Wednesday, May 4, 2016
ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං ච කාකයො: මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්- නාරි චිත්තං න විශ්වශේත්
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
සැමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ
අම්බලමේ නැවතීලා යම්ද නගෝ
තනිපංගලමේ යන එක් තරුණ කාන්තාවකට එක් තරුණයෙක් මෙහෙම ආරාධනාවක් කරනව. ඒ ආරාධනය කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකරන ඇය,
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හිංදා
වසාගෙන දෙතන බිළීදුගෙ කිරි හිංදා
බාල මස්සිනා පස්සෙන් එන හිංදා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා
මඩ ගොහොරුන් පිරුණු, සතා සීපාවා උදේ හවා ඇවිද යන අලි කකුල් වලින් වල ගැසුනු අමාරුවෙන් කරත්ත දක්කගෙන යන කරත්ත පාරකයි මේ කියන කතා නායිකාව මෙන්ම නායකයාව දැන් ඇවිදන් යන්නෙ. පාර මඩ ගොහොරුවලින් පිරී ඉතිරී තියෙන හිංදම මේ තරුණ කාන්තාව චීත්ත රෙද්දෙ යට කොටස අතකින් උස්සා ගෙන ගමන් කරනව. ලතාවකට නැළවි නැළවී යන කාන්තාවගේ පිරුණූ පාදයන්හි සුන්දරත්වයෙන් හදවත සලිත වන තරුණයාගෙ සිත රාගයෙන් මුසපත් වෙනව. ඒ හිංදම ඔහු ඇයගෙන් අහනවා ඇයි මේ එක අතකින් නෙරිය අල්ලාගෙන කියල . නෙරිය යන්න ඇතැම් අය දකින්නෙ චීත්තය හැදගත්විට පහතට වැටෙන රැලි සහිත පොටට බවයි. නමුත් මෙහිදී ඒ පොටෙහි මඩ ගෑවිය නොහැකි බැවින් එය චීත්තයේ යට කොටසම විය යුතුය යන්න මගේ පුද්ගලික හැගීමයි. ඇය විවාහක තරුණ කාන්තාවක්. නමුත් ඒ කිසිවක් හෙළි නොකරන ඇය නිහතමානීව පිළිතුරු දෙනව, මේ පාරෙ ගමන් කරන්න අපහසුයි මඩ නිසා මගේ චීත්තය ජරාවෙනවා ඒ නිසයි මා නෙරිය අල්ලන් යන්නෙ කියල.
ඒ විතරක් නෙවෙයි තරුණ කාන්තාවකගේ මුළු ශරීරයම ඒකාලෝක කරන්නෙ ඇගෙ සුන්දර පුන් පයෝදර යුග්මයයි. අතීතයේ පටන් රණ හංසයින්ට උපමා කරන, ඇගේ පිරුණා වු පියයුරු දැක ඔහු වශීකෘත වෙනව. එහෙව් ලස්සන දෙතන කුමක් නිසා නුඹ අතකින් වසාගෙන යන්නේද කියා තරුණයා ඇගෙන් විමසනව. මේ කව මෑතක කියනලද කවියක් නෙමේ දැනට වසර සිය ගණනකට පෙර කියු කවකි. අතීතයේ කාන්තාවන් උඩුකය නිරුවත්ව සිටි බවට ඇතැම් පොත්පත් සාක්ෂී දරයි. රොබට් නොක්ස් කියන ඉංග්‍රීසි ලේඛකයා ලියා ඇති එදා හෙළදිව කෘතියෙ ඒ පිළිබද මනාව පෙන්වා තිබෙනව. (සියළු කාන්තාවන් නොවේ). ඉතිං අලුත උපන් දරුවෙක් ඉන්න කාන්තාවකගෙ පියයුරු කිරෙන් බර වෙලා තියෙන්නෙ..සමහර විට තම දරුවා බොහෝ වෙලාවකින් කිරි උරා බොන්නත් නැතුව ඇති. ඒ වෙලාවට මව් කෙනෙකුට දැනෙන වේදනාවද ඒ අයම මිසක් පිරිමි අපි දනිත්ද ? ඉතිං හයියෙන් හයියෙන් පයින් යනවිට ඒ බර තමන්ට දරා ගන්න බැහැ. ඒ නිසාම එක අතකින් පියයුරු වසාගෙන යන තරුණ කාන්තාව මේ මොකුත්ම කියන්නෙ නැතුව කියන්නෙ බිලිදුගෙ කිරි නිසා තමන් දෙතන වසාගෙන යන බවයි. කාන්තාව නොකියා කියන්නෙ තමන් මවක් බවයි.
