Wednesday, January 29, 2014

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා


කදු හෙල් තලා පසුකරගෙන මන නන්ද
දියවැල් ගලා එයි පසුකර මහ කන්ද
සොබදම් මෑණියන් දකිමින් මන බැන්ද
පොඩි කෙන්දක් වුණා වැනිමය මහ කන්ද

කියතක් සොයාගෙන ගාටා මහ බැද්දේ
ලීයක් ඉරාගෙන ජීවන ඔරු පැද්දේ
කටවැරදුන තැනදි දිනකදී වන මැද්දේ
බොට කදයා තලා කෙරුවා මහ සද්දේ

මීයක් කඩාගෙන දරුවන් රකින්නට
දැරුවේ වෙහෙස මෙපමණදැයි කියන්නට
පෙන්වයි වලස් තඩියා ඇත පනින්නට
මූණම අපායක් මෙනි බෑ දකින්නට‍

කලකදි පිපෙන මී මල් වල සුවද දැනී
මී මැස්සියන් කඩිසරකම සිතට ගනී
සැගවී තිබූ පන්මලු අත් දෙකට පනී
පෙට්ටියෙ අඩියෙ ගෑවෙයි බාගයක් පැනී

ලූලා තෙප්පිලිය කනයා වැනි මාලු
පෙට්ටිය තුලට එබුවා අල්ලා යාලු
විකුණා සොයා ගෙන දිවි ගැට ගැසුවාලු
කෑමට රස ඇතේ වැව්මාළුන් වේලු

වී ටික වවාගෙන කැකුලෙන් බත් කන්න
එළවලු පලා ඒකට එක්කරලන්න
වැව් රජු මගේ ගම් පෙදෙසට බත දුන්න
ගන දෙවිදුනේ ඇයි බැරිවුනෙ රැකගන්න

 වේලි ඉරිතැලුණු තැන් කලකට පස්සේ
පෙගිලා මතුවුණා තණකොල ඒ අස්සේ
කුරහන් බඩඉරිගු වේලන දුම්මැස්සේ
ගින්දර වැඩි වුණා දුම් ඇත හැම තිස්සේ

එළවළු ගොවිපලේ කුණු වී ගසයි ගද
බඩ රැක ගැනුම කොහොමද කොයිලෙසද අද
දවසින් දවස වැඩිවිය වැසි දෙවියො තෙද
නොනිදන පුරය නොනිදයි පණු දුගද මැද

දවසින් දවස දිය පිරි වැව් ඉස්මත්තේ
අලි මුව රෑන් දිය බීමට විත් ඇත්තේ
මාලුන් එකිනෙකා විත් ඇත එළිපත්තේ
දැඩි බව නිසයි වානේ, වැව තව ඇත්තේ

ටික ටික දියපාර වානෙන් ගලනවිට
කට කට පැතිරුණා එය අවට දන හට
පිට පොට කවාගෙනවත් යන්න එගොඩට
ටිකිරිට බැරිවුණා දුක්විය මෙගොඩ සිට

 මෙසිරි ලකට සිරි ගෙන එන වැව් බැම්මේ
ටික ටික වැඩි වුණා ජල කද එක පිම්මේ
රෑ නිදිමරාගෙන සිටියත් හනි හැම්මේ
ගම්බිම් යටකලා ගැමි දුක නැත නිම්මේ

අඩුම කුඩුම අරගෙන ආවත් ගමට
ඉන්පල ලබන්නට ලැබුනේ අන් අයට
වපුරනු නොහැකි විය කන්නක්වත් මහට
තුන් වසරක් ගෙවී ඇත වානේ වැඩට

වානේ වැඩය කවදද නිම කරන්නේ
රජයේ අයට කවදද ඇස් ඇරෙන්නේ
මහවැසි ලැබී කවදද වැව පිරෙන්නේ
කිවුලේකඩට කවදද බත් ලැබෙන්නේ




http://wewismatha.blogspot.com/








18 comments:

  1. මේ කාළකන්ණි ඇමතිවරුන්ටයි කොන්ත්‍රාත්කාරයන්ටයි හෙන පාත් වෙන්නේ නැති එකනේ පුදුමේ.. හැම මළදානෙම ළොක්කගේ අවධානෙට ලක් උනොත් විතරයි වැඩේ වෙන්නේ..

