මැන සතුටින්
මෙම පාඩම හැකි වේවා
ඔබ හට තෙරුවන් සරණින්

දම්පාසල් යන දරුවෝ
පෙර ජය පිට ජය ලැබුවෝ
මා හට ඇති පැතුම් ගොන්න
ඔබගේ දියුණයි දරුවෝ







බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල මේ සන්හිදේ එළියක් ඇත සවස් කල


මමය මාගේය කියා දෙයක් මේ ලොව නැත  අප මහා බුදුන් වහන්සේ දේශනා කොට ඇත එනමුදු  වැව් ඉස්මත්තට  වෙලා කරපු දේවල්  වෙන කවුරුවත් කරපු දේවල්ද නෑනේ මමමනේ නේද 


දයාබර පාඨකයිනි  ලියන්නට යන්නේ මා  වසර එක්දාස් නවසිය අනුනමයේ අවුරුද්දේ මා හට සිද්ධ වූ එක් සිද්ධියක්  අළලාය
 නුඹලාට මතකද විමලරත්න කුමාරගම කිවිදානණ්ගේ අයියනායක කවි පන්තිය අන්න ඒකට කරපු දෙයක් සම්බන්ධවයි මෙන්න මේක.
ඇත්තම කිව්වොත් මාගේ මෑණියන් ඉන්නවා නේද? අර තරම්ම කිවිදියාණන්  කෙනෙක් නොවුනත්  ඇත්තටම ඇය තමයි මගේ ජීවිතයේ  කිවිදියාණන්

විස්තරේ මේකයි වැඩි පල්හෑලි අනවශ්‍යයි
ඒ කාලේ  විශ්ව විද්‍යාලවල රැල්ලක් තිබ්බා ඔය සංදේශ කාව්‍ය එහෙම වෙන වෙන ආකාරයට  ලියන එක කොටින්ම කිව්වොත්  ඔය නොතේරෙන භාෂා වලින්  කොච්චර ලේසිද නේද ?හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් හංස සංදේශය එහෙම කාටද පුළුවන් නොතේරෙන භාෂාවකින් ලියන්න.

එතකොට ඔන්න ඔය කියපු රැල්ලට මමත් අහුවුණා කියමුකො. ඒත් ඉතින්  ඔය ලොකු ලොකු අයියලා වගේ ලොකු ලොකු ඒව වෙනස් කරන්න අපි ගියේ නෑ. නැත්තෙම කියන්නත් බෑ මොකද ඔය සැළලිහිණි සංදේශය එහෙම පොඩි පොඩිවට වෙනස් කිරීම් වලට භාජනය කලා. නමුත්  අයියනායක කියන්නා වූ රමණීය කවි පන්තියට මගේ සිත නිරායාශයෙන් ඇදී ගියා කිවිවොත් නිවැරැදියි.  මට හරි ඉක්මනටම ඒ කවි පන්තිය ඉතාමත් ඉක්මනටම මතක හිටියා. හැබැයි අර ඉහතින් කියපු රැල්ලට මම ඒ වෙනකොටත් යට වෙලා ඉවරයි.

ඒ වගේම තමා අපි ඒ දවස්වල ඉස්කෝලෙට යනවා රෑට පාඩම් කරන්න කියලා. කොහොමහරි පන්තියේ ඔය පොඩි පොඩි වල් අදහස් ටිකක් තියෙන කොල්ලා ටිකක් තමයි රෑට ඉස්කෝලෙට එනනෙ. වල් කිව්වට අර වල් වැඩ එහෙම ඕන් නෙවෙයි හොදද.
ඉතින් රෑට ඉස්කෝලෙට ගිහින් මම කරන්නේ ඔය හිතට කාවැදුණූ අයියනායක කවි පන්තිය සුද්ධ සිංහල හෝඩියේ අක්ෂර අරගෙන  තිත්ත කුණුහරුපෙට පරිවර්ථනය කරන එක. 

හැබැයි මම ඒ කාලේ ලියපු කවි විහිළුවට උනත් කුණූ කූඩයට දැම්මෙ නෑ. ඒව අරපරිස්සමට අරන් තියල තිබ්බා. හැබැයි මේ වගේ කවි පන්ති ඉතාමත් රහසිගතව තමා හංගල තිබ්බෙ. රහසිගතව කිව්වට ඉතින් අපිට ඒ දවස්වල හැටියට ඉතින් කොට්ට අස්සෙ  පැදුර අස්සෙ වගේ තැන්වල තමයි හංගන්නෙ.
දවසක් දා ඉතින් මම දහපදුරාවේ ඇවිදලා ඇවිදලා ඕං ගෙදර එනවා.
රෑට බතුත් කාලා මේසෙ ගාවට ගියා මොනවා හරි බලන්න කියල හිතාගෙන. මේසයක් කිව්වට මේසයක්ම නෙමේ ඔය ගඩොල් කෑලි ටිකක් උඩින් පිටලෑලි ටිකක් තියලා හදාගත්තු එකක්. ඔන්න ටිකක් වෙලා ඉන්නකොට අපේ මෑණියන් වහන්සේ එතනට ලගාවුණා.
වෙනදත් ඉතින් ඔය සාමාන්‍ය විදියට අම්ම එන නිසා මම ගණන් ගන්නෙ නැතුව ඔය රචනාවක්ද කොහෙද ලිය ලිය හිටියා. 
එක පාරටම අම්ම කියපි 