මෝරා වැඩෙන තාරුණ්‍යයේ ප්‍රේමණීය හැඟීම්වලින් සන්නද්ධ තරුණයාද තම අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමට කෙසේ හෝ ප්රයත්න දරයි . තරුණියගේ සංවරශීලි බවින් දිරිමත් වන තරුණයා නැවතත් ඇයගෙන් ප්‍රශ්න කරයි. සැමියෙක් නැතිව තනිපංගලමේ නුඹ මේ කොහේ යන්නෙද ?. අතීතයේ පමණක් නෙමේ වත්මනෙහිද තනිවම තරුණ කාන්තාවක් එළිබැසහොත්, ඇතැම් තරුණයින්ගේ පමණක් නොව ඉතා වයසක මිනිසුන්ගෙන් පවා නානප්‍රකාර වචන අහන්නට සිදුවීම කාලයේ අවාසනාවය. නමුත් මේ කාන්තාව ගරු ගාම්භීරව තරුණයාට පිළිතුරු දෙනව. මගේ බාල මස්සිනා පිටිපස්සෙන් එනවා. ඒකයි මං මේ කිසි බියක් නැතිව මේ පාරෙ ගමන් කරන්නෙ කියල. මේ කවි පදයෙන් කරුණු කීපයක් පිළිබද කියැවෙනව. එකක් තමන්ගෙ ස්වාමියා මිය ගිය කාන්තාවක්. ස්වාමියා මිය ගියාට පසුව ඔහුගෙ සහෝදරයින් විසින් තම නෑනණ්ඩිය ආරක්ෂා කරගන්නව. ඒ වගේම තමා මේ කාන්තාවගේ ස්වාමියා ජීවත්වෙලා ඉන්නවා සහ එයාගෙ පුංචි මල්ලිත් එක්ක තමා මේ ගමන යන්නෙ. ඉතිං ඒකත් වෙන්න බැරි කමක් නෑ. එමෙන්ම බුදු දහමින් පෝෂණය වු එදා ගැමියා තුල තිබු ඥානය පිළිබිඹු කරන්නට කියු වදනක් වුවද විය හැක. එසේනම් ඇය තම ස්ථානෝචිත ප්‍රඥා මහිමයෙන් අසත්‍යයක් පවසා ඔහුගෙන් ගැලවීමට උත්සාහ කළා වුවද විය හැකිය.
තරුණයාට නොදැනෙන්න බිය වද්දන කතා කිව්වද තරුණයාද බියවෙන ස්වරූපයක් පෙනෙන්නට නැත. ඒ හිංදම තරුණයා අවසානයේ අර කාන්තාවගෙන් අහන්නෙ අම්බලමේ නැවතිලා ටිකක් විවේක අරගෙන යමුද කියලා. තරුණ කාන්තාව දන්නවා මේ ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නටම බව. ඇය ඔහුගේ කිසිදු උගුලකට අසුවන්නේ නැහැ. තරුණයා විමසන සෑම ප්‍රස්නයකටම මේ තරුණිය සාදාරණ මෙන්ම තරුණයාගේ හිත තුල ක්‍රෝධයක් වෛරයක් හට නොගන්නා ආකාරයට පිළීතුරු දීමට සමත් වෙනව. ඇය විසින් කියන ලද මේ පුංචි කවි පන්තිය මුලු මහත් කාන්තා පරපුරටම ආර්ශයක් යැයි මගේ මතයයි. මේ විවාහක තරුණ කාන්තාව සමස්ථ ගැහැණුවර්ගයාටම ආදර්ශයක් වෙනව. තමන් කොපමණ දුප්පත් උනත් කොපමණ කුළයෙන් පහත් උනත් තමන්ගෙ පතිවෘත්තා ධර්මය ආරක්ෂා කරගැනීමට ඇය සමත් වෙනවා. බුදුන්ගෙ කාලයේ තිබුණූ බමුණු මතය මේ කාන්තාව විසින් කීතු කීතු කරල ඉරල දානව. "යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා " යන කියුමෙන් ඇය තරුණයාගෙ සිත තුල සෙනෙහසක් දයාවක් ඇති කරලීමට සමත් වෙනව. එම තරුණයාගෙ පමණක් නොවේ සියලු හදවත් තුළ ඇය කෙරේ අනුකම්පාවක් ජනිත නොව්නනේද?. ඔහු තුල ඇය කෙරේ අසංවර වූ රාගයක් ඇතිව තිබුනේනම් ඇගේ ඒ වදන් පෙළින් ඒ සියල්ල සුන්නද්දූලි නොවන්නේද? "ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං ච කාකයො:මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්- නාරි චිත්තං න විශ්වශේත්" වැනි වැකි යොදා ගනිමින් එදා ගැහැණිය කොතෙක් නම් ගර්හාවට ලක් කලද බුදු සමය තුළ එය නිර්දය ලෙස විවේචනයට ලක් කරයි.
