Thursday, March 2, 2017

වරෙන් ඔය ගුබ්බෑයමෙන් එළියට


පුතා උඹ හිතනවද උඹ හරියි කියල. උඹ හිතනවද උඹ ඔය ගත්ත තීරණය හරියි කියල. උඹ හිතනවද උඹ ඔය ගත්ත තීරනේ මත උඹේ අනාගතේ සාර්ථක වෙයි කියල.

උඹේ අම්ම විතරක් නෙමේ උඹේ තාත්තටත් සිංහල හෝඩියේ අකුරක් වත් ලියාගන්ඩ බෑ. තාමත් අත්සනට ගහන්නෙ ඇඟිලි සළකුණ. දැන් තියෙන්නෙ කළි යුගයටත් එහාට ආපු ලෝකයක්. ඒත් ඒ අම්මයි තාත්තයි දැනගෙන හිටියා අධ්‍යාපනයෙ තියෙන වටිනාකම. ඒකයි ඒ ගෑණී කුසට අහරක් ගන්නැතුව උඹලගෙ බංඩි ගෙඩි පුරවව්වෙ. ඒකයි උඹෙ තාත්ත උදේ ඉඳන් රෑ වෙනකං ගල් කොරියෙ වැඩට ගිහිං රෑ වෙනකං ගල් හිල්කොරේ. දවස තිස්සෙ කලු ගල් ගෙඩිත් එක්ක හටන් කොරාට උඹේ තාත්තගෙ හදවත හරි ඉක්මණට උණු වෙනවා. හරියට කුඩු ගලක් කෑලි කෑලි වලට කැඩිල යනව වගේ. ඒ වෙන කවුරුවත්  හිංද නෙමෙයි. උඹ වෙනුවෙන් හිතල.

උදේ ඉඳන් රෑ වෙනකං උඹේ අම්ම කුලී වැඩ කරා. ඒක උඹ හොඳාකාරවම දන්නව. අන්තිම මොහෙතෙත් පැයක් විතර වැඩියෙන් වැඩ කරනව. ඒ අයිතිකාරයට තියෙන ආදරේට නෙමෙයි. උඹේ අනාගතේ වෙනුවෙන් ආයෝජනය කරන්න.ඒ වැඩිපුර හොයන රුපියල් සීයත් ඉතුරු කරා. අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි උඹව හැම අතින්ම දක්ෂයෙක් කරන්නයි උඹෙ අම්මටයි තාත්තටයි ඕන වුනේ. ඒකයි ඉස්කෝලෙ යන කාලෙම උඹට රියදුරු බලපත්‍රයත් අරන් දුන්නෙ.

උඹට කටක් ඇරල කියන්න පුළුවන් නෑදෑයෙක් උඹට ඉන්නවද. එක සයිකලේ නැගල යන්න පුළුවන් නෑදෑයෙක් උඹට ඉන්නවද. උඹේ අම්මගෙ සහෝදරයොත් එකෙක්වත් වැස්සකටවත් ඉස්කෝලෙකට ගියපු උන් නෙමේ. අඩුම තරමෙ පන්සලකටවත්. එකෙක් තනිකර පල් හොරෙක්. තව එකෙක් ගංජ විකුණනව. අනිත්එකා කසිප්පු පෙරනවා. ගෑණු සහෝදරියෝ පැත්තකින් තියමු. උනුත් එහෙම තමයි. කී දෙනෙක් එක්ක යහන්ගත වෙච්චි උන්ද. අර ගෙදර ඉන්න පොඩී එකීට අප්පොච්ච කියන්න එකෙක් නෑ. පිරිමි තුන් දෙනාම කී සැරයක් නම් බලු කූඩුවේ කම්බි කූරු ගණන් කරන්ඩනං ඇත්ද. සමහරවිට උඹ හිතයි මේව මේ මට කියන්නෙ මොකද කියල. මං දන්නවා මේ හැම කැරැට්ටුවක් ගැනම උඹ දන්නව කියල. උඹ විතරක් නෙමෙයි උඹෙ අම්මයි තාත්තයි දෙන්නත් දන්නව.

