Monday, October 24, 2016

සමෘද්ධි නියාමක (ඡන්ද පොරෙන්දුව)


එක්දාස් නවසිය අනු හතර අවුරුද්ද. ලාංකීය දේශපාලනේ වැදගත් පිටුවක් පෙරලපු අවුරුද්දක්. ලෝකයේ හතරවන ජනාධිපතිනිය ලෙසටත් ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය ලෙසටත්, ලෝකයේ පළමු වන අගමැතිවරියගේ දියණිය  වූ  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය පත්වීම ලාකීය දේශපාලනේ විතරක් නෙවෙයි විදෙස් රටවලත් නව පිටුවක් පෙරලුව. අවුරුදු දාහතක් තිබිච්ච යූ ඇන් පී ආණ්ඩුව පෙරළලා නව රජයක් බිහිකලා. පොදු පෙරමුණු  ආණ්ඩුවක්.  ඒත් ඒව  පුංචි නිමල්ට ඒ දවස්වල තේරුනේ නෑ. මොකද ඒ කාලෙ  නිමල් අම්මගෙ තනේ එල්ලිලා ඉදලා කිරි සුවදට ආයුබෝවන් කිව්ව විතරයි . ඒ තරම්ම චුට්ටියි. හැබැයි පුංචි නිමල් හැම දෙයක්ම බලාන උන්න...හැම දෙයක්ම ඇහැව්ව. අම්ම තාත්ත එක්ක හැම තැනටම ගියා...


“කාගෙද මේ බලවේගේ........“ මිනිස්සු යටිගිරියෙන් කෑ ගහනව.

“චන්ද්‍රිකාගෙ බලවේගේ.......“ පුංචි නිමල් එහෙම උත්තර දුන්න...හැබැයි ඒ මොකටද කියන්න දන්නෑ. ඒත් එයා ඒ  හිනාවීගෙන පින්තූරෙ ඉන්න චන්ද්‍රිකාගෙ පොස්ටර් කැලැන්ඩර් ගොඩාරියක් එකතු කරගෙන එයාගෙ පොත් මේසෙ උඩ තියා ගත්ත විතරක් නෙමේ....අර නිල් පාටින් තිබිච්ච නිල් පාට සාරියක් ඇදගෙන උන්නු පොස්ටරේ එයාගෙ පොත් මේසෙ උඩින් ඇන හතරක් ගහල එල්ලුව. ඊට උඩින් බුද්ධ පින්තූරය තිබුණ..පුංචි නිමල්ට හරි සතුටුයි. ඒ විතරක් නෙවෙයි නිමල්ලෑ ගම තියෙන නගරෙට ඒ මැතිණිය දවසක් දා ආවා....එයා එදා අඩල අඩල තාත්තත් එක්ක චන්ද්‍රිකාව බලන්න ගියා. සෙනග ගොඩාරියක් පිරිල ඉතිරිලා හිටිය. නිමල් හිටියෙ තාත්තගෙ කර උඩ නැගල.

“ කෝ තාත්තෙ චන්ද්‍රිකා කතා කරන්නෙ නෑනෙ....“ පුංචි නිමල්ට චන්ද්‍රිිකාගෙ කට හඩ අහනකන් ඉස්පාසුවක් තිබුණෙ නෑ..

“ ඇයි පුතේ ඔය කතාකරන්නෙ චන්ද්‍රිකා තමා......“  තාත්ත එහෙම කියනකොට,

“ අනේ තාත්තෙ පිරිමි කෙනෙක් කතා කරනව වගේනෙ  එයා කතා කරන්නෙ...“ නිමල් හිනා වෙලා කිව්ව.

“ ඔව් ඒ තමා චන්ද්‍රිකාගෙ පෞරුෂත්වෙ....“ එදා ඉදන් පුංචි නිමල් චන්ද්‍රිකාගෙ කටහඩට ගොඩාක් ඇලුම් කළා. හැබැයි නිමල් ගොඩාක්ම කැමති වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කතාකරනව අහන් ඉන්ට..දවසක් නිමල් තාත්තත් එක්ක ගියා තිත්තකොබ්බෑව කියන ගම උදා ගම්මානයක් කරල ඒක විවෘත කරන දවසේ තිබිච්ච උස්සවේට. එදා ආවෙ ප්‍රේමදාස ජනාධිපති තුමා...එයා කතාකරපු විදියට නිමල්ගෙ හිත ජනාධිපතිතුමාට ඇදිල ගියා.