අතීතයේ ගැමි කාන්තාව තුළ තිබූ හික්මීම සංවරකම මනාවට පෙළ ගැස්ස වූ කවි සංවාදයක් ලෙසට මෙය ගෙන හැර දැක්විය හැකි. තරුණයාගෙ හදවතේ වුවද තරුණ කාන්තාව සම්බන්ධයෙන් පැන නැගුණා වූ ඒ ආදරය රාගය මුසු වුවද කොයි තරම් නම් සංවරශීලිද ලෙංගතුද යන්න මොනවට පිළිබිඹු වේ. ඇයගේ අනවසරයෙන් ඇයව නම්මවා ගැනීමට ඔහු කිසිවිටෙක උත්සාහ නොකල අතර, සියල්ල ව්‍යංගයෙන් පැවසුවේ ඔහු ඇයට ආදරය කරන්නට කැමැත්තෙන් සිටින බවකි. ඇතැම් විට ඔහු කාමාතුරයකු වුවානම් තරුණියට තම ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවනු ඇත. බොහෝ දුරට වර්තමානයේ සිදුවන්නේද එයමය. ආදරය රාගය ලිංගිකත්වය ආදියෙන් එදා තරුණයා මුසපත් වුවද ආගම දහමින් පෝෂණය වු ඔහුගේ අභ්‍යන්තරය සාමකාමි සංවර වු හදවතක් ඇත්තෙක් යැයි නොකිය හැක්කේද?
එමෙන්ම අද මෙන්ම අතීතයේද තරුණයින් විවාහක කාන්තාවන් හා ආදරයෙන් වෙලෙන්නට වැඩි කැමැත්තක් දක්වා ඇති බව මේ කාව් තුළින් මනාව පිළිබිඹු වේ. ඒ කෙසේ වුවද මෙවැන්නක් අද සිදු වූවා නම් අපට පෙනෙන්නේ සිර කූඩුවේ කම්බි කූරු ගණන් කරමින් සිටිනා තරුණයෙකුය.
ප.ලි..
එහෙත් කෙනෙකුට මෙය වෙනත් විදියකට වුව දැකිය හැකිය .
Sunday, May 1, 2016
මැයි රැලිය
වෙසක් මාසයෙ පළමු දිනයයි ඉංගිරිස් මැයි පළමු වැනිදා
කාගෙ දිනයද කියා නොදනියි කවුරු කවුරුත් ගියත් සැමදා
බලය ඇති උන් දොඩයි නන්,දන අසාගෙන හිඳි දෙකන් පිසදා
අඹුව දරුකැළ ගිනි බුදිති හිඳ කන්න කොයි අද කුළිය නැති දා
බොහෝදුර සිට එන්නෙ කම්කරු දනා සමරනු මැයි දිනේ
බලවතුන් ජය විජය නංවන දිනෙකි කම්කරු වන් දිනේ
රවටගෙන දුප්පතුන් හට දුන් මහමෙරක් පැතුමන් පෙනේ
දුප්පතුන්ගේ කුසටමයි කම්කරු දිනේදීත් කෙලවුණේ
එහෙන් ගෙන්වති මෙහෙන් ගෙන්වති නිර්දනන්ගෙන් පුරවතී
කොහෙන් අහුලා ගත්තකින් හරි උනුනගේ කන් පුරවතී
ගල් අරක්කුත් පැට්ටො ටිකකුත් අරං දී දෙව් ලොවක් මවතී
දිනේ අහවර, යන්න නොමැතිව චූ ගඳින් පිරි කොටුවෙ නිදතී
සෙනඟ මෙච්චර මං ගෙනාවා මට සුවර් ඊලඟ සැරේ
මැති තුමන්ලා නිතර කියවයි එල්ලගෙන කට මන්තරේ
රටේ මහජනතාව රවටනු බැරිය දැන්නම් මිත්තරේ
ගෙදර යන්නට සැරසියන් හෙට අදයි කම්කරු වෙඩිමුරේ.....
Thursday, April 28, 2016
හිත ගින්නකින් දැවේ.....යළි ඇරඹුමක් නොවේ.....