    ReplyDelete
  2. වන්නියේ ජනගහනය අඩුයි. දුප්පත් මිනිස්සු ඉන්නෙ. ධනවත් අය නෑ කියන්නෙ නෑ. මහා පරිමානයෙන් මුදල් වියදම් කරල ආයෝජනය කරන සංවර්ධන කටයුතු අඩුයි.ඉතින් ඒව මේව සලකලා බලනකොට රජරටට අඩු මට්ටමේ සැලකිල්ලක් තමා ලැබෙන්නෙ

    ReplyDelete
  3. මචන්ලා මමත් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ තමා ඉන්නෙ... යාලුවා අපිත් කැමතියි වැඩක් හරියට කරල ගොඩාක් හොද කම්පැනියක් වෙන්න.. නමුත් අපිට එහෙම කරන්න බෑ... මොකද ටෙන්ඩර් එකක් පාස් උන හැටියෙ ඉහලින් කෝල් එනව උගේ කොටහ බැංකු ගත කරන්න කියල... එහෙම කරේ නැති උනොත් අපිට ඒ ප්‍රොජෙක්ට් එක නැති වෙනවා..

    අපි කරන්නෙ ඌට ඕන ගාන දාල කොලිටිය අඩු කරල ප්‍රොජෙක්ට් එක කරනවා.. එතකොට කල් පැවැත්ම අඩුයි.. ඒකට 90% ක් වග කියන්න ඕන පාර්ලිමේන්තුවෙ ඉන්න තිරිසන්නු....

    ReplyDelete
    Replies
    1. මේ රටට මේ වගේ දෙයක් කරේ කවුද එහෙම කතා කරන්න ගියොත් අපේ වටිනා කාලෙ නැති වෙනවා.

      Delete
  4. ඔය වැඩ හරි විදියට කෙරෙනවනං මේ රට ඓයිශ්චර්ය කරා ගිහිල්ල බොහොම කල්.

    ReplyDelete
    Replies
    1. ඓයිශ්චර්ය කරා කොහෙ යන්නද මේ රට වැඩිපුරම වියදම් කරන්නෙ මොනවටද

      Delete
  5. ලගදීම වෙනසක් වෙයි වගේ කියල හිතෙනව..

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙම හිතෙනවද ඒකත් ලොකු සතුටක්

      Delete
  6. ඔවුවා ගැන කියලා වැඩක් නෑ මචං.. අපේ රටේ හරියට වැඩක් වෙද්දී බැරිය..

    ReplyDelete
  7. අපූරු කවි නිර්මාණය!! වානේ නිර්මාණයත් ඔය වගේ අපූරුවුනොත් කොච්චර හොඳද...

    ReplyDelete
    Replies
    1. දැන් වානෙ වැඩ ඉවර වේගෙන යන්නෙ ගමේ ගිය වෙලාවක විස්තර ටික පොටොත් එක්ක පෙන්නන්නම්කො යාළුවා

      Delete
  8. Replies
    1. වෙලාවට දාමු. යටින් එක බැලුවෙ නැතෙයි

      Delete
  9. එල කවි ටික..

    උඹ පහුගිය කාලෙ බ්ලොග් ලින්ක් එක වෙනස් කරල නේද..

    ReplyDelete
  10. තැන්ක්ස් මචන්. හොයා ගන්ඩ බැරිවුනාද සමාවෙයන්

    ReplyDelete
  11. ලස්සන නිර්මාණයක්. කවදා හැදෙයිද මේ රට.

    ReplyDelete