දවසක් දා පුංචි නිමල් ඉස්කෝලෙ පිට්ටනියට ගියා යාළුවොත් එක්ක මණ්ඩි බෝල් ගහන්න..ඒ දවස්වල ලොකු අයියලා එල්ලෙ ගහනකොට නිමල්ලෑ සෙට් එක මණ්ඩි බෝල ගැහැව්ව. ඉතින් එහෙම යනකොට එකපාරම ලොකු පෙජරෝ එකක් ඇවිල්ල නතර කරා... නිමල් බය වුන්නෑ..මොකද එ් දවස්වල එක එක වර්ගයේ කාර් ගමේ තියෙන හැම අස්සක් මුල්ලකම යන හිංදා...ඒ දවස්වලට තමා නිමල්ල කාර් එකක් වත් දෑහින් බලා කියා ගන්නෙ.  නිමල් ඉස්කෝලෙ යනකොට යන්නෙ කාර් ගිහිල්ල හැදිච්ච වලවල් උඩින් පැන පැන. ඉස්කෝලෙ යනකොටනම් සුදු පාටින් ඇදුම් තිබ්බත් ගෙදර එනකොට කමිසෙ බොර පාටයි.  නිමල්ට අම්මගෙන් බැනුම් කෝටියයි....

ආපු පෙජරෝ එක එක පාරටම නිමල්ලෑ ලගින් නතර කරා....

“එන්න පුතේ......“ ඇස් දෙක පේන්නෙ නැති වෙන්ට කණ්නාඩි කුට්ටමක් දාගත්තු නැන්ද කෙනෙක් තොල්පෙති රතුම රතුපාටින් දිලිසෙනව....අපි දිහාට අත්දෙක දික්කරගෙන...රටින් ගෙනාපු ටොපි චොකලට් පිරීල තියෙනව දැක්ක... නිමලුයි යාලුවො කට්ටියයි නැන්ද ලගට දුව..ගෙන ගියා. ඒ නැන්ද කිසිම තණ්හාවක් නැතුව ටොපි ටික ඔක්කොම දුන්න...නිමල්ටයි යාලුවොන්ටයි ගොඩාරියක් සතුටුයි.... එයාලා ටොපි ටික අරගෙන කාර් එක ගාවින් ටික ටික පස්සට වුණා...අර නැන්ද හරී සතුටින් පුංචි උන් ටික දිහා බලාන ඉදල  අන්තිම මොහොතෙ තටා...කිව්ව...ළමයි ඔක්කොම උඩ පැන පැන අර ඇන්ටිට තටා කිව්ව...නිමල් පෙජරෝ එක යන දිහා සතුටින් බලා හිටිය. එතකොට තමා එයා දැක්කෙ කාර් එකේ බදේ පෝස්ටරයක් ගහල තිබුණ...කොල පාට පසුබිමේ  රාණි අධිකාරි  කියල ලියල අලියෙක්ගෙ පින්තූරයක් ඇදල ඒ ඉස්සරහින් අංක එකොළහ ලියල තිබුණ.  නිමල්ගෙ හදවතේ පතුළටම ඒ නම කිදා බැස්ස. එහෙත්  ඇය කොහේ කෙනෙක්දැයි  නිමල් දැන නොසිටියේය.

නිමල් ගෙදර ගිහින් අම්මට පෙරැත්ත කරා රාණි අධිකාරිට ඡන්දෙ දෙන්න කියල. අම්මට හරි පුදුමයි. අම්ම තමන්ගෙ පුංචි පුතාව ආදරෙන් වැළද ගත්ත.

“ බලමුකො බලමුකො....“ අම්ම එහෙම කිව්ව...


 ඒ අගෝස්තු මාසෙ වෙන්න ඇති. චන්දරේ මාමලාගෙ ගෙදරට නිමල්ලෑ ගෙදර ඔක්කොම  එකතු වුණා...නිමල්ලෑ කොටුවෙ හදල තිබුණූ රට කජු උර පිටින් ගලවං ආව. අම්ම ඒව තැම්බුව...චන්දරේ මාමගෙ  නැන්ද ට කේතලේ  බිමින් තියන්න වුණේම නෑ...අවට වට පිටාවෙ නැන්දලා මාමල විස්සක් තිහක් චන්දරේ මාමලගෙ ගෙදර...ගැහැණු ගොල්ලයි පුංචි නිමලුයි එයාගෙ යාලුවො කීප දෙනෙකුයි  බිම ඉදගෙන....එදා ජාතික රූපවාහිනිය දාල තිබුණෙ...චිත්‍ර පටියක් ගියා. ඒත් ඒක හිංදි එකද්ද එහෙමත් නැත්තන් සිංහල එකද්ද කියල නිමල්ට හරියටම නිච්චි නෑ.....