හැබැයි උඹෙ අම්මයි තාත්තයි ගැනත් මුළු ගමම දන්නව. ඒක උඹ දන්නවද දන්නෙ නෑ. ඒ උඹ වෙනුවෙන් උඹේ අනාගතේ වෙනුවෙන් නොකා නොබී සල්ලි හම්බ කරපු එක. මුළු පවුලෙම උන් අශීලාචාර වැඩ කරද්දී උඹේ අම්ම විතරක් සමාජෙ ශීලාචාර විදියට ජීවත් වූණා. උඹ දැනගනින්. උඹේ අම්ම කුලී වැඩ කරත් ගෙවල් ගානෙ ගිහිං වලං හේදුවත් රැජීණක්  වගේ අදටත් ජීවත් වෙනව. උඹලගෙ අම්ම හරියට මඩේ පිපුණු නෙළුමක්. උඹලගෙ අම්ම පට්ට කලුයි තමා. ඒත් උඹලග අම්මගෙ ඇතුළාන්තය නැවුම් කිරි කලයක් වගේ. ඒ තරමටම පිවිතුරුයි.

උඹ පන්තියෙන් පන්තිය පාස් වෙලා ඉස්සරහට එද්දී උඹේ අම්ම උඹ ගැන නොයෙක් දේවල් දෙඩෙව්ව. උඹ ඉගෙන ගන්න දස්සය කිව්ව. උඹට කිසි අඩුවක් වෙන්න දෙන්නෑ කිව්ව. උඹ ඉස්කෝලෙ ඉන්න හොඳම ළමය කියල කිව්ව. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ විභාගෙන් උඹ මුළු ඉස්කෝලෙන්ම වැඩියෙන් හොඳටම සමර්ථ වෙනව කියලත් කිව්ව. උඹ ගැන කතාවෙන හැමෝටම උඹ ගැන කිව්ව. මං දන්නෑ මේ ලෝකේ වැඩියෙන්ම පුතෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඒ උඹේ අම්ම වෙන්න ඇති කියල මට හිතෙනව.

අන්තිමේදී උඹ අම්මගෙ බලාපොරොත්තු ඉෂ්ට කරා. උඹ සාමාන්‍ය පෙළ ඉහළින්ම පාස් වුණා. කලු පාටින් පිරිල තිබිච්ච උඹලගෙ අම්මගෙ මුහුණු අමුතුම පාටකින් දිස්නය දුන්න. උඹේ අප්පොච්ච ගමේ වැඩ කරල හම්බකරන සල්ලි මදි නිසා කොළඹ ගිහින් වැඩ කරා. උඹට කෑමෙන් බීමෙන් අඩුවක් වුණාද. ඇඳුම් පැළඳුම් වලින් අඩුවක් උනාද පොත් පැන්සල්. නෑ උඹට මේ කිසිම දේකින් අඩුවක් වුණේ නෑ.

ඒ කියල උඹ නොමග ගියෙත් නෑ. ඒක වෙන්ඩ ඇති උඹට ගමේ මිනිස්සු කිව්වෙ උඹ දේව දරුවෙක් කියල. දේව දරුවෙකු තුළ තියෙන ගති ලක්ෂණ උඹ ලඟත් තියෙන්න ඇති. ඒ්ත්  උඹලගෙ  අම්ම කිව්ව දේවල් වටපිටාවෙ උන් සහතික කරා මිසක් මම උඹ ගැන කිසි දෙයක් දැනන් උන්නෙ නෑ. උඹ ඉගෙනීමට විතරක් නෙමෙයි ප්‍රායෝගික වශයෙන් හැම දේටම එක වගේ දක්ෂයි කියලත් කිව්වෙ උඹ වටේ හිටපු උන්ම තමයි.

එහෙව් උඹ ඔය ගන්ට යන තීරණේ හරි එකක් නෙමේ. මොකද ඒකෙදි උඹේ අම්මයි තාත්තයි අසරණයි. උන් දෙන්න උඹ කියපු දේ මෙච්චර කාලයක් ඇහුව. උඹ අම්මයි තාත්තයි කියන දේ මෙච්චර කාලයක් ඇහුව. දැන් ආයිත් උඹ කියන දේ අහන්ඩ උඹේ අම්මටයි අප්පොච්චටයි ඉඩ තියන්ඩ එපා. මොකද උඹ තරුණ කොල්ල. උඹට දරා ගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනෙ. මොන දේ උනත් ඉවසීමේ ශක්තිය තියෙන්න ඕනෙ. අම්මටයි තාත්තටයි එහෙම නෑ. උඹේ කීම අහල ඒ ගොල්ලෝ අරගෙන ආපු බර එහෙමත් නැත්තම් උඹ වෙනුවෙන් කරපු ආයෝජන සියල්ල බිමින් තියල නිදහස් වෙන්න බලයි. එහෙම වුනොත් එකේ පාඩුව මකන්න උඹට මේ ජීවිතේට බැරි වෙනව.