''පුතේ  අර කොට්ටෙ අස්සෙ තියල තිබුණු  කොලේ තිබිච්ච කවි ටික නම් හරිම ලස්සනයි'' 

කියලා ....

ඔයාලාම හිතා ගන්නකො ඔය වගේ දෙයක් ඔයාලගෙ අම්මට හරි තාත්තට අහුවුණානම් මොනවයින් මොනව වෙයිද කියල. ඒ වගේම තමා මටත් හීන් දාඩිය දැම්මෙ නැති වුණාට මට දරා ගන්න බැරි විදියේ පට්ට පට්ටම ලැජ්ජාවක් හිතුණා. මම අහක බලාගෙන අම්මට බැන්න අම්ම මොකටද මගේ මේසෙ ගාවට ආවේ  කියලා. පස්සෙ අම්ම කිව්වා  ඒ වුණාට 

''පුතේ ආය ඔය වගේ කවි නරක විදියට වෙනස් කරන්න යන්න එපා''
කියලා.....

ඉතින් මම ඊට පස්සෙ මම එදත් එදායින් පස්සෙ කුණූහරුප කවි තියා  මෙලෝම මෙලෝ දෙයක් ලියන්න ගියේ නැහැ. ඊට හුගම හුග කාලෙකට පස්සෙ තමා  වැව් ඉස්මත්තට ගොහින්  කවියක් හැදුවේ. හැබැයි මම මොන කවියක් ලිව්වත් මගේ අම්මාට ඒව ලස්සනයි  හරියට උනහපුලුවට තමන්ගේ දරුවා ලස්සනයි වගේ

Saturday, June 22, 2013

කව්රුද හීය ඇගෙ හදවත වෙත විද්දේ

බැන්නත් අදර පාඨකයන් මෙමා හට
සිතුනා කවක් ගෙතුමට මව් වරුන් හට



ගෙයි පිළිකන්නෙ සාදා ඇති ගව මඩුව
කිරි අම්මාට ඇත සම්පත් නොම අඩුව
එනමුදු කියන්නේ කෙලෙසද මෙම නඩුව
තනි වී ඇති සෙයකි කිරි මව් තන පුඩුව


කොපමණ සැපක් තිබුණත් ඇතුළත මඩුව
කෙලෙසද මකන්නේ තම පුතු නැති අඩුව
සිටගෙන වෙව්ලමින් ඇය නෙත් යුග රතුව
කිරි අම්මා හඩයි ‍දෙනෙතේ කදුලැලි මතුව 


සොයමින් හැම තැනම පීරා ගම මැද්දේ
නිතරම කන් යොමයි ඇසුමට පුතු සද්දේ
කවුරුද හීය ඇගෙ හදවත වෙත විද්දේ
තනපුඩු කිරෙන් බරවී දෙපසට පැද්දේ


දරු සෙනෙහසින් එරෙනා කිරිවල අගය
දන්නා මව් වරුන් අද ලොව තුළ හිගය
තාමත් කිරි මවුන් පුතු සොයමින් මගය
කෙලෙසද සනසන්නේ ඇය පෙන්වා බුදු මගය


උපදින දරු පැටව් තම කුස තුළ ජනිත
ගෙල මිරිකා මරති කරමින් ලොව සළිත‍
ඒ වන් මව්වරුන් හට පියවරු සහිත
නැත කිසි සමාවක් කෙනෙකුට ලොව උපත

තම රුදිරයෙන් වැදුවා වු පුතු නැතුව
කිසි මව් කෙනෙක් නැත ලොව සොම්නස සතුව
සමහර මව්වරුන් වැළපෙයි කිරි නැතුව
රැකගන් සෙනෙහසින් නුඹෙ ආදර පුතුව


Thursday, June 20, 2013

දස වසරකට පෙර




දස වසරකට පෙර නව දිවියක්                   ලැබුවා
නිදහස් මනස වැව් ඉස්මත්තේ                   තැබුවා
කවි සිතුවිලි වලට නැවතීමේ තිත               එබුවා
කියු දේ කරන්නට මාගේ සිත                   හැදුවා