නිමල්ලෑ තාත්තයි තවත් කොල පාට අත් දිග  කමිසයක් ඇදගෙන උන්නු මාම කෙනෙකුයි විවාද තරගයක වගේ.... එහෙම වෙන්නෑ , එහෙම වෙන්නෙ කොහොමද, ගිය පාර කීයද, රැස්වීම් වල පිරිල හිටිය...අර සංවිධානෙන් මෙහෙම කිව්ව, සමීක්ෂණයෙන් ඔප්පු වුණා...ආදී  නොයෙක් දෑ මාතෘකා කරගෙන බරපතල කතාබහක. ගැහැණු  ඇස් පිල්ලන් ගහන්නැතුව ටීවි එක දිහා බලාගෙන. ජයා මාම රතිඤ්ඤ පෙටිටි ටිකකුත් තියාගෙන සුරුට්ටුවක් උර උර ඉන්නව.....පිරිමි උදවිය එකා දෙන්න එළියට ගිහිං ටික වේලාවකින් මූණ ඇඹුල් කරගෙන වම් අතින් කට පිහ දදා  ආයෙම ගෙට ඇතුළු වෙයි. ටිකෙන් ටික රූපවාහිණියේ සද්දයත් යටකරගෙන  නිමල්ලෑ තාත්තාගෙ සහ තවත් පිරිමි  කීප දෙනෙකුගේ කටහඩ ඉස්මතු විය.

" පලමු ඡන්ද ප්‍රතිඵලය තව ස්වල්ප වේලාවකින් බලාපොරොත්තු වෙන්න.." නිවේදක තුමා කියනවාත්  එක්ක තැන් තැන්වල ඉදගෙන කතා කර කර උන් ගැහැණු පිරිමි සාලයට රොක් වුණා.

" රතිඤ්ඤ ලෑස්ති කරපල්ල.." ඒ තවත් පිරිමියෙකුගේ  කටහඩකි.

" මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය......" සියල්ලෝගෙම දෙනෙත්  රූපවාහිනී තිරය මතය. ඇල්පෙනෙත්තක හඩ නිදා සිටින වුවෙකුට පවා ඇසෙන මොහොතකි.

" පොදුජන එක්සත් පෙරමුණ ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව....."  ප්‍රමාණය කිව්වද එය කිසිවෙකුටත් නෑසුණි. රතිඤ්ඤා හඩ දසතින් ඇසෙන්නට විය. ගැහැණු පිරිමි සතුටින් කෑ ගාන්නට විය. ගැහැණු  ගැහැණු වැළද ගත්හ. පිරිමි එකිනෙකාට අතට අත දෙන්නට විය.කොළ පාට කමිසයක් ඇද සිටි පුද්ගලයා දුක් වුවද තව එහෙම්ම යැයි කියනවා ඇසුණි. නිමල්ට හුගක් සතුටුය. චන්ද්‍රිකා දිනලාය.....පක්ෂයක් පාටක් නොදන්නා නිමල්  කුමට සතුටින් සිටින්නේද ? එය දන්නේද නිමල්ම පමණෙකි.

චන්ද්‍රිකා දිණුවාය...ලංකාවේ දෙවන අගමැතිවරිය වූවාය.

" ඔයාට අනිවාර්යෙන් ජොබ් එකක් සුවර්....දිසානායක මහත්තයා කිව්වෙ, ගමට දෙන පළවෙනි ජොබ් එකම දෙන්නෙ ඔයාට කියල..." දිනක් තාත්තා අම්මා එක්ක කියනවා  නිමල් අහගෙනය..

" ඉස්සරෝම සමෘද්ධියට පත්වීම් දෙනව කිව්වෙ....සමහරවිට මේ මාසෙම ඔයාට පත්වීම හම්බ වෙයි.." තාත්තා එහෙම කියද්දී අම්මාගෙ මුහුණෙ නැගුණු සතුට නිමල් කිසි දිනෙක ඇය තුලින් දැක තිබුණේ නැත.වෙනදට වැඩිය එයාගෙ වෙනසක් දැක්ක. ගමන් කරන හැටි උණත් වෙනස්. හරියට නර්ස් නෝන කෙනෙක් වගේ එහෙ මෙහෙ ඇවිද්දෙ වැඩ රාශියක් තියෙන කෙනෙක් වගේ.  ඒ දවස් කීපයේම ගමේ හුගක් ගැහැණු පිරිමි නිමල්ලාගෙ ගෙදර ආව. නිමල්ලාගෙ අම්ම ඒ ගොල්ලන්ට තේ හදල දුන්නෙ ගොඩාක් සතුටින්. නිමල්ටත් කම්මැලිකමක් දැනුණෙ නැ. ඒ ගොල්ලත් එක්ක නිමල්ගෙ යාලුවොත් ආපු නිසා නිමල්ට යාලුවොත් එක්ක හුගක් වෙලා සෙල්ලම් කරන්න පුලුවන් වුණා.