උසස් පෙළ ප්‍රතිඵල එන්නත් කලියෙන් උඹට අලුත් ඇඳුම් අරගෙන තිබ්බ උඹේ අම්ම. ඒ වෙන මොකටවත් නෙමේ කැම්පස් යන්න කලින් උඹට බැංකුවේ රස්සාවට යන්න. ඒ අම්ම ඒ වගේ උඹ ගැන ගොඩාක් බලාපොරොත්තු තියන් උන්න. උඹ උඹේ හදවතට චුට්ටක් තට්ටු කරල බලපං. අඩුම තරමේ උඹට උඹේ අම්මගෙ සිතුම් පැතුම් මොනවද කියල හිතන්නවත් පුළුවන්ද. ඒත් උඹලෑ අම්ම. උඹට අලුත් යාළුවොත් හම්බෙනව. ඒ යාළුවො ගෙදර එක්ක එන්න පුළුවන් විදිහට අම්මයි තාත්තයි කුලී වැඩ කරල ගේ හැදුව. ගේ විතරක් නෙමෙයි බලපං ගෙවත්ත. හරියට හග්ගල මල් වත්තක් වගේ.

උඹ උසස් පෙළ ලියල කොළඹ වැඩපලකට ගියා. ය‍ාළුවොත් එක්ක. අම්ම ඇහුවම කිව්වෙ විභාගෙ ප්‍රතිඵල එනකම් විතරනෙ කියල. ඔව් ඒක ඇත්ත. ඒත් දැන් විභාගෙ ඉවරයි. උඹලෑ අම්ම තාත්ත විතරක් නෙමේ මුළු ඉස්කෝලෙම ළමයි ගුරුවරු ඔක්කෝම පුදුම වුණා. උඹ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකය. විතරක් නෙමේ සාහිත්‍ය සමිතියේ සභාපති. විවාද කණ්ඩායමේ නායකය. පන්තියේ පළවැනිය. උඹට මොකද වුණේ කියල. උඹටත් හිතා ගන්ඩ බැරිවුණා මොකද වුණේ මේ කියල.

ඇයි උඹට බැරිද ගුරුවරුන්ට මූණ දෙන්ඩ. උඹ ඒකට බයේද කොළඹට වෙලා ඉන්නෙ. එහෙම නැතුව විභාගෙ ෆේල් වෙච්චි එක උඹේ අම්මටයි තාත්තටයි කරපු වරදක් කියල හිතනවද. උඹ හිතනවද උඹේ අම්ම උඹ විභාගෙ ෆේල් වෙච්චි එක ගැන හිත හිතා අඬ අඬා ඉන්නව කියල. එහෙම හිතාගෙන ඉන්නවනම් ඒ උඹට වැරදිලා. උඹේ අම්මයි තාත්තයි උඹ පුංචි කාලෙ ඉඳන්ම මහන්සි වුණේ උඹව හොඳ මිනිහෙක් කරන්ට උඹට හොඳ අධ්‍යාපනයක් දීල. උඹව සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සෙ ඒ බව උඹේ අම්ම මාත් එක්ක කිව්වෙ සතුටු කඳුළු වගුරවමින්. ඒත් අවාසනාවකට  උඹ උසස් පෙළ ෆේල් වුණා. ඒකත් මට කිව්වෙ උඹේ අම්ම. ඒත් උඹේ අම්මග‍ෙ ඇස් දෙකෙන් කඳුලු කඩන් වැටුන්නෑ.