මාස හත අටකින් මෙලෝ අටමගලක් ලියා ගන්න බැරි වුණා අමාරුවෙන් හදා ගත්ත වැව් ඉස්මත්තෙ....මක්ක කියල කොරන්ටද ඉතිං.. අනිත් ඈයන්ට වගේම තමා මේ ඈයටත් ගජරාමෙට වැඩ කෝටියක් තිබුණා අහවර කොරන්ට....වැඩේ කියන්නෙ මාස හය හතක්ම ඔය වැඩ ටිකට ඇදිලා පැදිලා ගියා . තව දෑවුරුද්දකින් වැඩිමනක් තුනකින් විතර ඕනෙමනං මාස දෙකක වැඩ ටිකකට විතර වැව් ඉස්මත්ත මගාරින්න වෙයි. හැබැයි ඉතිං ඔය සමහරක් උදවිය වගේ කන්න තුනේමනං ඉතිං වැව් ඉස්මත්තට වෙලා ඉන්ඩ බැරි වේවි...මොකෝ මේ දවස්වල පායන පෑවිල්ලට ඔළු ගෙඩි කරකුට්ටං වෙලා යනවා...සතා සීපාවට වතුර නැතිව වැව් ඉස්මත්තෙන් පැනල වැවට පැනල දිය බුං ගහනව...ඔය අස්සෙ පනල්ලෙ මම හිටපු දොහොක මගේ පැල් කොටෙත් පොඩි කොරාන මහ ඒජන්ත උන්නාන්සෙ ගාටව්වොත් එහෙම ඕක දිහෑ බලං හිටපු හොර හතුරෙක් ඇවිත් මගේ පැල්කොටේ ලගින්න බැරි කමකුත් නෑ ඕං....මේ ලගදි විදානෙ ඇත්තොත් ඇවිත් හාමිනාට මතක් කොරාල ගිහිං හනික ඇවිත් කුඹුරු කෑල්ල කොටා දාන්ටය කියල...නැත්තං උන්දැම ඇවිත් කොටල දාන්නං කියලත් කිව්වලු අපරාදෙ කුඹූරු කෑල්ල පුරං වේවිය කියල. එදාම හවස් ජාමෙ උන්දැගෙ ගෙදර ගොහිං පහදල දුන්න උන්දැට උඹට මතකද විදානෙයෝ පුරං වෙලා තිබ්බ උඹේ කෑල්ලට කල එළියක් අරං දුන්නෙ කවුද කියල....ඔය හිටියෙ උන්දෑ කටයි පුකයි දෙකම වහගෙන.....
බොග දාන එකත් මේ දවස් වලනං හිතාගන්නවත් බෑ.....උදේ අට පහුවෙච්චි ගමන් ආය හවස පහ විතර වෙනකං ශරීර කූඩුව සම්පූරණයෙන් දාඩියෙන් පිරීතිලා...කන්ඩ බත් පිගාන අතට ගත්තු වෙලේ ඉදන්
බොග දාන මොහොත වෙනකම්ම දාඩිය. හප්පේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ....
ඔන්න ඔහොම කියනකොට පුංචි කවියක් මතක් වුණා...ඒකත් ඉතිං මම්ම ලියපු අවිදග්ධ කවි පද හතරක්..දුප්පත් ස්තිරි රත්නයක් ගැන ලියපු...
දහදිය පිරී දිව රෑ උතුරා යන්නේ
දෙවියනි සියොලගම ගින්දරමයි එන්නේ
තුන් වේලටම අපි එක වේලයි කන්නේ
බැරි උහුලන්න වැදු දරුවන් බඩගින්නේ
හේන් ගොවිතැන් සියල්ල විනාශ වෙලා. අඩුම තරමේ කුළියකට යන්නවත් මේ ඇත්තිට හැකියාවක් නැති හැටි පොලෝ මහී කාන්තාව විතරක් නෙමේ, හිරු දෙයියනුත් දුප්පත් අපිට විරුද්ද වෙලා....ඕං
ඒ කොහොමින් හරි දැන්තමා ඒකත් සිහියට ආවේ..ඇයි යකෝ මේ අවුරුද්ද ආරම්භ වුණත් හරි එක බොගක්වත් තාම දාල නැහැයි කියපංකො.......ඒත් කමක් නෑ අවුරුදු ගාණක් ආසාවට අකුරක් නොලියාපු මං මේම හරි ලියන එක ගැන සතුටු වෙනවා....
අර කාන්තාව ගැන මට පුංචි දුකකුත් නොආවා නෙවේ....සැමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ කියල ඒ දවස් වල ජන කවියෙක් ඇසුවාලු...අපි ගැන කුමට කතාවෙනවද ඉතිං මේ සරුවපිත්තල ලෝකෙ...
නැත පෙර නිමිත්තත් වැස්සක වළාවක
මෙතරම් කිමද දිවියම මගෙ අමාවක
සිතමින් කදුළු සළමින් ගිනි තලාවක
රෂ්මිය විදී ඇය හිද හුද කලාවක
වෙලාව ඉවරයි....වෙලාව ඉවරයි......
Subscribe to:
Posts (Atom)