"ජනාධිපතිවරණෙට කලින්  පත්වීම් දෙනවලු...ඊට කලින් දිසානායක මහත්තයාලගෙ ගෙදර එන්න කියල තියෙනවා..ඔක්කෝටම දවල්ට කෑම වේලක් දෙන්න.."

"කවද්ද....? "

" එන ඉරිද.... ජයසිංහ මුදලාලිගෙ වෑන් එකවත් අරන් යං..."

ඒ දවස් ටිකේම අම්මා කොරටුවට නොගියාය. සමහර විට ඉතිරිවිච්ච රටකජු ටික හොරුවත් ගලවලා ඇද්ද...? මේ  අමු මිරිස් කැඩෙන කාලෙ මොණරු ඇවිත් ඒව කාල නාස්ති කරයිද දන්නෙ නෑ....වෙනදා එහෙම හිතල ඉක්මණටම කොරටුවට පයින්ම ඇවිද යන නිමල්ලාගෙ අම්මාට අද කොරටුව ගානක්වත් නැත. කොරටුවක් නොතිබුණා සේය.

" මට හම්බෙච්ච ගුරුපත්වීම තමා  අර උඩහ ගෙදර සීතට දුන්නෙ... උන්ගෙ ආණ්ඩුවනේ....අපි එච්එස්සී පාස් වෙලත් රජයෙ පත්වීමක් ගන්ඩ බැරි වුණා....ඔන්න දැන් අපේ වාරෙ...." නිමල්ගෙ අම්ම උදම් ඇනුව.

"ඒ අතින් හුරුල්ලෙ මහත්තයා දෙවි කෙනෙක්..ඒ මිනිස්සුන්ගෙ ඔය කුහක කම් තිබුණෙ නැ...ඒ මිනිස්සු මොන පක්සෙ උණත් සුදුස්සන්ට සුදුසු තැන දුන්න...ඒකටත් එක්ක මුං මට දුන්න පත්වීමනෙ මට දුන්නෙ නැතුව එස්එස්සී වත් පාස් නැති අරකිට දුන්නෙ.."විටෙක ඇය කෝප වූවාය. එවිට පුංචි නිමල් මිදුලෙ ඉදන් දුවගෙන ඇවිත් දොරඋළුස්සට හේත්තු වී ඉද කෝප වූ තම මෑණියන් දෙස මොහොතක් බලා ඉද ආපසු හැරී යයි.

ඉරිදා දිනය උදාවිය. නිමල්ලෑ අම්මා පාන්දරම අවදි වූවාය. ජොග්ගුවට තේ හදාගෙන අවුත්  සියලු දෙනටම  පිළිගැන්වූවාය.

" කෝප්පත් පතුරු ගිහින් ..කොහෙද ඉතින් නිමල්ට එහෙම අහුවුණොත් හත් අට පොලක වද්දනවනෙ.."

" මේ පාර මිරිස් මුරේ කැඩුනම කෝප්ප දෙක තුනක් ගමු..." නිමල්ලෑ තාත්ත එහෙම කිව්වෙ වතුර කෝප්පයක් අරන් කට හෝදන ගමන්ය.

" පුතේ.....ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල අත්තම්මලාගෙ ගෙදරින් කාපල්ල...තාත්තයි මායි පොඩි ගමනක් යනව.."
" මං එහෙම්ම කලු මහත්තලෑ දිහා යනවා..." මූන හෝදන ගමන් සිරිමල් කීවේය. සිරිමල් නිමල්ගේ වැඩිමල් සහෝදරයාය.

" පොඩි පුතේ උඹ අත්තම්මලාගෙ ගෙදර හිටිං අම්ම එනකං... අම්මයි තාත්තයි ඉක්මණට එන්ඩ බලන්නං.."

නිමල් ඔලුව වැනුවා පමණි.
.