ඒත් මට දැන් හිතෙන්නෙ අම්මට තාත්තට තියෙන දරාගැනීමේ හයිය උඹට තිබිල නෑ කියල. මං දන්නව උඹට දරාගන්න බැරි උඹ වෙනුවෙන් දර දිය ඇද්ද අම්ම තාත්ත හිංද කියල. ඔව් පුතා, උඹ වරෙන් එක විභාගයක් කියන්නෙ එක ජීවිතයක් නෙමෙයි. නමුත් මතක තියා ගනින් පුතා මේ ජීවිතේම විභාග වලින් පිරිල තියෙන්නෙ. අන්න ඒ විභාග වලින් ජය ගන්ඩ නම් හැංගිමුත්තන් කරල හරියන්නෑ ඉස්සරහට ආයුතුමයි පුතා. මේ මහපොළොවෙ පය ගහල ජීවත් වෙන්ඩ ඕන විදිය දැන් උඹේ අම්ම උඹට කියල දේවී. මෙච්චර කාලයක් උඹව ආරස්සා කරපු උඹට ආශිර්වාද කරපු උඹට සමච්චල් කරපු මේ මහපොළොවට වරෙන් උඹට ඉගෙන ගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. වෙන කවුරුවත් නෙමෙයි ඇමරිකාවෙ ජනාධිපති වෙච්චි ඒබ්‍රහම් ලින්කන් කියවපං. උඹට ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. රුසියාවෙ පුටිං ගැන හිතපං. උඹට පුදුම හිතෙයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සිය දාස් ගාණක් ඇති. ඒ ඔක්කොම කියවපං. නැත්තං ඇවිල්ල බ්ලොග් කියවපං . ඒවායෙ උඹට ඉගෙනගෙන ඉවර කරන්ඩ බැරි දේවල් බොහොමයි. සැඟවිලා ඉන්න උඹේ එඩිතරකම් එළියට එයි. උඹේ ඔය ගතිගුණත් එක්ක ඒක සංකලනය වෙනකොට උඹ මේ රටට ලෝකයට අවැසි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙයි.

වරෙන් ඔය ගුබ්බෑයමෙන් එළියට...




13 comments:

  1. නියම ලියවිල්ලක්.... ඇත්තම කතාවක් වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ලිඛිතා සත්‍ය සිද්ධියක් පාදක වුණා...සාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්තට

      Delete
  2. අගනා ලියමනක්...වටිනා උපදේශයක්...විභාග කියන්නේ ජිවිතේ නෙවේ...ඒ නැතත් එක විභාගයක් නැතුවට තව විභාග ගොඩක් තියනවා මනුස්සයෙක් වෙන්න පුළුවන්...

    ReplyDelete
  3. එක විභාගයක් කියන්නෙ එක ජීවිතයක් නෙමෙයි කියන එකත් සමා‍ජෙ වලේ වැටෙන්නැතුව ජීවත්වෙන්න ඊට වැඩිය විභාග පාස් කරන්න ඕන කියන එකත් තේරුම් ගන්නඑක තමයි වෙන්න ඕන.
    නියම කතාවක්.

    කවුද මේ කතාව කියන්නෙ කියන එක තමයි හිතාගන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න....කතා නායක වැව්

      Delete
  4. අගේ ඇති ලියවිල්ලක්. ජය!

    ReplyDelete
  5. වැව්.
    වැව් ඉස්සර ලිව්ව කතාවලින් අපිට, මේ සමාජෙට ඉතාමත් වටිනා පාඩම් සරලව කියාදුන්නා. මේකත් ඒ වගේමයි. හිතන්න දේවල් බොහෝමයක් ඇති මෙවන් ලිපි ලිවීමේ හැකියාව තව තවත් වැඩි දියුණු වෙන්න මගෙන් සුභ පැතුම්.

    අම්මෙක් වෙහෙසවී කරදර විඳින්නේ
    දරුවෙක් යහ මගට ගන්නයි හදන්නේ
    පිස්සෙක් නොවී වැරදුණු තැන බලන්නේ
    අම්මෙක් හෙලූ කඳුලට ණය දියන්නේ.....

    ජයවේවා!!!

    ReplyDelete
  6. පංකාදු පහයි ..

    ReplyDelete
  7. ජීවිතය...ඔව්...ඒක මාරයි වැව්...මම ඔරු පැදලා තියෙනවා ඒ වැවේ.

    ReplyDelete