Sunday, February 9, 2014

කිරි අම්මේ


කාලෙන් කලට හැමදේමත් වෙනස් වන
නොතිබෙන දෙයත් වෙද මේ ලොව සසල වන
වියතුන් නූගතුන් නිතරම දෙසන බන
ඒ ගැන සිතන විට කැපුමට සිතෙයි කන

වරමක් දුන්නොතින් සක් රජු මෙහි පැමින
කලබල වේවි කවුරුත් දැන් මෙහි සිටින
මොනවද ඇත්තෙ  වැඩියෙන් දිව ලොව වටින
ඒ සැම දෙන්න මට රැකුමට දිවි ගමන

දෙව් ලොව කතා කියමින් සනසපු බාලේ
සුර  අසුරයින් ගැන කිව් හිදගෙන සාලේ
මව්ටත් වැඩිය හෙව් අපි ගැන පොඩි කාලේ
කිරි අම්මාය මගෙ වරමට සක් රාලේ

 වියැලී එල්ලෙනා මුත් ඇගේ මහලු තනේ
නොබැලු එකෙක් වෙද ඒ කිරි රසය අනේ
අම්මා දෙනවිටදි ගුටි බැට හතර කොනේ
වෙන සැනසුමක් වෙද කිරිමවු නොමැති තැනේ

තල් කොල වලින් නිතරම හැඩ වැඩ පෙන්නු
ඇය අමතකයි කාටත් දැන් යල් පින්නු
කිසිවිටකවත් පොල් කොල අහකට දැම්මු
කෙනෙකුන් නොවේ යැයි සළකති මේ ගම්මු

නොතිබුණු නමුදු ඇගපත සත්තියෙන් වෙළී
සිවු පෝයටම සිල් ගයි බත්තියෙන් ගැලී
ගෙයි දොර හැම වැඩම කෙරුවත් නොකර මැලී
කිසිවිටකවත්  දැක නැත්තෙමි ඇගෙහි දැලී

දරු මුනුපුරන් ගැන නිතරම  සිත යෙදුව
කොන් වී විටෙක පසෙකට වීමට සිදුව
මියයන තුරුම බුදු දම් සග මොක්  පැතුව
නිවනින් සැනසෙන්න ඔබෙ සිල් ගුණ මතුව

http://wewismatha.blogspot.com/

20 comments:

  1. ඇත්ත, කිරි අම්මල ඉන්න ගෙවල්වල අම්මලටත් වඩා ළමයි ගැන ඒ අය හොයනව තමයි.
    ලස්සන පද පෙලක්.

    ReplyDelete
  2. කිරි අම්මා කිව්වේ ආච්චිද...?

    ReplyDelete
    Replies
    1. කිරි අම්මා,ආච්චි,අත්තම්මා මං දන්නෙ ඔය ටික විතරයි පොදුවෙ තියෙන ඒව

      Delete
  3. කවි ටික ලස්සනයි වැවෝ. කිරි අම්මා.. පොඩි එවුන් ගොඩක් ආසයි නේද කිරි අම්මා එක්ක ඉන්න. සමහර පොඩි වුන් අම්මට වැඩිය සමීපයි කිරි අම්මට.

    ReplyDelete
  4. මටත් මගෙ ආච්චිව මතක් වුණා..මාවත් පොඩි දවස් වල බලා කියා ගත්තෙ අපේ ආච්චි අම්ම තමයි..

    ReplyDelete
    Replies
    1. ආච්චි කෙනෙක් ගාව ආදරේ වැඩියි තම මුණුබුරු මිණිබිරියන්ට

      Delete
  5. කිරි අම්මලා, අම්මලාට වැඩිය ආදරෙයි කියලා හැමෝම කියන දෙයක්..

    ReplyDelete
    Replies
    1. හැමෝම කිව්වට සමහරක් ආච්චිලාට සළකන විදිය වැරදියි යාළු

      Delete
  6. ඇත්තටම ලස්සනයි බොලේ කවි ටික...

    ReplyDelete
  7. සෙනෙහෙ පිරි කවි පෙළක්
    සිරියාවන්ත මුහුණක්......

    ReplyDelete
  8. නැතුවට මට කෙලින් ඔය අත්දැකීම
    මං විඳ තියේ නෙක තැන ඔය හැඟීම
    කියවන විටදි කඳුළැලි නොම දැනීම
    ඇස තුළ පිරී අඩු විය මගෙ පෙනීම

    පැදි පෙළ රහයි ඇතිවෙයි ඉරිසියාව
    දෙතැනක නොමැත එළිසම නම් ප්‍රියාව
    අවසන් පැදියෙ යවහන බිඳි නියාව
    හොඳ නැහැ මලේ නොකරන් ඔය ක්‍රියාව

    ReplyDelete
  9. ලේ කිරි කරන්
    මට නොදුන් නමුත්
    මා මව් සමවී
    කිරි අම්මා....
    මතකෙට එද්දි
    නෙත කදුලැල්
    නැත නිම්මා...
    මෙතේ බුදුන් ළග
    නිවනේ සැනසෙන්
    මගෙ කිරි අම්මා......

    ලස්සනයි ඔයාගෙ කවිය.... හැබෑවටම අපූරුයි... අදයි මෙහෙ ආවෙ...
    එන්නං දිගටම දාගත්ත ඔන්න රෝලටත්...
    හැකියාවක් තියේ නං ඇවිත් යන්න අපේ පැත්තෙ

    අවන්හල

    ReplyDelete
  10. බොහොමත් තුති පුදමි ඔබ හට මෙමා අද
    දැකගනු රිසින් පැමිණෙමි මම ඔබගෙ තෙද

    ReplyDelete
  11. ලස්සන කවි පෙළක්! මමත් කවි පිස්සෙක්....
    අදයි මුලින්ම ඔබේ නිවහනට ගොඩ වුනේ. නැවත එන්නම්. ජය වේවා!!

    ReplyDelete
  12. හිතෙන හිතුන දේවල් සේරම මම මෙතන කෙ‍ටුවොත් ඒක තව පෝස්‍ටුවක් වෙවි. කොහොම උනත් උඹගේ මාතෘකාව නම් බොහොම වටිනවා යාළුවා. ගෙහුං එඤ්ඤං...

    ReplyDelete