නිමල්ගේ පියා , මව හා  තවත් ගමේ හිතමිතුරන් කිහිප දෙනෙක් දිසානායක මංත්‍රී තුමාගේ ගෙදරට  ගියේ  ජයසිංහ මුදලාලිගෙ වෑන් රථයෙනි. ගිනි පොලියට මුදල් දෙන ජයසිංහ මුදලාලි හයර් එක කීයක් ඉල්ලාවිදැයි නිමල්ගේ තාත්තා වෑන් එකෙන් මංත්‍රී තුමාගේ ගෙදරට පය තබන ගමන් සිතුවේය. මංත්‍රීතුමා දොරකඩට වී උන්නා. ගේ වටේටම සෙනග පිරිලාය. නිමල්ගෙ තාත්ත දිසානායක මහත්තයා ඉන්න තැනට ගියා. අම්මාද ඔහුව අනුකරණය කළාය.

" ආයුබෝවන් පියරත්න මහත්මයා..."

" එසේම වේවා මන්ත්‍රී තුමා...පාක්ෂිකයො හුග දෙනෙක් ඇවිල්ල නෙවැ..."

" ඔව් ඔව් ..පියරත්න මහත්තයා වගේ හුගක් උදව් කරපු උදවිය...."

" මන්ත්‍රීතුමා මෙයාගෙ ජොබ් එක හරි යයි නේද ?" නිමල්ගෙ තාත්ත වටපිට බලල බයාදු ගතියකින් ඇහුව..

" පියරත්න ඔයා කිසිදේකට බය වෙන්ඩ එපා... දැනටමත් සිරියලතාගෙ නම රෙකමන්ඩ් කරල යවලයි තියෙන්නෙ...." ඕන නම් තව සති දෙකක් යයි.....ඔන්න බලන්ඩ මං බොරුද කියන්නෙ කියල....අවුරුදු දා හතක් ඉදල බලයට ආවේ....අවුරුදු දා හතක්...." මන්ත්‍රී තුමා පුනරුච්චාරණය කළේය.

" එහෙනම් පියරත්න මහත්තයා...කාල බීල සතුටු වෙලා යන්න....දන්නවනෙ ඉතිං අද මම ටිකක් කාර්යබහුලයි කියල....."
" හොදමයි මන්ත්‍රීතුමා..."  නිමල්ගෙ තාත්ත දෙකට නැමී ආචාර කළේය..මන්ත්‍රී තුමා නිමල්ගේ අම්මාට හිස නමා ආචාර කොට පිටත්ව ගියේය.

මන්ත්‍රී තුමාගේ නිවසට ගොස් පැමිණ සතියක් ඉක්ම ගොස් අහවරය. නිමල්ගේ මවත් පියාත් ශාඛා සභාපතිතුමාගෙන් පණිවිඩයක් ලැබෙනතුරු මගබලා සිටී. ඒ අතර වාරයේ ජනාධිපතිවරණයටද කැන්වසින් යාමට නිමල්ගේ පියාටත් මවටත් සිදුවිය. දිවා රෑ වෙහෙස නොබලා ඔවුන් ගෙයක් ගෙයක් ගානේ ගොස් චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගැමියන්ගේ ඡන්දය යැද්දේය. ගෙදරින් උදෑසනම පිටත් වන ඔවුන් ගෙදරට එනවිට අදුරත් වැටිලාය.

" පොඩි පුතේ උඹ මොනවද අද දවල්ට කෑවෙ......"

" මොනවත් කෑවෙ නෑ අම්මෙ....බඩගිනී හොදටම..." නිමල් බඩවත මිරිකා ගත්තේය.

" ඇහ්....ඇයි ආත්තම්ම උයල තිබුන්නැද්ද....පුතේ.."

" ආත්තම්මට අමාරුයි කියල ඕන් දවසම ඇදට වෙලා...."

" හ්ම් ඒකත් එහෙමද..... ඉදින්  මං ඉක්මණට මොනව හරි තම්බලා දෙන්නම් ....." නිමල්ගේ අම්මා දඩි බිඩි ගා උයන්නට වූවාය.


" පුතේ......බලපං  කවුද ආවෙ කියල....." අම්මා කුස්සියේ සිට බෙරිහං දුන්නේය.

" විසිපහේ ගෙදර රණසිංහ මාම අම්මෙ....තාත්තෙ මේ රණසිංහ මාම ඇවිල්ල....."

" ආ..රණේ...වරෙන් වරෙන්.... මොකද හදිස්සියක් එහෙම නෙමෙයිනෙ...? "

" නෑ......එහෙමත්ම කියල හදිස්සියක් නෑ.....ඒත් දිසානායක මහත්තයාගෙ පණිවිඩේකට ආවෙ....."

" ඇයි..? ඇයි ..? මොකද...පත්වීම් ඇවිල්ලද..? අම්මා කුස්සියේ ඉදන් සාලෙට ආවාය. ඇගේ පිටි අල්ලේ තිබූ  වතුර අත් දෙක නුහුරට හරවා හැද සිටි චීත්තයෙන් පිස දා ගත්තාය.

" පත්වීම් ඇවිල්ල...!, " සිරියාවතීගේ මුහුණ සතුටෙන් පිරෙන්නට විය....

"පත්වීම් නම් ඇවිල්ල......ඒත් පොඩි පරහක් තියෙනවා....පියරත්න.." රණසිංහ තෙපරබාන්නට විය...

සිරියාවතීත් පියරත්නත් ඇස්ගෙඩි ලොකු කරගෙන රණසිංහ දිහා බලා උන්නාය. නිමල් පැත්තකට වී අම්මාගේ  අසරණ මුව දෙස බලා උන්නාය.

" ඔව් පියරත්න....සුමනසේකරටයි බන්දුසේනටයි විතරයි පත්වීම් ඇවිල්ල තියෙන්නෙ....අවුරුදු තිස්පහට වැඩි කාටවත් සමෘද්ධි නියාමක පත්වීම් දීල නෑ....සිරියාවතීට වයස අවුරුද්දක් වැඩියිලු....දිසානායක මහත්තයාටත්  දැනුම් දීල තියෙන්නෙ ඊයෙ.මන්ත්‍රීතුමත් සෑහෙන්න දුක් වුණා...."  රණසිංහගේ වදන් තුලින් ගිනි පුළිගු එන්නාක් මෙන් සිරියාවතීට දැනුණි. ඇය සිය දෑත්වලින් හිස දෙපැත්ත අල්ලා බදා ගත්තාය. වසර දාහතක් බලා  සිටියේ මේ වචන ටික අහන්නදැයි ඇයට සිතුණි. පක්ෂය දිනවන්ට මෙච්චර කැපකිරීමක් කල සිරියාවතීට වුණූ දෙය ගම්මු දැන ගැනීමෙන් ඇයට ඇතිවන අපහාසය කුමන මට්ටමේ එකක් වේවිදැයි ආදී නොයෙක් සිතුවිලි වලින් ඇගේ චිත්ත සන්තානය පිරී ඉතිරී යන්නට වූවාය. ඇය " අම්මේ....." කියාගෙන ඇතුළු කාමරයට දිව ගියාය. පුංචි නිමල්ද  ඇය පස්සේ දිව ගියේය.

" පියරත්ත, මන්ත්‍රීතුමා කිව්ව...සිරියාවතීට කනගාටු වෙන්ට එපාය කියල කියන්ට කියල....ජනාධිපතිවරණයට බය නැතුව වැඩ කරන්ට කියල....ජොබ් එකක් අනිවාර්යයෙන් අරන් දෙනව කියල කියන්න කිව්ව...මේ ගමට රස්සා දෙනවනම් දෙන්නෙ සිරියාවතීට දුන්නට පස්සෙ කියලයි මන්ත්‍රීතුමා කිව්වෙ.."

" එහෙනම් පියරත්න මං ගිහින් එන්නම්......" පියරත්න ඔලුව වැනුවේය.

නොවැම්බර් මාසය උදාවිය.

" අම්මේ......පොඩි එකා පොඩ්ඩක් බලාගන්ඩකො......ටිකක් හවස් වෙයි එනකොට...පුතේ....අම්ම එනකං ආත්තම්මත් එක්ක ඉන්ඩ ඕනෙ...දග කරන්නෙ එහෙම නෑ ඕං......" එහෙම කියපු නිමල්ලෑ අම්මා ගමේ පන්සලට  ගියාය.... ඒ තම පක්ෂය වෙනුවෙන් පෝලිම්බූත් රාජකාරිය ඉටු කිරීම පිණිසය...

 





34 comments:

  1. හරිම තාත්විකයි.

    ReplyDelete
  2. සමෘධි නියාමක කියලා එකක් ආවේ බොහොම පහු කාළෙක. උඹ කියන කාළේ තුනේ ජනසවිය. උඹ පොඩි නිසා මතක නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මාතයියෙ..ඒත් මගෙ මතකෙ තිබුණෙ චන්ද්‍රිකා මැතිණිය ජනපති වුනාට පස්සෙ සමෘද්ධි පත්වීම් දුන්න කියල....සමාවෙයන් මාතයියෙ

      Delete
  3. ලියවිල්ල නම් අගනේය...

    අපේ තාත්තයි, ආච්චියිත් ඔය වගේ ඒ කාලේ පක්ෂේ වෙනුවෙන් වැඩ කරපු කතා මං අම්මගෙන් අහල තියනවා...මට මතකයි ඒ කාලේ නිදා ගන්නේ නැතුව, තාත්ත කොලේක චන්ද ප්‍රථිපල ලියාගෙන චන්දෙ අහපු හැටි...රැයක් ඇහැරගෙන ඉන්න එකේ ඒ කාලේ අපිටත් අමුතුම සුන්දර අත්දැකීමක් වුනා...තාත්ත නැති වුණායින් පස්සේ ඒ වගේ චන්ද ප්‍රථිපල අහපු එකම චන්දෙ තමයි පසුගිය ජනාධිපතිවරණය...ඇමෙරිකාවේ ඉඳනුත් නිදා නොගෙන ඒක ඇහුවනේ (හිටං)...

    ReplyDelete
    Replies
    1. මේ ඡන්දෙනම් මම තනියම බැලුවෙ...

      ස්තූතියි පොකුරු...

      Delete
  4. ඔය කාලේ මම 2-3 වගේ හිටියේ.අපේ ගේ ඉස්සරහම තිබුනේ ump පක්ශ කාර්‍යයාලයක්. "ඔන්න බබෝ අලි එනවෝ- පුටු පෙරලන් අලි එනවෝ" "විස්කි ගෑණි අපිට එපා"වගේ සටන්පාඨ මට තාම මතකයි. ඊට පස්සේ ඒක එහාපැත්තෙන් පොදු පෙරමුණේ පක්ශ කාර්‍යයාලයකුත් දැම්මා.ඒක ඕපන් කරන්න චන්ද්‍රිකා ආවා. එනවා කියලා තිබුනේ 6කුත් ගානට.ආවේ 11ත් පහුවෙලා.

    උඹ මේක තාත්විකව ලියලා තියනවා මචෝ.ජය වේවා....

    ReplyDelete
  5. //“ ඔව් ඒ තමා චන්ද්‍රිකාගෙ පෞරුෂත්වෙ....“ එදා ඉදන් පුංචි නිමල් චන්ද්‍රිකාගෙ කටහඩට ගොඩාක් ඇලුම් කළා. හැබැයි නිමල් ගොඩාක්ම කැමති වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කතාකරනව අහන් ඉන්ට..දවසක් නිමල් තාත්තත් එක්ක ගියා තිත්තකොබ්බෑව කියන ගම උදා ගම්මානයක් කරල ඒක විවෘත කරන දවසේ තිබිච්ච උස්සවේට. එදා ආවෙ ප්‍රේමදාස ජනාධිපති තුමා...එයා කතාකරපු විදියට නිමල්ගෙ හිත ජනාධිපතිතුමාට ඇදිල ගියා.//

    පේමදාස මැරිලා ගොඩ දවසකට පස්සෙයි චන්දිරිකා ආවේ

    ReplyDelete
    Replies
    1. ඔව් අවුරුද්දකට විතර පස්සෙ..

      Delete
  6. පස්සේ කාලෙක
    “අම්මාට රස්සාවක් දුන්නේ නැති එක පාඩමකට ගෙන මම පස්සේ යූ.එන්.පී. එකට වැඩ කලෙමි. ඒ සජිත් මහත්තයාටය. මම සජිත් මහත්තයාගේ පෝලිම් බූත් රාජකාරිය කලෙමි. මම රැස්වීමකට ගිය දිනක කෝ පෝලිම් භූත් ගිය අය ඉන්නවා නම් එන්න කියා මට සෙකියුරිටි පත්වීමක් දුන්නේය. අන්න යුතුකම් දන්න මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. පර්සනල් වෙන්ඩැති මගෙ හිතේ.....

      Delete
    2. නෑ නෑ මේ දවස්වල නිතර කථා වෙන දෙයක් නිසා මේ කෑල්ල ඇඩ් කලා. මේක මට හිතුනු දෙයක්. මේ කථාවත් එකක් පොඩි ගැලපීමක් තියෙයි කියලා හිතුනු නිසා කොමෙන්ට් එකක් හැටියට දැම්මෙ.

      Delete
    3. මල් මල්ලිට සිකිරුටුද, කම්කරුද ලැබුනේ ඇත්ත කියපන්....උපාධි එන්න...උපාධි එන්න.

      Delete
    4. යන්තම් සෙකියුරිටි. එහෙමවත් මදෑ බං.

      Delete
    5. සෙකියුරිටි කියන්නෙ සෙල්ලංද මල්ලී

      Delete
  7. ඔය වගේ පත්වීම් ලබපු මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. සමෘද්ධි නියාමක එතකොට ගොවිනියාමක එහෙම. ඉදිරියටත් එහෙම වෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් තියෙනව නියාමක කියල තනතුරක්

      Delete
  8. අපි හැමදාම රැවටුනා නේද....

    මණ්ඩි බෝල කියන්නේ මොන වගේ ගේමක්ද?

    ReplyDelete
    Replies
    1. ගම්වල තිබිච්ච සෙල්ලමක්. රබර් බෝල ගන්ඩ සල්ලි නැති නිසා කොල ගුලි කරල බෝලයක් වගේ හදාගෙන සෙල්ලම් කරනව. එල්ලෙ වලයි මේකෙයි වෙනස මේ බෝලෙට අතින් ගහන්නෙ...එච්චරයි....දැන් ළමයි ඕව ගහන්නෙ නෑ..ඉස්සර අපිට බෝල ගන්න සල්ලි නොතිබුණ නිසයි එහෙම ගැහැවුවෙ

      Delete
  9. මටනම් එදත් අදත් කිසිම දේශපාලකයෙක්ව ප්‍රිය උනේ නෑ.

    ReplyDelete
  10. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, අනුර බණ්ඩාරනායක මැතිතුමා යන තුන්දෙනාගෙන කටහඬ බොහෝදුරට එක සමානයි. මතිනියගේත් චන්රිකා මතිනියගේත් කටහන්දපිරිමි කටහන්දකට බොහොම සමානයි.

    රානි අධිකාරිලා දේශපාලනේ අත්පොත් තියන්නත් කලින් හිටිය කෙනෙක් තමයි, විමලා කන්නන්ගර මැතිනිය. (1960 දශකයේ සෞඛ්‍ය ඇමතිනිය. ගලිගමුව ආසනයෙන්, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනේ) ඇයව හැඳින්වුයේ, 'සබරගමුවේ තනි ඇතින්න' කියා.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොල මේ චූටි පටියක බොග දාන්නේ? වහාම පළල් කොරපිය. බොග් පිටුව බොග් පිටුව, නැහ්නං ආයේ අහවල් කෙංගෙඩියද?

      Delete
    2. බොහොම ස්තූතියි ඒ හැඳින්වීමට විචා මාමෙ...මං එහෙම සඳහන් කරාට රාණි අධිකාරිගෙ දේශපාලන ඥානය කොහොමද කියන්න දන්නෙ නෑ. නමුත් එයාල දේශපාලනය කරා..දේශපාලනඥවරියක්ද කියන්න දන්නෙ නෑ...

      Delete
  11. ජීවන අත්දැකීම් පාදක වූ කතාවක් බව හිතෙනවා. රාණි අධිකාරි කියන්නේ අපේ ඥාතියෙක්...
    හැබැයි කිසිම දිනක හමුවෙලා හෝ දැකල නැහැ...

    ReplyDelete
    Replies
    1. රාණි අධිකාරිගේ හස්බන්ඩ් තමයි ඒ.එම්.එස්.අධිකාරි. ඒ කාලේ හෙන යුඇන්පී අරටු ඇමතිලා. මම හිතන්නේ ගෙදර නම දාලා තිබුනෙත් "අධිරාණි නිවස" කියලා.

      Delete
  12. උබේ කතා කියවද්දි මට තියෙන ලොකුම ගැටළුව තමයී මේවා ඇත්ත කතා ද?නැත්නම් කෙටි කතා ද? කියන එක. ඒ තරම්ම තාත්වික ගලා යාමක් තියෙනවා.මතකේ තියෙන බ්ලොග් එකක්....

    ReplyDelete
  13. මේක මරු වැව්.
    කොච්චර කඹුරුවත් ඔහොම රස්සා නොලැබිච්ච අය ඉන්නව. ඒත් ඉතිං ආයෙත් කරන්නෙ ඒ වැඩේම තමයි.

    ReplyDelete
  14. මිනිස්සු මේ බොරුවෙන් හෙම්බත් වෙයි කියල හිතන්ඩ බෑ ...
    මුං බොරුවට තමා කැමති ...

    ReplyDelete
  15. නියම කතාව.
    ලිඛිත බාසාවයි කතා කරන බාසාවයි මාරුවෙන එක ටිකක් අවුල්.

    ReplyDelete
  16. සංවේදී කතාවක්. චන්ද වැඩ කරලා අන්තිමට ඔහොම වෙන කොට. පක්ෂ දේශපාලන ක්‍රමයම වැරදි කියල හිතෙන්නේ.

    ReplyDelete
  17. මිනිස්සු හැමදාමත් කර ගන්නේ ඕක

    ReplyDelete